Print this Article


බුදුමුත්තාව රජ මහා විහාරය

බුදුමුත්තාව රජ මහා විහාරය



 

 

 

 

 

 





චෛත්‍යය


බෝධීන් වහන්සේ

සංඝාවාසය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගුල්ඕතොට කෝරළයේ පිහිටා ඇති පූජනීය ස්ථානය ‘බුදුමුත්තාව රජ මහා විහාරය’ නමින් හැඳින්වේ.

බුදුමුත්තාව ටැම්පිට විහාරය සහිත භූමිය 1966 අගෝස්තු මස වැනි දින නිකුත් කරන ලද අංක 14708 දරන රජයේ ගැසට් පත්‍රය මඟින් පුරා විද්‍යා රක්ෂිත භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ආචාර්ය එඩ්වඩ් මුලර්, එච්.සී.පී. බෙල්, ඒ.එම්. හෝකාම් හා මහාචාර්ය සෙනරත් පරණවිතාන යන පුරා විද්‍යා කොමසාරිස්වරුන්ගේ අවධානයට ලක් වූ මෙම පුරා විද්‍යා භූමිය තවදුරටත් විද්වතුන්ගේ පර්යේෂණයන්ට ලක්විය යුතුව තිබේ. එම විහාරස්ථානයට ‘බුදුමුත්තාව‘ යන නම ලැබීමට හේතු වූ සාධක පිළිබඳ මත දෙකක් තිබේ.

සිදුහත් කුමරුට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුහරය ශ්‍රී ලංකාවට රැගෙන ආ දණ්ඩ ශාක්‍ය හා තෘණ ශාක්‍ය යන කුමාරවරුන් දෙදෙනා එම මුතුහරය තැන්පත් කොට තැනූ ස්ථූපය බුදු මුතුහර වෙහෙර යනුවෙන් නම් වූ බවද පසු කලෙක උච්චාරණ පහසුව තකා එය ‘බුදු මුත්තා වෙහෙර’ යනුවෙන් භාවිතයට ආ බවද කියැවේ.

මෙම කතාවෙන් ප්‍රකාශිත අදහස තහවුරු කෙරෙන පුවතක් සිරිලක කඩ ඉම් පොතෙන් හමුවන බැව් වත්මන් විහාරාධිපති දඹගොල්ලේ ධම්මාරාම හිමියෝ පෙන්වා දෙති. එම කඩ ඉම් පොතෙහි ‘අප බුදුන්ගේ මුක්තා ධාතූන් වහන්සේ පිහිටුවූ දාගැබට වැඳ පුදා ස්වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය’ යනුවෙන් සඳහන් වන පාඨය අනුව මෙය මුතුහරය තැන්පත් කොට තැනූ චෛත්‍ය බවට ඓතිහාසික පසුබිමක් සැකසෙන බවද උන්වහන්සේ පවසති.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය වූයේ බදුවලින් මුක්තවූ (බදු වලින් නිදහස් වූ) ප්‍රදේශය යන අරුතින් මෙයට බුදු මුත්තා යන නාමය ලැබුණු බවය. මෙම පුරා විද්‍යා භූමිය අනුරාධපුර, පොළොන්නරු සහ මහනුවර යුගයන්ට නෑකම් කියන පුරාවස්තු රැසකින් පිරී පවතී. දැනට දක්නට ඇති දෙමහල් ටැම්පිට විහාරය මහනුවර යුගයේ ඉදිකරන ලද්දක් බවට සාධක පවතී.

මහනුවර දළදා මාලිගාවේ සැලසුමට අනුව ඉදි කර ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉතා දුර්ලභ ගණයේ එකක් ලෙස සැලකේ.

මෙම ටැම්පිට විහාර මන්දිරයේ උඩුමහලේ ඇති බිතු සිතුවම් දැනට දුර්වර්ණ වී තිබේ. මෙම ගොඩනැගිල්ලේ වහලයට යොදා ඇත්තේ පෙත් උළුය. පොළොන්නරු යුගයට අයත් ශිව කෝවිලක්ද මෙම විහාර භූමියේ දී දැකගත හැකි ය.

මෙම විහාර භූමියේ දක්නට ඇති පැරණි සංඝාවාසය පුරා විද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ල තුළ වර්ෂා කාලයට උණුසුම් ගතියක් ද උණුසුම් කාලයට සිසිල් ගතියක්ද දැනෙන බැව් විහාරවාසී භික්ෂූන් වහන්සේ පවසති. එසේම මෙහි ඉදිරිපස හා පසුපස යොදා ඇති යෝධ දැව දොරවල් පිටින් අගුල් දැමිය නොහැකිය.

එම දොරවල් දෙකම සාදා ඇත්තේ ඇතුළතින් පමණක් අගුල් දැමිය හැකි ලෙසටය. මෙවැනි දොරවල් යොදා ඇත්තේ සංඝාවාසයේ සෑම වේලාවකම යම්කිසිවකු සිටිය යුතු බැව් හැඟවීමට බැව් විහාරාධිපති හිමියෝ පවසති.

බුදුමුත්තාව රජ මහා විහාරස්ථානයේ ද්‍රවිඩ හා පල්ලව අක්ෂරවලින් ලියැවුණු ලේඛන තුනක් දක්නට ඇත. ඉන් දෙකක් පැරණි ටැම්පිට විහාර මන්දිරයේ ගල් කුලුනු දෙකක සටහන් වී තිබේ. එම ලිපි දෙක මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවා අර්ථ නිරූපණය කර තිබේ. මෙය ජයබාහු රජුට (ක්‍රි.ව. 1110 – 1152) අටවන වර්ෂයේ දී වීරබාහු නමැත්තෙකුගේ නිලධාරීන් විසින් පිහිටුවනු ලැබූවක් ලෙස සැලකේ.

දෙවැනි ටැම් ලිපියද ජයබාහු රජුගේ අටවැනි වර්ෂයේ දී පිහිටුවනු ලැබූවකි. වීර පෙරුමාල් නමැත්තාගේ භාර්යාව වූත්, කුලතුංග නම් චෝල රජුගේ දියණියවූත් කුමරියක විසින් ‘මහා ගල්ලක’ නමැති වික්‍රමශීලා මේඝ පුරවරයෙහි පිහිටි ඊශ්වර දේවාලයකට කළ පරිත්‍යාගයක් පිළිබඳ එමගින් තොරතුරු අනාවරණය වේ. දොළොස් වැනි සියවසේ දී මෙම ප්‍රදේශය ‘මාගල්ල’ යනුවෙන් හැඳින් වූ බවට මෙම ලිපිය සාක්ෂි දරයි.

මෙම විහාරස්ථානයේ දක්නට ඇති තුන්වැනි ලේඛනය පුවරු ලිපියකි. එහි එක්තරා වෙළෙඳ සමාගමක් පිළිබඳව තොරතුරු අඩංගු වන බවත්, එය පොළොන්නරු යුගයට අයත් එකක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකුව සිටි ඒ වේළුපිල්ලෙයි මහතා විසින් ප්‍රකාශ කර තිබේ. ක්‍රි.ව. 1763 – 64 වර්ෂයන්ට අයත් කාලය තුළ ප්‍රදානය කෙරුණු තඹ සන්නසක්ද විහාරස්ථානය සතුව පවතී.

සත් කෝරළය දිසාවේ මාගුල් කෝරළයෙ බද මැද පත්තුවේ මෙම විහාරය පිහිටා ඇති බවත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස මෙම විහාරස්ථානය ජරාවාසව තිබී රජතුමාගේ අනුග්‍රහය මත නැවත පිළිසකර කරන ලද බවත් එම සන්නසෙහි සඳහන් වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාරස්ථානයට පරිත්‍යාග කරන ලද පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් සුරක්ෂිතව තැන්පත් කර ඇත. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ බිසව විසින් විහාරස්ථානයට පරිත්‍යාග කරන ලද සැවැන්දන මුල් යොදා සකස් කරන ලද විජිනිපතක් ද මෙහිදී දැක ගත හැකිය.

විහාරාධිපති හිමියන් පවසන අන්දමට ශක වර්ෂ 1758 දී මිදෙල්ලව කෝරාළ නමැති කිවිවරයෙකු විසින් ලියා ඇති ‘තිසර සංදේශය’ නමැති කෘතියෙහි බුදුමුත්තාව රජ මහා විහාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සඳහන්ව තිබේ. ඉන් කවි දෙකක් මෙසේ ය.

‘සතර වටිය වළු කරමිස නිම් මාන
නෙරළු කැටිය සෙත කරටිය දුම් මාන
සොඳුරු සිටිය කත දැවටිය උම්මාන
මිතුර දුටිය නිකවැරටිය ගම්මාන
 

දැන ගත්තා පෙර ලෙස ගණිතය මෙවරේ
ගැන ගත්තා සත් විඳ නැකතම නොහැරේ
අර ගත්තා පරදිලු නැකතට අනුරේ
බුදු මුත්තා වෙහෙරට වැදගන් මිතුරේ