Print this Article


සාංචියේ නැගෙනහිර තොරණ

සාංචියේ නැගෙනහිර තොරණ

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් සාංචිය පිළිබඳ කරුණු රැසක් හැදෑරුවෙමු. අද මෙම වප් පුර පසළොස්වක පෝදා, සාංචියේ නැගෙනහිර තොරණ ගැන විමසා බලමු.

නැගෙනහිර තොරණෙහි මුදුන් හරස් පුවරුවේ දකුණු කොනෙහි ඇත් රුවක් ද ඊට පිටු පසින් ත්‍රිවිධරත්නයද, එම හරස් පුවරුවෙහි ඉදිරි පස ඇති ස්තුප හා බෝධි අතීත සත් බුදුවරයන් වහන්සේලා වෙනුවට නිර්මාණය කර ඇති අයුරු දැකිය හැකිවේ.

එම මැද හරස් පුවරුව මත දකුණු කොනෙහි ඇත් රුවක් ද ඊට පිටු පසින් ස්ත්‍රී රුවක් ද ඇත. එම පුවරුවෙහි ඉදිරිපස වම් කොනෙහි මාළිගයක් ද දකුණු කොනෙහි ශ්‍රී පතුල් දෙකක් ද ඇත. මෙය මහාභිනිෂ්ක්‍රමණය පෙන්නුම් කරයි. වම් කොනෙහි දැක්වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ඡන්න අමාත්‍යයා හා කන්ථක අසුපිටින් නගරයෙන් නික්මෙන අයුරුයි. ඡන්න කුඩයක් දරාගෙන සිටියි. දකුණු කොනෙහි අශ්වයා හා අමාත්‍යයා ආපසු යැවූ බෝධිසත්වයන් වහන්සේ අනෝමා නදී තීරයෙහි හුදෙකලාව නතර වූ ආකාරය දැක්වෙන ශ්‍රී පතුල් දෙකක් නෙළා තිබේ. නගරයේ දෙවියන් හා දෙවඟනන් සිදුහත් කුමරුගේ ගමනින් හිස් වූ නගරය දැක දුක් වන අයුරු පෙනේ. මෙම පුවරුව මැද දැක්වෙන්නේ දඹ ගසකි. එය සිදුහත් කුමරු එක් වප් මඟුල් දිනෙක දඹ ගසක් යට භාවනා වඩමින් සිටි අයුරු සිහි ගන්වන්නකි.

එහි යට ම හරස් පුවරුවෙහි අශෝක රජු බුද්ධගයාවට යන අයුරු දැක්වේ. මධ්‍යයෙහි ඇත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. වම්පසින් රජ පිරිස දිය බඳුන් ගෙන සිටිති. දකුණු කොනෙහි රජු හා දේවිය රාජ පිරිවර මධ්‍යයේ ඇතු පිටින් බසින අයුරු පෙනේ. ඉන් පසු රාජකීය යුවළ බෝධීන් වහන්සේට නමස්කාර කරති.

එම තොරණෙහි පිටුපස මුදුන් හරස් පුවරුවේ අතීත සත් බුදුවරුන් දැක්වෙන ලකුණු ඇත. එම මධ්‍යම පුවරුව විශ්ව පූජාවක් දක්වයි. නානා ප්‍රකාර සතුන් බුදුරදුන්ට පුද පූජා කරන අයුරු එහි දැක්වේ.

එම අවසාන පුවරුව රාම ග්‍රාමයේ ස්තූපය විය හැකි යැයි ඇතැමෙක් කියති. එහෙත් මෙය හුදු නාග ඇත් පූජාවකි රාම ග්‍රාමයේ ස්තුපය නයින් විසින් ආරක්ෂා කරන අයුරු දකුණු තොරණෙහි පැහැදිලිව දක්වා තිබේ.

එම තොරණෙහි දකුණු කණුවෙහි ඉදිරිපස ඇත්තේ සදිව්‍ය ලෝකයයි. යට සිට උඩට පිළිවෙළින් (1) චාතුර්මහාරාජිකය, 2. තාවතිංශය, 3. යාමය, 4. තුසිතය, 5. නිර්මාණරතිය, 6. පරිනිර්මිත වසවර්තිය යනුවෙනි.

එම තොරණෙහි යට ම පුවරුවේ වාමන රූපයන්ගේ මුවින් නික්මී ඇති නෙළුම් මල් සහිත ලතාවකි. එම දකුණ කොනෙහි අලංකාරය සඳහාත් අශෝක අධිරාජයාගේ වංශය නිරූපණය කිරීම සඳහාත් නෙළන ලද මොනර දර්ශන වෙති. එම පිටුපස මුදුන් හරස් පුවරුවේ අතීත සත් බුදුවරයන් වහන්සේ දැක්වෙති. එම ලකුණු අතර ස්තූප තුනක් හා වෘක්ෂ හතරක් ද ඇත. වෘක්ෂ සතර කකුසඳ කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේට බුද්ධත්වය පිණිස ද උපකාර වූ බෝධි සතරයි.

යටම හරස් පුවරුවේ ඇත්තේ ශ්‍රී සර්වඥ ධාතු බෙදාදීමය. සත් රජ පිරිසක් සර්වඥ ධාතූන් වහන්සේ ලබා ගැනීමට පැමිණි බව දැක්වේ. එවිට එහි සිටි ද්‍රෝණ බමුණා සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දී සත් රජවරුන් සමාදාන කැරවීය. එම තොරණෙහි වම් කණුවෙහි ඉදිරි පස පළමු පනේල දක්වන්නේ ධර්ම චක්‍ර දේශනාවය. බුදුරදුන් බරණැස ඉසිපතනයේ දී දේශනා කළ ප්‍රථම ධර්ම දේශනයයි. ධර්ම චක්‍රයට මුදුනෙන් දෙවියෝ සිටිත් මුවන් දක්වා තිබෙන්නේ මිගදාය දැක්වීමටය.


1952 රෝපිත බෝධීන් වහන්සේ

එම දෙවන පනේලයේ අශෝක රජු හා ඔහුගේ දේවිවරුද රාජ පරිවාර සේනාව ද වෙති. අශෝක රජු රථයක ගමන් කරන අයුරු දැක්වේ. ඔහුගේ යුවරාජයා ඇතකු පිටින් යයි. ඇතුළු පනේලවල පළමු පනේලයෙහි අශෝක රජතුමා විසින් කරවන ලද බුද්ධගයා විහාරය දැක්වේ. එම දෙවන පනේලය රජු හා බිසෝවරු දෙදෙනකු බුද්ධගයාවට පැමිණ සිටින අයුරු පෙන්නුම් කරයි.

දකුණු තොරණ හා බටහිර තොරණ

ඔබ සාංචියේ උතුරු තොරණ හා නැඟෙනහිර තොරණ ගැන ඉතා වැදගත් කරුණු රාශියක් ගැන අවබෝධයක් ලබන්නට ඇත. මෙම ඓතිහාසික කලා නිර්මාණ ගැන කරුණු ඉදිරිපත් කළේ ඒ වායේ ඇති නිර්මාණාත්මක වැදගත්කම නිසා ය. බොහෝ දෙනෙක් මේ තොරණ දෙස බලා හිඳ පැමිණෙනවා මිස ඒවායේ ඇති වටිනාකම ගැන කල්පනාවට නොගනී. කැටයම් මඟින් නිරූපණය වන්නේ කවර අරුතක් දැයි නොදකිති. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මෙහි ඉතා විශිෂ්ට අයුරෙන් නිර්මාණය කර තිබේ. සාංචියේ ඇති වටිනාකම දන්නා සැදැහැවතුන් යළි යළිත් සිත නිවන සාංචියට ගමන් කරයි. දඹදිව වන්දනා චාරිකාවේ ගිය ඔබට යළිත් එම කැටයම් සිතින් සිහිපත් කර යළි සැනසීම උපදවාගත හැකිය.

ක්‍රි.ව. 1882 – 83 දී මේජර් තෝල් විසින් අලුත්වැඩියා කරන ලද තොරණ දෙකින් දකුණු තොරණ ද එකකි. මෙම තොරණෙහි දකුණු කුලුන සම්පූර්ණයෙන් ද වම් කුලුනෙහි යට භාගයද අලුතින් තනා තිබේ. යට තිබෙන හරස් පුවරුවෙහි බටහිර කොන ද මැද පුවරුවෙහි නැගෙනහිර කොන ද අලුත් කොටස් වෙති.

දැනට තිබෙන පරිදි මුදුනේ ම හරස් පුවරුවෙහි මැද මහා මායා දේවිය නෙළුම් මලක් මත වාඩි වී සිටි ඇය දෙපසින් ඇතුන් දෙදෙනෙකු කළගෙඩි දෙකකින් දියවත් කරනු පෙනේ. මෙය සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙන් පසු මහාමායා දේවිය ජල ස්නානය කරන ලද අයුරු දැක්වේ.

 

බුදුරජාණන් වහන්සේ කුසිනාරාව බලා වැඩම කිරීම වප් අව අටවක පොහෝදා නොවැම්බර් 3 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 58 - තොරණේ අරුත