Print this Article


පැහැබර සිත ජීවිතය විනිවිද දකී

පැහැබර සිත ජීවිතය විනිවිද දකී

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අප හට බුදු සසුන තුළ කළ යුතු දේ බොහෝමය. තිසරණය පිළිබඳව ප්‍රසාදය බහුල කර ගැනීම, සිත, කය, වචනය සංවර කර ගැනීම, සිතෙහි සමාධියක් උපදවාගැනීම, පිරිසුදු ධර්ම ඥානයක් තුළින් ප්‍රඥාව දියුණු කර ගැනීම ආදී ශාසනික පිළිවෙත් ඒ අතර ප්‍රධානම කරුණු වේ. එනමුත් මෙම ශ්‍රේෂ්ඨ ශාසනික වැඩ පිළිවෙල ජීවිතය තුළ දියුණු කර ගැනීම පහසු කටයුත්තක් නම් නොවේ. සිත තුළම උපදින යම් යම් මානසික ආවේගයන් ඉදිරිපත් වී එම වැඩ පිළිවෙළ මුළුමනින්ම අවුල් කර දමයි. ඉදිරියට දියුණු කරගෙන ආ සසුන් පිළිවෙත ආපස්සට ම ඇද දමයි. බොහෝ විට සිත තිබූ මට්ටමටත් වඩා පිරිහීමකට පත් කරයි.

මෙවන් වූ පසු බැසීමකට අප පත් කරනු ලබන බොහෝ කරුණු කාරණා අතර පංච නීවරණ ධර්ම ඉදිරියෙන් ම සිටියි. මෙම පංච නීවරණ ධර්මයන්ට ‘අකුසල රාශිය’ නමින් භාග්‍යවතුන් වහන්සේ පවා හැඳින්වූයේ ඒ නිසාමය. යම් කිසිවෙකුගේ සිතක් තුළ මෙම පංච නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වේ නම් එම සිතෙහි පිරිහීම කිසිවෙකුටවත් වළක්වාගත නො හැකි ය. ගෞතම බුදු සසුන තුළ ශාසනික අභිවෘද්ධියක් අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා ම තම සිතෙහි උපදින නීවරණ ධර්මයන් පිළිබඳව බලවත් වූ අවධානයකින් සිටීම කළ යුතු ම කාර්යයකි. නීවරණ ධර්මයන් වන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන පහයි. කාමයන් කෙරෙහි ඇති කැමැත්ත කාමච්ඡන්ද නීවරණයයි. තරහ සිත් පැවැත්වීම ව්‍යාපාද නීවරණයයි. අලසකම සහ නිදිමත ථීනමිද්ධ නීවරණයයි. සිතෙහි නොසන්සුන්කම සහ පසුතැවීම උද්ධච්ඡකුක්කුච්ච නීවරණයයි. සිතෙහි දියුණුවට බාධා පමුණුවන සැක සංකා ස්වභාවය විචිකිච්ඡා නීවරණයයි.

සතර අපායේ වැටෙමින් ඉපදී ඉපදී මැරි මැරී යන බියකරු සසර පිළිබඳ ව උපදවාගත් සසර බිය නැති කර දමන්නේත්, බලවත් වූ පරිශ්‍රමයකින් ඇති කර ගත් තිසරණය පිළිබඳව වූ පැහැදීම හීන කර දමන්නේත්, අවබෝධයෙන් ම සකස්කර ගත් සීලවන්ත ජීවිතය විනාශ කර දමනු ලබන්නේත්, සිතෙහි ඇති මානසික සංසිඳීම බැහැර කර දමන්නේත්, සිතෙහි සමාධියක් උපදවා ගැනීමට බාධා පමුණුවනු ලබන්නේත්, ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට ඉඩ නොදෙන්නේත්, අවුල් වූ නූල් කැටියක් ලෙස ජීවිතය මුළුමනින්ම අවුලෙන් අවුලට පත් කරනු ලබන්නේත් මේ පංච නීවරණ ධර්මයන් ය. සිත තුළ හටගනු ලබන යම්තාක් අකුසල ධර්මයන් වේ නම් මේ සියලු අකුසල ධර්ම හට ගැනීම පිණිස ප්‍රධානම හේතුව වන්නේ රාග, ද්වේෂ, මෝහ මුල්කරගත් මේ පංච නීවරණ ධර්මයන්ය. එසේ නම් නීවරණ ධර්මයන්ගෙන් තොර වූ සිතෙහි බැබළීම අප මොන තරම් නම් ශ්‍රේෂ්ඨත්වයකට පත් කරවී ද?

මෙම පංච නීවරණ ධර්මයන් සිතක් තුළ හටගැනීමට පොදුවේ බලපාන ප්‍රධාන ම කරුණු වන්නේ අයෝනිසෝ මනසිකාරයයි. එනම්, සිතට ඇතුළුවන අරමුණු පිළිබඳ ව පිරිසුදු සිහියකින් තොරව එම අරමුණු තුළ කල්පනාව හැසිරවීමයි. නුවණින් තොරව කෙරෙන මෙම මනසිකාරය අයෝනිසෝ මනසිකාරයයි. එක් එක් නීවරණ ධර්මයන් හටගැනීමට හේතු වන කරුණු මත නුවණින් තොර ව අනවබෝධයෙන් මනසිකාරය පැවැත්වීම හේතුකොටගෙන ඒ ඒ නීවරණ ධර්ම සිත තුළ උපදී.

සිතෙහි හටගන්නා නීවරණ ධර්මයන් සිත තුළින් දුරුකොට දැමීම සඳහා උපකාර කරනු ලබන්නේ යෝනිසෝ මනසිකාරයයි. එනම් අවබෝධය පෙරටු කරගත් නුවණින් යුක්තව කල්පනාව හැසිරවීමයි. එම නිසා පංච නීවරණ ධර්මයන්ගෙන් තොර වූ පිරිසුදු සිතක් පවත්වන්නට කැමති කෙනා පළමුවෙන් ම අයෝනිසෝ මනසිකාරයත්, යෝනිනේ මනසිකාරයත් පිළිබඳව දැනගෙන සිටිය යුතුමය. ජීවිතයේ අවබෝධයට හේතු වන කරුණු මත සිහිය පිහිටුවා නොගෙන සිටින තාක් කල් එම සිත තුළ අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මකවීම වැළැක්විය නොහැකිමය. එම නිසා සිතෙහි මනසිකාරය හෙවත් කල්පනාව පිළිබඳව වඩාත් හොඳ අවධානයකින් සිටිය යුතු ය.

ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු මත අපේ කල්පනාව හැසිරවීම සෑම මොහොතකදී ම සිදුවන දෙයකි. එම ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු පිළිබඳවත්, එම අරමුණුවලට අනුව සිත හසුරුවන ආකාරය පිළිබඳවත් කෙනෙකුට පිරිසුදු සිහියක් පවත්වන්නට නො හැකි වුවහොත් නිරතුරුව ම එම සිතේ පවතින්නේ අයෝනිසෝ මනසිකාරය මුල්කරගෙන හටගත් නීවරණ ධර්මයන් ය. එබැවින් ආයතන තුළින් ගනු ලබන අරමුණු පිළිබඳවත්, එම අරමුණුවලට අනුව සිත හැසිරවීම පිළිබඳවත් සුපිරිසුදු සිහියක් පැවැත්විය යුතුම ය.

එවිට එම අරමුණ අකුසලයන්ට, නීවරණ ධර්මයන්ට අනුග්‍රහ කරන අරමුණක් නම් අයෝනිසෝ මනසිකාරය උපදවා නොගෙන යෝනිසෝ මනසිකාරය හෙවත් අවබෝධයෙන් යුතු කල්පනාව හැසිරවීම මත එම අරමුණු සිත තුළින් ප්‍රහාණය කර දැමිය හැකි ය. එසේම එම අරමුණ කුසල ධර්මයන්ට උපකාරී වන අරමුණක් නම් අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වීමට පෙරාතුව මනාව සිහිය පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරය උපදවාගෙන එය සිත තුළ බලවත් කර ගත යුතු ය.

අයෝනිසෝ මනසිකාරය දුරුකොට යෝනිසෝ මනසිකාරය පැවැත්වීම ඕනෑම කෙනෙකුට කළ හැකි ය. මේ සඳහා අවශ්‍ය වන්නේ ආයතනයන්ගෙන් ගනු ලබන අරමුණු පිළිබඳව සිහියෙන් අවධානය යොමු කරගෙන සිටීමත්, එම අරමුණු තුළ අයෝනිසෝ මනසිකාරය නො පවත්වා යෝනිසෝ මනසිකාරය දියුණු කර ගැනීමට අවශ්‍ය වීරිය උපදවා ගැනීමත් ය.මෙම පිරිසුදු සිහිය සහ වීරිය පවත්වා ගැනීමට දක්ෂ ඕනෑම කෙනෙකුට යෝනිසෝ මනසිකාරය තුළින් නීවරණ ධර්මයන්ගෙන් තොර වූ ප්‍රභාෂ්වර වූ සිතක් උපදවාගත හැකි ය.

සිතේ දියුණුව මුළුමනින්ම අවුරාගෙන සිටින, සිතේ අභිවෘද්ධියට බොහෝ සෙයින් බාධා පමුණුවන, සිත දියුණුවීමට ඉඩ නොදී තදින් ම මැඬගෙන සිටින, ප්‍රඥාව වැඩෙන්නට ඉඩ නොදී දුර්වල කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා යන මේ පංච නීවරණ ධර්මයන් යෝනිසෝ මනසිකාරය තුළින් ප්‍රහාණය කළ විට එම සිත ශ්‍රේෂ්ඨත්වයකට පත්වීමට අවශ්‍ය වන ආකාරයට ම සකස් වේ. නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වූ සිත වඩාත් මෘදු වූ ස්වභාවයකට පත් වේ. ශාසනික අභිවෘද්ධියකට ගැළපෙන ලෙස වඩාත් නම්‍යශීලී වේ. ජීවිතයේ යථා ස්වභාවය විනිවිද දැකීමට තරම් සිත ප්‍රභාෂ්වර වේ. අකුසල් අරමුණු ඉදිරියේ සිත වහා බිඳී නොයයි. ජීවිතාවබෝධය කිරීමට අවශ්‍ය වන ආකාරයට ම සිත තුළ සමාධිය බලවත් ව පිහිටයි. විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු වූ යම්තාක් ධර්මයන් වේ ද? සිත ඒ සඳහා මනාව නැඹුරු වේ.

පංච නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වූ සිත තුළ රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන ඉතා පහසුවෙන් ම උපදවාගත හැකි ය. එමෙන් ම ඉද්ධිවිධ ඤාණය, දිබ්බ සෝත ඤාණය, පරචිත්ත විජානන ඤාණය, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, දිබ්බ චක්චුු ඤාණය, චුතූපපාත ඤාණය මෙන්ම සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ නුවණ නම් වූ ආස්‍රවක්ෂය ඤාණය ද පහසුවෙන් උපදවාගත හැකි ය. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධිමතුන් හැටියට මේ ශාසනික අභිවෘද්ධිය ජීවිතය තුළ සාක්ෂාත් කර ගත යුතුම ය. එය මන්දෝත්සාහීව කළ හැකි දෙයක් නම් නොවේ. කෙලෙස් තවන වීරියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, බලවත් වූ සිහියෙන් යුක්ත ව කළ යුතු දෙයකි.

මේ සඳහා යෝනිසෝ මනසිකාරයත්, නීවරණ ධර්මයන් පිළිබඳව මනා වූ අවබෝධයත්, නීවරණ ධර්මයන් සිත තුළ හට ගැනීමට හේතුවන කරුණුත්, එම හේතු නිරුද්ධ කරන ආකාරය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් තිබිය යුතු ය.

කාමච්ඡන්ද යනු කාමයන් කෙරෙහි සිත තුළ පවතින කැමැත්තයි. කාමයන් කෙරෙහි ඇති කැමැත්තට ම අනුව සිත හසුරුවන විට සිත කාමයන්ටම නැඹුරු වේ. කාමයන් ම සොයයි. එම නිසා ම සිතේ දියුණුවට ඇති ඉඩකඩ මුළුමනින්ම ඇහිරී ගොස් සිත තුළ රාගය මුල් කරගත් අකුසල ධර්මයන් වැඩි දියුණු වී කාමයන්ට ඇති කැමැත්ත නීවරණ ධර්මයන් බවට පත්වේ.

කාමච්ඡන්ද නීවරණය හටගැනීමට කරුණු දෙකක් බලපානු ලැබේ. එනම් සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරයයි. සුබ නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය හසුරුවන විට සිතේ උපදින්නේ කාමච්ඡන්ද නීවරණයයි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස ඉල් අව අටවක පෝදා (දෙසැම්බර් 03 වනදා) පත්‍රයේ පළවේ.