පුරාණ ලක්දිව
බෞද්ධ කලා ශිල්ප 09
පුරාණ ශ්‍රී ලංකාවේ හා භාරතයේ වජ්‍රාසන පූජාව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
බුදුපිළිම නිර්මාණයට පෙර බෞද්ධ ජනතාව වැඳුම් පිදුම් කරන ලද පූජ්‍ය
වස්තුවක් ලෙසින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි (ශ්‍රී මහ බෝධින් වහන්සේගේ
සෙවනේ ඇති වජ්‍රාසනය) වජ්‍රාසනය සංකේතවත් කරමින් සාදන ලද ආසන සහ ඒ සඳහා
සාදන ලද ගෙවල් (ආසන ඝර) වන නටබුන් පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම්වලදී
හමුවී ඇත.
ආසනඝර – (වජ්‍රාසනය සඳහා ගෙය) චේතියඝර (දාගැබ සඳහා ගෙය) බෝධිඝර (බෝධිය
සඳහා වූ ගෙය) ආදී ගෘහ නිර්මාණ ගැන නිතර නිතර සමන්ත පාසාදිකා නිධාන කතා,
විසුද්ධිමග්ග ග්‍රන්ථවල දක්නට ලැබේ.
ශ්‍රී පාද ලාංඡන, අමරාවතී,
මදුරාසි රජයේ කෞතුකාගාරය |
දීඝනිකාය ආදි කොට ඇති ත්‍රිපිටක ග්‍රන්ථවල මහාවංසයෙහිද මේ පිළිබඳ සඳහන්
වෙයි. එසේ වුවද පදලස ගෙවල් හෙවත් පාද ලාංඡන ගෙවල් (ගෘහ) පිළිබිඹු
සොයාගැනීම අපහසුය. මේ ගැන විමසා බලනවිට හතර වැනි මිහිඳු රජු විසින්
(ක්‍රි.ව. 956 – 972) ප්‍රතිසංස්කරණ ලද පාදලාංඡන ගෘහයක් ගැන චූලවංශයෙහි
(මහාවංසයේ දෙවැනි කොටසේ) සඳහන් වෙයි. මෙම පදලාංඡන ගෘහය චෝලයින් විසින්
විනාශ කළ හෙයින් මෙසේ ප්‍රතිසංස්කරණය කර ඇත. පුරාණ භාරතයේ මෙන්ම ශ්‍රී
ලංකාවේ ද වන්දනීය වස්තුවක් ලෙසින් බුදුපිළිමය පත්වීමට පෙර වජ්‍රාසනයට
සහ ශ්‍රීපාද ලාංඡනවලට (සිරිපතුල්ගල්වලට) වැඳුම් පිදුම් කර ඇති බවට
පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී තිබේ. භාරතයේ භාරුත්, සාංචි, අමරාවති,
නාගර්ජුන කොණ්ඩ සහ ජගයිපේත යන පුදබිම් වලින් හමුවී ඇති මූර්ති කැටයම්
සහිත ගල් රූකම්වල ආසන (වජ්‍රාසනය) සහ ශ්‍රී පාද ලාංඡන පූජාව පිළිබඳ
දක්නට ලැබේ. එසේ වුවද සිරිපතුල් ගල් සඳහා වූ ගෙයක් හෝ එහි අවශේෂ මෙතෙක්
භාරතයේ හමුවී නැත.
පදලස ගෙවල් හෙවත් පාද ලාංඡන ගෘහ ආසනඝර අසළ (වජ්‍රාසන සඳහා සාදන ලද
ගෙවල්) අසළ තිබෙන්නට ඇත. අනුරාධපුරයේ කොක්ඇඹේ සහ නැගෙනහිර පළාතේ
පුළුකුණාව ආදි පුදබිම්වල පැරණි සිරිපතුල් ගල් හමු වී ඇත.
(වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය - සිරිසමන් විජේතුංග පි. 51 – 53 –
2003 )
වජ්‍රාසනය හා ආසන පූජාව
බුදුපිළිම නිර්මාණයට පෙර බෞද්ධ ජනතාව වැඳුම් පිදුම් කරන ලද පූජ්‍ය
වස්තුවක් ලෙසින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි (ශ්‍රී මහ බෝධින් වහන්සේගේ
සෙවනේ ඇති වජ්‍රාසනය) වජ්‍රාසනය සංකේතවත් කරමින් සාදන ලද ආසන සහ ඒ සඳහා
සාදන ලද ගෙවල් (ආසන ඝර) වන නටබුන් පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම්වලදී
හමුවී ඇත.
භාරතීය කලා ශිල්පවලද ආසන වන්දනයක් සෘජුවම නැතත් භාරුත් සාංචි මෙන්ම
අමරාවති යන බෞද්ධ පුදබිම්වල පැරණි මූර්ති කැටයම් වලින් බුදුරජාණන්
වහන්සේ වෙනුවට වජ්‍රාසනයට වැඳුම් පිදුම් කරන අන්දම දැකිය හැකිය. පුරාණ
ශි‍්‍ර ලංකාවේ ආසන වන්දනය ඉතා ප්‍රචලිතව පැවතුණු බව පුරාවිද්‍යාත්මක
සාක්ෂිමගින් තහවුරු වී ඇත. ඒ බව ආසනඝර (ආසන ගෙවල්වලට අයත්) ශිලා කණු සහ
ශිලා ආසන වල නටබුන් අපට හමුවී තිබේ.
චේතියඝර ආසන ඝර හා බෝධිඝර යනු ආදිතම බෞද්ධ ගෘහ නිර්මාණ තුනකි. චේතියඝර
හා බෝධිඝර පුරාණ දඹදිව තිබුණු බවට සාක්ෂි ලැබී ඇති නමුදු ආසන
(වජ්‍රාසන) සඳහාම සාදන ලද ගෘහ (ඝර) පුරාණ දඹදිව තිබුණු බවට තවම සාක්ෂි
ලැබී නැත. දැනට ආසනඝර හා ආසන පිළිබඳ නටබුන් හෝ ලැබෙන්නේ සිංහල
ද්වීපයෙන් පමණකි.
බුද්ධත්වය, බෝධියෙන් සංකේතවත් කෙරෙන භාරුත් ස්තූප කැටයමක්
(කල්කටා කෞතුකාගාරය) |
ආසනඝර පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක් අටුවා ග්‍රන්ථවලින් ලැබී ඇත.
සමන්ත පාසාදිකා නම් විනය අටුවාවෙහි මෙසේ සඳහන් වෙයි. ‘චේතියඝරං ආසන ඝරං
බෝධි ඝරං’
ආසන සඳහා සාදන ලද ගෘහ විශේෂයක් පිළිබව චසුවද පංචන්පනි නම් මැදුම් සඟිය
අටුවාවේ උපරි පන්නාසකයේ බහු ධාතුක සූත්‍රයෙහි සඳහන අනුව ආසනඝරයෙහි ධාතු
නිධන් කිරීමේ සිරිතක් තිබුණු බවද ආසනඝර බෝධි මාලකයන්හි සාදන ලද බව ද
සඳහන් වේ. මහා වංසයේ සහ දීප වංසයෙහි සඳහන්වන පරිදි බෝධීන් වහන්සේ අබියස
ආසන නොහොත් පරියන්ක තැබීමේ චාරිත්‍ර අනුරාධපුරයේ තිබුණු බව කිව යුතු ය.
බුදුපිළිම නිර්මාණයට පටන් ගත් මුල් යුගයේ දී ඒ ප්‍රතිමා බෝධිඝරවල හා
චේතියඝරවල ම තැබුවා මිස අමුතුවෙන් පිළිම ගෙවල් නොසෑදූ බවද වංස කතාවලින්
හෙළිවන කරුණකි. එමෙන්ම ආසන ද බෝධිඝර ඇතුළෙහිම තැබූ බව පෙනේ. මේ අනුව
ප්‍රතිමා ඝර සහ ආසන ඝර යන අංග දෙකටම වඩා පැරණි අංගයක් ලෙසින් බෝධිඝර
පැවති බවද සඳහන් කළයුතුව ඇත.
ආසන පූජාව (වජ්‍රාසනය වෙනුවෙන්) පුරාණ බෞද්ධයින් අතරේ ප්‍රචලිත වී
තිබුණු බවට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් පැහැදිලි වේ.
|