Print this Article


පූජාච පූජනීයානං

හීනටිගල පියනන්ද නා හිමි

ගාල්ල,ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ‘විජය ශ්‍රී ධර්මාභිලාෂී” ශ්‍රී සද්ධර්ම විභූෂිත” ලෝකාර්ථචරිය ශාසනශෝභන සිරි ජිනානන්ද වංසාලංකාර ශාස්ත්‍රවේදී හීනටිගල පියනන්ද නාහිමියෝ 2015 දෙසැම්බර් 19 වැනි දිනට හැත්තෑ සය වසරක් සපුරති.

1939 දෙසැම්බර් මස 19 වැනි දින ගාල්ල හීනටිගල ගම්ප්‍රදේශයේදී උපත ලද නාහිමිපාණන් පැවිදි දිවියට පත්වූයේ 1953 නොවැම්බර් මස 19 වන දින දීය. ගාලු කඩවත්සතර හා තල්පේ පත්තුවේ උප ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ ඇත්තිලිගොඩ ජිනානන්ද නාහිමි පාණන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බිමට පත් නාහිමියෝ 1959 දී උපසම්පදාව ලැබූහ. ගල්වඩුගොඩ ශ්‍රී විද්‍යාරාජ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ගත් නාහිමියෝ පසුව දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්හ. 1959 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වූ උන්වහන්සේ වසර තුනක් අධ්‍යාපනය ලැබීමෙන් පසු ශාස්ත්‍රවේදී උපාධිය ලබා නැවත පන්සලට වැඩම කළහ.

1964 දී නාහිමියන් විසින්ම ආරම්භ කරන ලද බෝපේ ශ්‍රී ප්‍රඥාලෝක පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දෙමින් විශාල සේවයක් ඉටු කරන ලද අතර පසුව බෝපේ සිරි පියරතන පිරිවෙනේ ගුරු හිමිනමක් ලෙසද කටයුතු කළහ. 1967 දී ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූයේද නාහිමිපාණන්ය.

1976 දී උන්වහන්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ හොරබොක්ක කනිටු විදුහලට ගුරු පත්වීමක් ලබා වැඩම කොට ඒ ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල කැපකිරීමක් කළ අතර එම විදුහල මහ විදුහලක් බවට පත් කිරීමේදී එහි නාමය සිද්ධාර්ථ මහ විදුහල ලෙසින් නම් කරන ලද්දේ නාහිමියන්ගේ යෝජනාවක් අනුවය. හොරබොක්ක ඔවාගරි විහාරස්ථානයේ දහම් පාසලක් ආරම්භ කිිරීමට මූලිකව ක්‍රියා කළහ.

උන්වහන්සේ 1983 දී ගාලු ප්‍රදේශයට වැඩම කිරීමෙන් පසු ගා /කපුහෙම්පල නන්දිමිත්‍ර මහ විදුහලේ ද ඇත්තිලිගොඩ සුදර්ශි මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙසද ක්‍රියා කරමින් පාසැලේ පාලන කටයුතු හා විනය කටයුතු මනාව පවත්වාගෙන යාමට සිය උපරිම දායකත්වය සැපයූහ. එමෙන්ම ගාල්ල කඩවත් සතර හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි හිමියන් ලෙස ප්‍රදේශයේ විහාරස්ථානවල අභිවෘද්ධිය සඳහා විශාල සේවාවක් ඉටුකිරීමට ද නාහිමියන්ට අවස්ථාව උදාව විය.

ගාල්ල ප්‍රදේශයේ සේවය කිරීම නිසා උන්වහන්සේ ට විහාරස්ථානයේ දියුණුව මෙන්ම ආගමික කටයුතු වලටද, දායකයින්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවටද බෙහෙවින් කැපවී ක්‍රියා කිරීමට අවස්ථාව උදා වූ අතර විහාරස්ථානයේ අඩුපාඩුවක් ව පැවති ධර්ම ශාලාවක් , දාන ශාලාවක් මෙන්ම පුස්තකාල ගොඩනැගිල්ලක් විහාරස්ථානයේ ඉදිකිරීමට දායකයන් සමඟ එක්ව මහත් පරිශ්‍රමයක් දැරූ බව පෙනේ

ජිනානන්ද නාහිමි අනුස්මරණ පුස්තකාලය ආරම්භ කොට එහි ප්‍රතිලාභ ප්‍රදේශවාසී පාඨකයන්ට ලබාදීමද නාහිමියන්ගේ සේවය පිළිබඳ එක් උදාහරණයක් ලෙස සඳහන් කළ හැකිය. අටවිසි බුද්ධ මණ්ඩපය බෝධි ප්‍රකාරය සහිත බෝමළුව අලංකාරවත් ලෙස ඉදිකරමින් අත්‍යවශ්‍ය විහාරාංග සම්පූර්ණ කිරීම සඳහා පන්සලේ සෙසු ස්වාමීන් වහන්සේලාගේත්, දායක පින්වතුන්ගේත් ආධාර උපකාර ලබා ගනිමින් සෑම කටයුත්තකදීම තම උපරිම ශක්තිය හා මඟපෙන්වීම ලබාදීමට ඉදිරිපත් වනු ඇත. නාහිමියන්ගේ ලෝක ශාසනික සේවයට උපහාර පිණිස ලැබී ඇති ගරුනාම වශයෙන් අමරපුර සිරි සද්ධම්මවංස ධීරානන්ද සංඝ සභාව මගින් නාහිමියන් “දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක” පදවියෙන් පුදන ලදී. මීට අමතරව ගාලු නගරය කේන්ද්‍රය කොට ගෙන පවත්වා ගෙන යන සමිති, සංවිධාන රාශියක නාහිමියෝ අනුශාසකත්වය දරති.

හැත්තෑ හය වසරක් ගෙවා හැත්තෑ හත්වන වියට පා තබන නාහිමියන්ගේ උතුම් ගුණාංග සිහිපත් කරමින් උන්වහන්සේට ආශිර්වාද පතා දෙසැම්බර් මස 19 වැනි දින ආශිර්වාද පූජා, උපහාර පූජා රාශියක් සිදු කිරීමට ශ්‍රී ජිනේන්ද්‍රාරාම සමඟි අන්‍යෝන්‍යාධාර සමිතිය , ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසල හා දායක සභාව ද සැලසුම් කර ඇත. අප නාහිමියන්ට තව තවත් ලෝ සසුන් වැඩ වඩන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්ය , වාසනාව මෙන්ම නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවායි! ඉත සිතින් ආශිංසනය කරමි.


අන්දුගොඩ පුඤ්ඤානන්ද නා හිමි

ඉමදුව ඇල්ලලගොඩ ශ්‍රී ගුණානන්දාරාමය හා අළුත්ගම කොටපිටිය ශ්‍රී සුධර්මාරාමය යන උභය විහාරාධිපති ගාලු කෝරළේ ප්‍රධාන සංඝනායක, සාමවිනිසුරු අන්දුගොඩ පුඤ්ඤානන්ද නාහිමිපාණෝ අපවත් වී මෙම මස 17 වැනි දිනට පුරා තෙමසක් සපිරේ. ඒ නිමිත්තෙන් නාහිමියන්ට පුඤ්ඤානුමෝදනා පිණිස පින්කම්මාලාවක් ඉහත විහාරස්ථානයන් තුළ සිදු කිරීම සඳහා ශිෂ්‍ය පිරිස හා දායක සභාව කටයුතු යොදා ඇත.

ගාලු පුරවරයෙහි ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අන්දුගොඩ නම් ගම්පියසේදී මලිදුව ගමගේ හින්නි අප්පුහාමි හා උයන්ගොඩ විතානගේ ආරියවතී යන පින්වත් මව්පිය දෙපළට දාව 1951 දෙසැම්බර් මස 02 වැනි දින මලිදුව ගමගේ දයාපාල යන නමින් උපන් හ.මූලික පාසල් අධ්‍යාපනය අන්දුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් ද දික්කුඹූර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබු දයාපාල කුමරුවන් අන්දුගොඩ පුරාණ විහාරස්ථානයට දහම් අධ්‍යාපනය සඳහා ගියහ. එහි විහාරාධිපතිව වැඩ විසූ වේරගම්පිට පඤ්ඤාවාස මාහිමියන් මව් පිය දෙපළගේ අවසරය හා ආශිර්වාදය මැද 1968 ජනවාරි මස 14 වැනි දින ඉමදුව ඇල්ලලගොඩ ශ්‍රී ගුණානන්දාරාමාධිපතිව වැඩ විසූ පොල්වත්තේ ගුණානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මලිදුව ගමගේ දයාපාල කුමරුවන් අන්දුගොඩ ලක්ඛණ යන නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

සසුන්කෙතට ඇතුළත් වීමෙන් පසුව මූලික අධ්‍යාපනය කනංකේ රාජමහා විහාර පරිවේණස්ථානයෙන්ද පසුව ගාල්ල විද්‍යාලෝක මහ පිරිවෙණ ඇසුරින් උසස් අධ්‍යාපනය හැදෑරූ ලක්ඛණ හිමියන් නිසි වයස් පිරීමෙන් පසුව 1972 ජුනි මස 22 වැනි දින මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් වු අතර එතැන් පටන් උන්වහන්සේට අන්දුගොඩ පුඤ්ඤානන්ද යන නම තබන ලදී.

පුඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ සර්වෝදය ප්‍රජානායක පාඨමාලාවක් හා සමාජ සේවා ඩිප්ලෝමාවක් ලබා මාතර දිස්ත්‍රික්කය තුළ සමාජ මෙහෙවරෙහි යෙදෙන කාලය තුළ එවකට ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපති ශ්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ග්‍රාමෝදය ප්‍රජා වැඩ පිළිවෙළට මැදිහත්ව කටයුතු කිරීමට යෙදුණූ හෙයින් වැලිගම ප්‍රාදේශීය බල මණ්ඩලයේ සභාපති ධුරය පිරිනමනු ලැබුවේද පුඤ්ඤානන්ද හිමියන්ටය.

1979 සැප්තැම්බර් මස 19 වැනි දින පාකිස්ථානයට වැඩම කරනු ලැබුවේ ද ග්‍රාමීය සංවර්ධනය පිළිබද කෙටි පාඨමාලාවක් හැදෑරීම උදෙසාය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන්ද‍්‍රයන් වහන්සේගේ ආරාධනාවෙන් 1996 වසරේ සිට අළුත්ගම කොටපිටිය ශී‍්‍ර සුධර්මාරාම විහාරස්ථානයෙහි අධිපතිත්වය හිමි වූයේ ඉන් පසුව 2001 දී ඉමදුව ඇල්ලලගොඩ ශ්‍රී ගුණානන්දාරාමාධිපති කෝදාගොඩ හේමාලෝක නාහිමියන් අපවත් වීමෙන් පසුව එහි විහාරාධිපති ධුරයට ද පත් වු මුන්වහන්සේ තම ආගමික සේවාව තව දුරටත් ව්‍යාප්ත කරමින් වැඩවසන කාලය තුළ එකී උදාර සේවාව කෙරෙහි ප්‍රසාදයට පත් වූ සියම් මහා නිකායේ කෝට්ටේ මහා සංඝ සභාව විසින් 2005 “ධර්ම කීර්ති ශ්‍රී ගුණානන්ද” යන නාමය සහිත ගාලු කෝරලේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීමට තරම් අන්දුගොඩ පුඤ්ඤානන්ද නාහිමියෝ භාග්‍ය සම්පන්න වූහ.

අන්දුගොඩ පුඤ්ඤානන්ද නාහිමිපාණෝ අපවත් වී මෙම 17 වැනි දිනට තෙමසක් සපිරෙනු ඇත.

වත්මන් විහාරාධිපති නෙළුවේ කුසලඥාන හිමියන් ප්‍රධාන සියලු ශිෂ්‍ය පිරිසගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථානයන්හි දායක දායිකාවන් විසින් මෙම තෙමස් පූර්ණ පින්කම් මාලාව සංවිධානය කොට තිබිණි. තෙමසකට පෙර අපවත් වී වදාළ අන්දුගොඩ පුඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේට මේ සියලු පින් බලයෙන් අමා මහා නිවන් සුව ලැබේවා”!


ගංගොඩවිල සෝම හිමි

1948 බක් මස 24 දින ධර්මදාස පියාණන්ට හා චාලට් වීරතුංග මෑනියන්ට දාව මෙලොව එළිය දුටු සෝමරත්න දරුවා කුඩා කල සිටම දහමට නැඹුරුවීමක් දක්නට ලැබුණි. විසුද්ධි මාර්ගය, සද්ධර්ම සාගරය, අංගුත්තර නිකාය වැනි ගැඹුරු දහම් ග්‍රන්ථ පරිශීලනයට දැඩි නැඹුරුවක් දැක්වූ සෝමරත්න දරුවා වයස අවුරුදු 26 වන විට ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගනිමින් පූජ්‍ය අම්පිටියේ රාහුල නාහිමි සහ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි දෙනමගේ සෙවනේ ගංගොඩවිල සෝම නමින් සසුන් ගත විය. නා හිමිවරුන්ගේ පා සෙවනේ මැනවින් දහම් කරුණු උගත් සෝම හිමියෝ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් බවට පත්වූහ.

උන්වහන්සේගේ ධර්ම දේශනා විලාසය සුවිශේෂී මුහුණුවරක් ගත් දේශනා විලාසයක් වූහ. ධර්ම දේශනාව මුල සිට අග දක්වාම අසා සිටින අයට නීරසක් නොවන අයුරින් හා ධර්මය ශ්‍රවණය කරන පිරිසගෙන් ප්‍රශ්න අසමින් දේශනාව තුළ ඔවුන් රඳවාගැනීමේ සුවිශේෂි හැකියාවක් උන්වහන්සේ තුළ වූහ.

මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ තරුණ සීල සමාදානය පාදක කරමින් ඇරඹි තම ධර්ම දූත සේවා මෙරට පමණක් නොව විදේශයන්හි පවා විසුරුවා හැරීමට උන්වහන්සේ කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1986 වසරේ දී ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් එරට වික්ටෝරියා ප්‍රාන්තයේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඇරඹූ අතර අපවත්වන තුරුම එහි විහාරාධිපති දුරය දරන ලදී.

තරුණ ජීවිතය ධාර්මිකව හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය දහම් කරුණුූ තම ධර්ම දේශනා තුළින් සමාජ ගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ හිමියන් වටා තරුණ පිරිස් විශාල වශයෙන් එක් රොක් වන්නට වූහ. සෝම හිමියන් බෞද්ධයන්ට දේශනා කරන ලද්දේ බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංචශීල ප්‍රතිපදාව තුලින් පුද්ගල සංවර්ධනය ඇති කර ගැනීම පිළිබඳවය.

සෞභාග්‍යයේ දොරටුව, රාහුල මාතා, දේව සංකල්ප, ධම්ම පදය, ලොව්තුරු සුවඳ හා බුද්ධ ස්ථූප වැනි දහම් ග්‍රන්ථ රචනය තුළින්ද ඒ හිමියන් බෞද්ධ ජනයා වෙත නිර්මල බුදු දහමේ පණිවුඩය බෙදා දුන්හ.

මීට වසර 12 කට පෙර උන්වහන්සේ අපවත් වී වඳාළහ.මෙම මස 12 දිනට උන්වහන්සේ අපට අහිමිව වසර 12 ක් ගත වුවද ගංගොඩවිල සෝම හිමිගේ ශී‍්‍ර නාමය අප සිත් තුළින් නොමැකී පවතිනු ඇත. “සිරිධම්මරක්ඛිත වංසාලංකාර අනුවිජ්ජක අති පූජනීය ගංගොඩවිල සෝම නා සමිඳුට” අජරාමර නිවන් සුව අත්වේවා! යි පතමි.