හබරාදුව මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරය
සාමවිනිසුරු ලසන්ත විජයරත්න
හකුරුවෙල ඉන්දරතන හිමි |
ගාල්ල හබරාදූව මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරය ඓතිහාසික පුරාණ
විහාරයකි. මීපේ ග්‍රාමය ඓතිහාසික පැරණිතම ග්‍රාමයකි. මෙහි පැරණිතම
අම්බලමක්ද මෑතක් වෙනතුරු පැවතිණ.
එම විහාරස්ථානය වර්ෂ 200 – 250 පමණ පැරැණි යයි විශ්වාස කෙරේ.
විහාරස්ථානයේ ඉතිහාසය විදහාදැක්වෙන සාක්ෂි රැසක් පවතී. ඒ අතර ජීවමාන
සාක්ෂියක් ලෙසට ඉපැරණි බෝසමිඳුන් පෙන්වාදිය හැකිය. එම බෝසමිඳුන්
දැවැන්ත වෘක්ෂයක් ලෙසට සතර අත විහිදෙමින් ඉමහත් තේජාන්විතව වැඩ සිටිති.
ඉපැරණි ගල්කණු, කළුගලින් නිර්මාණය කළ මල් ආසන හා ඒ ආශි‍්‍රත ශිලා
ලේඛනයන් ද වේ. එමෙන්ම සම්බුදු මැදුර තුළ නුවර යුගයේ අලංකාර බිතුසිතුවම්
රැසක්ද නිර්මාණය කර ඇත.
|
බෝධිරාජයාණන් වහන්සේ |
විහාර මන්දිරය |
විහාරාංගයන් අනුපිළිවෙළින් නිර්මාණය කර තිබීමද සිත්පහන් කරවන සුළුය.
ඇතැම් ඉපැරැණි අංගයන් කාලයාගේ ඇවෑමෙන් විනාශ විය. ඒ අතර ප්‍රධාන තැනක්
ගනුයේ පැරැණි ඝණ්ඨාර කුලුනය. විනාශ වූ කුලුන ඉතා දුර්ලභ ගණයේ ඝණ්ඨාර
කුලුනකි. එය මහල් කිහිපයක ගොඩනැගිල්ලක ස්වරූපයෙන් නිර්මාණය වී තිබිණ.
ඉහළ මාලයට පිවිසීමට ලී පියගැට පෙළක් සකසා තිබිණ. ඝණ්ඨාර කුලුනේ බිම්
මහලේ දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාව නිර්මාණය කර තිබිණ. එම ප්‍රතිමාව
විහාරස්ථානයේ වැඩ සිටි ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක වැලිහිඳ රතනපාල
නාහිමියන්ගේ ශරීර උසට සරිලන ආකාරයට නිර්මාණය කර තිබූ බවට ජනප්‍රවාදයේ
සඳහන් වේ.
මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරය අතීතයේ දී හඳුන්වා තිබෙනුයේ
“මීපේ කළවිටිගොඩ පුරාණ විහාරය” නමිනි. එයට හේතුවනුයේ වෙල්යායන්
ආශි‍්‍රතව පැවැති කුඹුරු ආශි‍්‍රත කලවිිටි (ඕවිටි) ගොඩකර විහාර භූමිය
සකසා ඇති බැවිනි.
ඉපැරැණි බෝධීන් වහන්සේ, කතරගම දේවාලය සහ ශ්‍රී විෂ්ණු දේවාලය
වැඳපුදාගෙන බැතිමතුන්ගේ දුක් ගැනවිලි සඳහා සෙත් ශාන්ති ලබාගෙන එම
ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ.
මීපේ බෝසමිඳුන් ඉතා පැරණි බෝධි වෘක්ෂයකි. මෙම බෝධීන් වහන්සේ රෝපණය කර
තිබෙනුයේ ඉහළ මළුව, පහළ මළුව සහ වැලිමළුව ලෙසය.
මෙම බෝසමිඳුන් ආශි‍්‍රතව අතීතයේ දී සුදුනාගයෙකු සිටි බවට එකල වැඩ විසූ
ස්වාමීන්වහන්සේලා පවසා ඇත. පසුකාලීනවද විහාරය ආශි‍්‍රතව කිසිවෙකුටත්
හිංසාවක් නොකරන නාගයෙකු සිටි බවට අනාවරණය වේ.
ඈත අතීතයේ දී මීපේ විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා රැසක් වැඩවාසය කළ බවට
අනාවරණය වේ. ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක වැලිහිඳ රතනපාල නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දෙනිපිටියේ ආභිධම්මික සද්ධානන්ද නායක
හිමිපාණන් වහන්සේ වැඩ විසූ වකවානු තුළ මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ
විහාරය විවිධ අංගයන්ගෙන් දියුණුකර පවත්වාගෙන ගොස් ඇත. එකල සම්බුදු
මැදුර අසළ සක්මන් මළු සකසා තිබුණු බව කියැවේ.
පොහොය හතරටම උපාසක උපාසිකාවන් විශාල පිරිසක් මෙම විහාරස්ථානයේ සිල්
සමාදන් වී ඇත. මහා සංඝරත්නය ද විශාල වශයෙන් වැඩ වාසය කර ඇත. මහා
සංඝරත්නය පොහොය විනය කර්ම සිදුකිරීම සඳහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි
රමණීය කඳු ගැටයක පොහොය සීමා මාලකය සකසා ඇත. එම ස්ථානයට පිවිසෙන මාර්ගය
ගල්පඩි පේළි 208 ප්‍රමාණයක් සහිත මාර්ගයකි. මෙම ස්ථානය වෙනමම කුඩා
පන්සලක් බඳු ස්ථානයකි. එහි චෛත්‍යයක්ද ඉදිකර ඇත. මෙම ස්ථානය පසුකාලීනව
‘කෙහෙල් කඩුව‘ පන්සල නමින් ප්‍රචලිතවිය. කලක් වල්බිහිව පැවැති මෙම
ස්ථානය වත්මන් විහාරාධිකාරී හකුරුවෙල ඉන්දරතන හිමියන්ගේ මැදිහත්වීමෙන්
පිළිසකර කර මේ වන විට මීපේ ශ්‍රී පියදශ්‍යාරාම විහාරස්ථානයේ
විහාරාංගයක් එනම් පොහොය සීමා මාලකය ලෙසට පවත්වාගෙන යනු ලැබේ.
විහාරස්ථානයේ වැඩ වසන ධාතුන් වහන්සේලා මහත් ආශිර්වාදයක්ව පවතී. මෙම
විහාරස්ථානයේ වැඩ විසූ රතනපාල නාහිමියන් දේශ දේශාන්තරවල වැඩම කරමින්
ධර්ම ප්‍රචාරයේ නිරත වූ උගත් බුද්ධිමත් සංඝ පීතෘවරයෙකි. එමෙන්ම සිල්වත්
හිමිනමකි.
පසුකාලීනව වැඩ විසූ දෙනිපිටියේ ආභිධම්මික සද්ධානන්ද නායක
ස්වාමීන්වහන්සේද විහාරස්ථානය සංවර්ධනය කරලීමට ඇප කැප විය. ගම්වාසීන්
විනයගරුක පිරිසක් ලෙසට හික්මවා ගනිමින් විශාල වශයෙන් ශාසනික, ආගමික හා
සාමාජීය සේවාවක් උන්වහන්සේ සිදු කර ඇත. අනතුරුව, වැඩ සිටි විහාරාධිපති
ස්වාමීන්වහන්සේලා ද විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් බොහෝ සේවා සිදුකර
ඇත.
වර්තමාන විහාරාධිකාරී හකුරුවෙල ඉන්දරතන හිමියන්ද මීපේ ශ්‍රී
පියදශ්‍යාරාම පුරාණ විහාරයේ සංවර්ධන කටයුතු වේගවත්කර ඇත. කලක්
අකර්මන්‍යව පැවැති විහාරස්ථානයේ සංවර්ධන කටයුතු හකුරුවෙල ඉන්දරතන
හිමියන්ගේ පැමිණීමත් සමඟ දියුණු තත්ත්වයකට පත් වූ බව ප්‍රදේශවාසීහු
පවසති.
විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා තුළ වාර්ෂිකව විශාල පෙරහර මංගල්‍යයක්ද
මේවන විට ආරම්භකර ඇත. ඒ සඳහා ගම්වාසීන් ඇතුළු ප්‍රදේශවාසීන් හා සංවිධාන
රැසක් සහයෝගය ලබාදෙන අතර ඉතා සාර්ථකව තුන්වන වරටත් මෙවරද මෙම පෙරහර
මංගල්‍යය පැවැත්වේ. ඔක්තෝම්බර් මස 31 වැනි දින අලි ඇතුන් හා දර්ශනීය
නර්තන කණ්ඩායම් රැසක් සමඟින් ප්‍රදේශය තුළ මෙම මහා පෙරහර වීථි සංචාරය
කෙරේ.
මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරස්ථානයේ මෙම වාර්ෂික මහෝත්සවය කඨින
චීවර පූජාවට සමගාමීව දින අටක් පුරා පැවැත්වේ. ඔක්තෝබර් මස 29 වන දින
ආරම්භ වෙන උත්සව මාලාව නොවැම්බර් මස 05 වැනි දින දක්වා පැවැත්වේ. එහිදී
විශේෂ ධර්ම දේශනා භාවනා වැඩසටහන්, විශේෂ මල් පූජා වැඩසටහන් අභය දාන
වැඩසටහන, දේව මංගල්‍යය, ගිනිපෑගීම හා කිරිදානය, මහා සංඝගත දක්ෂිණාව
ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වේ. |