Print this Article


ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ජා

.

ප්‍රශ්නය
ගිහියෙක් පින් කර එම පින තමාගේ පරලොව සැපත් නෑයාට අනුමෝදන් කළ විට ඔහු පින් ගන්න පුළුවන් ස්ථානයක සිටියොත් පින් ගනීද? ඒ පින් භික්ෂූන් වහන්සේ නමක් විසින් ම අනුමෝදන් කළ යුතු ද? ගිහියෙක් මළගිය ඥාතියාට පින් දුන්නාට භාර ගන්නේ නැත්ද? පහදා දෙන්න.

පිළිතුර
භික්ෂූන් වහන්සේ යනු පූජකයෙක් නොවේ පූජ්‍ය උතුමෙකි. පූජක යනු පිදුම් කරන තැනැත්තායි. බුදුරජාණන් වහන්සේට යමක් පූජා කිරීමට හෝ තමා කරන පින් අනුන්ට අනුමෝදන් කරවීමට හෝ අතර මැදියෙක් අවශ්‍ය නොවේ. දෙවියන් හා මිනිසා අතර සෘජු සම්බන්ධතාවයක් ගොඩනැගිය නො හැකි නිසා අතරමැද යාග අධ්‍යක්ෂ හෙවත් පූජකයකු සිටිය යුතු බව බ්‍රාහ්මණ ඉගැන්වීම්වල දක්වා ඇත. දේව ආගම්වල පූජකයා දෙවියන්ට පූජා තැබීමටත්, යාඥා කිරීමටත්, කන්නලව් කිරීමටත් අත්‍යවශ්‍යයි.

බෞද්ධයන්ට පූජකයෝ නැත්තාහ. තමන් විසින්ම නිවැරැදිව කරුණු වටහා ගෙන හෙවත් ශ්‍රද්ධාවෙන් යුක්තව මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට පින කරන ගිහියාට හැකියි. පිනෙහි ස්වභාවය මැනවින් වටහා දීමටත්, අනුමෝදන ක්‍රමයට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් ස්වාමීන් වහන්සේ කෙනකුගේ උපදෙස් ලබා ගැනීම උචිතය. පින අනුමෝදන් කරනවා විනා අනුමෝදන් කරවනවා නොවේ.


ප්‍රශ්නය -
(අ) කොටස -

ආරාම රෝපා වනරෝපා
යේ ජනා සෙතු කාරකා
පපඤ්ච උදපානං ච
යෙ දදන්ති උපස්සයං
තේසං දිවා ච රත්තෝච
සදා පුඤ්ඤං පවඩ්ඪති

මෙය බුද්ධ භාෂිතයක්ද? මෙහි දක්නට ඇති අට මහ කුසල් නම් වශයෙන් දක්වන්න. කඨින චීවර පූජාව සහ අෂ්ට පරිෂ්කාර පූජාව ද අට මහ කුසල් වශයෙන් දැක්වේ. එවිට දස මහ කුසලකි. මෙය පැහැදිලි කර දෙන්න.

(ආ) කොටස

අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුප්ඣන්තී

තේසං වුපසමෝ සුඛෝ මෙය ශක්‍ර භාෂිතයක් බව දහම් පොත්වල සඳහන් වෙයි. බුද්ධ දේශිත අසූහාර දහසක් ධර්ම ස්කන්ධයේ පාංශුකූල අවස්ථාවේ පැවිදි උතුමන් විසින් දේශනා කිරීමට වෙනත් සුදුසු බුද්ධ භාෂිත ගාථාවක් යොදා ගන්නේ නම් වඩාත් සුදුසු නොවේද?

පිළිතුර
ආරාම රෝපා වනරෝපා ආදි ගාථාවන් සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ සංගෘහිතයි. එය බුද්ධ භාෂිතයකි. මෙහි සඳහන් පින් සිදුවන කරුණු අටමහ කුසල්වලට අයත් නොවේ. පින්කම් විෂයෙහි දස පින්, දොළොස් පින් ආදී ලෙස වර්ගීකරණ ඇත. සංඛ්‍යා ලෙස වෙන් කර ඇත්තේ ඒ ඒ ඒකක ලෙස සලකායි. නොවේ නම් පින් කෝටි ප්‍රකෝටි ගණනක් වෙයි. යමෙක් තමන්ට හා අනුන්ට සිත වැඩ දායක කායික වාචසික හා මානසික ක්‍රියා සිදු කිරීමෙන් ඔහු ලබන හදවතේ ප්‍රබෝධය හා සිතේ සතුට පින නම් වෙයි. කඨින චීවර පූජාව, අෂ්ඨ පරිෂ්කාර පූජාව, ආවාස පූජාව, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි කෙරෙන දක්ෂිණාව දහම් පොත් ලිවීම, කෙත් වතු පිදීම, බුද්ධ ප්‍රතිමා තැනීම, සංඝයා සඳහා වැසිකිළි සැකසීම යන කරුණු අට පින් (අට්ඨ පුඤ්ඤානි වුච්චරේ) ලෙස කියවේ.

පිළිතුර

අනිච්චා වත සංඛාරා ආදී ගාථාව බුදුරජාණන් වහන්සේ අනුපදිසේසනිබ්බාන ධාතුවට හෙවත් පරිනිර්වානයට පත් වූ අවස්ථාවේ සක්‍ර දේවේන්ද්‍රයා කළ සංවේග ප්‍රකාශයයි. ධර්මය යනු කුමක්දැයි විවරණය කිරීමට ද සක් දෙවිඳු මෙම ගාථාව ප්‍රකාශ කළ බව දහම් සොඬ ජාතකයේ ද කියවේ. අසූහාර දහසක් ධර්මස්කන්ධයෙන් දෙදහසක් ශ්‍රී මුඛ දේශනා නොවේ. ශ්‍රාවක භාෂිතයි. එහෙත් ඒ දේශනා බුද්ධ දේශනා ලෙසම සැලකේ.

පැහැදිලි කරන දර්ශනය නිවැරැදි නම් ශ්‍රාවකයකු දේශනා කළත් එය ශ්‍රී මුඛ දේශනයට සමාන වෙයි. වර්තමානයේ කෙනෙක් මිය පරලෝසැපත් කල්හී පවත්වන ආගමික වතාවත්වල දී අනිච්චාවත සංඛාරා යන ගාථාව සංඝයා සජ්ඣායනා කරති. මේ අදහසට සමාන අරුත් දෙන ගාථා බොහෝමයක් සූත්‍ර පිටකයේ තිබේ. ඒ අතරින් කෙටි හා අනිච්චානුපස්සනාවට යෝග්‍ය ගාථාවක් ලෙස මෙම ගාථාව භාවිත කිරීම වරදක් නොවේ. මේ සමඟ විනාඩි කිහිපයක අනිත්‍යානු පස්සනා භාවනාවක් වඩන්නේ නම් එය වඩාත් හරවත් හා යෝග්‍ය දෙයක් වනු ඇතැයි ධම්මිකට සිතේ.


ප්‍රශ්නය

ධාතු අටලොස සහ ඉන්ද්‍රිය දෙවිස්ස යනු මොනවාද?

පිළිතුර
ධාතු අටළොස නම් ඉන්ද්‍රියන් සය. අරමුණු සය සහ ඉන්ද්‍රියන් පිළිබඳ වූ විඤ්ඤාණ සයයි. එනම් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය මන යන ඉන්ද්‍රිය සයත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන ආන සයත්, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ සය යන අටළොසයි.

දෙවිසි ( ද්වාවිංසති) ඉන්ද්‍රිය නම් චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාණ ඉන්ද්‍රිය, ජිව්හා, ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත්ථන්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, මතින්ද්‍රිය, සුඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛෝන්ද්‍රිය, සන්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, අනඤ්ඤානඤ්ඤස්සමිනින්ද්‍රිය, අඤ්ඤාන්ද්‍රිය, අඤ්ඤාතාවින්ද්‍රිය යන දෙවිස්සයි.