Print this Article


පැහැබර සිත ජීවිතය විනිවිද දකී ප්‍රඥාව දියුණු කරගැනීමට නම්...

පැහැබර සිත ජීවිතය විනිවිද දකී

ප්‍රඥාව දියුණු කරගැනීමට නම්...

මෙම ලිපියෙහි මුල් කොටස ඉල් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළ විය.

සුබ නිමිත්ත යනු ආයතනවලින් ගනු ලබන පි‍්‍රයමනාප අරමුණු ය. එනම් ඇසින් දකින පි‍්‍රයමනාප රූප ය. කනින් අසන පි‍්‍රයමනාප ශබ්දය. නාසයෙන් ආඝ්‍රාණය කරන පි‍්‍රයමනාප ගඳ සුවඳ ය. දිවෙන් විඳින පි‍්‍රයමනාප රසය. කයින් ලබන පි‍්‍රයමනාප පහස ය. සිතින් දැනගන්නා පි‍්‍රයමනාප අරමුණු ය. සිත තුළ රාගයක් ඉපදීමට උපකාරී වන ආකාරයෙන් මෙම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි, පි‍්‍රයමනාප වශයෙන් පිළිගෙන, ඒවා පිළිබඳව නුවණින් තොර ව කල්පනා කිරීම තුළ කාමච්ඡන්ද නීවරණය උපදී. එම නිසාම සිතින් කයින් වචනයෙන් සිදුවන යම්තාක් අකුසල ධර්මයෝ වෙත් ද ඒවා ක්‍රියාත්මක වන්නට පටන් ගනී. එසැණින් ම සිතේ දියුණුව අකර්මන්‍ය වේ.

කාමච්ඡන්ද නීවරණයෙන් සිත ආරක්ෂා කර ගැනීමට නම් කළ යුත්තේ සුබ නිමිති වශයෙන් පිළිගත් දේ අසුබ නිමිති වශයෙන් පිළිගෙන, අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමයි. මෙය පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මේ සඳහා නුවණ සහ වීරිය බලවත් ව ඇති කර ගත යුතු ය. සුබ නිමිත්ත අසුබ නිමිත්තක් ලෙස දැකීම යනු පි‍්‍රයමනාප නිමිති අපි‍්‍රය අමනාප වශයෙන් සැලකීම නම් නොවේ. ඊට වඩා හාත්පසින් ම වෙනස් වූ දෙයකි. එනම්, සුබ වශයෙන් පිළිගත් නිමිති දෙස ඒවායේ යථා ස්වභාවය අවබෝධ වන ආකාරයට බැලිය යුතු ය. රූපයක් නම් එහි පිළිකුල් ස්වභාවය නුවණින් මෙනෙහි කළ යුතු ය. රාගය ඉපදීමට හේතුවන ශබ්දයත්, ගන්ධයත්, රසයත්, පහසත්, අරමුණක් නම් ඒවායේ හරයක් නැති බව, ළාමක වූ දෙයක් බව, හිස් බව, බොල් බව, අසාර බව, තුච්ඡ බව, අනිත්‍ය බව නුවණින් මෙනෙහි කළ යුතු ය. එවිට කාමච්ඡන්දයෙන් සිත නිදහස් වී පිරිසුදු වේ. හටගැනීමට තිබූ අකුසල් නිරුද්ධ වී යයි. සිත මැනවින් ආරක්ෂා වේ.

ව්‍යාපාද නීවරණය

ව්‍යාපාද නීවරණය සිත පිරිහීමට බලපාන දෙවෙනි නීවරණ ධර්මය වේ. ව්‍යාපාදය යනු තරහ ස්වභාවයයි. ක්‍රෝධ සහගත ස්වභාවයයි. තරහත්, ක්‍රෝධයත් සිත තුළ උපන් කල සිත මුළුමනින් ම තරහට, ක්‍රෝධයට නතු වී සිටියි. යමක පවතින සැබෑ තත්ත්වය ඒ ආකාරයෙන්ම දැකිය නො හැකි මට්ටමකට සිත පත් වේ. මෙම ව්‍යාපාද නීවරණය හට ගැනීමට ද කරුණු දෙකක් බලපායි. එනම් පටිඝ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරයයි.

පටිඝ නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මකවීම හේතු කොටගෙන ව්‍යාපාද නීවරණය උපදී. පටිඝ නිමිත්ත යනු තරහව හෝ ක්‍රෝධය හට ගැනීමට හේතු වූ කරුණු ය. එම කරුණ මත නුවණින් තොරව කල්පනා කරන විට අනවබෝධයෙන් සිතන විට උපදින්නේ ව්‍යාපාද නීවරණයයි. මෙම පටිඝ නිමිත්තට අනුග්‍රහ කරන්නේ ද රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතිවිලි ය. මේවා අපි‍්‍රය අමනාප වශයෙන් පිළිගෙන අනවබෝධයෙන් කල්පනා කරන විට ව්‍යාපාද නීවරණය හට ගනී. එනම් තරහට හේතු වන කාරණාව මත නුවණින් තොරව සිතීමයි. මෙවිට ද සිදුවන්නේ සිත තුළ නොයෙකුත් ආකාරයේ අකුසල ධර්ම හට ගැනීමයි. එවිට සිතින්, කයින්, වචනයෙන් නොමනා දේවල් සිතන, කරන, කියන කෙනෙක් බවට පත් වේ. එ නිසා ම බරපතළ ව්‍යසනයන්ට මුහුණ දෙන්නට සිදු වන අතර ජීවිතයට විශාල අනර්ථයක් උදාකර දෙයි. ජීවිතය තුළ පැවති සාමාකාමී බව මුළුමනින්ම අහෝසි වී යයි.

මෙම ව්‍යාපාද නීවරණයෙන් සිත නිදහස් කරන්නට නම් කළ යුත්තේ එම නීවරණය හට ගැනීමට හේතු වූ කරුණු නිරුද්ධ කර දැමීම ය. තරහව ක්‍රෝධය හට ගැනීමට උපකාරී වූ අරමුණු තුළම මෛත්‍රිය පිහිටුවා ගෙන, එම මෛත්‍රියට අනුව දිගින් දිගටම නුවණින් කල්පනාව හැසිරවීමය. හටගත් පටිඝ සහගත සිත කාලයාගේ ඇවෑමෙන් නැති වී යන්නට ඉඩ ප්‍රස්තා සැලසුවහොත්, එය නැති වී යන්නේ ජීවිතයටත්, සිතටත් බරපතළ හානියක් උදාකර දෙමිනි. එම නිසා ම උපන් ව්‍යාපාද නීවරණය ප්‍රහාණ කළ යුත්තේ අවබෝධයෙන්ම ය. සිහියෙන්මය. මෙය පහසු කටයුත්තක් නොවුනත් පුද්ගලයන් පිළිබඳ ව හටගත් තරහව ඒ පුද්ගලයා පිළිබඳව මෛත්‍රිය ම උපදවා ගෙන, මෛත්‍රියම බලවත් කරගෙන කල්පනාව හසුරුවන්නට හැකි වුවහොත් එය විශාල දියුණුවක් මෙන්ම ජයග්‍රහණයකි. එවිට නැති වී ගිය ජීවිතයේ සාමකාමී බව යළිත් හිමි වේ.

ථීනමිද්ධය

තුන් වෙනි නීවරණය වන්නේ ථීනමිද්ධයයි. සිතෙහි සහ කයෙහි ප්‍රාණවත් බවත් ක්‍රියාශීලී ස්වභාවයත් ධර්මාවබෝධයට අත්‍යවශ්‍ය කරුණකි. එබඳු ස්වභාවයක් ජීවිතයක් තුළ නොමැති වුවහොත් ගුණ ධර්මවල පිරිහීම අත්‍යන්තයෙන් ම සිදුවන දෙයකි. ථීනමිද්ධ නීවරණය තුළින් සිදුවන්නේ ද එයයි. ථීන යනු අලස බවයි. කම්මැලි බවයි. මිද්ධ යනු නිදිමතයි. අලස බව ඇති වෙනවත් සමඟම නිදිමත ද පැමිණේ. නිදිමත එන විට අලස බව ද පවතී. මෙම කරුණු දෙකට ජීවිතයේ ඉබාගාතේ හැසිරෙන්නට ඉඩ සැළසුවහොත් සිදුවන්නේ විශාල අනර්ථයකි. එය ජීවිතයේ සෑම පැත්තකටම හානි පමුණුවයි. ආර්ථික, ආධ්‍යාත්මික, ශාසනික අභිවෘද්ධිය මුළුමනින්ම නැතිකොට ජීවිතය වඳ භාවයට පත් කිරීමට මෙම ථීනමිද්ධ නීවරණයට හැකියාව පවතී.

මෙම ථීනමිද්ධ නීවරණය සිතේ හට ගැනීමට බලපාන කරුණු ගණනාවක් ඇත. එම කරුණු තුළ නුවණින් තොරව කල්පනාව හසුරුවද්දී ථීනමිද්ධ නීවරණය හට ගනී. කුසල ධර්මයන් තුළ ප්‍රාණවත්ව නො ඇලීම, කම්මැලිකම, ඈනුම් ඇරීම, බත් මතය, සිතෙහි අලස බව යන මේවා ථීනමිද්ධ නීවරණය හට ගැනීමට හේතු වන කරුණු වේ. මෙම කරුණුවල එක් කරුණක් හෝ සිතට ඇතුළුවුවහොත්, ඒ තුළ සිතේ ඕනෑම ආකාරයකට හැසිරෙන්නට කල්පනාව මුදාහළහොත් ථීනමිද්ධ නීවරණය හටගැනීම ඒකාන්තයෙන්ම සිදුවන දෙයකි. ඉහත කී හේතු මත අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කිරීම ථීනමිද්ධ නීවරණයට හේතුවයි.

මෙම නීවරණයෙන් සිත නිදහස් කර ගැනීමට නම්, උපන් ථීනමිද්ධය ප්‍රහාණය කිරීමට නම් ගතේ සිතේ දෙකේ ම ප්‍රාණවත් බව ඇති කර ගත යුතු ය. මේ සඳහා අවශ්‍ය වන්නේ නුවණින් යුතුව කල්පනාව හසුරුවමින් වීරිය බලවත් කර ගැනීමයි. එම වීරිය ද ආකාර තුනකින් ක්‍රියාත්මක කළ යුතු ය.

උද්ධච්ච කුක්කුච්ච නීවරණය

හතරවෙනි නීවරණ ධර්මය වන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවරණයයි. සිතෙහි එකම ස්වාභාවයකින් දෙයාකාරයකින් ක්‍රියාත්මක වන මෙම නීවරණය ද සිතේ දියුණුව මුළුමනින්ම අවුරා දමයි. මෙම නීවරණය ක්‍රියා කිරීමට හේතු වන්නේ ද නුවණින් තොරව කල්පනාව හැසිරවීමයි.

උද්ධච්ච යනු සිතේ නොසන්සුන්කමයි. කුක්කුච්ච යනු පසු තැවීමයි. අතීතය හාරා අවුස්සමින් පසු තැවි තැවී සිටීම, නො පැමිණි අනාගතය ගැන සිතා කනස්සල්ලෙන් සිටීම, මුහුණ පා සිටින ගැටලුවලට නුවණ යොමු නොකර අසිහියෙන් කටයුතු කිරීම ආදී හේතු මුල් කරගෙන මෙම උද්ධච්ච කුක්කුච්ච නීවරණය හට ගනී. මෙම නීවරණයෙන් සිත ආරක්ෂා කර ගැනීමට නම් කළ යුත්තේ කළබල නොවී ඉවසීමෙන් සිත සංසිඳෙන පිළිවෙළට කල්පනාව හැසිරවීමයි. කලබල වී ඇති, නොසන්සුන් වී ඇති සිත දෙස අවබෝධයෙන් බලා හිඳිමින් සිතේ ස්වභාවයට ගැළපෙන ආකාරයෙන් සංසිඳුවා ගත යුතු ය. මේ සඳහා යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යමය. ඉවසීම පුරුදු කළ යුතුමය.

විචිකිච්ඡා නීවරණය

නීවරණ ධර්මයන්ගේ පස්වෙනි නීවරණය වන්නේ විචිකිච්ඡා නීවරණයයි. විචිකිච්ඡාව යනු සිතේ සැක සංකා සහගත ස්වභාවය පැවතීමයි. සිතක සැක සංකා සහගත ස්වභාවය පවතින තාක් කල් හරි, වැරැද්ද, යහපත, අයහපත, කළ යුතු, නොකළ යුතු දේ පිළිබඳව අවබෝධයන් වැටහීමක් ඇත්තේම නැත. එනිසා නිවැරදි දේ යයි සිතා වැරදි දේම තෝරාගනී. යහපත් දේ යයි සිතා අයහපත් දේ ම තෝරා ගනී. කළ යුතු දේ යයි සිතා නොකළ යුතුම දේ කරයි. මෙ නිසා ජීවිතය අවුල් බවට පෙරළෙයි. මෙම විචිකිච්ඡා නීවරණය සිත තුළ පවතින තාක් ම ජීවිතයට සිදුවන අනර්ථය සුළු පටු නොවේ. නිවැරදි අවබෝධයක් නැතිකම නිසා ම සැකය ඉපදීමට හේතුවන කරුණු මත නුවණින් තොරව කල්පනාව හැසිරවීම නිසා මෙම විචිකිච්ඡා නීවරණය හට ගනී.

නිවැරදි අවබෝධය, පිරිසුදු කල්පනාව, සත්‍ය වටහා ගැනීමේ හැකියාව නොමැති තැන උපදින්නේ විචිකිච්ඡාවයි. මෙම නීවරණයෙන් සිත නිදහස් කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ කරුණු ගණනාවක් පෙන්වා දී ඇත. කුසල් සහ අකුසල් සහගත ධර්මයන් තුළත්, වැරදි සහ නිවැරදි ධර්මයන් තුළත්, ළාමක සහ උසස් ධර්මයන් තුළත්, පින් සහ පව් පිළිබඳවත් නුවණින් යුක්තව කල්පනා හැසිරවීම මත මෙම විචිකිච්ඡා නීවරණයෙන් නිදහස් විය හැකි ය. ඒ සඳහා ප්‍රඥාව විනිවිද යන මනසිකාරයක් සකස් කර ගත යුතුමය.

සිත නිදහස් කරගැනීම

මේ ආකාරයෙන් නීවරණ ධර්මයන් පිළිබඳවත් නීවරණ ධර්මයන්ගේ හටගැනීම පිළිබඳවත්, උපන් නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන ආකාරය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තිබිය යුතුම ය. එසේ නොමැති වුවහොත් ධර්මය ප්‍රගුණ කළ නොහැකි මට්ටමට ම සිත පිරිහීමට පත් වේ. එම නිසා ශාසනික අභිවෘද්ධියක් මේ උතුම් බුද්ධ ශාසනය තුළ දී ම අපේක්ෂා කරන සියලු දෙනා ම සිත තුළ බල පවත්වන නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම පිළිබඳ ව වඩාත් අවධානය යොමු කළ යුතුම ය.

ණයට ගත් මුදලින් ව්‍යාපාරයක් ආරම්භකොට ව්‍යාපාරය දියුණු කර ණයෙන් ද නිදහස් වී අපමණ සතුටක් විඳින කෙනෙක් මෙන්, බොහෝ දැඩි සේ ගිලන් ව සිටි රෝගියෙක් එම රෝගයෙන් සුවපත් වී අපමණ සතුටක් ලබනවා මෙන්ම, බන්ධනාගාරගත වූ කෙනෙක් කිසිම මුදලක් වියදම් නොකොට සුවසේ නිදහස් වී අපමණ සතුටක් ලබනවා මෙන්, දාස භාවයෙන් සිර වී සිට කැමති කිසි දෙයක් කරගත නො හැකිව සිටි කෙනෙක් දාස භාවයෙන් නිදහස් වී තමන් කැමති සේ ජීවත්වෙමින් අපමණ සතුටක් ලබනවා මෙන්, අල්ප වූ ආහාරපාන රැගෙන උවදුරු සහිත කාන්තාරයකින් එතෙර වීමට ආ කෙනෙක් එයින් නිරුපද්‍රිත ව එතෙර වී අපමණ සතුටක් ලබනවා මෙන් නීවරණය ධර්මවලින් සිත නිදහස් කර ගත් කෙනා ද, විඳින්නේ අපමණ සතුටකි. සතුටු වූ නිසා ම පී‍්‍රතිය ද බලවත් වේ. මනස පී‍්‍රති සහගත නිසා ම කය ද සංසිඳෙන්නට පටන් ගනී. අපමණ වූ සැපය නිසාම සිතේ සමාධිය ද උපදී. පිරිසුදු ධර්ම ඥානයක් ඇති කෙනෙකුට මෙවන් වූ සමාධියක් උපකාර කරගෙන ප්‍රඥාව දියුණු කර ගැනීම කිසිසේත්ම අපහසු කරුණක් නම් නොවේ.


පසුගිය සතියෙන් -පැහැබර සිත ජීවිතය විනිවිද දකී