Print this Article


පිරිත් පොත් වහන්සේ

පිරිත් පොත් වහන්සේ

පිරිත් දේශනාව බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවාදරයට පාත්‍රවූ දේශනා විශේෂයකි.වහන්සේ යන ගෞරව නාමයෙන් හඳුන්වන ග්‍රන්ථ දෙකක් අපේ ධර්ම සාහිත්‍යයේ ඇත. එනම් පිරිත් පොත් වහන්සේ හා ජාතක පොත් වහන්සේ යනුවෙනි. මෙලොව ආරක්ෂාව ඇති කරණ දේශනා ඇතුළත්ව ඇති බැවින් පිරිත් පොත් වහන්සේ යනුවෙන් හඳුන්වා ඇත. හුදී ජන පහන් සංවේගය පිණිස ලියන ලද සිංහල බණ කථාවක් බැවින් ජාතක පොතට ජාතක පොත් වහන්සේ යන ගෞරව නාමයෙන් සලකා ඇත.

මේ ආරක්ෂක දේශනාව පරිත්‍රාණ , පරිත්ත, පිරිත් වශයෙන් ව්‍යවහාරයේ පවතී. “පරිසමන්තතො තායති. රක්ඛතීති පරිත්තං” හාත්පසින්ම ආරක්ෂාව ගෙන දෙන බැවින් පිරිත නම්වේ. “කථමෙ රක්ඛා කථමෙ පරිත්තා. අත්ත ගුත්තියා අත්තරක්ඛාය, ඉමංසො පරිත්තං කත්වා යනාදී වශයෙන් පරිත්ත ශබ්දය ශ්‍රීමුඛදේශනා තුළම දක්නට ලැබේ’. සතර බණවර පාළිය තුළ සතර බණවර නමින් පිරිත පිළිබඳව විස්තර දේශනා කොට ඇත. පැවිදි බව අපේක්ෂා කරණ කුල දරුවන් විසින් පිරිත් වනපොත් කළ යුතු බවත් උපසම්පදා පේක්ෂක තෙරණුන් විසින්ද පිරිත් වන පොත් (කටපාඩම්) කළ යුතු බවත් සාමණේර බණ දහම් පොතේ දැක්වේ.

”පරිත්ත භාණක” නමින් පිරිත් දේශනා කිරිමේ කුසලතා දැක්වු භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටි බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. පිරිත් පොතේ අන්තර්ගතය ගැන සැලකීමේදී එහි අකෘතිය මෙසේ දැක්විය හැකිය. සරණාගමණය, දස ශික්ෂාපද, සාමණේර ප්‍රශ්නය, දවත්තිංසාකයාර, ප්‍රත්‍යවේක්ෂා, දසධම්ම සූත්‍රය, මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය බන්ධ පරිත්ත මෙත්තානි සංස සූත්‍රය, මිත්තානිසංස සූත්‍රය, මෝර පරිත්ත චන්ද පරිත්ත, සුරිය පරිත්ත, ධජග්ග සූත්‍රය, මහා කස්සප බොජ්ඣංග සූත්‍රය, මහා මොග්ගල්ලාන බොජ්ඣංග සූත්‍රය, මහා චුන්ද බොජ්ඣංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ඉසිගිලි සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රය, මහා සමය සූත්‍රය, ආලවක සූත්‍රය, කසී භාරද්වාජ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සච්ච විභංග සූත්‍රය, ආටානාටිය සූත්‍රය යනුවෙන් සූත්‍ර ධර්ම විසිහතරක් දැක්වේ.

මෙම සූත්‍ර ධර්ම සූත්‍ර පිටකයෙන් උපුටා ගෙන ඇත. පිරිත් පොතෙහි ඉසිගිලි සූත්‍රය අවසන් කොට ඇති දේශනා සෙත්පිරිත් වශයෙන්ද දම්සක් පැවතුම් සූත්‍රයේ සිට ආටානාටිය සූත්‍ර දේශනාව දක්වා ඇති කොටස සූත්‍ර දේශනා නමින්ද, ආටානාටිය සූත්‍රදේශනා හමාර දේශනා නමින්ද සැලකේ.

මෙම සූත්‍ර ධර්ම උපුටාගෙන ඇත්තේ කුමන දේශනා තුළින් දැයි විමසා බලමු. සරණාගමනය, දසසික්ඛා, සාමණේර ප්‍රශ්නය, ද්වත්තිංසාකාරය, මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛුද්දක පාඨ නම් කෘතියෙන්ද, ප්‍රත්‍යවෙක්ෂා , දසධම්ම සූත්‍රය, ඛන්ධ පරිත්ත, මෙත්ත සූත්ත, ගිරිමානන්ද සූත්‍රය, අංගුත්තර නිකායෙන්ද, මින්තානිසංස සූත්‍රය,ජාතක පාලියෙන්ද, චන්ද පරිත්ත, සූරිය පරිත්ත හා බොජ්ඣංග සූත්‍ර, සංයුත්ත නිකායෙන්ද ඉසිගිලි සූත්‍රය, මජ්ක්‍ධිම නිකායෙන්ද ආටානාටිය සූත්‍රය, දීඝ නිකායෙන්දැයි සැගි පහෙන්ම සූත්‍ර උපුටාගෙන ඇත. පස් වෙනි බණවරට ඇතුළත් සූත්‍ර හත උපුටාගෙන ඇත්තේ දම්සක් පැවතුම් සූත්‍රය සංයුතා නිකායෙන්ද,මහා සමය සූත්‍රය, දීඝ නිකායෙන්ද , පරාභව ,ආලවක, අග්ගික භාරද්වාජ(වසල) කසී භාරද්වාජ, යන සූත්‍ර ධර්ම ඛුද්දක නිකායට අයත් සුත්තනිපාතයෙන්ද සච්ච විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායෙන්ද උපුටා ගෙන ඇත.

පිරිත් දේශනා විධි කීපයක් පවතී. එනම් වරු පිරිත්, තිස්පැයේ පිරිත්, (රාත්‍රි පිරිත) තුන් තිස් පැයේ පිරිත්, තිස් පැය හතේ පිරිත් හා සති පිරිත් වශයෙනි. තිස්පැයේ පිරිත් ගිහි පිරිත් වශයෙන්ද දේශනා කරති. පිරිත් දේශනා කිරීම බුද්ධ කාලයේ සිටම පැවත එන්නක් බව විශාලා මහනුවර තුන් බිය දුරු කිරීමට රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉසිමින් සිදු කළ සෙත්ශාන්තියෙන්ද සතිපිරිත් දේශනා කිරීමට මුල් වූ එක්තරා බමුණෙකුගේ පුතෙක් දින හතකින් මිය යන පුවත බුදුරජාණන් වහන්සේට සැලකිරීමෙන් පසු උන්වහන්සේ දින හතක් මුළුල්ලේ පිරිත් දේශනා කිරීමට දුන් උපදේශයෙන්ද පැහැදිළි වේ.

පිරිත් දේශනා කිරීමේ ක්‍රම හා දේශනා කළ යුතු ආකාරය පිළිබඳ අටුවාවේ හා කිරිවත්තුඩුවේ ශී‍්‍ර පඤ්ඤාසාර නාහිමියන් විසින් පිරිත් පොතට ලියූ සංඥාපනයෙන් මනාව පැහැදිලි කොට ඇත. පිරිත් දේශනා කිරීමේ ක්‍රම තුනක් පවතී. එනම් විසාරණ, කථනය ක්‍රම තුනක් පවතී. එනම් විසාරණ ,කථනය හා සරභඤ්ඤ වශයෙනි. විසාරණය යනු පිරිත් දේශනා කිරීමට එම සූත්‍ර අර්ථය පැහැදිලි කිරීම කථනයයි. එම අර්ථය හරි හැටි උච්චාරණය කිරීම සරභඤ්ඤයයි. “අනුජානාමි භික්ඛවෙ සරභඤ්ඤන්ති වචනතො පන සරණෙ ධම්ම භාසිතුං වට්ඨති” මහණෙනි ස්වර භඤ්ඤය වදාළ හෙයින් ස්වරයන් ධර්මය කියන්නට අනු දැන වදාරමි. ගීත ස්වරයෙන් පිරිත් දෙසීම ස්වර භඤ්ඤය නොවේ. එය තහනම් වූවකි.

ක්‍රි.ව. 5 වැනි සියවසේදී පමණ මහා නාම රජුදවස බුද්ධඝෝෂ ආචාර්යවරයා විසින් පරිත්තට්ඨ කථා නමින් අටුවා ග්‍රන්ථයක් තිබු බව පැවසෙතත් එම කෘතිය සොයා ගැනීමට නොහැකිය. අනොමදස්සී නම් තෙරනමක් විසින් සාරත්ථ සමුච්චය නමින් තිබූ බවට මතයක් පවතී. දඹදෙණියේ පැරකුම්බා රජු සමයේ පිරිත් කථිකාවත නමින් පිරිත පිළිබඳව අනුගමනය කළ යුතු පිළිවෙත් සමූහයක් දක්වා ඇත. මෙයින් පෙනෙන්නේ අතීත සමාජය තුළත් පිරිත පිළිබදව ප්‍රසිද්ධියක් තිබු බවයි. මෙසේ පිරිත් දේශනා පිළිබඳව විස්තර කථනයන් රත්නතුංග විසින් සංස්කරණය කළ පිරිත් සංඥාපනයෙහි විස්තර වශයෙන් දැක්වේ. පිරිත් දේශනා කිරීම ආවට ගියාට කළ හැක්කක් නොවේ.

පිරිත් දේශනා කළ යුත්තේ ඊටම විශේෂ වු මණ්ඩපයෙක් තුළදීය. මෙය බුද්ධ නියමය අනුව සාදන්නකි. එහි ද්වාරය තැබීම ඉන්ද්‍රඛීලය සවි කිරීම, (වර්තමානයේ එය රාජ ගහ නමින් හැඳින්වේ. ) උඩුවියන් බැඳ බුලත් කිනිති. නාදලු, නාගවල්ලී බුලත් කිනිති එල්ලීම ආදිය කරණු ලැබේ.පිරිත් නූල් ඇදීමට ගොක්කොළ ආදිය එල්ලනු ලැබේ. පිරිත් මණ්ඩපය තුළ ආසන පනවා මණ්ඩපයේ වටා පුන්කළස් තබා පහන් දැල්වීම කරණු ලැබේ. පිරිත් මණ්ඩපයේ ද්වාර ඉදිරිපස දෙවියන් උදෙසා මල්පැල්ද සාදනු ලැබේ. පිරිත් මණ්ඩලය තුළට තුනුරුවන් වැඩමවා ලද පස් මල් (විළඳ ,අබ, සුනු සහල්, පිච්චමල්, කැකුළු) ඉසිනු ලැබේ. භික්ෂූන් වහන්සේ පිරිත් මණ්ඩපය තුළට වැඩම වා ඒ තුළ සිදුකළ යුතු වතාවත් සිදු කොට පිරිත් අනුශාසනාවද සිදුකොට, දේවතාරාධනාව සිදුකිරීමෙන් පසුව පිරිත් දේශනාව සිදුකරණු ලැබේ.පිරිත් දේශනා කරණ ආකාරයද ඒ ඒ පළාත් අනුව වෙනස් වේ. කන්ද උඩරට මහා විහාරයේ ගණ සජ්ඣායනා වශයෙන්ද දකුණේ එක ක්‍රමයකටත්, කෝට්ටේ තවත් ක්‍රමයකටත් සුළු සුළු වෙනස්කම් ඇතිව සිදු කෙරේ.කුමන ආකාරයෙන් පිරිත් දේශනා සිදු කළත් එයින් ලැබෙන ආශිර්වාදයේ හා ආරක්ෂාවේ වෙනසක් වන්නේ නැත.