Print this Article


ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ

ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ

අලාමක ප්‍රඥා ඇති ගෞතම සම්බුදුපියාණන් වහන්සේගේ එහිපස්සික වූ ශ්‍රී සද්ධර්මයෙන් සැනසුනු ඒ උතුම් ගෞතම සම්බුදු සසුනේ ධර්මකථික තෙරණින් වහන්සේලා අතුරින් අග්‍ර වූ ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේගේ උත්තරීතර ගුණයන් පිළිබඳව සිත් යොමු කරමින් ඒ ගුණ හඳුනා ගනිමු. සිත් පහදවා සැනසෙමු.

මෙයින් කල්ප සියක් දහසකට පෙර පහළ වූ පදුමුත්තර බුදුපියාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ වූ සුජාත තෙරණුවෝ විහාරයෙන් නික්ම පිඩුසිඟා වඩිති. එකල ධම්මදින්නා තෙරණියෝ හංසවතී නුවර එක් කුලයක ඉපිද අනුනට බැලමෙහෙ කොට ජීවත් වූවාය. එකල දිය අදින්නා වූ ඇය පැන් ගෙනයමින් සිටින විට සුජාත තෙරුන් වහන්සේ දැක සිත පහදවාගෙන සියතින් කැවුම් පිසුවාය. එය පිළිගත් උන්වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස එතනම හිඳ වැළඳූ කළ ගෙට කැඳවාගෙන ගෙන ගොස් ආහාර පිළිගැන්වීය.

මෙලෙස සිදුකළ යහපත් කුසල ක්‍රියාව කෙරෙහි පැහැදුනු සිත් ඇති හාම්පුතා ඇය විවාහර කර ගනී. පසුව සැමියා සමගින් බුදුරජාණන් වහන්සේ පිදීම උදෙසා යන්නීය. එම අවස්ථාවේදී එක්තරා භික්ෂුණියක් ධර්මකථික තනතුරෙහි තබනු දැක ඒ කෙරෙහි පැහැදී සංඝයා වහන්සේ ඇතුළු පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට මහාදානයක්දී එම තනතුරු ප්‍රාර්ථනා කළාය. භාග්‍යවත් පදුමුත්තර බුදුජාණන් වහන්සේ එය සමෘද්ධ වන බව නුවණින් දැක සංඝයාට දුන් දාන ආනිශංසයෙන් එම ප්‍රාර්ථනාව සමෘද්ධ වන බව ප්‍රකාශ කොට වදාළ සේක.

ගුණයෙන් වැඩුණු මනස ඇති ඕතොමෝ කල්ප සියක් දහසකට පසු පහළවන්නාවූ ගෞතම සම්බුදු සසුනේ ධම්මදින්නා නම් ධර්ම කථික ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නී යැයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

එයින් සතුටු වූ ඕ තොමෝ’’ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ජීවිතාවසානය දක්වා මෙත් සිතින් සිවුපසයෙන් උපස්ථාන කළාය. මෙවන් වූ යහපත් ක්‍රියා හේතුවෙන් මිනිස්ලොවින් චුතව තව්තිසා භවනෙහි සැපයෙන් වාසය කළෝය. මහාභද්‍රකල්පයෙහි පහළ වූ කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ සමයෙහි බරණැස්නුවර කිකී නම් වූ රජුගේ හයවැනි දියණිය සුධම්මා නම් විය. බුදු හිමිගෙන් බණ අසා පැවිද්ද ලැබීමට කැමති වුවද පියරජුගේ අවසරය නොලද්දී. සමණගුත්තා, භික්ඛුදාසිකා, ධම්මා, සුධම්මා සංඝ දාසිකා යන සත් සොහොයුරියෝ බඹසර හැසිරෙමින් බුද්ධෝපස්ථානයෙහි නිරත වූහ. සහෝදරියෝ බුදුපියාණන් වහන්සේට ආරාමයක් තනා පූජාකොට අනන්ත පින්කම් සිදුකොට මිනිස් සිරුර හැර තව්තිසා දිව්‍ය ලෝකයට ගියෝය.

අප ගෞතම බුදුපියාණන් වහන්සේ පහළ වූ කළ දෙව්ලොවින් චුතව මගධයෙහි සියලු සැපතින් අනූන වූ සිටුකුලයක උපන්නීය. රූපයෙන් හා ගුණයෙන් යුතුවූ විශාඛ සිටුකුමරු හා විවාහ වී සුවසේ වාසය කරන ලදී. විශාඛ සිටු බිම්බිසාර රජු සමඟ බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් පළමු දිනම පැහැදී සතුටුව බණ අසා අනාගාමී ඵලයට පැමිණියේය. ආපසු සිටු මැදුරට පැමිණ පෙර දිනවලදී මෙන් බිරිඳ සමඟ කිසිත් කථා නොකොට නිහඬවම විශාඛ සිටුවරයා ආහාර අනුභව කළේය. විශාඛ සිටු දහම් අවබෝධ කළ බැව් අසා තමාද පැවිදිවීමට කැමති බව දැන්වූ කළ විශාඛ සිටුවරයා රන්සිවිගෙයක ඇය නංවා මෙහෙණි ආරාමයකට ගෙන යන ලදී. එහිදී ඕ තොමේ පැවිදි භූමියට සැපත්වූහ.

ඉන්පසු ඕ තොමේ මාගේ ස්වාමියා ගිහිව සිටම දහම් අවබෝධ කළේය. පැවිදිවීත් මා දහම් අවබෝධ නොකෙළෙමි නම් ඉතා නුසුදුසුයැ යි සිතා විවේකාස්ථානයකට ගොස් විදසුන් වඩා සිව්පිළිසිඹියා පත් සහිත ධම්මදින්නා මහරහත් උත්තමාවියක බවට පිළිපන්වූ සේක.

සසර දුකින් මිදුනාවූ ධම්මදින්නා මහරහත් තෙරණියෝ තමන් වහන්සේ ලද විමුක්ති සුවය පිළිබඳව දේශනා කොට වදාළ සේක.

“ඡන්දජාතා අවසායි මනසාච පුඨාසියා

කාමෙසු අප්පටිබද්ධචිත්තා උද්ධං සොතාති වුච්චතීති”

“නිවන් දකින්නට හිතේ ආසාව ඇති වුණේ. වෙන දෙයකට වසඟ වුණේ නෑ. මනසින් නිවන ස්පර්ශ කරගත්තා. කාමයන් පිළිබඳ සිත බැඳී නැති ජීවිතය ඇති අයෙකුට “උඩුගං බලායන්නී “ කියායි ප්‍රකාශ කරන්නේ.”

කාම ගින්නට වසඟ නොවී නිවනින් සැනසුනු සිත් ඇති ධම්මදින්නා මහරහත් තෙරණියෝ රජගහනුවර තම ප්‍රදේශයට යාමට සිත් විය. එතුළින් බොහෝ දෙනා පින් කරගනිතියි ඕ තොමේ සිතු සේක. මෙලෙස ධම්මදින්නා තෙරණිය නගරය කරා එන බව ඇසූ විශාඛ සිටුතෙමේ උන්වහන්සේ ගේ අධිගමය විමසා පඤ්චස්කන්ධාදී වශයෙන් ප්‍රශ්න විචාළේය. ධම්මදින්නා තෙරණියෝ මුවහත් සැතකින් කුමුදු බට සිඳින්නාක් මෙන් ඇසූ ඇසූ පැන විසදාලූහ. විශාඛ වඩා ආර්යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය දිට්ඨී වශයෙන් දේශනා කළ ධර්ම මොනවාද?

ධම්මදින්නා තෙරණිය – විශාඛයෙනි, දැඩි තෘෂ්ණාවට හෙවත් උපාදානයට හේතුවන රූප,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධය මමය මාගේ යයි දැඩි ලෙස ගැනීම සක්කාය දිට්ඨි යයි.

විශාඛ උවසු – යහපති ආර්යාවෙනි, එසේ නම් එම සක්කායට සමුදය ඇතිවන්නේ කුමක් නිසාද?

ධම්මදින්නා තෙරණිය– කාම, භව, විභව, තත්භාව නිසා සක්කාය සමුදය ඇතිවේ.

විශාඛ උවසු – එසේ නම් ත්‍රිවිධ තෘෂ්ණාව නැවතත් නූපදනා පරිද්දෙන් නැති කරන්නේ කෙසේද? හෙවත් නිරුද්ධ කරන්නේ කෙසේද?

ධම්මදින්නා තෙරණිය ඇවැත් විසාඛයෙනි, ත්‍රිවිධ තෘෂ්ණාව ඉතිරි නොකොට , නැතිකිරීමක් වේද, එයින් නික්මීමක් වේද, මිදීමක් එහි නොඇලීමක් වේද, එය සක්කාය නිරෝධයයි.ආර්යෂ්ටාංගික මාර්ගයම එය දුරු කරන පිළිවෙතයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එම පිළිවෙත දේශනා කරන ලදී.

එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධී යන අටයි.

විශාඛ උවසු – ආර්යාවෙනි, පඤ්චෝපාදානස්කන්ධය හා උපාදානය දෙකක්ද එකක්මද?

ධම්මදින්නා තෙරණිය ,උවසුවෙනි, ඒ දෙක දෙකකි. පඤ්චෝපාදානස්කන්ධයෙහි ඇලීම එය දැඩිව ගැනීම උපාදානයයි චන්දරාගයයි.

විශාඛ උවසු ,ආර්යාවෙනි, සක්කාය දිට්ඨිය ඇතිවන්නේ කෙසේද?

ධම්මදින්නා තෙරණිය, උවසුවෙනි, ධර්මය පිළිබඳ අවබෝධයක් නොමැති බුද්ධාදී ආර්යන් වහන්සේලාගෙන් ධර්මයෙහි අදක්ෂ වූ ඒ අනුව නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ වූ ඒ අනුව නොහික්මුණු නුවණ මද පුද්ගලයා රූපය ආත්මය ලෙස බලයි. ආත්මය රූපය ලෙසින් ගනී. රූපයෙහි ආත්මය ඇතැයි බලය ආත්මයෙහි රූපය ඇතැයි බලයි. වේදනා, සඤ්ඤා, සංඛාර , විඤ්ඤාණ, ස්කන්ධයන් පිළිබඳ වද මේ ආකාරයෙන් බලයි නැවත සක්කාය දිට්ඨිය ඇතිවන්නේ මෙසේය.

විශාඛ උවසු – ආර්යාවෙනි, සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ කෙසේද?

ධම්මදින්නා තෙරණිය උවසුවෙනි, බොහෝ දේ දැන උගත් බුද්ධාදී ආර්යයන් වහන්සේලාගේ ධර්මය පිළිබඳ හරි අවබෝධයෙන් දක්නා වූ ඒ ධර්මය අනුව හික්මුණු සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ වූ ඒ ධර්මය අනුව හික්මුණු ආර්ය ශ්‍රාවකයා , රූපය ආත්මය වශයෙන් නොදකී.ආත්මය රූපය වශයෙන් නොදකී. වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ, යන ස්කන්ධ ධර්මයන් පිළිබඳවද මේ ආකාරයෙන් සිතයි.

විශාඛ උවසු –ආර්යාවෙනි,ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද? ධම්මදින්නා තෙරණිය, යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් ක්‍රියා, යහපත් දිවිපැවැත්ම, යහපත් උත්සාහය , යහපත් සිහිය, යහපත් සිතේ එකඟබව මෙය අරි අටඟි මඟයි.

විශාඛ උවසු :– ආර්යාවෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛතද? අසංඛතද?

ධම්මදින්නා තෙරණිය:– උවසුවෙනි, අරි අටඟිමග කිසියම් ප්‍රත්‍යයකින් ඇතිවූවකි. එනිසා සංඛතයි.

විශාඛ උවසු :– ආර්යාවෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් කොටස් තුනක් ඇතුළත් කොට ගන්නා ලදද? නැතහොත් ඒ කොටස් තුනෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් වේද?

ධම්මදින්නා තෙරණිය – ඇවැත් විසාඛයෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් කොටස් තුනක් ඇතුළත් කොට නොගනු ලැබේ. සීල, සමාධි, ප්‍රඥා කොටස් .තුනෙහි ආර්යඅෂ්ඨාංගික මාර්ගය ඇතුළත් වේ. සම්මා වාචා, සම්මා කම්මන්ත , සම්මා ආජීව තුන සීලමය කොටසට ඇතුළත් වේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුන සමාධිමය කොටසට ඇතුළත් වේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , දෙක ප්‍රඥාමය කොටසට ඇතුළත් වේ.

මේ ආකාරයට නිවන දක්වාම ප්‍රශ්න මාලාවක් විචාල කළ ධම්මදින්නා තෙරණියෝ සියලු ප්‍රශ්න විසදූ සේක. විසාඛ තෙමේ ඇසූ හා පිළිතුරු දුන් පැන සියල්ලම ශාස්තෘන් වහන්සේට සැළකළේය. ශාස්තෘන් වහන්සේ “විසාඛ “ධම්මදින්නා පණ්ඩිත භික්ෂුණියකි” ආදි වශයෙන් පසසමින් සර්වඥතාඥානය සමඟ සසඳමින් ප්‍රශ්න විසඳූ බව භාග්‍යවතුන් වහන්සේ දක්වමින් එම චුල්ලවේදල්ල සූත්‍රයම අර්ථොත්පත්ති වශයෙන් ගෙන ධම්මදින්නා තෙරණියගේ ගුණ වර්ණනා කරමින්, මාගේ ශ්‍රාවිකාවන් අතර ධම්මකථික භික්ෂුණින්ගෙන් මේ ධම්මදින්නා තොමෝ අග්‍ර වන්නීයැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.