Print this Article


ආර්ථික කළමනාකරණය හා සදාචාරය

ආර්ථික කළමනාකරණය හා සදාචාරය

මුදල් සම්පාදනය කරගනිමින් ආර්ථික දියුණුව සලසා ගැනීමත් ඒ තුළ භෞතික දියුණුව ඇතිකර ගැනීම සම්බන්ධයෙන් බුදු දහම තුළ තහනමක් නැත. කාමභෝගී ගිහියන්ට මිල මුදල් අවශ්‍යය. මන්ද යත් දිළිඳු බව ගිහියාට දුකක් ලෙස බුදු දහම අවධාරණය කරන බැවිනි. එසේමුත් සදාචාර සීමාවන් උල්ලංඝනය කරමින් සිදුකරන ආර්ථික කළමනාකරණයට හෝ මුදල් සම්පාදනය පිළිබඳ බුදු දහමේ එකඟතාවක් නැත.

අණන සූත්‍ර දේශනාවට අනුව උපත ලබන පුද්ගලයෙකුට මේ ලෝකය තුළ ලැබිය යුතු සැප හතරක් දේශනා කරයි. ඉන් භෞතික අංශය හෙවත් ආර්ථික කළමනාකරණය මෙන්ම ආධ්‍යාත්මික හෙවත් සදාචාර සම්පන්න බව අවධාරණය වෙයි. තමන් විසින් හරිහම්බ කළ වස්තුවක්, ධනයක්, භෞතික සම්පත් ඇති යැයි දැනෙන සැපය අත්ථි සුඛයයි. එය පුද්ගලයෙකුට අත්‍යාවශ්‍යය. එසේ ම තමන් ලැබූ සම්පත් තනිවම භුක්ති නොවිඳ දූදරුවන්ට, රට වෙනුවෙන්, ආගම වෙනුවෙන් වියදම් කර තමා මෙන්ම සමස්තයේ ම අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම තුළ ලැබෙන සතුට භෝග සුඛයයි. මෙම සුවය හැමෝම සතු නොවේ. සියල්ල මගේය, මට ම ලෙස සිතීම පවා තමා නොදැනුවත්ව ම අහිමිවීමට හේතුවේ. ජාතක පාළියෙහි මය්හක ජාතකය ඊට කදිම නිදසුනකි.

“මය්හක නමැති පක්ෂියෙක් පැසුණු ගෙඩි ඇති පුලීල ගසක සිට “මය්හං “මය්හං “මගේ “මගේ යැයි කියමින් හඬයි. මෙසේ ඔහු හඬද්දී ම ගසට රැස්වූ පක්ෂීහු ගෙඩි කා යති. ඒ පක්ෂියා හඬන්නේමය.”

මෙයින් කියවෙනුයේ බොහෝ වස්තු තිබිය දී එය කිසිවෙකුට නොදී තමන්ගේ යැයි සිත සිතා සිටියදීම වෙනත් පිරිසක් එහි ඵල ප්‍රයෝජන ලබයි.

තම රටට, ආගමට, ජාතියට, ස්වභාවධර්මයාට මෙන්ම තම අවශ්‍යතා වෙනුවෙන් කිසිවෙකුට ණය නොවී ජීවත්වීම ඒ පිළිබඳ ඇතිවන සැපය, සතුට අණන සුඛයයි. මෙලොව පමණක් නොව සසර ජීවිතය පුරාවට ම තමන් නිකලැල් කෙනෙකු බවත් අධ්‍යාත්මය සංවර්ධනය කරගත්තෙකු ලෙසත් සදාචාර සම්පන්නව තම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම නිසා ඇතිවන සතුට අනවජ්ජ සුඛයයි. රටෙන් තමන්ට නොව තමන්ගෙන් රටට යමක් සිදුවිය යුතු යැයි විශ්වාස කර කටයුතු කිරීම මෙයින් අදහස් වේ.

තම ආර්ථික සුඛ විහරණය දියුණුව සලසා ගැනීමේ දී කරුණු දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයා තම අවධානය යොමුකළ යුතුය. “පඨම අපුත්තක” සූත්‍රයේ දී බුදුරදුන් ඒ බව අවධාරණය කරයි. ධර්මානුකූල වීමත් (ධම්මේන) අසාහසික (අසහසේන) වීමත් ක්‍රියාකාරකම්වල දී අත්‍යාවශ්‍යය. සාහසිකව යමක් උපයාගැනීමත් ඒ නිසාම ස්වභාවදහමට පුද්ගලයාට හානි නොකිරීමට වගබලා ගැනීම මින් අදහස්වේ. ධර්මානුකූල යනු තමන්ටත් අනුන්ටත් ජීව අජීව පරිසරයේ කිසිවකටත් හානි නොකිරීමයි. මේ පදනම තුළ පිහිටා සිදුකරන ආර්ථික කළමනාකරණය බුදු දහම අගය කරනු ලබයි.

“දම්සක් පැවතුම්” සූත්‍රයේ දී පෙන්වා වදාළ පරිදිම අත්තකිලමතානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගයෙන් ඉවත්ව සෑම විටම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම නිවනට පමණක් සීමා නොවේ. භෞතික ක්‍රියාකාරකම් තුළ ද මෙම ධර්මතාවයන් පිළිබඳ අවධිකමින් කටයුතු කිරීම වැදගත්ය. දැඩි ආත්මාර්ථකාමීත්වය තුළ කෙසේ හෝ තම භෞතික දියුණුවම ප්‍රාර්ථනා කිරීම බුදුදහම ප්‍රතික්ෂේප කරයි. “පරාභව සූත්‍රයට” අනුව කල්පනා කරන විට දී ද පැහැදිලි වන්නේ එය පිරිහීමට හේතුවක් බවයි.

තමාට ලැබෙන දෙය තනිවම මට ම හිමිවිය යුතුය. මෙය තමන් විසින් පරිභෝජනය නොකළත් වෙනකෙකු හෝ එය පරිභෝජනය කරන්නේ යැයි සිතා අතිරික්ත සම්පත් විනාශ කිරීම පවකි. “කෝසම්බි” සූත්‍රයේ දී පැහැදිලි කරනුයේ අවම වශයෙන් ආහාර වේලක් හෝ බෙදාගෙන අනුභව කළයුතු බවයි. එය තමන්ගේ යැයි සිතීමත් තම අයිතියක් ලෙස කල්පනා කිරීම බුද්ධිගෝචර නොවේ.

අරපිරිමැස්මෙන් යුතුවත් අනාගත ආපදාවන් පිළිබඳ කල්පනා කරමිනුත්, සැලසුම් සහගතව පරිභෝග රටාව සකසා ගැනීම උතුම්ය. සිඟාලෝවාද සූත්‍රය තුළ මේ තත්ත්වය අවධාරණය කරයි. “ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය” යන ගාථාවෙන් එහි විස්තර වනුයේ ලැබෙන දෙයින් එක් කොටසක් පරිභෝජනයට ද කොටස් දෙකක් ආයෝජනයට හා අවසාන කොටස ආපදාවක දී ප්‍රයෝජනය සඳහා සුරක්ෂිතව තැබිය යුතු බවයි. මන්දයත් සම්පත් සෑම කාලයක එක හා සමානව නොලැබෙන බැවිනි. ඉහත න්‍යායට අනුව කල්පනා කරන්නේ නම් රුපියල් සියයක් කෙනෙකුට ලැබේ නම් ඉන් විසි පහක් ආහාරයට ද රුපියල් පනහක් ආයෝජනයට හා ඉතිරි විසිපහ ආපදාවන්හි දී හෙවත් නැති බැරි අවස්ථාවක දී ප්‍රයෝජනය සඳහා සුරක්ෂිතව තැබීමයි. එය සම්පත් කළමනාකරණය හෙවත් සුරක්ෂිතතාවයයි. එසේ නොමැති වූ විට ණය වීම් පාඩු සිදුවීම් නිසා පසුතැවීමට සිදුවීම ස්වාභාවිකය. එය පුද්ගලයෙකු ලෙස මෙන් ම රටක් ලෙස ගත් කළ ද යහපත් නොවේ. සුත්තනිපාතයට අනුව එසේ වීම නිසා බොහෝ කරදර පාඩු අලාභ සිදු වේ. එසේ වීම තුළ මා ගත් ණයක් නැතැයි කියමින් ඉන් බැහැරවීමට පුද්ගලයා උත්සාහ කරයි. එසේ වීම වසල ක්‍රියාවකැයි මෙහි දී අවධාරණය කෙරේ.

සම්මා ආජීවය හෙවත් යහපත් දිවිපැවැත්ම යන මාර්ගය නිසියාකාරව පුරුදු කිරීම තුළ භෞතික දියුණුව සදාචාර සීමාවන් උල්ලංඝනය නොවන ලෙස ඇති කර ගත හැක. උත්සාහය, කැපවීම මෙන්ම තෘප්තිමත් වීම සමබරව පවත්වාගැනීම ඒ සඳහා අනිවාර්යය වේ. එසේ නොවීම නිසා ස්වභාවදහම ඇතුළු සමස්තයෙහි සමබරතාවය ගිලිහී යයි. එහි ප්‍රතිඵල කෙටි කාලීනව මෙන්ම දීර්ඝකාලීනව යහපත් නොවේ. අංගුත්තර නිකාය දුක නිපාතයට අනුව පුද්ගල ක්‍රියාකාරකම් මත අන්තවාදී කණ්ඩායම් දෙකක් සඳහන් කරයි. ඉන් පළමු කොටස වන්නේ ලද දේ තැන්පත් කරන්නාය, ලද දේ වියදම් කරන්නා දෙවන කොටස නියෝජනය කරයි. මේ දොකොටස ම බුදු දහම ප්‍රතික්ෂේප කරනු ලබයි. එසේ සිදුකරනුයේ සුරක්ෂිත බව හා සදාචාරය සමගාමී විය යුතු බැවිනි. එසේ නොවීම තුළ මහ පොළොවට එය දරා ගැනීමට නොහැකි වීමේ ඛේදවාචකයට ජීව අජීව සියල්ල ලක් වේ.

ත්ත්වය ප්‍රමාණය ඉක්මවා යමක් පරිභෝජනය කිරීම සුදුසු නොවේ. එය අධිපරිභෝජනයයි. ආහාර ගැනීමේ සීමාව ඉක්මවා යාම අනිෂ්ට ප්‍රතිඵල ඇතිවීමට හේතුවක් බව සංයුක්ත නිකායේ දෝණපාක සූ‍්‍රත්‍රයේ දී කොසොල් රජුට පැහැදිලි කළහ. එහිදී උන්වහන්සේ දේශනා කරනු ලැබූයේ සිහි ඇතිව, පමණ දැන ආහාර ගැනීම ආයුෂ වැඩීමට මෙන්ම දිරවීම ද පහසු කරන බවයි. ජීවත්වීම සඳහා ගනු ලබන ආහාරය මරණය ලංකරන්නේ නම් එය ඇගයිය යුතු තත්ත්වයක් නොවේ. මෙය ආහාරයට පමණක් නොව අනෙක් සෑම කාරණයකට ම පොදු වූවකි. අවශ්‍යතාවයේ ප්‍රමාණය හා පරිභෝග සීමා බුද්ධියෙන් හඳුනාගෙන කටයුතු කරන්නේ නම් එය අනාගත ගැටලු බොහොමයකට පිළියමක් වනු ඇත.

අරියවංශ, රාසිය, කාමභෝගී සූත්‍ර තුළ පරිභෝජනයේ දී කෙසේ හැසිරිය යුතු ද යන්න ඉතා මැනවින් දේශනා කරනු ලබයි. අගථිතෝ, අමුච්චිතෝ, අනජ්ඣාපන්නෝ ලෙස දේශනාවේ දී එය පැහැදිලි කරයි. ගථිත බවෙන් ඉවත් ව්ය යුතුය. එනම් ලෝකාමිසයන්ට වැදී දැඩි සේ තෘෂ්ණෘවෙන් බැඳී පරිභෝජනය කිරීමයි. ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඉගැන්වූ අන්තද්වයෙන් ඉවත්විය යුතුය. එය අගතිත යයි ගථිත වීම නිසා ඇතිවන්නේ මහා විපතකි. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ දී ඒ බව බුදුරදුන් අවධාරණය කරයි. මුච්චිත යනු මුළාවයි. මෙයින් යුතු තැනැත්තා මූලික අවශ්‍යතා ගැන නොතකා ද්විතීක අවශ්‍යතා සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. ඒ තුළ අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදු වී බොහෝ දුකට පත් වේ. දැඩිසේ යමකට බැසගැනීම අප්ඣාපන්න වීම බුදු දහම අගය කරයි. එනම් අස්සාද ආදීනව නිස්සරණය පිළිබඳ අවබෝධය ඇතිව පරිභෝජනය කිරීමයි.

විශේෂයෙන් ම පරිභෝජන කාර්යයේ දී නිස්සරණ ප්‍රඥාව අතිශය වැදගත්ය. පරිභෝජනය වූ කලී ජීවිතයේ එක් අංගයක් පමණි. තම කාර්යාවලියේ අවසාන ඉලක්කය පරිභෝජනය නොවේ. ඒ නිසා එය සැහැසි මාර්ගවලින් ඉවත්ව පරාර්ථයට ද මූලිකත්වයක් දෙමින් කළ යුතු වේ. සුභරතාව අප්පිච්ඡතාවට යම් තැනක් ලබාදීම තුළ මේ තත්ත්වය ඇති කර ගත හැකි වේ.

ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් මෙලොව පැවැත්ම ආස්වාදජනක කරගත යුතු වූවත් එය අත්තූපනායික ධර්මතාවයට අනුගත විය යුතුය. එනම් තමා උපමා කොටගත යුතුය. එසේ සිදුවීම මත සදාචාරය ආරක්ෂා වී යමක පැවැත්ම තව කාර්යකට බාධාවක් නොවේ. සමතුලිත බව ආරක්ෂාවෙමින් පවතී. සියල්ලන්ගේ ම ඒකායන ප්‍රාර්ථනාව විය යුත්තේ මේ තත්ත්වය නිර්මාණය කර ගැනීමය.

“බුදු දහම කියාදෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම” ලිපි මාලාවෙහි හතරවන ලිපිය මෙසේ පළවේ.