Print this Article


පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 04 - අනුරාධපුරයේ විශිෂ්ටතම මුරගල් නිර්මාණය

අනුරාධපුරයේ විශිෂ්ටතම මුරගල් නිර්මාණය

අනුරාධපුර රත්නප්‍රාසාදයෙහි ඇති මෙම මුරගල පාමුල වාමනයෙකුගේ රුවක් ද මූර්තිමත් කර ඇත. මෙම මුරගල ක්‍රිස්තුවර්ෂ නව වන සියවසට අයත් වන මුරගලක් ලෙසින් සැළකේ. කඩවසම් වූ පුරුෂ ශරීරය ඉතා රමණීය ලෙසින්ද තාරුණ්‍යය පිළිබිඹු වන අන්දමින්ද නෙළා තිබේ. දකුණු අතෙහි ඇති පුන්කලස ද ඉතා සියුම් කැටයම්වලින් යුක්තය.

මුල් කාලයේදී ඉතා සරළ ලෙසින් පුදබිම්වලට ඇතුළුවන දොරටුව දෙපසට සරිලන ලෙසින් නිර්මාණය කරන ලද මුරගල් අපේ පුරාණ සිංහල බෞද්ධ කලාකරුවාගේ මූර්ති කැටයම් කලාවේ සඳකඩ පහණට පසුව දක්නට ලැබෙන ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙසින් කලා විචාරකයින් හා පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. අනුරාධපුර යුගයේ ඉතා විශිෂ්ටතම මුරගලක් ලෙසින් අනුරාධපුරයේ රත්න ප්‍රාසාදය අසල ඇති මුරගල දැක්විය හැකිය. අනුරාධපුරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහිද අනුරාධපුර මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් අභයගිරි සහ ජේතවනාරාම කෞතුකාගාරවලද කොළඹ ජාතික කෞතුකාගාරයෙහිද ඉතා අලංකාර මුරගල් දැකිය හැකිය. මෙම මූර්ති සහිත මුරගල්වල මානව රූපයක් ඉතා විසිතුරු ආභරණවලින් සැරසුණු ඇඳුමින් සැරසුණු දැකිය හැකිය. ඉන් බොහෝමයක නාරජෙකු ගේ මූර්තියක් දැකිය හැකිය. නාගයන් සලකනු ලබන්නේ දිව්‍ය සහ මනුෂ්‍ය යන ලෝක දෙකෙහිම ජලය ආරක්ෂා කරන එමෙන්ම අන්‍ය සත්වයන්ගේ සුවසෙත සලසන සත්ව විශේෂයක් ලෙසටය. නාගයන් නිතර නිතර වැව් හා පොකුණූ ආදි තන්හි මූර්තිමත් කර ඇත්තේ ඒ නිසාය. මොවුන් නාගයන් ගේ පියවි වේශයෙන් මෙන්ම මනුෂ්‍ය ස්වරූපයෙන්ද නිරූපණය කර ඇත. විටෙක මොවුන්ගේ ශීර්ෂාලංකාරය ලෙසින් නාග පෙණ දෙක තුනක් පහක් සතක් හෝ නවයක් මූර්තිමත් කර ඇත. අභයගිරි විහාරයට අයත් ඉහතින් සඳහන් කළ රත්න ප්‍රාසාදයට අයත් මුරගල ශ්‍රී ලංකාවේ මුරගල් අතරින් කලාත්මක නිමාව අතින්ද උසස්තම නිර්මාණයක් ලෙසින් සැළකේ. මෙම මුරගලෙහි මුදුණේ ආරුක්කුව (මුදුණේ) මැද දෙපසට මුඛ දල්වාගෙන සිටින මකර හිස් දෙකකි. පහළින්ද උඩට මුඛ දල්වාගත් මකරහිස් දෙකක් දෙපසින් මූර්තිමත් කර තිබේ. ඒ අතර පෙම්වතුන් සහ යෝධයන් මකර කටට ඇදී යන අන්දමද දැක්වේ. මෙහි මකර කාලය සංකේතවත් කරයි. කාලය විසින් භූතයන් කා දමන බව මහායාන බුදුසමයේ සඳහන් වේ. මේ අදහස මෙම මකර තොරණින් නිරූපණය වේ.


පොළොන්නරුවේ වටදාගෙයි මුරගලක්

මෙම මුරගල්වල ඉතා සිත්ගන්නා සුළු ඉරියව්වකින් සිටගත් නා රජු අතකින් දරා සිටින මල් බඳුනේ මුව විටින් පැන නැගුණු අතු ඉති විහිදී ගිය පුෂ්පමංජරියකි. මෙම බඳුන සංකේතවත් කරන්නේ සඞශ්‍රීකත්වයයි. පූර්ණ ඝටයෙන් එය නිරූපණය වේ. අනෙක් අතෙන් සාරවත් භාවයේ සංකේතයක් මෙන්ම ලක්ෂණයක්ද වන සුපිෂ්පිත ශාඛාවක් එම මානව රූපය දරා සිටී. මෙය නාග රූපයක් ලෙසින්ද සඳහන් වේ. එමෙන්ම අසුභ හෝ අවමංගල බලවේගයන්සේ සැලකෙන නැඹුරුව සිටින වාමනරූප නාරජු විසින් පයින් මඩිනු ලැබීම මගින් ඔවුන්ගේ අසුභ බලවේග මර්දනයේ ශක්තියක් එම නාග (මානව) රූපයට ඇති බවද නිරූපණය කෙරේ.

ඉහතින් සඳහන් කළේ පරිපූර්ණ ලෙසින්ම මූර්තියක් ලෙසින් වර්ධනය වූ අවස්ථාවක නිරූපණය කෙරෙන මුර ගලක් පිළිබඳව.

මෙම මුරගල්වල නිරූපණය කර ඇති මානව රූප මදක් නැමී සිටින සේ මූර්තිමත් කර ඇති ආකාරය හඳුන්වන්නේ ති‍්‍රභංග ආකාරයට නිරූපණය කර තිබෙන බවයි. නාග පෙන හිස වට සිටින ලෙසින් නිරූපණය කර ඇති මෙම මානව රූපය රජ ඇඳුම්වලින් සැරසී සිටින ලෙසින් නෙළා තිබේ. ශිර්ෂයේද අලංකාර ශිර්ෂාභරණයකින් නිර්මාණය කර තිබේ. කන්වල කුණ්ඩලාභරණද කරවට මාල උදරබන්ධන හා දෑතේ වළලුද නිරූපණය කර ඇති අන්දම ඉතා තේජාන්විත භාවයක් නිරූපණය කරයි. උඩුකය ආභරණ වලින් සරසා ඇතත් නිරුවත් ය. යටිකය ධෝකියකින් (ඇඳුමකින්) සරසා තිබේ. නාග මුරගල් ලෙසින් සළකන මෙම මුරගල්වලින් නිරූපණය කෙරෙන්නේ දිසාවන් හතරට අධිපති දිසාපාලක දෙවිවරුන් යැයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා සඳහන් කරයි.


අනුරාධපුරයේ රත්නප්‍රාසාදයේ මුරගලක්

අනුරාධපුර රත්නප්‍රාසාදයෙහි ඇති මෙම මුරගල පාමුල වාමනයෙකුගේ රුවක් ද මූර්තිමත් කර ඇත. මෙම මුරගල ක්‍රිස්තුවර්ෂ නව වන සියවසට අයත් වන මුරගලක් ලෙසින් සැළකේ. කඩවසම් වූ පුරුෂ ශරීරය ඉතා රමණීය ලෙසින්ද තාරුණ්‍යය පිළිබිඹු වන අන්දමින්ද නෙළා තිබේ. දකුණු අතෙහි ඇති පුන්කලස ද ඉතා සියුම් කැටයම්වලින් යුක්තය.

අපේ පැරණි සිංහල කලාකරුවානන් විසින් ප්‍රාණයක් නැති පාෂාණයකට (ගලකට) මෙසේ ප්‍රාණය පිහිටුවීම සැබවින්ම ඔවුන්ගේ මූර්ති නිර්මාණ ශිල්පීය දක්ෂතාවය එදා මෙන්ම අදත් හෙටත් ලොවට හඬගා කියන්නක් බව මෙහිදී සඳහන් කළයුත්තේ ඒ හෙළ කලා කරුවන් සදාකල්හිම අපගේ සිත්සතන්වල ජීවමාන වන නිසාය.

මෙවැනි අංග සම්පූර්ණ කැටයම් සහිත මුරගල් මීට පසු (අනුරාධපුර යුගයට) කාලවල විහාර සැරසිළි සඳහා යොදා ගෙන ඇතත් ඒවා එතරම් කලාත්මක නොවේ. අනුරාධපුර යුගයට අයත්වන මෙවන් මුරගල් වලට පසුව නිර්මාණය කළ මුරගල් හමුවන්නේ පොළොන්නරුවේ වටදාගෙය අසළ නිර්මාණය කර ඇති මුරගල්ය .එසේ වුවද ඒවා සම්ප්‍රදායානුකූල ඒවා මිස අනුරාධපුර යුගයේ මුරගල් මෙන් කලාත්මක නොවේ. පොළොන්නරුවේ මේ මුරගල්වල මානව රූපවල තොල් විශාලය. යටිහක්ක ඉතා මහතය. මුහුණ දිගටි නොවේ. ඇඳුම් පැළඳුම් ද අධිකය. අනුරාධපුරයේ රත්නප්‍රාසාදයේ ඇති මුරගලෙහි පපුව ප්‍රදේශය උරහිස්වල පටන් ක්‍රමයෙන් පහතට හීන් වී ගොස් ඇත. පොළොන්නරුවේ මුරගල් වල උදර ප්‍රදේශය ද තරමක් මහතය. මේ අනුව පරිපූර්ණ වූ මුරගල් නිර්මාණය වෙනත් මූර්ති කලාවන් මෙන්ම අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂ පස්වන (5) හා නව (9) වන සියවස් කාලය තුළ නිර්මාණ බව විද්වත්හු පෙන්වා දෙති.


පසුගිය සතියෙන් - පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 03 - මුරගල හා එහි විකාශය