Print this Article


මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලබන ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව ශාස්ත්‍රවේදී තලංගල්ලේ සෝමසිරි නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලබන ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව ශාස්ත්‍රවේදී

තලංගල්ලේ සෝමසිරි නා හිමි

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ ගම්පහ නගරයේ කේන්ද්‍රකොට පිහිටි ජාත්‍යන්තර සාම මහා විහාරස්ථානය අතීතයේ පටන් ජාතික, ආගමික, සාමාජික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛස්ථානයක් උසුලන ආයතනයකි. විශේෂයෙන් ම විහාරස්ථානයේ ආදී කතෘන් වහන්සේලා තම ජාතික, ආගමික, ශාසනික සේවාවන් ජනතාව උදෙසා ම ඉෂ්ට සිද්ධ කිරීමෙහිලා උත්සුක වූහ. කීර්තිමත් සඟ පරපුරකට හිමිකම් කියන තත් විහාරස්ථානය වර්තමානයේ අතිශයින් ම ජනාදරයට පත්වෙමින් සිදුකරන සේවාව ප්‍රශස්ථය.

සුපේශල ශික්ෂාකාමී සඟ පරපුර විසින් පවත්වා ගෙන එනු ලැබූ ජාතික හා ශාසනික සම්ප්‍රදායන් අවිච්ඡින්නව ඉදිරියටත් පවත්වාගෙන යෑමෙහිලා ඉමහත් කාර්ය භාරයක් ඉටුකරන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි අභිනව නා හිමිපාණන් වහන්සේ පිළිබඳ කෙරෙන සම්භාවනාවකි.

ගාලු දිස්ත්‍රික්කයේ, හිනිදුම පත්තුවේ, මොරවක් කෝරළයේ, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තලංගල්ල ග්‍රාමයේ තවලම ගමගේ පියසේන හා සීලවතී ජයසිංහ මාපියන්ගේ පුත්රුවනක් ලෙස තවලම ගමගේ සෝමසිරි යන කුමරුවා සහෝදර සහෝදරියන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නා ලෙස ජන්මලාභය ලැබීය.

නිසි වයස් සම්පූර්ණ වූ කුමරුවා දෙමාපියන් විසින් ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා තලංගල්ල කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කරන ලදී. උක්ත පාසලේ දී පස්වන ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලැබ අනතුරුව ගාල්ල උඩුගම මහා විද්‍යාලයට ඇතුළත් වී සයවන ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය හදාරන ලදී.

මෙකල ආගමික, ජාතික, ශාසනික නවෝදයේ පුරෝගාමීන් ලෙස කටයුතු සිදුකළ භික්ෂූන් අතර නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමියෝ කැපී පෙනෙන යතිවරයාණ කෙනෙකු වූහ. උන්වහන්සේ සහ ආචාර්ය දරමිටිපොළ රතනසාර ලොකු හාමුදුරුවන් වහන්සේ අතර පැවැතියේ දැඩි මිත්‍ර සබඳතාවයකි. එකී මිත්‍ර සබඳතාවය හුදු මිත්‍රත්වයක් පමණක් නොව, දේශීය හා විදේශීය වශයෙන් විශාල පරාසයක පැතිර ගිය උදාර අරමුණු ඉෂ්ට කරලීමේ අභිලාශයෙන් ඇති වුණ සුසංයෝගයකි. දේශීය වශයෙන් සුපේශල ශික්ෂාකාමී සඟ පරපුරක් ගුණයෙන් හා දැනුමෙන් පෝෂිතව ත්‍රිපිටක ධර්මය ජාත්‍යන්තරයට ගෙන යෑමේ අභිලාෂය ආචාර්ය දරමිටිපෙළ රතනසාර මාහිමිපාණන් වහන්සේගේ සිත් තුළ පැවති අභිලාෂයකි. එම අරමුණ ඉෂ්ට කරගැනීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගය වන්නේ භික්ෂු අභ්‍යාස ආයතනයක් ඇතිකරලීමයි. ලෝක සාම මහා සංඝ සම්මේලනයේ මෙහෙයවීමෙන් විදේශීය තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ද, හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පූර්ණ අනුග්‍රහය මත රාජ්‍ය අනුග්‍රහය ද ලබා ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනය 1972 අප්‍රේල් මස 28 වන දින ආරම්භ විය. යථෝක්ත මිත්‍රත්වය සනාථ කරමින් අපවත්වී වදාළ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක උඩුගම ශ්‍රී ශාසනාලංකාරාමාධිපති නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් සෝමසිරි දරුවා ගම්පහ සාම මහා විහාරයට ප්‍රව්‍රජාව පිණිස පැමිණියේ ය.

එවකට තත් විහාරාධිපති ආචාර්ය දරමිටිපොළ රතනසාර මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1972 අප්‍රේල් මස 28 වන දින තලංගල්ලේ සෝමසිරි නමින් උතුම් පැවිද්ද ලැබීය. ආචාර්ය දරමිටිපොළ රතනසාර මාහිමිපාණන් වහන්සේගේ උදාර පරමාර්ථයන් මල්ඵල ගැන්වීම් වශයෙන් ආරම්භ වන ගම්පහ ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයේ ආරම්භක භික්ෂු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තලංගල්ලේ සෝමසිරි හිමියන් පිරිවෙන් අධ්‍යාපනයට මුල පිරුවේ ය. තලංගල්ලේ සෝමසිරි හිමියන් උගතමනා බණ දහම් සපුරා නිසි වයස් සම්පූර්ණ වී සිටි බැවින් 1980 ජූලි මස 21 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලය ලැබූහ.

මූලික අධ්‍යාපනය සහ ද්විතීයික අධ්‍යාපනය ඉතා උසස් අන්දමින් නිමා කළ තලංගල්ලේ සෝමසිරි හිමියන් උසස් අධ්‍යාපනය සඳහා 1980 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. පුරාවිද්‍යාව පිළිබඳ උන්වහන්සේ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව 1984 වර්ෂයේ දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නියැළී අවසාන වසර වල ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයේ ආචාර්යවරයෙකු වශයෙන්ද සේවය කිරීම සිදුවූයේ කෘත්‍යාධිකාරී ලොකු හිමියන්ගේ බලවත් පෙරැත්ත කිරීම නිසා ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිඳුල මහා විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබ උප ගුරුවරයෙකු වශයෙන් ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයට එකතු විය.

නුවරඑළිය වැනි ඈත පෙදෙසක ගුරු වෘත්තියෙහි නිරත වූවද නිරන්තරයෙන්ම සිය විහාරස්ථානයෙහි කුදුමහත් කටයුතු සඳහා උන්වහන්සේගේ සහභාගීත්වය ලබාදුන්නේ යුතුකම් ඉෂ්ට කිරීමේ ගුණය ප්‍රකට කරවමිනි.

1988 වර්ෂයේ ගුරු වෘත්තියට සමුදී උන්වහන්සේ ජපානයේ චිබා ප්‍රාන්තයේ සවරා නගරයේ ලංකාජී විහාරස්ථානයට පිටත්ව යන්නේ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ආශිර්වාදයෙනි. ජපානයේ වැඩ වෙසෙමින් ශාසනික හා සාමාජික සේවාවන්හි උන්වහන්සේ නිරත වූහ. මෙම කාලයේදීම ජපන් භාෂා පාසලක ජපන් භාෂාවට අත්පොත් තැබීම සිදු විය. ඉතා කෙටි කලකින් තත් භාෂාවේ ප්‍රාගුණ්‍ය ලැබ ගෙන එය චතුර ලෙස හැසිරවීමෙන් මනා පරිචයක් ලද්දේ ය. කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද අධ්‍යාපනයෙන් වැඩිදුරටත් නිරතවීම යතිවරයාණන්ගේ කැපී පෙනෙන චරිත ලක්ෂණයක් වූ බැවින් උසස් අධ්‍යාපනය සඳහා නැවත වරක් ජපානයේ තෝකියෝ අගනුවර තයිෂෝ විශ්වවිද්‍යාලයට උපාධි අපේක්ෂකයෙකු වශයෙන් ඇතුළත් විය. එහිදී පෙරදිග ආගම් සහ ප්‍රාචීන භාෂාවන් හැදෑරූ උන්වහන්සේ එකී විශ්වවිද්‍යාලයෙන් 1994 වර්ෂයේ දී දෙවන වරටත් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය දිනා ගත්හ.

දැනුම සොයා යෑමේ බලාපොරොත්තුවෙන් උන්වහන්සේ ජපානයේ ඉබරකී ප්‍රාන්තයේ සුකුබා විශ්වවිද්‍යාලයට පර්යේෂණ ශිෂ්‍යයෙකු ලෙස 1995 ඇතුළත් විය.

මේ අයුරින් ලංකාජී විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ සෙවණෙහි වැඩ හිඳිමින් ජපන් ජනතාවගේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ ද ගෞරවාදරයට පාත්‍ර වෙමින් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක යෙදෙනුයේ නියම බොදු සව්වකුගේ පරාර්ථ චර්යාව විෂද කරවමිනි. 2001 වර්ෂයේ දී ගුරුදේවයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරස්ථානයේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයාණන් වහන්සේ වශයෙන් තලංගල්ලේ සෝමසිරි හිමියන් විහාරාධිපතිත්වයට පත්විය. අපවත් වී වදාළ ආචාර්ය දරමිටිපොළ රතනසාර ලොකු හාමුදුරුවන් වහන්සේගේ කෘතහස්ත සේවාවන් අතර ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයයි. උන්වහන්සේ වපුල සාරවත් කෙත මල්පල ගන්වන්නේ අභිනව විහාරාධිපතීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය මතය. ඒ අනුව මූලික පිරිවෙනක්ව පැවති භික්ෂු අභ්‍යාස ආයතනය 2011 වර්ෂයේ මහා පිරිවෙනක් බවට පත් කිරීම, සුචරිතෝදය ධර්ම විද්‍යාලය ප්‍රාදේශීය වශයෙන් මහජන ප්‍රසාදය ලබා ගනිමින් පවත්වාගෙන යෑම ප්‍රසංශා කටයුත්තකි. දැයේ දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය කිරීමෙහිලා ෂෝගන්ජි ළදරු අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම, ප්‍රාදේශීය වශයෙන් සිදුකළ ප්‍රයෝජනවත් දෑ හිතකාමී සත්ක්‍රියාවකි. මිත්සුවා ජපන් භාෂා පාසල පාරිවේණික ශිෂ්‍ය භික්ෂූන් මෙන්ම පළාත්වාසී දරු දැරියන්ට ආරම්භ කොට පවත්වාගෙන යෑම දැයට දායාද කළ ආයතන අතර කැපී පෙනේ. “නෙළුම් විල” පරිගණක පීඨය ආරම්භ කොට පවත්වාගෙන යෑම පාරිවේණික සිසුන් නව දැනුමෙන් සන්නද්ධ කර ලොවට මංපෙත් විවර කර දීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය ගම්පහ සාම මහා විහාරස්ථානයේ ආරම්භ කොට පවත්වාගෙන යමින් දරු දැරියන්ට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට තම ප්‍රෞඪ ඉතිහාසයේ සම්ප්‍රදායන් නිරීක්ෂණයට, අධ්‍යයනයට හා නැඹුරුතාවක් ඇති කරලීමට ආරම්භ කරන ලද සංස්කෘතික ආයතනයකි. ජපන් පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගය ලැබ ආරම්භ කළ මෙම ආයතනය මගින් ලබා ගත හැකි ප්‍රයෝජනය අතිමහත්ය. ඉහතින් සඳහන් කළ සමාජීය කර්තව්‍යන්ට අමතරව අඩුපහසුකම් සහිත දිවයිනේ පාසලක් තෝරා වාර්ෂිකව එයට අවශ්‍ය භාණ්ඩ සැපයීම හා සංවර්ධනය කිරීම සිදුකිරීම ද වාර්ෂිකව සිදුකිරීමට බලාපොරොත්තු වන අඩු ආදායම්ලාභියෙකුට නිවසක් ඉදිකරදීමත්, එය මෙම වර්ෂයේ අම්පාර විලතලාවේ ඉදිවෙමින් පවතිනුයේ නාහිමියන්ගේ කෘතහස්ත කාර්යයක් ලෙස ය. ඉදිරියේ දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩිහිටි නිවාසය ද උන්වහන්සේ විසින් සිදුකිරීමට නියමිත වැදගත් සමාජ කර්තව්‍යකි. පොත පත ලිවීම, ඥාන ගවේෂණය කිරීම, ග්‍රන්ථ ප්‍රකාශනය යන කාර්යත්‍රයෙහි නියළුණු අභිනව නාහිමියන් දැයට සිදුකරනුයේ අමිල සේවාවකි. අපවත් වී වදාළ ආචාර්ය දරමිටිපොළ රතනසාර මාහිමිපාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ හා දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කමට සමගාමීව සිදුවන ශාස්ත්‍රීය කර්තව්‍යයක් ලෙස සම්මුති එක දෙක කලාප මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීම සිය ගුරු දේවයන් වහන්සේට සිදු කළ පුෂ්පෝහාරයකි.

ජපන් භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වශයෙන් උන්වහන්සේ අතින් රචනා වූ ග්‍රන්ථ රාශියකි. ‘ජපන් භාෂාව හා ව්‍යාකරණය’ පාඨශාලා සිසුන් අතර ජනපි‍්‍රය කෘතියකි. ජපන් භාෂාව පිළිබඳ මුල සිට සරලව ඉගෙනීමට ඉන් ලැබෙන පිටි වහල ඉමහත් ය. ජපන් භාෂාව අධ්‍යයනයෙහිලා පැවති අඩු පාඩුවක් සම්පූර්ණ කරනු වස් සම්පාදිත කෘතියක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. උන්වහන්සේ විසින් රචිත ‘සිංහල ජනකතා ජපන් බසින්” යන ග්‍රන්ථය පැසසුමට ලක් විය යුත්තකි. මෙම කෘතිය තව නොබෝ දිනකින් චීන බසට පරිවර්තනය කර මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමට නියමිතය. මෙයට අමතරව උන්වහන්සේ විසින් රචිත කෘති අතර “ජපන් රචනා සංග්‍රහය, ජපන් ජනකතා කාණ්ඩ පෙළ, “පියුම” නමින් ජපන් භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කෘතියක්ද වේ.

අපගේ නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරනු ලබන ජාතික ආගමික සේවාවන් අතර ප්‍රාදේශීය සමිති සමාගම් සඳහා ලබා දෙන සහයෝගය අතිවිශාල ය. ඒ අතර ගම්පහ දිස්ත්‍රික් පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී සංගමයේ සමලේකම් ධුරය, ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයට අනුබද්ධ ගම්පහ ප්‍රදේශීය විහාරාධිපති සංගමයේ භාණ්ඩාගාරික තනතුර දැරීම, ශ්‍රී වෛශාඛ තෙමඟුල් මහා පෙරහරේ සභාපති ධුරය, ජාත්‍යන්තර ර්‍ථ.ඡ්.ව් සංගමයේ ජපන් ශාඛාවේ සාමාජික තනතුර ද පාරමිතා සංස්කෘතික හා සමාජසේවා පදනමේ සභාපති ධුරය, ගම්පහ තරුණ බෞද්ධ සමිතියේ අනුශාසක ධුරය, නාගරික එක්සත් වෙළඳ සංගමයේ අනුශාසකත්වය, ගම්පහ රෝහල් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද, සහන සුබසාධක සහ බැන්ඩියමුල්ල ස්වශක්ති සුබසාධක සංගමය ආදී සමිතිවල අනුශාසක ධුරයන්ද දරමින් අප නාහිමියන් ඉටුකරනු ලබන සමාජ කර්තව්‍ය පැසසුමට ලක් වී ඇත.

ගම්පහ සාම මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රපති තලංගල්ලේ සෝමසිරි ස්වාමීන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා සංඝසභාව විසින් පත්කරන්නට යෙදුන ‘සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර’ යන ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ලබාගැනීම ඔක්තෝබර් මස 30 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය ඓතිහාසික මංගල උපෝසථාගාරයේ දීද 31 වනදා පස්වරු 3 ට ගම්පහ ජාත්‍යන්තර සාම විහාරයේ දී උත්සව සභාව පැවැත්වීමටද නියමිතව තිබිණි.