Print this Article


හන්දුරුමුල්ලේ සිරිකුසල නා හිමි

හන්දුරුමුල්ලේ සිරිකුසල නා හිමි

හාපිටිගම ජයසුමනාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී සිද්ධාර්ථ වංශාවතංස ඤාණකීර්ති ශ්‍රී සංඝශෝභන විනයාචාරිය හන්දුරුමුල්ලේ සිරිකුසල නාහිමිපාණෝ අපවත් වී නොවැම්බර් මස 11 දිනට තුන්මසක් සපිරේ.

සහෝදර සහෝදරියන් අට දෙනෙකු සහිත පවුලක හයවෙනියා ලෙස වර්ෂ 1924 ක් වූ ඔක්තෝබර් 13 වෙනි දින හාපිටිගම හන්දුරුමුල්ලේ විසූ දිවංගත ගිරිගෝරිස් අප්පුහාමි උපාසක මහතාත්, වී.පී. ජේන්නෝනා උපාසිකා මාතාවත් දෙමව්පියෝ කොට උන්වහන්සේ උපත ලැබූහ. ගිහිකළ උන්වහන්සේ වී.පී. සේනාරත්න නම් වූහ. සේනාරත්න කුමරුද ප්‍රාථමික අධ්‍යාපනය ඇරඹුවේ ගමේ පන්සල පාදක කොට ගෙනය. මක්කානිගොඩ ඤාණකීර්ති නාහිමිපාණෝ සේනාරත්න කුමරුගේ ද මුල් ආචාර්යවරයාණෝ වූහ. 1939 ක් වූ නොවැම්බර් මස 28 වන දින හන්දුරුමුල්ලේ සිරිකුසල නමින් පැවිදි විය.

හන්දුරුමුල්ලේ සිරිකුසල නාහිමිපාණෝ පසුකලෙක හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ අධිපතිත්වයට පත්වූහ.

අපවත් වී වදාළ හන්දුරුමුල්ලේ සිරිකුසල නාහිමියෝ 1946 නොවැම්බර් මස 26 වන දින උපසම්පදා සීලයට පත්වූයේද සිය ගුරුදේවයන් වූ මක්කානිගොඩ ඤාණකීර්ති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හත්වෙනි මහානායක ධුරය දැරූ කරතොට ඉන්දසාරාභිධාන මාහිමියන් උපාධ්‍යායත්වයෙනි.

හන්දුරුමුල්ලේ සිරිකුසල නාහිමිපාණෝ සහජ කවිත්වයකින් හෙබි “කවිකාර මහතෙරණුවන්” ලෙස හැඳින්වූ චතුර කවියෙක්ද වූහ.

ජාතික පුවත්පත් සඳහා ද පද්‍ය රචනා යොමුකළ උන්වහන්සේ ප්‍රබන්ධ කළ කවි රචනා එක්තැන්කොට විචිත්‍ර ධර්ම දේශක ශාස්ත්‍රපති හාපිටිගම විජිත හිමියන් නාහිමියන්ගේ විවිධ වූ පද්‍ය රචනා ඊට එකතු කොට කාව්‍ය නිබන්ධයක් මුද්‍රණද්වාරයෙන්ද ජනගත කළහ. හාපිටිගම සිරිනන්ද හිමියන්ගේ අපවත්වීමෙන් පසුව හාපිටිගම ජයසුමනාරාමයෙහි අටවෙනි විහාරාධිපති ධුරයට පත් වූ උන්වහන්සේ එතැන් සිට ජයසුමනාරාමයෙහි වත්මන් දියුණුවට උරදුන් කීර්තිමත් නාහිමිනමක් වූහ. විහාරස්ථානයේ විහාර මන්දිරය හා තදානුබද්ධ අංගෝපාංග කිහිපයක්ම සකස් කිරීමට හා ඉදිකිරීමටද උන්වහන්සේ මූලික වූහ. අනතුරුව හාපිටිගම ජයසුමනාරමයට එක්වුණු මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලෙහි හිටපු විදුහල්පති ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජී හිමිපාණෝ හා සබඳ වී උන්වහන්සේ ජයසුමනාරාමය ඉතාමත්ම විචිත්‍රවත්, වර්ණවත් හා ශෝභාවත් සියලු විහාරාරංගයන්ගෙන් යුක්ත වූ විහාරස්ථානයක් ලෙස අලංකෘත කිරීමට නායකත්වය සැපවූහ.

දශක නවයකටත් වැඩි කාලයක් ආයු වින්දනය කළ පැවිදි වූ දා සිට අපවත්වනතුරු ජයසුමනාරාමයෙහිම වැඩ වෙසෙමින් දශක හත හමාරකට වැඩි කාලයක් සසුනෙහි වැඩ වසමින් ඉමහත් සේවයක් සිදුකොට වදාළ පූජ්‍යපාද විනයාචාර්ය හන්දුරුමුල්ලේ සිරිකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2015 අගෝස්තු මස 11 වන දින අපවත් වී වදාළ සේක.

උන්වහන්සේට නිවන් සුව අත්වේවා!