Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 65 - පිරිනිවන් පා වදාළ සේක

පිරිනිවන් පා වදාළ සේක

පුරා වසර හතළිස් පහක් පරාර්ථය සඳහාම කැපවූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජන්මයෙන් අසූවනවිය ලබා තිබුණු අතර වෙසක් සඳ උදාවූයේ මුළු ලොවටම වෙසක් සඳේ අසිරිය කියා පෑමටයි. නමුත් මහා කාරුණිකයන් වහන්සේ තම ජීවිතයේ අවසාන මොහොතට සැපැත්ව ඇත. අනතුරුව බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සමවත් සේක. ඉක්බිති ඉන් නැඟිට ද්විතීය ධ්‍යානයට ද, ඉන් නැගිට තෘතිය ධ්‍යානයටද ඉන් නැගිට චතුත්ථ ධ්‍යානයටද ඉන් නැගිට ආකාශානන්තායතන සමාපත්තියට ද, ඉන් නැඟිට විඥානානන්තායතන සමවතට ද ඉන් නැඟිට ආකිඤ්චනායතන සමාපත්තියටද එයින් නැඟිට නිරෝධ සමාපත්තියටද සමවත් සේක.

යළිත් නිරෝධ සමාපත්තියෙන් නැඟිට නෛවසංඥානාසංඥායතන සමාපත්තියටද සමවත් සේක. යළිත් නිරෝධ සමාපත්තියෙන් නැඟිට නෛවසංඥා නා සංඥායතන ආකිඤ්චන්‍යායතන විඥානානන්තායතන ආකාශානන්තායතන චතුර්ථ ධ්‍යාන, තෘතීය ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, ප්‍රථම ධ්‍යානය යන මේවාටද පිළිවෙළින් ද්විතීය තෘතිය චතුත්ථ ධ්‍යානයට ද සමවැදි චතුර්ථ ධ්‍යානයෙන් නැඟී සිටි සේක. එදා අලුයම්හි අරුණෝද්ගමනයට පෙරටුව චතුර්ථ ධ්‍යානයෙන් නැඟී සිට අනතුරුව ඒ මහා කාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ අංගීරස ශාන්තිනායකයන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවයට තමන් වහන්සේ ද ආදර්ශ කෙරෙමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවන් පා වදාළ සේක.

වෙසක් සඳ කෙමෙන් කෙමෙන් අවරට යමින් පැවැතිණි. උපවත්තන සල් උයන පුරාම වූයේ ශෝකය හා සංවේගය මුසු වූ පරිසරයකි. පෙදෙසම වර්ණවත් හා සුගන්ධවත් කළ සල්මල් එක දෙක බිම පතින වූයේ අනිත්‍යතාව පිළිබඳ පාඩම් පොතේ පත් ඉරු එකින් එන දිග හරින්නාක්මෙනි. බුදුරජාණන් වහන්සේ අවසාන වරට ධ්‍යානවලට සමවදිමින් සැතපී සිටියහ. නොරහත් භික්ෂූන් වහන්සේ ඒ දෙස බලා සිටියේ දුක් සුසුම් ගුවනට මුසු කරමිනි. සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මෙනෙහි කරමින් ධර්ම සංවේගය උපදවාගත් රහතන් වහන්සේ නිසලව බලා වැඩ සිටියහ.

පන්සාලිස් වසරක් තුන් ලොවම එළිය කරමින් උදාවූ සම්බුදු වෙසක් සඳ තවත් වසරදහස් ගණනක් පුරා පැතිරයන ආලෝකයක් ඉතිරි කරමින් බැසයන මෙහොත උදා විය. මෛත්‍රී ජලයෙන් තුන් ලොවම සිසිල් කළ දහම් අමා වැස්සෙන් කෙලෙස් ගිනි නිවාලු මහා කාරුණික වූ අසරණ සරණ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, ඒ වෙසක් පුර පසළොස්වක් පොහෝදා අලුයම් කාලයේ දී පරිනිර්වාණයට පත් වූ අතර මහ පොළොව කම්පා වූයේ තථාගත පරිනිර්වාණය මුළු ලොවටම දැනුම්දීමට මෙනි.

බුද්ධ පරිනිර්වාණය ක්ෂණයෙහි ම සහම්පතී මහ බඹුන් විසින් ලොවැ මෙවැනි අප්‍රතිපුද්ගල වූ මේ ජගදාචාර්යයන් වහන්සේ යම් සේ පිරිනිවන් පෑ සේක් ද, ඒ සේම ලෝක ධාතුවේ සියලුම සත්වයෝ ජීවිතේන්ද්‍රිය විනාශයෙන් සිය සිරුරු මෙහි බහාලන්නේ යැයි ද,

සබ්බෙ ව නික්ඛිපිස්සන්ති
භූතා ලොකෙ සමුස්සයං
යථා එතාදිසො සත්ථා
ලොකෙ අප්පටිපුග්ගලො

ඉන් පසු ශක්‍ර දේවේන්ද්‍ර තෙම

අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනො
උප්පජ්ජිත්වා නිරුඣන්ති
තෙසං වු පසමො සුඛො

අහෝ සංස්කාරයෝ අනිත්‍යයහ. හැදෙන නැසෙන සුළුහ. ඔහු ඉපිද නිරුද්ධ වෙත්. එබැවින් ඔවුගේ සංසිඳීම සැප වේ යැයි සටහන් කරන ලදී.

අනුරුද්ධ තෙරුණුවෝ

ආයුෂ්මත්නි, ස්ථිර සිත් ඇති අට ලෝ දහමින් කම්පිත නොවන ස්වභාවය ඇති, නිවන් සෙත් පුර අරමුණු කොට කළුරිය කළ මාගේ ශාස්තෘ වූ බුද්ධ මුනිවරයාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වූහ. නො හැකුළුණ (පිබිදි) සිතින් ඒ ස්වාමි දරුවන් වහන්සේ වේදනා ඉවසූ සේක. ප්‍රදීපයෙක නිවීමක් සේ ඒ ස්වාමි දරුවන් වහන්සේගේ චිත්ත විමෝක්ෂය වී යැයි ද

ආනන්ද තෙරුණුවෝ

සකල උත්තම ගුණයෙන් සමන්විත සම්බුද්ධයන් වහන්සේගේ පිරිනිවන්පෑම හා එක් විට ම බිහිසුණු ලොමු දහ ගන්වන සුළු භූමිචලනයෙක් වීය. අහෝ ආශ්චර්යයෙකියි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම තුළින් අවීතරාග භික්ෂුහු හැඩීමට වැළැපීමට පටන් ගත්හ. වීතරාග භික්ෂුහු අනිත්‍යතාව සලකමින් ඉවැසූහ. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හඬන භික්ෂු හට සංස්කාරයන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කොට හැඬීමෙන් ශෝක කිරීමෙන් කම් නැතැයි අවවාද කළ සේක. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ ඉක්බිති ඉතිරි කාලය අනුරුද්ධ තෙරණුවෝ ද ආනන්ද තෙරණුවෝ ද ධර්ම කථායෙන් ගත කළහ.

පිරිනිවන් මංචකය නිර්මාණය කළෝ කවරහුද?

කුසිනාරා සල් උයනට පිවිස ටික දුරක් ගිය විට වන්දනාකරුවන්ට මුලින්ම දැකගන්නට ලැබෙන්නේ පිරිනිවන් මංචක විහාරයයි. මුලින්ම විහාර මන්දිරයට පිවිසෙනවිට දර්ශනය වන්නේ මේ දැන් මොහොතකට පෙර පිරිනිවන් පා වදාළ බව හැඟෙන අප තථාගතයන් වහන්සේගේ බුදු සිරුරයි. මොහොතකට පෙර පිරිනිවන් පෑ යන යෙදුම භාවිත කළේ වසර දෙදහස් පන්සිය ගණනකට පෙර මහා පරිනිර්වාණය සිදු වුවද ඒ මේ මොහොතේ සිදු වූවක් ලෙස අප සිතට දැනෙන්නටවන් බැවිනි. බුදු සිරුරේ රස්නය, උණුසුම තවමත් ඉවත්ව නැත. අප මෙයට පෙර පිරිනිවන් මංචකයේ වැඩ සිටින තථාගතයන් වහන්සේගේ ප්‍රතිමා කොතෙක් දැක තිබුණ ද ඒ සියල්ලටම වඩා මේ පිරිනිවන් බුදුරුව අප තුළ අති මහත් ශෝක සංවේගයක් ඇති කරවන බව පැහැදිලි වනු ඇත. තථාගතයන් වහන්සේ සල් ගස් දෙකක් අතර ඇති රූ මේ පිරිනිවන් මංචක වෙත දීර්ඝ පා ගමනකින් වැඩම කළහ.

උන්වහන්සේ වැඩම කළේ විඩාපත් ලෙසිනි. රෝගී බව බුදු සිරුරේ සිරි පද අසල සිට බලන විට මනාව දර්ශනය වේ. බුදු සිරුර මැද සිට නරඹන විට දර්ශනය වන්නේ විඩාවත්, තෙහෙට්ටුවත් ඉක්මවා ගිය ශාන්ත කරුණා, මෛත්‍රී ගුණයෙන් තවමත් උණුසුම් ව ඇති තථාගතයන් වහන්සේගේ පින්වත් සම්බුදු මුහුණයි. එහි ඇති ශාන්ත ස්වභාවය කොතරම් දැයි මොහොතක් සිතන්න. ශීර්ෂය අසල සිට බලන විට දර්ශනය වන්නේ දැන් මොහොතකට පෙර වායු තලයට ප්‍රාණය නිරුද්ධ කළ මහා කාරුණිකයාණන් වහන්සේගේ මුහුණේ නේත්‍ර යුග්මය ඔබ දෑස ඉදිරියේ ම සෙමෙන් සෙමෙන් අඩවන් වී යන්නාක් මෙනි. මේ බුදුරුව ගුප්ත රාජ යුගය තුළ හරිබල නම් භික්ෂූන් වහන්සේගේ නිර්මාණයකි. පරිනිර්වාණ චෛත්‍යයේ ධාතු ගර්භයේ තිබී හමුවූ තඹ සන්නසකින් මෙය හරිබල නම් හිමියන්ගේ නිර්මාණයක් බව තහවුරුවේ. දොළොස් රියන් ප්‍රතිමාවහන්සේ නීල පාසාන වර්ගයේ කළු ගලකින් නිර්මාණය කර ඇති මෙහි නියම දිග මීටර් දහයයි දශමයකි. ඔබ දෑස ඉදිරියේ ම බුදු හිමි පිරිනිවන් පාන්නාක් වැනිය. මේ දර්ශනය දකින සැදැහැතියන්ගේ නෙත් කඳුළින් තෙත් වේ. කොතරම් වාර ගණනක් කුසිනාරාවට පැමිණියද මෙහිදී ඇද හැලෙන කඳුළු සඟවාගන්නට බැරිය. එයට හේතුව අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ පිරිනිවන් පෑ බව හැඟී යන හෙයිනි.

ඔබට මෙහිදි තවත් රූප කිහිපයක් දැකිය හැකිය. පිරිනිවන් මංචකයේ වැඩ සිටින ප්‍රතිමාව ආසන්නයේ වම් පැත්තෙ ඇති කණුව දෙස බලන්න. එහි දැක්වෙන්නේ ආනන්ද හිමියන් දුක දරාගත නොහැකිව හඬා වැළපෙන අන්දමයි.මැද කණුවේ බුදුහිමියන්ගේ අන්තිම ශ්‍රාවකයා වූ සුභද්‍ර පරිබ්‍රාජකයා ශෝක වන අයුරු හා දකුණු කෙළවරේ මල්ල රජ දරුවන්ගේ දම්බ මල්ලිකා බිසව හඬා වැටෙන අයුරු දක්වෙයි.

තවත් කොටසක් උඳුවප් පුර අටවක දෙසැම්බර් මස 18 වනදා පත්‍රයේ පළවේ.


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 64- බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි සැතපීම