Print this Article


වස් විසීමේ පිළිවෙත හා පරිසර ආකල්ප

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීපංකරාදී අතීත බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුද්ධ චාරිත්‍රයක් වශයෙන් ද සමාජයේ පැවති පරිසර ආකල්පවලට ඉඩප්‍රස්තාව දීම් වශයෙන්ද වස්සාන සෘතුවේ වස්විසීමට විනය ප්‍රඥප්තියක් පනවා වදාළ සේක.

විනය නීති පැනවීමේ දී හේතුව, පුද්ගලයා, සිද්ධිය, ධර්මය, සාධනීය ඵලය යන කරුණු සංයුක්ත වීමෙන් එවන් විනය ප්‍රඥප්ති කෙරෙහි විශ්වාසය, හා මතු පැවැත්ම තහවුරු වන්නේ ය.

භාරත දේශය පමණක් නොව ලෝක සෑම වාස භූමියක්ම සකස්වූයේ කාලගුණයට හා දේශගුණයට අනුකූලව බව මානව ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. ආර්ය සංස්කෘතිය මෙතරම් උදාරත්වයට පත්වූයේ දේශයට, කාලයට, පරිසරයට අනුගතව බිහිවූ වේදචින්තාව නිසාය.

සත්වයා පරිසරයට අනුකූලව නිර්මාණය කරගත් ආගම, දහමත් එයට සමගාමීව ආර්ථික අවශ්‍යතා, නීතිය, පාලනය වෛද්‍ය ශාස්ත්‍රය ආදී විෂයන්දමානව ධර්ම නොඉක්මවා පවත්වාගෙන ඒමට හැකි වූ බැවින් මානව ශිෂ්ටචාර ප්‍රවාහය ගලාගෙන යන්නේ ය.

අපේ බුදුරජාණන් වහන්සේ තරම් පරිසරයට සත්ව පරපුරට හිතකරව උතුම් ධර්මයක් දේශනා කළ කෙනෙකු මෙතෙක් පහළ වී නොමැත. එහෙත් හේතුවක් ඇතිවම බුදුරජාණන් වහන්සේ දේශනය, ප්‍රඥප්තිය, විග්‍රහය, විවරණය දක්වා වදාළ සේක.

හිමාල කඳු වැටියෙන් සිපගෙන එන වළාපෙලින් වැටෙන අන්තිම ජල බිංදුව දක්වා අපතේ නොයවා ප්‍රයෝජනයට ගෙන ගොඩමඩ ඉඩම් ගහකොළ හරකාබාන සරු කරගන්නා භාරතීය ජනතාවට වර්ෂා කාලය දෙවියන් විසින් දෙනලද වරමක් සම්පතක් වශයෙන් සැලකීම සාධාරණවන්නේ ය. භාරතයේ භාෂා ශාස්ත්‍රයට ආගම දහමට වර්ෂා කාලය කේන්ද්‍රවූයේ මේ නිසාය.

වස්සාන සමයේ ජනතාව හා සතුන් තුළ පවත්නා ක්‍රියාකාරීත්වය ආර්ථික පෝෂණයට මහෝපකාරී වන්නේ ය. එමෙන්ම වෛදික පූජ්‍ය පක්ෂය ආරාමවලට රැස් වී වෘත සමාදන්ව වේද පාඨ කියමින් කල්යවන අතර බෞද්ධ භික්ෂූන් තැනින් තැන සංචාරය කරන විට තණකොළ හා කුඩා සත්තු විනාශවෙති. මේ කාරණය නිසා ජනතාව භික්ෂූන්ට දෝෂාරෝපණය කරති. නින්දා කරති.

අප බුදුරජාණන් වහන්සේ මෙම කාරණය මූලික කරගෙන වස්සාන සමයේ වස් වසන්නට යයි ප්‍රඥප්තියක් පනවා වදාළ සේක. වස් විසීමට බුද්ධ ප්‍රඥප්තියක් පැනවූ නමුත් එහි පිහිටිය යුත්තේ කෙසේද? එය ශ්‍රමණ ප්‍රතිපදාවට සම්බන්ධ කරගන්නේ කෙසේදැයි අවබෝධයක් නොවූ බැවින් මේ පිළිබඳව විනය නීති රාශියක් පැනවීමට සිදුවිය.

01. වස් විසීම
02. වත් පිළිවෙත්
03. වස් පවාරණය
04. කඨින චීවර පූජාව

අන්‍ය තීර්ථකයන් පසළොස්වක, අමාවක, අටවක යන කාල පරිච්ඡේද වෙන්කරගෙන තම තමන්ගේ ආරාමවල වේදය කියවීම, ධර්මසාකච්ඡාදිය පවත්වන ආකාරය ජනතාවගේ ආකර්ෂණයට හේතුවන අතර එම සිරිත් විරිත් පසුබිම් කරගෙන අප බුදුරජාණන් වහන්සේ පෝය කිරීම, ප්‍රාතිමෝක්ෂය දෙසීම, අන්‍යෝන්‍ය සුහදතාවයෙන් ධර්ම සාකච්ඡා ආදී වත් පිළිවෙත් පනවා වදාළ සේක.

උපෝසථාගාරය කේන්ද්‍රකරගෙන උපසපන් භික්ෂූන්ගේ උපසපන්වීම, පෝය කිරීම, පාමොක්දෙසීම, වස්පවාරණය, කඨින චීවර පවාරණය, එමෙන්ම සෙසු භික්ෂූන් සම්බන්ධ අයහපත් හැසිරීමාදියට චෝදනාබාරදීම, දඬුවම් පැමිණවීමාදී සියලු කාර්යයන් සිදුකෙරෙන බැවින් උපෝසථාගාරයක් සම්මත කිරීම සම්බුද්ධ ශාසනයේ ඇති ඉතා බැරෑරුම් එමෙන්ම විනයධර, ධර්මධර භික්ෂූන් ඇතුළත් මහා සංඝසභාවකින්ය. සීමාවක් සම්මත කොට සීමාගල් පිහිටුවාලූ පසු මොනම හේතුවක් නිසාවත් ඒවා ගැළවිය නොහැකි වන්නේ ය. එමෙන්ම විනය කර්ම කෙරෙන අවස්ථාවල උපසපන් භික්ෂූන් පමණක් සීමා සම්මතගල් කනුවලින් ඇතුළත්ව සිටිය යුතු වන්නේ ය.

සමාජ විෂමතා නිසා භික්ෂූන් වහන්සේලාගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමේ දී සංකීර්ණ ප්‍රශ්නවලට මූහුණ පාන්නට සිදුවන අයුරුත් වස්සමාදන්වන කාලසීමාවේදී එය වඩාත් ප්‍රකටවන අයුරුත් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් එම ප්‍රශ්න ජාලයෙන් මුදාගත් අයුරුත් විනයපිටකයේ සිය දහස් ගණන් විනය ප්‍රඥප්ති අනුප්‍රඥප්ති ප්‍රදේශ ප්‍රඥප්ති, පුද්ගල ප්‍රඥප්ති ආදී පැනවීම් වලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

වස් විසීම නිසා සම්බන්ධවන දායකයන්ටද අර්ථවත් ප්‍රතිඵල ලැබෙන්නේ ය.

01. ගිහි පැවිදි සම්බන්ධය තහවුරුවීම.
02. භික්ෂූන්ගේ විනය කර්ම පිළිබඳව පුනරීක්ෂණය කිරීම.
03. දායකයන්ට දන් පින් කරගැනීමට අවස්ථාව එළඹීම.
04. පුරාණ ධර්ම දේශනා ක්‍රම ක්‍රියාත්මක කිරීම.
05. බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වීම.

මෙසේ වස් කාලය හුදෙක් පාරම්පරික බෞද්ධ චාරිත්‍රයක් ක්‍රියාත්මක කිරීම පමණක් නොව ගිහි පැවිදි සෑම දෙනාටම ශාසනික ප්‍රතිපදාව සපුරා සසර දුකින් එතෙරව ලබා ශාන්ත සුන්දර නිවන්සුව විඳීමේ අනඟි අවකාශයටද මඟ සැලසෙන්නේ ය.

භික්ෂුවගේ ආකල්ප සෙසු සමාජයෙන් වෙන්වන ආකාරය දසධම්ම සූත්‍රයෙන් මොනවට පැහැදිලි වන්නේ ය. “අඤ්ඤො මෙ ආකප්පෝ කරණයෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛි තබ්බං” ගමන බිමන කතා බහ සිය ගුරුවර දෙමව්පියන් ඤාතීන්, දායකයන් සමඟ හැසිරීම සිව්පසය පරිහරණය, භික්ෂූන් අතර ආචාර, සමාචාර පැවැත්ම ශ්‍රමණ පරමාර්ථයට යෝග්‍ය පරිදි භික්ෂු ජීවිතය සකස්කරගත යුතු බව මහා වග්ග පාලියේ දක්නට පුළුවන.

මෝනෙය්‍යවත, අපණ්ණක ප්‍රතිපදාව, රථවිනීත ප්‍රතිපදාව කරණිය මෙත්ත සූත්‍රයේ තුදුස් අර්ථ කුසල ධම්ම ආදී උසස් ධර්ම ප්‍රතිපදා හා උපදේශ භික්ෂු ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් සාරවත් කරණ, පෝෂණය කරන දෙලොව ශාන්තිය ඇතිකරන සදුපදේශවන්නේය.

භික්ෂු සමාජය තුළින් පැනනගින ප්‍රශ්නවලදී සීල විපත්ති, ආචාරවිපත්ති, දිට්ඨි විපත්ති, භික්ෂු ජීවිතයට අනර්ථකාරී බව බුදුරජාණන් වහන්සේ පරිසරයෙන් උදාහරණ ගෙනහැර දක්වමින් පෙන්වා දුන්සේක. එමෙන්ම සෑම විනය නීතියක්ම පැනවීමේ දී පුද්ගල නිදහසට බාධා නොවන පරිදි පරිසරය හා ඒකාබද්ධවීමේ දී එයින් ලබන ප්‍රයෝජන උපරිම වශයෙන් ධනාත්මකව ලබාගැනීමට හැකිවන අයුරින් පනවා ඇත. ශාසන ඉතිහාසය පිළිබඳ සංසිද්ධීන් නිරීක්ෂණය කිරීමේ දී භික්ෂු ශාසනයේ පැවැත්මට ග්‍රාමවාසී ආරණ්‍යවාසී දෙපිරිසම අත්‍යවශ්‍ය බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

වස්සාන සමය ධර්ම විනය ආරක්ෂා කිරීමට මෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරය ආරක්ෂා කර ගැනීමට ද උපයෝගී වන නිසා ගම් නියම් ගම් දනව් නගර ආදී සෑම සිද්ධස්ථානයක්ම ගිහි පැවිදි ජනීජනයාගෙන් පිරී ඉතිරී බණ පිරිත් පෙරහර සන්දර්ශන ආදී ආගමික ජාතික පුණ්‍යමහෝත්සවයන්ගෙන් විරාජමානව වන විට සැදැහැතියන්ගේ චිත්ත සන්තාන ලොව්තුරු මඟට නැඹුරු වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.