බොදු සාහිත කෙතයි සොබාදහමේ අසිරියයි
කොළඹ නාලන්දා විද්‍යාලයේ
විශ්‍රාමික ධර්මාචාර්ය
පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත
පූනාහැල සද්ධානන්ද නා හිමි
බුදුරජාණන් වහන්සේ තරම් සොබාදහම අගේ කළ සොබාදහම තුළ ජීවත් වූ
ශාස්තෘවරයෙක් තවත් නැති තරම්ය. උන්වහන්සේ සොබාදහම අගේ කළේ එහි ඇති
චමත්කාරයට වඩා ඒ තුළ ජීවත් වීමෙන් ඇතිවන සිතේ සැනසීම නිසාය.
බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ගසක් යට, බුදුවුනේ ගසක් යට, පිරිනිවන් පෑවේ
ගසක් යට ය. මේ නයින් සලකන කළ උන්වහන්සේ එක පවුලකට අයත් නොවන අතර මුළු
රටටම අයත් කෙනෙකු සේ සැලකිය හැකිය. ඒ නිසාම උන්වහන්සේ පරිසරයට පි‍්‍රය
කළහ. පරිසරය තුළින් නිදසුන් ගෙන ධර්ම දේශනා කළහ.
වනාන්තරය, ගස්වැල්, ගිරි ශිඛර, දිය ඇළි, ඇළ දොළ, ගංගා, සතා සිව්පාවා
සොබාදහමේ මහඟු දායාද ලෙස දැක්විය හැකිය. මේ නිසා ජීව අජීව ලෝක විෂයෙහි
ආදරය හා මෛත්‍රිය දැක්වූහ. අනාථ පිණ්ඩික සිටුතුමා හා විශාඛා උපාසිකාව
විසින් පූජා කරන ලද ආරාමවල වුවත් එක දිගට වැඩ සිටියේ නැත. උන්වහන්සේ
සපදාන චාරිකාවේ යෙදෙමින් ගස් යට, ගල් ගුහාවල, ගිරි ශිඛරවල, සොහොන්
පිටිවල, තණ පිට්ටනිවල හා ගස් මුල්හි කල්ගෙවා ඇති ප්‍රවෘත්ති බෞද්ධ
සාහිත්‍යයේ සඳහන් වේ.
බොහෝ සූත්‍ර දේශනාවල “අරඤ්ඤ ගතෝවාරුක්ඛමුල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා”
යනුවෙන් තම ශ්‍රාවකයන්ට දේශනාකොට ඇත්තේ එහි ඇති සැනසීම නිසයි. විනය
ශික්ෂා අතර උපසපන් භික්ෂූන්ට ගස් කොළන් කැපීම පවා තහනම් කොට ඇත. යටත්
පිරිසෙන් තණකොළ ගහක් ගැලවීම ඇවතක් ලෙස දක්වා ඇත. සංයුත්ත නිකායේ
‘ආරාමරෝපා වන රෝපා යෙ ජනා සේතු කාරකා’ යනුවෙන් සඳහන් වන්නේ ආරාම පූජාව,
වන වැවීම, ඒදඬු පාලම් ඉදි කිරීම දුර්ලභ ගනයේ පින්කම් බවයි. අපේ මුතුන්
මිත්තන් ආගම ධර්මය තුළින් ගස් කොළන් ආරක්ෂා කිරීමට ඒවාට දේවත්වය
ආරෝපණයකොට ඇත. තුත්තිරි ගස්වලටත් අරක්ගත් දෙවියන් සිටින බව බෞද්ධ කතාවල
දැක්වේ. ගස්වලට අරක්ගත් තලාටු බූමාටු දෙවියන් පිළිබඳ කතා ජාතක කතාවල හා
ධම්ම පදට්ඨ කථාවේ දැක්වේ. එක් උදාහරණයක් නම් බුදුන් දවස පන්සියයක් පමණ
මහලු පිරිසක් උන්වහන්සේ සමීපයේ පැවිදි වී කමටහන් ලබාගෙන භාවනා කිරීමට
කැලයට ගොස් ගස් මුල්හි වෙසෙමින් භාවනා කරන්නට වූහ. එම ගස්වලට අරක්ගත්
දෙවිවරුන්ට ගස්මුල වැඩ සිටින භික්ෂූන් තමන්ට වඩා සිල්වත් බැවින් ඒ
තැන්වලින් එළවා දැමීමට උසුළු විසුළු කළ බව දැක්වේ. මේ කතා පුවතින්
දැක්වෙන්නේ ගස්වලට අරක්ගත් දෙවිවරු සිටින බවයි. සංයුත්ත නිකායේ දේවතා
සංයුත්තයේ සහ දේව පුත්ත සංයුත්තයේ බෞද්ධ දෙවිදේවතාවරු ගැන තොරතුරු
සඳහන් වේ.
ධර්මාශෝක මහ රජතුමා මඟ දෙපස ගස් වැවූ බවත් පාලම් ඒ දඬු, ඔසු උයන්, ළිං
පොකුණු තැන වූ බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වේ. දෙවනපෑතිස්ස සමයේ නන්දන
උයන, මහමෙව්නා උයන පැවති බවත් රාජ්‍ය අලංකරණය පිණිස උද්‍යාන ඉදිකිරීම
එදා පැවති බවත් මෙයින් සඳහන් කළ හැකි ය.
මේ උද්‍යාන ස්වභාව ධර්මයේ චමත්කාරජනක නිර්මාණ ලෙස සැලකිය හැකිය.
බිම්බිසාර රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට පූජා කළ ප්‍රථම ආරාම පූජාව
වේළුවන නමින් හැඳින් වූ උද්‍යානයකි. මෙය උණ ගස්වලින් ගැවසී ගත්
ලෙහෙනුන්ගේ අභයභූමියකි. ‘වේළුවන කලන්දක නිවාපේ’ යනුවෙන් සූත්‍ර දේශනා
තුළ දැක්වෙන්නේ එම උයනයි. සූත්‍ර පිටකයට ඇතුළත් බොහෝ සූත්‍ර වේළුවන
උයනේදී දේශනා කොට ඇත. බුද්ධ කාලයේ උද්‍යාන යනු හුදෙක් ගස්වැල් මං
පෙත්මෙන්, ජල තටාක, සංතාගාර ශාලාවලින් යුක්ත වූ ලුම්බිණි සල් උයන ගැන,
මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයන ගැන බුද්ධ චරිතයේ විස්තර දක්වා
ඇත්තේ බුදු උපත හා තථාගත පරිනිර්වාණය සිදු වූ වැදගත් සිදුවීම් නිසා ය.
බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද බරණැස ඉසිපතනය
මුවන්ගේ අභයභූමිය හිමාලයේ සිට සෘෂිවරු ලුණු ඇඹුල් සෙවීම පිණිස
සෘද්ධියෙන් පැමිණ පතිතවන බහින ස්ථානයක් වූ බැවින් එය ඉසිපතන නම් වූ බව
සඳහන් වේ. විශාලා නගරයේ පිහිටි අම්බපාලි නම් අබිසාරිකාවට අයත් අඹ උයන
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වැදගත් තැනකි. බුදුරජාණන් වහන්සේ විශාලා නුවරට
වැඩිය අවස්ථාවේ ඇයට පළමු දානය පූජා කිරීමට වාසනාව ලැබුණි. ලිච්ඡවි
රජවරු තම රටට වැඩිය බුදුරදුන්ට ප්‍රථම දානය පිරිනැමීමට ප්‍රයත්න දැරූ
බව සඳහන් වෙතත් අම්බපාලි තමාට ලැබුණු වරප්‍රසාදය දීමට කැමතිවූයේ නැත.
ඇය බුදුරදුන්ගෙන් බණ අසා අඹ උයන උන්වහන්සේට පූජා කළාය. අම්බපාලී පසුව
පැවිදිව රහත් භික්ෂුණියක් වූ බව ථෙරී ගාථාවල සඳහන් වේ.
සොබාදහමේ අපූර්ව නිර්මාණ ලෙස කඳු ශිකර හා ගිරි දුර්ග සඳහන් කළ හැකිය.
මේවා බොහොමයක් ආගමික වශයෙන් සංස්කෘතික වශයෙන්ද, භූගෝලීය වශයෙන්ද
වැදගත්කමක් උසුලයි. බෞද්ධ සාහිත්‍යයේ පර්වත පිළිබඳව විස්තර පවතී.
ධම්මපදයේ ‘බහුංවෙ සරණං යන්තී පබ්බතානි වනා නිච’ යන ගාථා පාඨයෙන් බයට
පත් මිනිසුන් පර්වත හා වනාන්තරවලට වැඳුම් පිදුම් කළ බව සඳහන් වේ. අපගේ
ආදි මුතුන් මිත්තන්ගේ සිට අද දක්වාම මේ වන්දනාමාන ක්‍රම පවතින බව පෙනේ.
මගධයේ රජගහ නුවර පර්වත පහකින් වට වූ ආරක්ෂක ස්ථානයක් ලෙස සැලකේ. වේහාර,
වේපුල්ල, ගිජ්ජකූට පාණ්ඩව ඉසිහිලි ආදී නම්වලින් ඒවා හඳුන්වා තිබුණි.
රාජගෘහ හෙවත් රජගහ ගිරිර්ව්‍රජ නමින් හඳුන්වා තිබුණි. එනම් පර්වතවලින්
වටවූ නගරයක් යන්නයි. මෙය ආරක්ෂක නගරයකි ඒ නිසාම පළවැනි ධර්ම සංගායනාව,
සඳහා මෙය තෝරාගත්හ. මෙය සංගායනාවට විරෝධතා තිබුණි. බුදුරජාණන් වහන්සේ
මේ පර්වත කීපයකම විවේක සුවයෙන් වැඩ සිටි බව සූත්‍ර දේශනා තුළින්
දැක්වේ. ඉසිගිලි සූත්‍රයේදී මේ පර්වත පහ ගැනම භික්ෂූන්ගෙන් විමසා ඇති
බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටින විට
භික්ෂූන් වහන්සේ ආටා නාටිය සූත්‍රය දේශනා කළ බවත් ඉසිගිලි පර්වතයේදී
ඉසිගිලි සූත්‍රය දේශනා කළ බවත් සඳහන් වේ. ගිටජකූට පර්වත පා මුල
බුදුරදුන් සක්මන් කරමින් සිටියදී දේවදත්ත භික්ෂුව ගලක් පෙරළු බවත්,
එයින් ගැලවනු ගල්පතුරක් උන්වහන්සේගේ පතුළේ වැදී ලේ සෙලවූ බවත්, බුද්ධ
චරිතයේ සඳහන් වේ. ඉසිගිලි සූත්‍රයට අනුව පසේ බුදුවරු දොළොස් නමක්
ඉසිගිලි පර්වතය ඇසුරු කරගෙන වැඩ සිටිය බව සඳහන් වේ. එමෙන්ම පන්සියයක්
පසේ බුදුවරු මේ ඉසිගිලි පර්වතයේ විසූ බවත්, මෙම පර්වතයට පිවිසෙනවා
දැකිය හැකි බවත්, පිටවෙනවා දැකිය නොහැකි බවක් දේශනාකොට ඇත. ලංකාවේ ද
සැදැහැවතුන්ගේ වන්දනාමානයට ගෞරවයට පාත්‍ර වූ පර්වත ගැන අසන්නට ලැබේ.
ශ්‍රී පාදස්ථානය ඉන් එකකි. තවත් බොහෝ පර්වත රාජධානි පිහිටුවාගෙන ඇත.
සීගිරිය, යාපහුව, දඹදෙණිය, කුරුණෑගල දැක්විය හැකිය.
සොබාදහමේ චමත්කාරජනක නිර්මාණ ලෙස මල් සඳහන් කළ හැකිය. මංගල උත්සව
අවමංගල උත්සවවලට මල් නැතිවම බැරි දෙයකි. සැදැහැවතුන් මල් පූජා කිරීම
සඳහා යොදාගනී. ධම්මපදයේ පුෂ්ප වර්ගයේ ගාථා රාශියකින් මල් ගැන මල් මාලා
ගැන, මල් කරුවන් ගැන උපමා උපමේය දක්නට ලැබේ. සිත්කළු මනවඩන වර්ණයෙන්
යුතු සුවඳ නැතිමල් අසංවර සිත් ඇති අයහපත් වචන කතා කරන දුර්ගුණ මිනිසුන්
වැනි යැයි ද මන වඩන සිත්කලු වර්ණවත් වූ සුවඳවත් මල් වැනි යහපත් වචන කතා
කරන හා ක්‍රියා කරන මිනිසුන් ඉතා වැදගත් බව පුෂ්ප වර්ගයේ මේ ගාථා
දෙකින් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ මෙයින් දේශනාකොට ඇත්තේ වැදගත් සමාජ
විවරණයකි. සිල් සුවඳ මල් සුවඳට උපමාකොට ඇති අතර, මල නොතලා රොන් ගන්නා
බඹරෙකු මෙන් භික්ෂුව ගමේ හැසිරිය යුතු බව දැක්වේ. මල් අතර නෙළුම් මලට
බෞද්ධ සාහිත්‍යයේ වැදගත් තැනක් ලැබේ. විහාර බිතු සිතුම් නෙළුම් මලින්
සරසා ඇත. බුදු පිළිම නිර්මාණය කර ඇත්තේ නෙළුම් මලක් මත වැඩ සිටින
ආකාරයටය. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නෙළුම් මලක් අතැතිව නිර්මාණයකොට ඇත.
මෙයින් පෙනෙන්නේ නෙළුම් මල පාරිශුද්ධත්වයේ සංකේතයක් බවයි. සමන්පිච්ච
මල්වලට ද බෞද්ධයන් අතර විශේෂ ගෞරවයක් ඇත.
බුදුරජාණන් වහන්සේගේ පද්මාකාර ජීවිතය ගැන බුද්ධ චරිතයේ සඳහන්ව ඇත.
බෝසත්තුමා මව්පියන්ට දාව මිනිස් සමාජය නමැති මඩ වගුරෙහි ඉපිද හැදී වැඩී
එම සමාජයෙන් එතෙරවී උත්තරීතර මනුෂ්‍යත්වයට පත්වූ බවත් මඩවළෙහි හැදී
වැඩී මඩවතුරෙන් මතු වී එහි නොගැවී නෙළුම් මල පිපී දස දෙස සුවඳවත් කරන
ආකාරයට බුදුරදුන් දස දෙස සුවඳවත් කළ සේකැයි උපමාකොට ඇත.
සොබාදහමේ චමත්කාරජනක තවත් අංශයක් ලෙස සතුන් දැක්විය හැකිය. බෞද්ධ
සාහිත්‍යයේ සත්ව ලෝකයේ සිදුවීම් දැකිය හැකිය. බුද්ධ චරිතයෙහි පන්සිය
පනස් ජාතක පොතෙහි, පූජාවලියෙහි, ධම්මපදට්ඨ කතාවෙහි සතුන් පිළිබඳ කතා
දැක්වේ. බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයෙහි වස් වසා සිටියදී ඇතෙක් හා
වඳුරෙක් සිදු කළ උවටැන් බුද්ධ චරිතයේ දැක්වේ. ජාතක කතාවල බෝසත්තුමා
විවිධ සත්ව ආත්මවල ඉපදී ගත කළ ආකාරය දැක්වේ. ජාතක පොතේ සතුන් කතා බහ
කරමින් සමාජයට දුන් සත් උපදේශ දැක්විය හැකිය. එසේම ගිරවුන්, හංසයන්,
කොකුන් හා මොනරුන් ගැනද උකුස්සන් ගැනද තොරතුරු බෞද්ධ කතා තුළ දැකිය
හැකිය. මුවන් හා ලෙහෙනුන් ගැන බෞද්ධ සූත්‍ර ධර්මවල දැක්වේ. එමෙන්ම
මනඞකල්පිත පක්ෂීන් ගැන ආටානාටිය සූත්‍රයේ දැකිය හැකිය. බුදුරජාණන්
වහන්සේ රජගහනුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කිරීමේ දී කාළුදායි තෙරුන්
සිදු කළ මග වැනුම සිංහල සංදේශ සාහිත්‍යය සිහිකරන්නකි. මේ සියලු තොරතුරු
විමසා බැලීමේදී මිනිසාට සොබාදහම ඉක්මවා යා නොහැකි බව පැවසිය හැකිය. |