Print this Article


පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 07 ථූපාරාමය

ථූපාරාමය

මිහිඳු මහ රහතන් වහන්සේවර ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කිරීමෙන් පසුව ලංකාවේ තම ප්‍රථම දිනය මිහින්තලේ ගත කළ මිහිඳු මහ රහතන්වහන්සේ තමන් සමඟ දඹදිව සිට පැමිණි ගිහියෙකු පැවිදි කිරීමේ ශාසනික කාර්යය එදින ඉටු කළහ. අනුරාධපුරයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ නගරයේ දකුණු දිශා භාගයෙහි පිහිටි මහා මේඝ වනෝද්‍යානයේ පිළියෙලව තිබූ රාජකීය මණ්ඩපයේ නැවතී ඊළඟ දින කිහිපය තුළ උන්වහන්සේ සූත්‍ර දේශනා ගණනාවක් පවත්වා විවිධ තරාතිරමේ ස්ත්‍රී පුරුෂ දහස් ගණනක් තහවුරු ලෙස බුදුසසුනෙහි පිහිටවූහ. බොහෝදෙනා පැවිදි වූ අතර රජතුමා ඔවුන්ගේ වාසය සඳහා මහා මේඝ රාජකීය උද්‍යානය පූජා කළේය. රජතුමා සියතින්ම නඟුල අල්ලා ගෙන මුළු අගනුවර ඇතුළත් වන සේ සීමා ලකුණු කළේය. පසුකලෙක ශ්‍රේෂ්ඨ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්වූ මහාවිහාරය මෙසේ පිහිටුවන ලදී. මිහිඳු මහ රහතන් වහන්සේ සහ දූත පිරිස ඉක්බිතිව පැමිණ වස්සාන සමය මිහින්තලේ උන්වහන්සේ වෙනුවෙන්ම සූදානම් කරන ලද ගල් ලෙන්වල වැඩ සිටියහ. ලාංකික බුදුසමයේ තවත් ප්‍රධාන ආශ්‍රමිකායතනයක් වූ චේතියගිරි විහාරය (මිහින්තලේ) මෙසේ ආරම්භ විය. සාමාන්‍ය ජනතාවගේ පුද පූජා සඳහා ලංකාවේ ප්‍රථම ඓතිහාසික ස්තූපය තිස්ස රජතුමා (පසුව දේවානම්පියතිස්ස) ගොඩ නැඟීය. එහි බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන් කරන ලදී. ථූපාරාම චෛත්‍යය නමින් හඳුන්වනු ලබන මධ්‍යම ප්‍රමාණයෙන් යුත් මෙම බෞද්ධ ස්මාරකය ශ්‍රී ලාංකික හා වෙනත් ථෙරවාදී රටවල කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ගේ වන්දනයට අද භාජනය වෙයි.

(සංක්ෂිප්ත ලංකා ඉතිහාසය (A Concise History of Ceylon – By prof Senarat Paranavitana AND S.W. Nicolos  සිංහල පරිවර්තනය .මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි පි. 68 -69 (2004)

ථූපාරාම දාගැබ අනුරාධපුරයේ සෑදීම පිළිබඳ වූ එම සිදුවීම මහාවංසයේ 17වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.

“මහත් ප්‍රඥා ඇත්තාවූ මහාස්ථවිරයන්වහන්සේ වසන ලද වස් ඇත්තේ පවරා ඉල්මස පසොළොස්වක්හි මහරජහට “ නරේන්ද්‍රයාණෙනි. අපගේ ශාස්තෘ වූ සම්බුද්ධයන් වහන්සේ අප විසින් බොහෝ කලකින් පූර්වයෙහි දක්නා ලද්දේය.අනාථ වාසයෙන් විසුහම්හ. අපට මෙහි පූජණීය වස්තුවක් නැත්තේ යයි. මේ වචනය වදාළ සේක. වහන්ස සර්වඥයන් වහන්සේ පිරිනිවිසේකැයි මට වදාළාහු නොවෙද්දැයි (රජතෙමේ කීයේය) ධාතුන් දුටු කල්හි සර්වඥයන් වහන්සේ දක්නා ලද්දේ නම්වේයැයි (ස්ථවිරයන් වහන්සේ ) වදාළ සේක. “මවිසින් සෑයක් කරවීමෙහි වූ නුඹ වහන්සේලාගේ අභිප්‍රාය දන්නා ලද්දේය. මම ථූපයක් කරවන්නෙමි. නුඹ වහන්සේලා ධාතුන් දැන වදාරණ සේක්වා’යි නරේන්ද්‍ර තෙමේ කීයේය. මිහිඳු මහ රහතන් වහන්සේ සුමන සාමණේරයන් හා මන්ත්‍රණය කරවයි රජහට වදාළ සේක. ධාතූන් කොයින් ලබමුදැයි ඒ තෙරණුවන්ට කීය. නරේන්ද්‍රයාණෙනි පුරය හා මාර්ගය සරසවා පෙහෙවස් ඇත්තෙහි පිරිස් සහිතව මඟුලැතු නැගී සේසත් දරමින් තූර්යයන් සහිතව සවස් වේලෙහි මහානාගවන නම් උයනට යව. නරේන්ද්‍රය ධාතු ප්‍රභේදාව බෝධය කළා වූ සර්වඥයන් වහන්සේගේ ධාතුන් එකන්හි දී ලබන්නෙහිය යි ඒ සුමන නම් තෙරණුවෝ සතුටු සිත් ඇතිව නරනිඳුහට වදාළහ.

ඉක්බිත්තෙන් මිහිඳු මහ රහතන් වහන්සේ රජුගෙන් (නික්ම) සෑගිරියට වැඩයහපත් මනෝගති ඇත්තාවූ සුමන නම් තෙරණුවන්” යහපත් වූ සුමනය (මෙහි) එවයි කැඳවා උතුම් වූ පූජ්‍ය පුරයට ගොස්තාගේ මුත්තනු වූ මහරජහට මෙසේ අපේ වචනය කියව “මහ රජාණෙනි යුෂ්මතුන්ගේ යහළු වූ දෙවියන්ට පි‍්‍රයවූ (දෙවනපෑතිස් නම් වූ) මහ රජතෙම බුද්ධ ශාසනයෙහි ප්‍රසන්න වූයේ ථූපයක් කරවනු කැමැත්තේය. නුඹ සමීපයෙහි බොහෝ (සුගත) ශරීරධාතු ඇත්තාහ . සර්වඥයන් වහන්සේගේ ධාතූන්ද ශාස්තෘන් වහන්සේ විසින් පරිභෝග කරන ලද්දා වූ පාත්‍රය ද දෙවයි කියා පාත්‍රය පුරා ධාතුන් ගෙන සක්දෙව් පුරවරයට ගොස් ඒ සක් දෙව් රජහට මෙසේ අපේ වචනය කියව “දේවේන්ද්‍රයාණෙනි තුන්ලෝ වැස්සන්ගේ දක්ෂිණාවාටයට සුදුසු වූ (සර්වඥයන් වහ්සේගේ) දකුණු දළදාව ද දකුණු අකුධාතුවද යූෂ්මතුන් සමීපයෙහි ඇත්තාහ. ඒ දළදාවම පුදව ශාස්තෘන් වහන්සේගේ අකුදාව දෙව සුරේන්ද්‍රය. ලක්දිව් වැස්සාගේ කටයුත්තෙහි ප්‍රපංච නොවෙවයි (කියවයි වදාළ සේක) ඒ මහත් සෘද්ධිමත් වූ තෙරණුවෝ වහන්ස එසේ යයි කියා එකිනෙහිම ධර්මාශෝක රජු කරා වැඩිසේක. එහි ශාල වෘක්ෂයෙහි තබන ලද කර්තිකෝත්සවයෙන් පුදවන් ලබන්නාවූ යහපත් වූ බෝධිය ද දුටු සේක. ස්ථවිරයන් වහන්ස්ගේ වචනය කියා රජහු සමීපයෙන් ලද්දා වූ ධාතුන් පාත්‍රය පුරාගෙන හිමවතට පැමිණී සේක. ධාතු සහිත වූ උතුම් පාත්‍රය හිමවත තබා ශක්‍ර දේවේන්ද්‍රයා කරා ගොස් ස්ථවිරයන් වහන්සේගේ වචනය කී සේක.

“ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ සිළුමිනිසෑයෙන් දකුණු අකුධාතුව ගෙන තෙරණුවන්ට දුන්නේය. සුමන සාමණේර යති තෙමේ ඒ අකුධාතුව හා ධාතු පාත්‍රය ද ගෙන එතැනින් සෑගිරියට අවුත් ස්ථවිරයෙන් වහන්සේට එය දුන් සේක. සවස් වේලෙහි රජ සේනාව විසින් පෙරටු කරන ලද්දාවූ නරේන්ද්‍ර තෙමේ කියන ලද විධියෙන් මහානාග වන නම් උයනට ගියේය. ස්ථවිරයන් වහන්සේ ඒ පර්වතයෙහිම සියලු ධාතුන් තැබූහ. එහෙයින් මිශ්‍රක පර්වතය චෛත්‍ය පර්වත නම් විය.

ස්ථවිරයන් වහන්සේ ඒ ධාතු පාත්‍රය සෑගිරියෙහි තබා අකුධාතුව රැගෙන (සාමණේරයන් විසින්) ලකුණු කරන ලද ස්ථානය වූ (මහා නාග වනයට ) වැඩි සේක.නරේන්ද්‍ර තෙමේ ඉදින් මේ සර්වඥයන් වහන්සේගේ ධාතුවෙක් නම් මාගේ ඡත්‍රය (ධාතුන් වහන්සේ දෙසට) තෙමේම නැමේවා!

හස්තිතෙම දනින් සිටීවා මේ ධාතු කරඬුව ධාතු සමඟ අවුත් මාගේ මස්තයෙහි පිහිටුවා’යි සිතුවේය. සිතන ලද එය එසේම විය. මිහිපති තෙමේ අමෘතයෙන් අභිෂේක ලද්දෙක් මෙන් අතිශයින් සතුටු වූයේය. ඒ ධාතු කරඬුව හිසින් ගෙන ඇත් කඳ මත්තෙහි තැබුයේය. සතුටු වූ හස්ති තෙම එතැනින් හැරී ස්ථවිරයන් හා සේනා වාහනව සහිත වූයේ පෙරදිග දොරින් යහපත් වූ පුරයට ප්‍රවිෂ්ටව නැවත දකුණු දොරින් එයින් නික්ම ථූපාරාමයෙහි චෛත්‍ය ස්ථානයෙන් පිටිපස කරන ලද්දා වූ බෝධිස්ථානයෙහි නැවතී පූර්ව දිගට අභිමුඛව සිටියේය. එකල් හි ඒ ස්තූප ස්ථානය හිඟුරුවැල් හා හිය වැලින් වැසුණේ විය. නරදේව තෙම දෙවියන් විසින් රක්නා ලද පවිත්‍ර වූ ඒ ස්ථානය එකෙනෙහි මනා කොට ශුද්ධ හා අලංකෘත කරවා ඇත් කඳින් ධාතු පාත්‍රය වඩනා පිණිස ආරම්භ කළේය. හස්තිතෙම ඒ නොකැමැති විය. රජතෙම (ඇතුගේ) ඒ සත ස්ථවිරයන් විචාළේය. “තමන් කුම්භය හා උස්තැනෙක තැබීමට (හස්තිතෙම) කැමති වෙයි. ඒ ධාතුන් පාත වැඩීම උහු විසින් අභිමත නොකරන ලදැයි” ස්ථවිර තෙම වදාළසේක.

රජතෙමේ එකෙණෙහිම අණකොට ශුද්ධ වූ අබාවැවෙහි ශුෂ්ක කදිම පිණ්ඩයෙන් ඒ හස්ති කුම්භයට සමකොට (ථූපයක්) නිමවා ඒ උත්තම ස්ථානව බෙහෙවින් සරසා ඒ ධාතුව ඇත්කඳින් බා එහි වැඩුවේය. ධාතු ආරක්ෂා කිරීම සංවිධාන කොට එහි ඇතු සිටුවා ධාතු චෛත්‍යය කිරීමෙහි යුහුසුලු සිත් ඇත්තාවූ රජතෙම වහා ගඩොල් නිමවීමෙහි බොහෝ වූ මිනිසුන් මෙහෙයා ඇමතියන් සහිත වුයේම ධාතු කෘත්‍යය සිතමින් නුවරට ප්‍රවිෂ්ට වූයේය. සංඝයා සහිත වූ මහා මහේන්ද්‍ර ස්ථවිර තෙම වනාහි යහපත් වූ මහමෙවුනා උයනට එළඹ එහි වාසය කළහ. (මහාවංසය පළමු වැනි කොටස)

17 වැනි පරිච්ඡේදය පිටු 67 68)

මෙකල උතුරුමැද පළාතට අයත් වූ අනුරාධපුර නගරයෙහි ප්‍රථමවරට නිර්මාණය කරන ලද ස්තූපය ථූපාරාමය වේ. එහි දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු මහ රහතන් වහන්සේගේ ද උපදෙස් හා දායකත්වය ඇතිව නිර්මාණය කරන ලද්දකි. මීට පෙර ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව ඔප්පු කළ හැකි දාගැබක් නොවූ නිසා මෙම දාගැබ ථූප යන නාමයෙන් හඳුන්වන ලදී. (මිට ඉහත දී බුදුරජාණන් වහන්සේ (ධරමාන) ජිවමාන කාලයේදී ගිරිහඬුසෑය සහ මහියංගණ දාගැබ් තිබුණි)

ථූප ආශි‍්‍රතව තවත් විහාර ආරාම ගොඩනැගුණු හෙයින් මේ පින්බිම හැඳින්වීමට ථූපාරාම යන නාමය භාවිතා විය. ථූපාරාමය දාගැබ පිහිටි භූමිය අනුව මෙම ප්‍රදේශයේ අක්කර තුන හමාරක පමණ ප්‍රදේශයක මෙම පූජනීය ගොඩනැගිලි පිහිටා ඇත. ථූපාරාමය මුලින්ම නිර්මාණය කර ඇත්තේ ධාන්‍යකාර ස්වරූපයටය.

මෙම ස්ථානය සතර බුදුවරයාණන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද පුදබිමක් ලෙසින් සැලකේ. ඒ අනුව බුදුරජාණන් වහන්ස්ගේ අකුධාතුව තැන්පත් කර දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙම ස්තූපය නිර්මාණය කරන ලදී. රජතුමා ස්තූපය සඳහා ආරාමයක් ද සාදවන ලදී. ජය ශ්‍රී මහා (බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව බුද්ධගයාවෙන් වැඩම කරවන ලද) මහමෙවුනා උයනේ රෝපණය කළ පසුව එයින් හටගත් අෂ්ටඵල රුහවලින් එකක් ථූපාරාම පුදබිමෙහි ද රෝපණය කරන ලද බව මහාවංසයේ ද සඳහන් වන කරුණකි.

දේවානම්පියතිස්ස රජතුමාට පසුව මෙම දාගැබ ශෛලමය බැම්මකින් ආවරණය කරවන ලද්දේ ඊට පසු කාලයේ රජ කළ ලඤ්ජතිස්ස රජු විසිනි. ගෝඨාභය රජ (ක්‍රි.ව. 253-266) විසින් නැවත ස්තූප ඝරයක් (ස්තූපය සඳහා වටදාගෙයක්) සාදවන ලදී. පළමුවන උපතිස්ස රජු (ක්‍රි.ව. ස්තූපයේ කොතට” රන් ආවරණයක් දැමීය. ධාතුසේන රජු (ක්‍රි.ව. 459-477) මෙම ථූපය ප්‍රතිසංස්කරණය කරවා ඇත. දෙවන අග්බෝ රජු විසින් (ක්‍රිව. 608-618) මෙම ථූපයේ ථූපඝරය සම්පූර්ණයෙන්ම අලුත් කරවන ලදී. ථූපඝරයේ ගල්කන්ද අදත් දක්නට ලැබේ.

මෙසේ අනුරාධපුරයේ රජකරන ලද බොහෝ නරපතියෝ මෙම දාගැබට පුද පූජා මෙන්ම එය සංරක්ෂණය කිරිමට ද කටයුතු කර ඇත. 1862 දී කරන ලද ප්‍රතිසංස්කරණ අනුව මෙහි මුල් ධාන්‍යාකාර ස්වරූපය වෙනස් වී ඇත. ඵෙතිහාසිකව හා පුරාවිද්‍යාත්මකව නිර්මාණය කරන ලද ප්‍රථම දාගැබ ආශ්‍රිතව මෙසේ විස්තර කළේ ඒ කාලයේ හැටියට මෙම දාගැබ නිර්මාණය ඉතා සුවිශේෂ වූ කාර්යයක් හෙයිනි.


පසුගිය සතියෙන් - පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 06 - දාගැබ් පුරාණය