Print this Article


මිනිස් ජීවිතයක වටිනාකම

මිනිස් ජීවිතයක වටිනාකම

එක්තරා අවස්ථාවක බමුණු තරුණයකු බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියේ ‘ස්වාමීනි, නිවන තිබියදීත්, ඔබ වහන්සේ නිවන් මඟ පෙන්වා දෙද්දීත්, නිවනට පැමිණෙන පුද්ගලයන් මෙතරම් ටික දෙනකු වන්නේ කුමක් නිසාදැ’යි කියාය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ, ‘මා පෙන්වා දෙන මඟ ගමන් නො කරන්නේ නම් එයට මම කුමක් කරම්ද?’ යන්නය.

අපරික්ෂාකාරි රියැදුරන් නිසා ද, අපරාධකරුවන් නිසාද, මිනිසුන්ගේ නොසැලකිලිමත් බව නිසාද, සිය දිවි හානිකර ගැනීම් නිසාද දිනපතා විනාශ වන මිනිස් ජීවිත සංඛ්‍යාව කෙතෙක් ද?. ලොව පුරා විවිධ රටවල කෙරෙන යුදගැටුම් වලින් වනසාලන ජීවිත සංඛ්‍යාවද අති විශාලය. මේ හැර, වැළැක්විය හැකි රෝගාබාධ හා මිනිසුන්ගේ විවිධ නොමනා ක්‍රියාකාරකම් නිසාද දිනපතා විනාශ වී යන ජීවිත සංඛ්‍යාවද ඒ අයුරින්ම විශාලය.මේ කරුණු ගැන සිතා බලන විට මිනිස් ජීවිතයක වටිනාකම ගැන මිනිසුන්ට හැඟීමක් හෝ වැටහීමක් නැති බව පැහැදිලි වේ.

‘දුල්ලභංච මනුස්සත්තං’, ‘කිච්ඡෝ මනුස්ස පටිලාභෝ’ යනාදී වශයෙන් මිනිසත් බවේ දුර්ලභත්වයත් බුදුදහම අවධාරණය කරයි. ජිග්ගල සූත්‍රයන්හි මෙන්ම බාලපණ්ඩිත සූත්‍රයේද උපමාවක් දක්වමින් බුදුරජාණන් වහන්සේ මිනිසත් බවේ දුර්ලභත්වය ශ්‍රාවකයිනට පැහැදිලි කර දුන්නේ මේ අයුරිනි.

එක් සිදුරක් ඇති වියදඬුවක් මුහුදේ පාවෙමින් තිබේ. උතුරෙන් හමන සුළඟින් එය දකුණු දිසාවටද, දකුණෙන් හමන සුළඟින් උතුරු දිසාවටද , පෙරදිගින් හමන සුළඟින් අපරදිගටද, අපරදිගින් හමන සුළඟින් පෙරදිගටද ගසාගෙන යයි. මුහුද යට සිට අවුරුදු සියයකට වරක් මතුපිටට පැමිණෙන කණ කැස්බෑවකු මේ වියදඬුවේ සිදුරෙන් හිස දමා අහස බලන්නට අවස්ථාවක් ලදහොත් එය කෙතරම් නම් දුර්ලභ කරුණක්ද? දුගතියක උපත ලබා සිටි සත්ත්වයකු මිනිස් උපතක් ලැබීම මේ සිදුවීමටද වඩා දුර්ලභ කරුණකි.

ඒ නිසා කවර තරාතිරමේ මිනිසකු වුවද, ඒ මිනිස් බව ලැබීම පමණක් වුවද අතිශයින් දුර්ලභ වූ භාග්‍යසම්පන්න තත්ත්වයක් උදාවීමකි. මේ නිසා බුදුදහමේ ඕනෑම මිනිසකුට අමතනු ලබන්නේ පින්වතකු ලෙසිනි. කිසිදු මිනිසෙක් පව්කාරයෙක් නොවෙයි.

පැරණි විග්‍රයන්හි පෙන්වා දෙන ආකාරයට, මනුගේ පරම්පරාවෙන් පැමිණි නිසා ‘මනුෂ්‍යයා’ යි ව්‍යවහාර වන බව කියනු ලැබේ. එහෙත් බෞද්ධ විග්‍රහය වන්නේ උසස් මනසක් ඇති නිසා ‘මිනිසා’ වන බවය. (මනස්ස උස්සන්නතාය මනුස්සා) සියලු සත්ත්වයන් අතර ඉහළම චින්තන ශක්තියක් ඇත්තේ මිනිසාටය. සත්ත්වයකු විසින් පත් විය හැකි උත්තම තත්ත්වය ලෙස පෙන්වා දෙන බුද්ධත්වයට පත් විය හැක්කේද, චක්‍රවර්ති රාජත්වයට පත්විය හැක්කේද මිනිසාට පමණය. එසේද වුවත් ඒ උසස් තත්ත්වයට නිගා දෙමින් තිරිසන් සතුන් මෙන් හැසිරෙන මනුෂ්‍ය තිරශ්චීනයෝද, පේ‍්‍රතයන් මෙන් හැසිරෙන මනුෂ්‍ය පේ‍්‍රතයෝද, නිරිසතුන් මෙන් හැසිරෙන මනුස්ස නේරයිකයෝද සිටිති.

මිනිස් ලොව ආයුකාලය ඉතා දීර්ඝ නොවේ, ඉතා කෙටි ද නොවේ. එසේම, මිනිස් ලොව දැඩි දුක් සහිත තැනක්ද නොවේ. උපත , විපත, ලෙඩවීම, ජරාවට පත්වීම, මරණය නිරන්තරයෙන් දක්නට ලැබෙන තැනකි. මිනිස් ලොව එය, විමුක්තිය සඳහා දැක ගත යුතු, තේරුම් ගත යුතු අනිත්‍යතාව , දුක්ඛතාව හා අනාත්මතාව යන ත්‍රිලක්ෂණය පහසුවෙන් වටහා ගැනීමට ඉතා සුදුසු ස්ථානයකි. මිනිසුන්ද, සතුන්ද, භෞතික ද්‍රව්‍යයන්ද අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් හා අන්තර්පරායත්තතාවෙන් යුතුව පවත්නා ආකාරය ( පරපටිබද්ධතාව) ද ඉතා මැනවින් දැක ගැනීමට සුදුසු ස්ථානයකි. මිනිස් ලොව,

දෙවියකු දේවලෝකයෙන් චුත වන අවස්ථාවේ දී සෙසු දෙවිවරු ඔහුට ‘මෙතැනින් ඉවත්ව ගොස් සුගතියේ උපදින්නැ’යි (=ඉතෝ භෝ සුගතිං ගච්ඡ),ආශිර්වාද කරතියි ඉතිවුත්තක පාලි ග්‍රන්ථයේ සඳහන් වේ. සුගති ගමන ලෙස දෙවියන් අදහස් කළේ මිනිසත් බව ලැබීම බව බුදුහාමුදුරුවෝ පෙන්වා දුන් සේක. ( =මනුස්සත්තං ඛෝ භික්ඛු සුගතිගමන සංඛාතං - පුබ්බනිමිත්ත සූත්‍රය)

වරක් දෙවියන්ගේ නායකයා වන ශක්‍රදේවේන්ද්‍රයා ගමනක් යෑමට සූදානම් වී සෑම දිසාවකටම වඳීන්නට විය. එවිට මාතලී රියැදුරා මෙසේ ප්‍රශ්න කර සිටියේය.

සියලු මිනිසුන්ද සතරවරම් දෙවිවරුද ඔබතුමාට වඳිති. සක් දෙවිඳුනි, මෙසේ ඔබ වඳින්නේ, කවරකුටද? ශක්‍ර දේවේන්ද්‍රයාගේ පිළිතුර මෙයයි.

යේ ගහට්ඨා පුඤ්ඤතරා
සීලවන්තෝ උපාසකා,
ධම්මේන දාරං පෝසෙන්ති
තේ නමස්සාමි මාතලී.

“සිල්වත් වූ, පින්කරන යම් උපාසකයකු ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරත්ද, මාතලී, මම ඔවුනට වඳිමි.”

මෙසේ දෙවියනට අධිපති ශක්‍රදේවේන්ද්‍රයාගෙන් පවා වැඳුම් ලැබීමට සිල්වත් ගුණවත් මිනිසා සමත් බව බුදුදහම පෙන්වා දෙයි.

මිනිසාට ඇති ශක්තිය පිළිබඳව, බුදුදහමෙහි තරම් අන් කිසිදු ආගමක, දහමක හෝ දර්ශනයක ඇගැයීමට ලක් කර නැතැයි කිව යුතුය. බුදුදහමේ ඉගැන්වෙන හැටියට ඕනෑම මිනිසකුට වැරවෑයමින් බුද්ධත්වයට ද පත් විය හැකිය. විකල්ප තෝරාගෙන ගමන් මග තනා ගැනීමටත්, වුවමනා අරමුණ ඉටු කර ගැනීමටත් කිසිදු බාහිර බලවේගයක මැදිහත් වීමේ අවශ්‍යතාවක් මිනිසාට නැතැයි අවධාරණය වේ.

දිනක් එක්තරා බමුණු තරුණයෙක් බුදුරජාණන් වහන්සේ සමීපයේ දී මෙසේ කීවේය. “ස්වාමීනි, මිනිසාට සිතා බලා ක්‍රියාකිරීමේ ශක්තියක් නැතැයි මගේ පිළිගැනීමයි.”

“ඔබට කැමති නම් ඉදිරියට එන්නත්, කැමති නම් ආපසු යන්නත් පුළුවන් බව ඔබ පිළිගන්නවාදැ”යි බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කළහ. “එය පුළුවන් බව පිළිගන්නවා” යි තරුණයා පිළිතුර දුන්නේය. සිතා බලා ක්‍රියාකිරීමේ ශක්තිය එයම බව බුදුහාමුදුරුවෝ වදාළහ. තවදුරටත් පැහැදිලි කරමින්, මිනිසාට යම් ක්‍රියාවක් ආරම්භ කිරීමේ

ශක්තිය (ආරම්භකධාතු) එය ඉදිරියට ගෙන යෑම් ශක්තිය (නික්ඛමධාතු) වීර්යයෙන් යුතුව ක්‍රියා කිරීමේ ශක්තිය (පරක්කමධාතු) බලවත් වීර්යයක් ඇති කර ගැනීමේ ශක්තිය (ථාමධාතු) ස්ථාවරත්වය ලබාගැනීමේ ශක්තිය (ඨිතිධාතු) හා බාධා මැඩපවත්වා ක්‍රියාකිරීමේ ශක්තිය (උපක්කමධාතු) ඇති බව විස්තර වශයෙන් වදාළහ. අත්තකාර සූත්‍රයෙහි මේ කරුණු ඇතුළත් වේ.

අනුන්ගේ සරණ නොපතා තමන්ට සරණ කොට ගෙන, තමන්ම පිහිට කොට ගෙන ජීවත් වන ලෙස බුදුහාමුදුරුවෝ මිනිසාට අනුශාසනා කළ සේක. (අත්ත සරණා අනඤ්ඤසරණා) බුදුවරුන් මඟ කියා දෙන ශාස්තෘවරුන් පමණක් බවත්, ඒ මඟ ගමන් කිරීම ඒ ඒ පුද්ගලයාගේම කාර්යයක් බවත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ සේක. (තුම්හේහි කිච්චං ආතප්පං ,අක්ඛාතාරෝ තථාගතා)

එක්තරා අවස්ථාවක බමුණු තරුණයකු බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියේ ‘ස්වාමීනි, නිවන තිබියදීත්, ඔබ වහන්සේ නිවන් මඟ පෙන්වා දෙද්දීත්, නිවනට පැමිණෙන පුද්ගලයන් මෙතරම් ටික දෙනකු වන්නේ කුමක් නිසාදැ’යි කියාය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ, ‘මා පෙන්වා දෙන මඟ ගමන් නො කරන්නේ නම් එයට මම කුමක් කරම්ද?’ යන්නය.

මෙසේ, මිනිසාට ඇති ශක්තිය ඇත්තෙන්ම මිනිසා නොදනියි. එනිසා, බුදුහාමුදුරුවෝ ඒ බව යළි යළිත් අවධාරණය කරති. මේ අවධාරණය මැනැවින් ප්‍රකට කෙරෙන අනුශාසනයකි පහත සඳහන් වන්නේ.

“මහණෙනි,අකුසල් ප්‍රහාණය කිරීමට ඔබට පුළුවන. අකුසල් ප්‍රහාණය කිරීමට ඔබට නොහැකි නම්, “අකුසල් ප්‍රහාණය කරන්නැ’යි මම ඔබට නොවදාරමි. මහණෙනි, කුසල් දහම් වැඩිය හැකිය. කුසල් දහම් වැඩිය නොහැකි නම් ‘කුසල් වඩන්නැ’යි මම ඔබට නොවදාරමි.”

අප ගත කරන්නේ මරණයෙන් සියල්ල අවසන් වන ජීවිතයක් නොවේ. මරණයෙන් සියල්ල අවසන් වේ නම් මේ කරන කිසිදු ආගමික කාර්යයක් සඳහා මෙසේ වෙහෙස විය යුතු නැත. යහපත් ක්‍රියා ඉටුකර මෙතැනින් මිය ගොස් සුගතියක උපත ලැබීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. එහෙත් සුගතියක එසේ උපදින තැනැත්තා යළි එතැනින් චුතව දුගතියක උපදිත හොත් නැවත සුගතියකට ඒම හෙවත් මිනිසකු වීම කණකැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමක් වැනිම දුර්ලභ සිද්ධියකි. එනිසා මිනිසත් බව ලබා ඇති මේ මොහොතේ හොඳ සිහියෙන් යුතු මිනිසා කළ යුත්තේ ඊළඟ භවය සුගතියක ඉපදීම සඳහා අවශ්‍ය දෑ කිරීම සඳහා වෙහෙසීම ම නොවේ. නැවත කිසිදා දුගතියක නූපදින තත්ත්වය තමන් තුළ වර්ධනය කර ගැනීමය. ඒ ශක්තිය මේ ජීවිත කාලය තුළදී තමන් තුළ වර්ධනය කර ගැනීම මේ මිනිස් ජීවිතයෙන් ලබා ගත යුතු සැබෑ ඵලයයි.

බුදුරජාණන් වහන්සේ මේ තත්ත්වය මිනිසාට අවධාරණය කරමින් නැවත නැවතත් දහම් දෙසා ඇත. එහෙත් මිනිස්සු ඒ බව වටහා ගැනීමට අපොහොසත්ව සිටිති. උපන්දා සිට ඉටු කරන අනේක විධ ආගමික කටයුතු කරමින් ‘අපිද බෞද්ධයෝ වම්හ ‘යි තෘප්තියට පත්ව, පුද පූජා වන්දනාමානයෙහිම නිරත වූ පමණින් භවගාමී අනාගත ජීවිතයේ ඇති අවදානම නැතිව නොයෙයි. මේ නිසා, බෞද්ධ ඉගැන්වීමට අනුව, මනුෂ්‍යත්වයේ මෙන්ම බෞද්ධකමේ ඵලය ලබාගැනීමට නම් දහමෙන් පොරොන්දු වන,අනාගත සුරක්ෂිතතාව පිළිබඳ සහතිකය මිය යාමට පළමු ලබා ගත යුතුව ඇත. එයට අපොහොසත් වුවහොත් මේ ජීවිතය අපතේ ගියා වෙයි. තමන් විසින්ම තමන් අගාධයට ඇද දැමුවා වෙයි.

නැවත කිසිදා දුගතියක නූපදින ලෙස කටයුතු සම්පාදනය කර ගැනීමේ ශක්තිය මේ ගත කරන ජීවිතයේම මිනිසාට ඇතැයි ප්‍රකාශ කිරීමට පමණක් නොව, ඒ සඳහා ආරම්භ කළ යුතු පිළිවෙත හෙවත් ක්‍රියාමාර්ගය මේ යැයි පෙන්වා දීමටද දහම් දෙසූ ශාස්තෘවරයෙකි බුදුරජාණන් වහන්සේ. ඒ පිළිවෙත මේ දැන් ගතකරන කාමභෝගී ජීවිතයෙන් ඉවත් වී , පැවිදි වී හෝ වනගත වී හෝ කළ යුතුම යැයි උන්වහන්සේ නොවදාළහ. ඍජුව හා ඉක්මණින් ඒ පිළිවෙතෙහි පිහිටීමට නම් එසේ වීම සුදුසු බව ඇත්තකි. එහෙත් එයට අපොහොසත්ව කාමභෝගි ජීවිත ගත කරන කවරෙකු හට වුවද භවගමනේ අවදානම් කලාපයෙන් ඉවත් වී අධි ආරක්ෂා සහිත කලාපයට ප්‍රවේශවීමට පුළුවන්කම තිබේ. එය කළ හැක්කේ පුහුදුන් බව ඉක්මවීමෙනි.

ඇත්තෙන්ම බෞද්ධයන් දහම් අසනවා යැයි ඇසිය යුත්තේ පුහුදුන් බව ඉක්මවා දහම් මඟට එළඹෙන අයුරු අසා දැන ගැනීමටය. එමෙන්ම, ආගමික කටයුතු කරනවා යැයි කළ යුත්තේ ද අසා දැනගත් ඒ දහම ක්‍රියාවට නංවා දහම් මගෙහි ස්ථාවරත්වය ලැබීමය.එසේ නැතිව හුදෙක් ආගමික කටයුතු, පුද පූජාවලට, වන්දනාමානවලට සීමා කර ගැනීම අයාලේ යෑමක් බව පෙළදහමට අනුව නිගමනය කළ යුතුය.