Print this Article


පුරාණ භාරතයේ අපරාධවලට ලබාදුන් දඬුවම්

පුරාණ භාරතයේ අපරාධවලට ලබාදුන් දඬුවම්

ඇඟ හණ තබා අපරාධකරුවෙකු ලෙස සම්මත කිරීමක්ද වූ අතර එබඳු පුද්ගලයන් සමාජය විසින් පිළිකුල් කරන ලදී. එහෙයින්ම ඔවුන් පැවිදි කිරීම බුදුන් වහන්සේ විසින් ද තහනම් කරන ලදී. අපරාධකරුවෙකු පිටුවහල් කිරීමේ දී ඔහුගේ හිස බූ ගා ඇඟ අළු ගා වදමල් පළඳවා නගරයෙන් නගරයට හෝ රටෙන් පිටුවහල් කොට ඇත.

පුරාණ ඉන්දියාවේ පැවැති අපරාධ පිළිබඳ බෞද්ධ මූලාශ්‍රවල යම් යම් තොරතුරු සඳහන් වේ. අපරාධය සමඟ බැඳී ඇත්තේ නීතිය සහ දඬුවමයි. එය හුදෙක් රටක සුරක්ෂිතභාවය සඳහා යොදා ගනු ලබන්නක් වේ. එක අතකින් දඬුවම වූ කලී යුක්තිය පසිඳලීමෙහි උපාය මාර්ගයක් වේ. රටක යහපත සඳහා දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී මානව හිතවාදී යුක්තිය මෙන්ම දූරදර්ශී බුද්ධිය ද මැනවින් යොදා ගත යුතු වන අතර කිසිසේත් එහිදී පක්ෂග්‍රාහී වීමක් සිදු නොවිය යුතු ය. මෙම ලිපියේ දී යුක්තිය පසිඳලීමෙහිලා භාවිත කෙරෙන දඬුවම් ක්‍රමවල යුක්තිය අයුක්තිය ගැන සාකච්ඡා නොවන අතර පුරාණ භාරතීය දඬුවම් ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබාදීම පමණක් අරමුණු කෙරේ. හුදෙක් එහි බලාපොරොත්තුව වන්නේ අවබෝධය හා තීන්දු තීරණ පිළිබඳ සුදුසු නුසුදුසු බව සම්බන්ධ ඥාන සම්භාරය අවදි කිරීමකි.

පැරැණි ඉන්දියාවේ විවිධ දඬුවම් ක්‍රම පැවතුණි. ඒ අතර එකක් ලෙස බිළංගාථාලික ක්‍රමය දැක්විය හැකි ය. හිස් කබල සිදුරු කොට ගිනියම් වූ යකඩ ගුලියක් එහි දමා එයින් මොළය උණු වී කැඳ මෙන් පිටාර ගැලීමට සැලැස්වීම මෙයින් අදහස් වේ. රාහුමුඛ නමින් තවත් දණ්ඩන ක්‍රමයක් විය. හුලකින් මුඛය විවර කොට එහි පහණක් දල්වා ලෙයින් මුව පිරෙන්නට සැලැස්වීම මෙහි අරමුණය. කන දක්වා මුඛය ඉරා දැමීමක් ද මෙහිදී සිදුවේ. අපරාධකරුගේ මුළු සිරුරම තෙල් සහිත රෙදිවලින් ඔතා ගිනි දැල්වීම ජොතිකාමාලික නම් දණ්ඩන ක්‍රමයයි. අත පමණක් එසේ ඔතා ගිනි දැල්වීම හාත්ථපජ්ජොතික නම් වේ. හිස වටා හම කපා කෙස් වැටිය ඇද ගළවා හිස් කබල රළු ගල්වල අතුල්ලා වධ දීම සංඛමුණ්ඩක යන නමින් හැඳින්විණි. ශරීරයෙහි තෙල් විශේෂයක් ගල්වා ගිනිමාලාවක් දැල්වීම ජොතිමාලිකා නම් වේ. තවද ශරීරයේ අවයවවල හම කපා ඇද වැටීමට සැලැස්වීම, චිරකවාසි යනාදී නම්වලින් දක්වා ඇත. හම ගලවා තියුණු උල්වලින් විවිධ අයුරින් වධ දීමේ ක්‍රම රාශියක්ද බළිසමංසික, කහාපණික, ඛාරාපාතච්ඡික, පලිඝපරිවත්තික, පලාලපීඨක ආදී නම්වලින් දක්වා ඇති අතර අටුවාවල ඒවා සවිස්තරව දක්වා ඇත. දෙතිස් වධ පිළිබඳ අදහස සමාජගතව ඇත්තේ මෙකී වධ හිංසා ක්‍රමවල අනේකවිධභාවය හේතුකොට ගෙනය.

අතිශය අමානුෂික ස්වරූපයක් පෙන්නුම් කරන ඇතැම් හිංසන ක්‍රම එනම් ගිනියම් යකඩ තහඩුවක හොවා රත් වූ යකඩ අඬුවකින් මුව විවර කොට ගිනියම් යකඩ ගුලි මුවට දැමීමෙන් තොල් දිව උගුර කුස පිළිස්සවීම යනාදිය ක්‍රියාත්මක කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කරනු පිණිසය. පණ පිටින් හුල තැබීම මෙන්ම එක් පුරුෂයෙකු විසින් හුල් එකකින් හෝ දෙකකින් අපරාධකරුට ඇන මැරීම ද අත් පා නාසා දිව ආදී අවයව කපා දැමීම ද මේ දඬුවම් අතර විය. කසය, වේවැල, දෙරියන් පමණ මුගුර, කැට කැබිලිති, මෝල්ගස, පොලු, රැහැන්, තියුණු ආයුධ, යකඩ හුල්, මහත් යදම්, මාංචු, අකුස්ස සැත් ආදී උපකරණ රාශියක් මේ සඳහා භාවිතා කොට ඇත.

ඇඟ හණ තබා අපරාධකරුවෙකු ලෙස සම්මත කිරීමක්ද වූ අතර එබඳු පුද්ගලයන් සමාජය විසින් පිළිකුල් කරන ලදී. එහෙයින්ම ඔවුන් පැවිදි කිරීම බුදුන් වහන්සේ විසින් ද තහනම් කරන ලදී. අපරාධකරුවෙකු පිටුවහල් කිරීමේ දී ඔහුගේ හිස බූ ගා ඇඟ අළු ගා වදමල් පළඳවා නගරයෙන් නගරයට හෝ රටෙන් පිටුවහල් කොට ඇත. සොරුන්ට දඬුවම වශයෙන් මරණ තැන හෙවත් වධකාගාරය චොරඝාතන, අධිකුට්ටන, ආඝාතක යනාදී නම්වලින් ද වැහැරිණි.මරණය සඳහා වරධකරුවන් පෙරළා දමන පර්වත ප්‍රපාතය චොරපපාත නමින් දැක්වේ. අපරාධකරුට තම හිස එක පහරින් සිඳලන ලෙස ඉල්ලීමේ විශේෂ වරප්‍රසාදයක් ද විය. කසපහර දාහක් දීමෙන් හා ගිනි අඟුරු වලෙක බහාලීමෙන් පසු මැරීමෙන් ද දඬුවම් කෙරී ඇත. එසේම සියක් වර හුල්වලින් ඇන ඝාතනය කිරීම, හම නහර මස් නිය ඇට ගැලවීම, ලෝ දිය නැහැවීම, සුනඛයන්ට කෑමට දීම, උණු තෙල් වැක්කිරීම, හිස තලා දැමීම, දිව ඇද භාගයක් කපා දැමීම, හිස තැලීම, සිරුර දෙපලු කිරීම වැනි දරුණු වධ දීම යනාදී දඬුවම් ක්‍රම ගැන ද අසන්නට ලැබේ.

බෞද්ධ මූලාශ්‍රය තුළින් එකල පැවැති අපරාධ නීතිය පිළිබඳ සුළු අවබෝධයක් ලබා ගත හැකිය. සමාජයක් පාලනය වන්නේ නීතියෙන් මිස පාලකයන්ගේ අභිරුචියට හෝ සිතැඟිවලට අනුව නොවන බව සමාජයක නීතියක් පැවතීමෙන්ම අදහස් වේ. අතීතයේ භාරතයේ රජෙකු යටතේ පැවැති ආණ්ඩුවලට ද මෙම සංසිද්ධිය වලංගු ය. නීතිය යනු එක් පුද්ගලයෙකුගේ රුචිකත්වයක් නොවන අතර නීති සම්පාදකයෝ එකල ද වූහ. ඔවුන්ගේ නිගමනය රජු ද පිළිගත්තේ ය.

ණයකරුවෙකු නියමිත දිනය වන විට ණය පියවා ගත නොහැකි වුවහොත් ඔහු හෝ ඇය ප්‍රසිද්ධියේ අපහාසයට බඳුන් කරන ලදී. එසේ නැතහොත් සිරගත කරන ලදී. වරක් එබඳු ණයකරුවෙකු විසින් ණයක් නැතිබව කියමින් ණය නොගෙවා හරින ලදී. මෙබ ඳු වංචනිකයන් වසල ගණයට ලා සැලකුණි. මෙම ගනුදෙනුවේ දී පැවැති කිසිදු ලිඛිත ප්‍රකාශයක් ගැන දක්නට නැත. සමහර ණයකරුවන් ඉන් ගැලවීම පිණිස පැවිදි වූ අවස්ථා ගැන ද කියවේ. බිම්බිසාර රජු පැවිදි වූ එබඳු ණයකරුවෙකුට දඬුවම් දීම මඟ හැර ඇත. මෙය අප්‍රසන්න ක්‍රියාවක් වූ හෙයින් එබඳු අය උපසපන් කිරීම බුදුරදුන් විසින් තහනම් කරන ලදී. ණයට හිලව්ව සඳහා ණයකරුගේ බාල දියණිය රැගෙන ගිය බව ද සඳහන් වේ. ණය ගැනීමේ දී ලිඛිත ප්‍රකාශ නැතත් ඇපකරුවෙකු (පාටිභොගො) වීය. ඉබාගාතේ යන ගවයන් විසින් මනාව වැඩෙන ශස්‍යවලට හානියක් සිදු කරන ලදහොත් එහි වගකීම ගව හිමිකරුවා විසින් දැරිය යුතු ය. එය මග හළහොත් ගර්හාවට ලක්වීම හා සිරගතවීමද දඬුවම් වශයෙන් ලැබුණි.

ප්‍රවේණිගත දේපල අයිතිය නීත්‍යානුකූලව සහෝදරයන් අනුව සමසේ බෙදී ගියේ ය. සහෝදරියට උරුමයක් නොවුණු අතර පියාගේ කැමැත්ත අනුව සොහොයුරියගේ පුත්‍රයාට හෝ වෙනත් කෙනෙකුට පැවරිය හැකි විය. මෙහිදී පුත්‍රයාට ඒ සම්බන්ධ විරුද්ධත්වය ද පළ කළ හැකිව තිබුණි. අන්තිම කැමති පත්‍රයක් ලියා නොමැති පුද්ගලයාගේ දේපල රාජසන්තක විය. සැවැත්නුවර ධනවත් සිටුවරයෙකු සතුව තිබූ එබඳු දේපළක් කොසොල් රජතුමා විසින් ගන්නා ලද අවස්ථාවක් ගැන පාලි මූලාශ්‍රවල එයි. එසේම ධනවත් පවුලක එකම පුතු පැවිදි වූ පසු ඔහුගේ මව ඔහුට උපැදි වන ලෙස අයැද සිටිනුයේ මේ වස්තුවේ උරුමය ලිච්ඡවීන්ට ගෙන යාමට ඉඩ නොතබන ලෙස පවසමිනි.

පුද්ගලයන් දෙදෙනෙකු හෝ සමූහයක් අතර සිදුවන ගිවිසුම නීතිය ගැන ද යමක් කිව හැකිව තිබේ. අනාථපිණ්ඩික සැවැත්නුවර ධනවත් ව්‍යාපාරිකයෙකි. බුදුන් වහන්සේ ප්‍රමුඛ සඟනට ආරාමයක් ඉදි කිරීමට ඉඩමක් සෙවූ ඔහුට ජේත නම් කුමරුගේ උයන ඒ සඳහා සුදුසු බව හැඟුණි. සිටුවරයා උයන හිමි ජේත කුමරු වෙත පැමිණ මාගෙන් මිල ගෙන උයන මට දෙන්නැයි ඉල්ලීය. එය නොදෙනු කැමැති කුමරු එම ඉඩම මුදලින් ඇතිරූ නමුත් පිට නොදෙන බව ප්‍රකාශ කළේ ය. එපමණකින්ම එය විකුණා ඇති බව කී සිටුතුමා ධනයෙන් උයන අතුරා එහි හිමිකම නිශ්චය කර ගැනීමට අධිකරණයට (වොහාරික මහාමත්තා) ගියේ ය. උයන හිමිකරු වටිනාකමට වැඩි මිලක් නියම කොට ඇති නිසාත් එකී මුදල ගැනුම්කරු විසින් ගෙවා ඇති නිසාත් නීතිඥයන්ගේ තීරණය වූයේ කුමරුගේ තක්සේරුවට අනුව ඉඩම විකුණා ඇත යන්නයි.

තවත් සිදුවීමකට අනුව එක්තරා අනුගාමිකයෙක් භික්ෂුණී ආරාමයකට ගබඩා කාමරයක් (උද්දෙසිත) පරිත්‍යාග කළේ ය. ඔහුගේ අභාවයෙන් පසු දරුවන් දෙදෙනාගෙන් අන්‍යලබ්ධික එක් දරුවෙක් අනෙක් දරුවා අකැමැත්ත පළ කරද්දී තමාට හිමි කොටස ලබාදෙන ලෙස ඉල්ලීය. එම ගබඩා කාමරය නිදහස් කොට තමාට දෙන ලෙස අන්‍යලබ්ධික දරුවා බලකරන විට භික්ෂුණීහු එය තමා සතු බව කියා සිටියහ. මෙහිදී අරගලයක් ඇති වූ නිසා අධිකරණය වෙත යාමට ඔවුහු තීරණය කළහ. එහිදී එක් විනිශ්චකරුවෙක් එය භික්ෂුණී ආරාමය පූජා කළ බව කවුරුන් දනිදැයි විමසීය. ඊට පිළිතුරු වශයෙන් එක් භික්ෂුණියක් ප්‍රකාශ කළේ ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇති බව ය. ඒ අනුව එම ගබඩා කාමරය භික්ෂුණී ආරාමය සතු බව අධිකරණය තීන්දු කළේ ය. පරාජිත චෝදකයා විසින් භික්ෂුණියගේ ක්‍රියා කලාපය විවේචනය කරන ලදින් අධිකරණය ඔහුට දඬුවම් නියම කළේ ය. එවිට ඔහු භික්ෂුණීන් පිළිබඳ කටකතා පැතිරවීමට ආජීවකයන් පෙළඹ වූ විට අධිකරණය ඔහු සිරගත කළේ ය. අධිකරණ තීන්දු තීරණ ගැනීම එක් පුද්ගලයෙකුට වඩා පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. එකී පුද්ගල සමූහය සභා නමින් හැඳින්විණි. එසේම කුල ගෝත්‍ර බද්ධ විනිශ්චය සභාව පරිසා නමින් ද ඥාතීන් මැද විමසීම ඤාතිමජ්ඣෙ නමින් ද අවසානයේ රජගෙදර ද විමසීම රාජකුල මජ්ඣෙ නමින් ද හැඳින්විණි. අර්බුදයක් ඇති වූ විට දෛනික ජීවිතයේ දී මෙම සභා මහත්සේ උපකාරී වූ බව සිතිය හැකිය.

අධිකරණ උපදේශකයන් පාලි මූලාශ්‍රවල වොහාරිකමහාමත්තා යන නමින් හැඳින්වුණි. නීතිය පිළිබඳ විශාරදයන් වූ මොවුහු පාණීනී විසින් ව්‍යවහාරිකා නමින් හඳුන්වනු ලැබූහ. සභා, පරිසා යනාදී මණ්ඩල විසින් ද ඇතැම් විට රාජසභාව විසින් ද අවශ්‍ය වූ විට මොවුන්ගෙන් නීති උපදේශ ලබා ගන්නා ලදී.