Print this Article


සියඹලාව සිරිගයා විහාරයේ ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසල

සියඹලාව සිරිගයා විහාරයේ ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසල


ප්‍රධානාචාර්ය ඇහැලපේ විජිතාලංකාර හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

දහම් පාසල් සිසු දරුවන් ආගමික වතාවත්වල යෙදෙන අයුරු...

ඈතින් පෙනෙන මනරම් කඳු වළල්ලත් දෙපසින් වටව ඇති හරිත වර්ණ ගහ කොළත් මැදිවූ ගුරු පාරෙහි කෙළවරෙහි ඇත්තේ නිසල පුදබිමකි. මෙය නමින් බෝපේ සියඹලාව සිරිගයා විහාරස්ථානයයි. එහි අරඹන ලද ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසල ප්‍රදේශවාසී දූ දරුවන්ට කදිම දහම් පියසකි.

මෙය ඉංගිරිය පාරේ බෝපේ හන්දිය ආසන්නයේ සියඹලාව පාරේ කිලෝමීටර එකහමාරක් පමණ පියනඟද්දී සියඹලාව ගම් දනව්වට ඇති එකම දහම් පාසලයි. ඇහැලපේ විජිතාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් 1996 වසරේදී ආරම්භ කළ සිරි ගයා විහාරයෙහි පිහිටි ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසලට මූලික අඩිතාලම වැටුණේ 2014 ජනවාරි 05වනදා ය. එකල සිසු සිසුවියන් 45දෙනකුගෙන් සහ ආචාර්ය මණ්ඩලය 05දෙනකුගෙන් ආරම්භ කළ මෙම දහම් පාසලෙහි වත්මන් ආචාර්ය මණ්ඩලය අට දෙනකුගෙන් සහ සිසු සිසුවියන් 70දෙනකුගෙන් සමන්විතය. විහාරස්ථානය ආරම්භ කළ දිනයේ පටන් අද දක්වාම එහි විහාරාධිපති මෙන්ම ප්‍රධානාචාර්ය ධූරය හොබවන්නේ ඇහැලපේ විජිතාලංකාර හිමියන්ය. ඉෂාන්ත පුෂ්පකුමාර මහතා උප ප්‍රධානාචාර්ය ධූරය හොබවනු ලබයි.

මෙම දහම් පාසලේ දූ දරුවන්ගේ දහම් දැනුම වර්ධනයට නිස්සරණාධ්‍යංශයෙන් ඇප කැපවන ආචාර්ය මණ්ඩලයේ සේවය අගැයිය යුතුය. එමෙන්ම දායක සභාව, කාර්ය සාධක සභාව, ශිෂ්‍ය සමාදාන කටයුතු අංශය මෙන්ම සදහම් දෙසුම් ද දහම් පාසල් දූ දරුවන්ගේ ගුණ නැණ දියුණුවට මහඟු පිටිවහලක් වී තිබේ.

එහි ගොඩනැගිලිවල සහ ඩෙස් බංකුවල අඩුපාඩු රැසක් ඇතත් එය විඳ දරා ගනිමින් දහම් දැනුම වැඩි දියුණු කර ගැනීමට වෙර දරන බෝපේ සුචරිතවර්ධන දහම් පාසලේ සිසු සිසුවියන්ගේ ධෛර්්‍යය මහඟු ආදර්ශයකි.


සිසු සිසුවියන්ගෙන් කොටසක්