විමාන වත්ථු
ප්‍රකරණයෙන් ...
දෙව්ලොව
ගිය ඇත්තෝ
තල දෝතක් පූජා කළ ගැබිනිය සහ පතිදම් සුරැකි උවැසිය
ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
‘ස්වාමීනි, මම මනුෂ්‍ය ලෝකයෙහි ඉපිද ශිලාදී ගුණධර්මයෙහි පිහිටා දිවි
හිමියෙන් පතිව්‍රතා ධර්මය ආරක්ෂා කළෙමි. පුත්‍රයකු රක්නා මෑණි
කෙනෙකුන්සේ මාගේ ස්වාමි පුරුෂයා ආරක්ෂා කළෙමි. අනුන්ගේ වරදක් නිසා හෝ
ස්වාමි පුරුෂයා කෝපයට පත්ව පරුෂ වචනයෙන් බිණුව ද පෙරළා පරුෂ වචනයක්
නොකීවෙමි. සතුටින් ම මිස කෝප සිතින් ඔහුගේ මුහුණ නොබැලුවෙමි. දානය,
පි‍්‍රය වචනය, අත්ථචරියාව, සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන්
අන්‍යයන්ට සංග්‍රහ කළෙමි.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවාසය කරමින් සිටියහ.
එදවස රජගහ නුවර එක්තරා ස්ත්‍රියක් ගැබ්බරව හිඳිමින් ම තලතෙල් ස්වල්පයක්
සාදාගනු පිණිස තල ඇට අව්වේ දමා වියළන්නට වූවා ය. එදා දවස වන විට ඇයගේ
ආයුෂ අවසන් වෙමින් තිබිණි. එබැවින් එදා ඈ මිය පරලොව ගොස් කරන ලද අකුසල
කර්මයක හේතුවෙන් අපායෝත්පත්තිය ලැබීමට නියමිතව තත්ත්වයක සිටියා ය.
ඒ උදෑසන අලුයම් කාලයෙහි දී බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන්
නැඟී සිට ලොව බලා වදාරද්දී මෙකී ගර්භිණී ස්ත්‍රියක් අගේය අකුසල කර්ම
විපාකයක් දුටු සේක. එසේ දැක තමන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් එතැනට
වැඩම කළහොත් ඇය විසින් උපදවාගන්නා වූ දානාදී කුසල කර්මයේ විපාකයෙන්
නරකයෙන් මිදී ස්වර්ග සම්පත් ලැබීමට ඇයට හේතු වාසනා ඇති වගද දැන වදාළහ.
එබැවින් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සිට රජගහනුවරට සැණෙකින් වැඩමකොට
පෙරවරු කාලයෙහි සිවුරු පිළි මැනැවින් හැඳ පාත්‍රා ධාතුව ශ්‍රී හස්තයෙහි
තබාගෙන පිඬු පිණිස වීථියට බටහ.
ගෙපිළිවෙළින් පිඬුසිඟා වඩිමින් පෙර කී ගැබිනි ස්ත්‍රියගේ ගේදොරකොඩ පෙනී
සිටියහ. ඒ තැනැත්තිය එවිට ඒ බුද්ධ ශෝභාව දැක බුද්ධාලම්බන පී‍්‍රතියෙන්
තුටු පහටු ව හුන් තැනින් නැඟිට පැමිණ බුදුන් වැන්දාය. අනතුරුව දන්
පිණිස පිළිගැන්වීමට යමක් ඇත් දැයි බලා දෑත් සෝදා පිරිසුදුකොට තමන්
වියළමින් සිටි තල ඇට දෝතක් එක්තැන්කොටගෙන පාත්‍රයට පූජා කර වැඳ නමස්කාර
කළා ය. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව ‘සුවපත් වේවා’ යැයි
වදාළහ.
ඒ ස්ත්‍රිය එදා රාත්‍රී නිදා සිට රෑ අලුයම් වේලෙහි කාලක්‍රියා කළා ය.
තල දෝතක් දන් දුන් කුසල බලයෙන් ඈ නිදා සිට පිබිදුණා සේ තව්තිසා දෙව්ලොව
උපන්නා ය. මුගලන් මහතෙරුන් වහන්සේ තව්තිසාවට වැඩි වේලේ මේ දෙවඟන දැක
මෙසේ විමසූහ.
‘එම්බා දෙව්දුවණිය, ඕසධී තාරකාව අනෙකුත් තාරකා අබිබවනය කරන සේ දසත
ඒකාලෝක කරමින් ද මහත් රූපශ්‍රීයෙන් හා ශරීර වර්ණයෙන් ජෝතිමත්වද මහත්
පරිභෝග සම්පත් ඇතිව හිඳින්නට මිනිස් ලොවදී තී කිනම් කුසල කර්මයක් කරන
ලද්දීද?’
එවිට ඒ දෙවඟන එයට පිළිතුරු දෙමින් ‘ස්වාමීනි, බුදුගුණය සිහිපත්කොට
ස්වල්ප දානයක් දුනිමි. මා තල සෝදා වේළද්දී ගේදොරකඩට වැඩම කළ බුදුරජාණන්
වහන්සේ දැක බලවත් පී‍්‍රති ප්‍රමෝදයට පත්ව දන් දිය යුත්තක් නොදැක
වියළමින් සිටි තල දෝතක් පමණක්ම පූජා කළෙමි. අනායාසයෙන් වුවද
සද්ධාසම්පන්න ව බුදුරජාණන් වහන්සේට පිදූ ඒ දානය පමණකින් මේ දිව්‍ය
සම්පත් ලදිමි.’ යි ප්‍රකාශ කළා ය.
තවද එකල්හි නමින් අප්‍රසිද්ධ වූ එක්තරා කාන්තාවක් පතිව්‍රතා ධර්මය
ආරක්ෂා කරමින් ජීවත් වූවා ය. ස්වාමි පුරුෂයාට කීකරු ව ඔහුගේ සිත් පරිදි
පැවතුණාය. පුතකු රක්නා මවක මෙන් ඔහුට මිහිරි කෑම බීම ලබාදීමෙන් ද ඔහුගේ
වරද ඉවසීමෙන් ද ගරුසරු දැක්වීමෙන් ද ඇප උපස්ථාන කිරීමෙන් ද කටයුතු කළ ඈ
පන්සිල් රකිමින් ද අන් පුරුෂයන් දෙස රාග සිතින් නොබලමින් ද ශ්‍රද්ධාදී
කුසලයෙන් යුක්ත ව ද ජීවත් වූවා ය. එහෙත් ඒ අතුරෙහි එක්තරා රෝගයක්
වැළඳුණු ඈ එයින්ම කාල ක්‍රියා කළා ය.
මෙලොවින් සමුගත් ඈ තව්තිසා දෙව්ලොව සුවිසල් දෙව්විමනක දෙවඟනක වී
උපන්නීය. මුගලන් මහ තෙරුන් වහන්සේ තව්තිසා භවනට වැඩමකළ වේලේ ඒ දෙවඟන
පරිවාර දෙවඟනත් පිරිවරා ගැලක් පමණ වූ ආභරණවලින් සැරසී මහත් දිව්‍ය
සම්පත් විඳිමින් හිඳිනු දැක ඒ දෙව් විමන කරා වැඩම කළහ. එවිට පිරිවර
සහිතව පැමිණි ඒ දෙවඟන මුගලන් මහ තෙරුන් වැඳ එකත්පස් ව සිටි වේලේ
උන්වහන්සේ ඈ අමතා ප්‍රශ්න කළ සේක.
‘එම්බා දේවතා දුවණියනි, තොපගේ මේ විමානය නොයෙක් රත්නවලින් විසිතුරු වූ
බිත්ති, පියගැට මල්ලිකයකමින්ද විචිත්‍ර චිත්‍රකත් මයන්ගෙන් ද ශෝභමානය.
පවුරු වාසලින්, උයනින්, පොකුණින් ගල්තලාවෙන්, කල්ප වෘක්ෂාදියෙන්
අලංකෘතය. අවට පරිසරය පක්ෂීන්ගේ මධුර මනෝහර නාදයෙන්ද ලාළනයෙන්ද යහපත්ය.
මේ හැමට හිමිකම් ඇතිව මහානුභාව සම්පන්න රූප ශ්‍රී ඇතිව සිටින තී පූර්ව
ජාතියෙහි මනුෂ්‍ය ලෝකයේදී කුමන කුශලයක් කරන ලදුව මේ සම්පත්ති ලද්දීද?’
එවිට ඒ දිව්‍යාංගනාව මෙසේ පිළිවදන් දුන්නා ය. ‘ස්වාමීනි, මම මනුෂ්‍ය
ලෝකයෙහි ඉපිද ශිලාදී ගුණධර්මයෙහි පිහිටා දිවි හිමියෙන් පතිව්‍රතා ධර්මය
ආරක්ෂා කළෙමි. පුත්‍රයකු රක්නා මෑණි කෙනෙකුන්සේ මාගේ ස්වාමි පුරුෂයා
ආරක්ෂා කළෙමි. අනුන්ගේ වරදක් නිසා හෝ ස්වාමි පුරුෂයා කෝපයට පත්ව පරුෂ
වචනයෙන් බිණුව ද පෙරළා පරුෂ වචනයක් නොකීවෙමි. සතුටින් ම මිස කෝප සිතින්
ඔහුගේ මුහුණ නොබැලුවෙමි. දානය, පි‍්‍රය වචනය, අත්ථචරියාව, සමානාත්මතාව
යන සතර සංග්‍රහ වස්තුවෙන් අන්‍යයන්ට සංග්‍රහ කළෙමි. ශ්‍රද්ධාසම්පන්න
වෙමින් කර්මානුකර්ම විපාක පිළිබඳ අවබෝධයෙන් කෑම්, බීම්, වස්ත්‍රාභරණ
ආදිය මැනැවින් දන් දුනිමි. මෙසේ වූ කුශල කර්ම බලයෙන් මේ දිව්‍ය සම්පත්
ලදිමි.’
මුගලන් මහරහතන් වහන්සේ ඒ තොරතුරු කථාව අසා වදාරමින් දිව්‍යාංගනාව
ප්‍රමුඛ දේව සමූහයාට ධර්මය දේශනා කොට වදාළහ. අනතුරුව මිනිස් ලොවට බට
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අබිමුවෙහි මෙපවත් ප්‍රකාශ කොට වදාළහ.
බුදුරජාණන් වහන්සේ ඒ අරමුණු කොටගෙන ධර්මය දේශනා කරමින් බොහෝ දෙනාට හිත
සුව සැලසූහ. |