භද්‍රා මහ රහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම උපසමා සිල්මාතාව
උපාදානිය ධර්මයන්හි පැවැති තෘෂ්ණාව යම් කලෙක දුරුවී නම් එකල්හි දුක්ඛ
පරම්පරාව මතු නූපදනා ස්වභාවයකට පැමිණෙන්නේය. මේ අනුව දුක්ඛයාගේ නිවීමට
පත්වේ.
පුථුජ්ජන උදාන වාක්‍යය ඡන්දරාග සහිත දුක්ඛ දෝමනස්සයන් හා
සම්මිශි‍්‍රතයි. එහෙයින් එතුළින් නිරාමිස පී‍්‍රති සුඛාස්වාදයක් ජනනය
නොවේ. යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණාවබෝධය මනැසින් දුටු වීතරාගීන්ගේ උදාන
ගීතය ඇසුවන්ගේද සිත් උපශාන්ත භාවයෙන් පිරිපුන් වන්නේය. අභිෂ්ට
ප්‍රාර්ථනය සංසිද්ධියට පත්කළ අපිරිමිත පී‍්‍රතියෙන් සිත උද්දාමයට පත්ව
ප්‍රමුදිත පී‍්‍රති සුඛාස්වාදනය වචනයෙන් ඒ මහ රහත් තෙරණින් වහන්සේලා ගේ
මුවින් පිටවූයේ අපූර්ව ආකාරයෙනි. සිතට පහළ වූ තෘප්තියෙහි සැනසිල්ලෙහි
පී‍්‍රති සුවයෙහි හා අභිනන්දනයෙහි තරම අර්හත් බව පටිලද්ධ බුදුපියාණන්
වහන්සේගේ ඖරෂ පුත්‍රී තෙරණියෝ ගැයූ උදානයෝ මහත් වූ වීර්යයක් ඇතිකරවන්නා
වූ ආදර්ශ පාඨයෝම වෙති.
මාර්ගඵල පිළිවෙළින් අර්හත්වයට පත්වූවා වූ රහතන් වහන්සේලාගේ සිත
ප්‍රභාෂ්වර වේ. දමනය නොකළ සිත සත්ත්වයා භවයෙන් භවයට ඇද දමති.
“පභස්සරමිදං භික්ඛවේ චිත්තං”යි භාග්‍යවතුන් වහන්සේ වදාළේ සත්ත්වයාගේ
සිත ප්‍රකෘතියෙන් පිරිසුදු බවයි. මඩ , දැලි, කෙළ, සෙම්, සොටු, මල,
මුත්‍ර ආදිය එක්වීමෙන් ශුද්ධ වූ පවිත්‍ර වූ ජලය අපවිත්‍ර වන්නා සේ
රාගාදී පාප ධර්මයන් එකතුවීමෙන් පිරිසුදු සිත කිලිටිභාවයට පත්වේ. සිත
කිලිට වූ කල පුද්ගලයා හට සිදුවන අනර්ථයන් පිළිබඳව වැටහීමක් හැඟීමක්
නැත්තේය. අනුන්ට විය හැකි අනර්ථයන්ද නොදැනේ. කළ යුත්ත නොකළයුත්ත
නොදැනේ. නොතේරේ . රාගයෙන් තෙත් නොවන සිතක් ඇතිකරගත් කල්හි, ද්වේෂයෙන්
පීඩා නොවිඳින සිතක් ඇතිකරගත් කල්හිද මෝහයෙන් නොවැසුණු සිතක් ඇතිකරගත්
කල්හි එවන් වූ විරාගී සිතක ඇත්තේ මහත්වූ අපූර්වත්වයකි.
එවන් වූ විමුක්ති සුවයක් ලද නිවීම, නැවැත්ම නම් වූ නැවත ඉපදීමේ හේතූන්
දුරුකොට මාර පාසයෙන් මිදුනාවූ භද්‍රා, මහරහත් තෙරණියෝ පී‍්‍රති
වාක්‍යයෝ ඉදිරිපත් කරන ලද්දේ මහත්වූ පී‍්‍රති ප්‍රමෝදය ද අනිත්‍ය
වශයෙන් දකිමිනි.
‘සද්ධාය පබ්බජිත්වාන භද්‍රෙ භද්‍රරතා භව
භාවෙහි කුසල ධම්මේ යෝගක්ඛේමං අනුත්තරන්ති”
“පින්වත් භද්‍රා ශ්‍රද්ධාවෙන් පැවිදි වූ ඔබ භද්‍ර වූ සුන්දර වූ ධර්මයේ
ඇලී වසන්න. උතුම් වූ යෝගක්ෂේම වූ නිවන සාක්ෂාත් කරණය පිණිස බෝධිපාක්ෂික
ධර්මයෝ වඩන්න.”
ලෝකයෙහි ආලෝක සතරකි. ඉර දහවල බබළයි. සඳ රාත්‍රි බබළයි. ගින්නද දිවා රෑ
දෙක්හිම ඒ ඒ තැන බබළයි. භාග්‍යවත් අර්හත් සම්බුදු පියාණන් වහන්සේ මුළු
මහත් ලෝ තලයටම ආලෝකය වූ සේක. එවන් වූ අසහාය පුරුෂයාණන් වහන්සේ විසින්
ශ්‍රී සද්ධර්මය කෙලෙස් කසට නිවා දැමීම උදෙසා බ්‍රහ්මචාරි ශීලයට අනුගත
ප්‍රවෘජ්‍යා භූමියට අනුගත වන ලෙස දේශනා කොට වදාළ සේක. අන්‍යයන් බැඳී
සිටින කාමබන්ධනයන්ගෙන් මිදී ප්‍රවෘජ්‍යා භූමියට පිළිපන් භද්‍රා මහරහත්
තෙරණින් වහන්සේ සුන්දරවූ දහමට අනුගතවන ලෙස තම හද සන්තානයෙන්ම නැඟෙන
දිරිය ප්‍රකාශනයෝ මනාව ලොවට ආලෝකයක් වන්නේය.
එක් මහා වෘක්ෂයක් ඇත්තේය. ඒ වෘක්ෂයාගේ මුල යම්තාක් කල් උඩට පෘතුවි රසය
පමුණු වන්නාහුද ඒ තාක් වෘක්ෂය එය ආහාර කොට පවත්නේය. එපරිද්දෙන්
උපාදානිය ධර්මයන්හි යම්තාක් තෘෂ්ණාව පවතී නම් ඒ තාක් දුඞඛ පරම්පරාවද
පවතී. යම් කලෙක ඒ වෘක්ෂය කපා මුල් උදුරා කඩ කඩ කොට කපා වියළවා ගින්නෙන්
දවා අලු සුළඟෙහි හෝ විසුරුවා හැරියේ වේද දියෙහි හෝ පාකර හැරියේ වේද
එකල්හි එම වෘක්ෂය අතුරුදහන් වූයේ වේ. මතු නොවැඩෙන ස්වභාවයට පැමිණියේ
වේ. එමෙන්ම උපාදානිය ධර්මයන්හි පැවැති තෘෂ්ණාව යම් කලෙක දුරුවී නම්
එකල්හි දුක්ඛ පරම්පරාව මතු නූපදනා ස්වභාවයකට පැමිණෙන්නේය. මේ අනුව
දුක්ඛයාගේ නිවීමට පත්වේ.
මෙලෙස අනවරාග සංසාරය පුරාවට ආත්ම භාවයන්හි ඇස, කන, නාසය, දිව, ශරීරය යන
ආයතන හා ඉන් ලබාගන්නා වු විඤ්ඤාණයෝ මහා වෘක්ෂය වැන්නේය. මෝහාන්ධකාරයද,
තෘෂ්ණාවද, මහමුල් වේ. සෙසු රාග, ද්වේෂ, මෝහ ක්ලේශයන් කුඩා මුල්
වැන්නේය. පුද්ගල සන්තක කුසල්, අකුසල් කර්ම කුඩා මුල් වැනිවේ. මෙසේ වූ
සුවිශාල වෘක්ෂය කුඩා අනු කුඩා වශයෙන් පිදිය හැක්කේ කුමන හෝ උපකරණයක්
භාවිතයෙනි. එනම් උදලු, පොරෝ වැනි උපකරණයන් උපකරණ වෙති. අනවරාග සසරගත
ක්ලේශ හුල් සිඳ දැමීමට ආත්ම භාවය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දක්නා
වූ විදර්ශනා ඥානයටම මුල් සිඳීමට ගනු ලබන උපකරණ වැනි වෙත්.
මාර්ගඥාන , ඵල ඥානයන්ගෙන් වියළි වෘක්ෂය දවනලද ගින්නක් සේ දවා දමයි.
නැවත ඉපදීමක් ඒ වෘක්ෂයට කිසිදු කලෙක ලැබිය නොහැක්කේය. එලෙසින්
බුදුපියාණන් වහන්සේගේ සදහම් සුවයෙන් සැනසුනු භද්‍රා මහරහත් තෙරණින්
වහන්සේ ආත්මය නමැති වෘක්ෂය සිඳ දමා නැවත නූපදිනා වූ උත්තම කාන්තා
රත්නයක් බවට පත්වූහ.
සංසාර දුක්ඛය මැනවින් අවබෝධ කරගත්තාවූ නුවණැත්තෝ ශීලයෙහි පිහිටමින් සමථ
විදර්ශනා වඩමින් කෙලෙස් නසන විර්යයෙන් හා ප්‍රඥාවෙන් යුක්තව තෘෂ්ණාව
නමැති බලවේගය සිඳ දමයි. යම්තැනක උපදනා වූ නාමය,රූපය, ක්‍රෝධය, රූප
සංඥාව සහමුලින්ම සන්සිඳවනු ලබයි.
සොඳුරු හුදකලාවක මිහිර දකිමින් පරිසරය හා සබැඳිව සොබාදහමේ අපූර්වත්වය
රැඳි වන පියසකට පිවිස රුක් සෙවණේ ආධාරයෙන් කය සැනසීම නොව සිත හඳුනාගෙන
සිතට බෙහෙත නිරතුරුව දිය යුතු යන සංඥාවෙන් යුක්තව වීර්යය වඩන්නා වූ
ආර්ය උත්තමයෝ පරිසරයට මහත්වූ ආශිර්වාදයකි.
සුන්දර වූ භද්‍ර වූ ශාන්තිනායකයන්ගේ ශ්‍රී මුඛ පද්මයෙන් දේශිත ශී‍්‍ර
සදහමින් සැනසුනු භද්‍ර වූ සිතැති විමුක්තිය , විරාගය, නිවීම ස්පර්ශ
කලාවූ භද්‍රා මහරහත් තෙරණින් වහන්සේ මෙලොවට පහළව උතුම් සැනසීම ලැබීම සහ
එවන් වූ උතුම් මාර්ගයට පිළිපන් වීම ආදර්ශයෙන් ප්‍රකට කරන්නීය.
වීර්යවන්ත වූ සද්ධර්මයෙන් සැනසීම ලැබ අර්හත්වය ස්පර්ශ කරන්නට වෙර වඩන
කතකට තොමෝගේ උදාන පාඨයෝ මහත්වූ දිරිමත් භාවයක් මෙන්ම නික්ලේෂී
වීර්යවන්ත සිතක් ඇතිකිරීමට සමත් වන්නීය. |