Print this Article


බුදුදහමේ බලාපොරොත්තුව ලෝක විමුක්තිය ද?

බුදුදහමේ බලාපොරොත්තුව ලෝක විමුක්තිය ද?

සංසාර ලෝකය, සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය කියන ලෝකය තුන් ආකාරයකට ධර්මයේ විස්තර වෙනවා. හේතු ප්‍රත්‍යයන්ට අනුව හටගන්නා ස්වභාවයෙන් යුක්ත නිසා සංස්කාර ලෝකයයි කියනවා “ලුජ්ජති පලුජ්ජතීති ලොකො” කියා දක්වා තිබෙන්නෙත් සංස්කාර ලෝකය ගැනයි. ඉන්ද්‍රිය කෙමෙන් මුහුකුරා ගොස් වෙනස්වීමට “ලුජ්ජති” කියා කියනවා. ජීවිතින්ද්‍රිය උපච්ඡේදයෙන් මරණයට පත්වීම “පලුජ්ජති” කියනවා. ‘ලූජ’ කියන වචනයෙහි තේරුම විනාශවීම යන්නයි. එම වචනය අනුව “ලෝක” යන වචනය සෑදී තිබෙනවා.

මනුෂ්‍ය, දිව්‍ය, පේ‍්‍රත ආදී විවිධාකාර සත්ත්වයන් “සත්ව ලෝක” ලෙස හඳුන්වනවා. මේ මිනිස් පියසෙහිම නානාප්‍රකාර සතුන් ජීවත් වන බව අප දන්නවා. සාගරයෙහි නොයෙක් පාට ඇති අප්‍රමාණ මත්ස්‍යයෝ සිටිනවා. ‘සඤ්ජ්’ – ඇලීම කියන අර්ථයෙනුයි සත්ත්වයා කියන්නේ.

අප්‍රමාණ ග්‍රහ ලෝකයන්ට ඉඩකඩ සපයා දෙන්නේ අවකාශ ලෝකයයි. එහි ආරම්භයක් හෝ අවසානයක් දක්වන්නට පුළුවන්කමක් නැහැ.

මිනිසා මේ භෞතික ලෝකය සෑහෙන ප්‍රමාණයක් ජයගෙන ඇතත් සැනසීම, ඇස්වැසීම ඔහුට ලැබී නැහැ. අසීමිත ආශාවන්ගෙන් මිදීමට හැකි වී නැහැ. විද්‍යානුකූලව ලෝකය ගැන දැනුම වැඩිවෙන්න වැඩිවෙන්න අතෘප්තිකර බව අඩුවීමක් වෙලා නැහැ. ධර්මානුකූලව ලෝකය දැනගත්විටම සැනසීම අත්දකින්න පුළුවනි. ඈත එපිට ග්‍රහලෝක තරණය කිරීමෙන් ලෝකයේ කෙළවරක් දකින්න බැහැ කියා රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට වදාළා වූ කාරණය අද ලෝකයට හොඳටම ගැලපෙනවා. බුදුදහම තුළ ලෝකය ලෙස හඳුන්වන්නේ විශේෂයෙන්ම පංචස්කන්ධයට යි. ඒ අනුව අප එක එක්කෙනාට ඇත්තේ පුංචි ලෝක. ඒ ලෝක හරියටම දැනගත්විට මුළු විශ්වයම දැනගත්තා වෙනවා.

ලෝක, ලෝකධාතු කියා දෙයාකාරයකට ලෝකය ගැන විස්තර තිබෙනවා. ලෝක කියන්නෙ එක එක්කෙනාගේ අනුභූතිය යි. ඒ කියන්නේ අප ලෝකය දකින්නේ අපේ අත්දැකීම් කොටසකුත් එකතු කරගෙනයි. ඇස්, කන්, නාසා ආදි ඉන්ද්‍රියයන්ගෙන් අවබෝධ කරගන්නා තේරුම් ගන්නා ප්‍රමාණය යි. අපේ අත්දැකීම් පළල් වෙනවිට ලෝකය ගැන අවබෝධයත් වෙනස් වෙනවා. පුංචි කාලයේ මගේ කියපු ලෝකයට නොවෙයි අප වැඩිමහල් වනවිට මගේ ලෝකය කියන්නේ. එහෙනම් “මගේ” කියන එකේ වටිනාකම තිබෙන්නේ එක එක්කෙනාගේ දැනුම අනුව බව පෙනෙනවා. පුංචි ළමයි සුරංගනා ලෝකයට බොහොම පි‍්‍රය කරනවා. දැනුම් තේරුම් ඇති අය එහෙම නොවේ. එයින් පෙනෙන්නේ අප එක එක්කෙනා හිතෙන් ගත්ත ලෝකයක් මිස අපට අයිති ලෝකයක් නොමැති බවයි.

ලෝක ධාතු කියා විග්‍රහ කරන්නේ මුලින් කියපු ආකාරයට විශ්වයේ පවත්නා භෞතික ග්‍රහ වස්තුවලට යි. චූලනිකා ලෝක ධාතු, මජ්ක්‍ධිමිකා ලෝකධාතු, මහාලෝකධාතු යනුවෙන් ධර්යෙහි විස්තර වෙන්නෙ එම ලෝක ගැනයි. වර්තමාන විද්‍යාඥයෝ ගැලැක්සිය, ගැලැක්සි මණ්ඩලය, විශ්වය කියා විග්‍රහ කරන්නේ මෙම ලෝක ධාතු විය හැකියි.

අපගේ ඇස්, කන්, නාසාදි, ඉන්ද්‍රිය හදවත අක්මාව ආදි අභ්‍යන්තර කොටස් ලේ ,මස්, නහර ආදිය එකතුවුණාම ශරීරයක් නිසා දෙයක් හැදෙනවා. මේ කොටස්වලින් පිට ශරීරය කියා දෙයක් නැහැ. සියලුදෙනාගේම ශරීර හැදි තිබෙන්නෙ මේ කොටස්වලින් යුක්තවයි. තවදුරටත් විමසන විට මේ ශරීරය හා සම්බන්ධ තවත් බලවේග තිබෙනවා. මැස්සෙක්, මදුරුවෙක් දෂ්ඨ කළොත් අපට යළි වේදනාවක් දැනෙනවා. ඒක දුක් වේදනාවක් කියා හඳුනගන්න ශක්තියක් තිබෙනවා. ඒ මදුරුව ගැන කෝපයක්, තරහවක් ඇතිවෙන බව දැනෙනවා. මේ විදිහට වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියා තවත් බලවේග හතරක් නැත්නම් කොටස් හතරක් තිබෙන බව පැහැදිලියි.. ශරීරය රූපය ලෙස සැලකුවිට කොටස් නැත්නම් ස්කන්ධ පහක් එකතුවෙලා අපේ ජීවිතය සකස් වී ඇති බව පැහැදිලියි. මේ කොටස් පහට අමතරව මම කියා කෙනෙක් හරි, දෙයක් හරි තිබෙනවාද? දිග, උස, මහත හයිය, පාට ආදියට අමතරව මම කියා කෙනෙක් නැහැ. මම කියා කෙනෙක් නැත්නම් මගේ කියා කෙනෙක් නැත්නම් මගේ කියා දෙයකුත් නැහැ. එහෙම නම් ලෝකය මගේ හෝ ඔබේ නොවන බවයි පෙනී යන්නේ.

විශ්වයේ මූලාරම්භයක් ගැන බුදු දහම කථා නොකරයි. ආගමික ජීවිතයේ නිෂ්ඨාව සඳහා එය දැන ගැනීමේ අවශ්‍යතාවද නැත. විශ්වය සම්බන්ධයෙන් ඇත්තේ සාපේක්ෂක ආරම්භයකි. ලෝකයේ මුලක් මෙන්ම කෙළවරක්ද සෙවිය නොහැකි බව රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට බුදුහාමුදුරුවෝ පැහැදිලි කර දුන්න. බුදු දහමට අනුව විමුක්තිය ලබන්න සැනසෙන්න මේ එකක්වත් දැනගන්න වුවමනා නැහැ. ලෝක විමුක්තියක් නොවේ බුදුදහම බලාපොරොත්තු වෙන්නේ. පුද්ගල ශාන්තියක්. නමුත් දැනුම සඳහා මේවා ගැන හැදෑරීම පිළිබඳව බුදුදහම විරුද්ධ නැහැ. අනත්ත ලක්ෂණ සුත්‍රයේ මේ කාරණය මෙසේ විස්තර වෙනවා.

තං කිං මඤ්ඤථ භික්ඛවේ රූපං නිච්චං වා
අනිච්චං වාති අනිච්චං භන්තෙ යම්පනානිච්චං
දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං භන්තෙ
යම්පනානිච්චං දුක්ඛං විපරිණාම ධම්මං
කල්ලන්නු තං සමනුපස්සිතුං එතං මම
එසො හමස්මි, එසො මෙ අත්තාති
නො හෙතං භන්තෙ

මහණෙනි, ඔබලා හිතෙන්නේ කොහොමද? රූපය නිත්‍යද? අනිත්‍යද? අනිත්‍යයි ස්වාමිනි, යමක් අනිත්‍ය නම් එය දුකද?සැපද? දුකයි ස්වාමිනි, යමක් අනිත්‍ය නම්, දුක නම් වෙනස් වන ස්වභාවය ඇත්තේ නම් එබඳු දෙයක් මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය යයි දැකීම සුදුසු ද? නැත ස්වාමිනි. පංචස්කන්ධයම පිළිබඳව මේ විදිහට සලකන්න පුළුවනි. මෙයින් පැහැදිලියි. මේ ලෝකය ඒ කියන්නේ පංචස්කන්ධ ලෝක කෙසේවත් මට අයිති වෙන්න පුළුවන් කමක් නැහැ.

රට්ඨපාල සූත්‍රයෙහි රට්ඨපාල මහරහතන් වහන්සේ මේ කාරණය බොහෝම ලස්සනට පැහැදිලි කර තිබෙනවා. අපේ ආයුෂ ටික ටික ගෙවී යනවා. තරුණ කාලයේ කළ කී දේ වයසට ගියවිට කිරීමට බැරිවෙනවා. අපට කොපමණ සම්පත් තිබුණත් ලෙඩක් දුකක් හැදුණවිට එය තනියම තමන් විඳින්න ඕන. අප රැකගන්න ඊශ්වරයෙක්, බලසම්පන්න දෙවියෙක් නැහැ. ඒ වගේම මගේ කියා දෙයක් නැහැ. සියල්ලම දාලා යන්න වෙනවා. කොතරම් ලැබුණත් මදියි කියන හැඟීමම තමා අපේ සිත්වල තිබෙන්නේ . කොයිදේ තිබුණත් මගේ කියා කියන්න පුළුවන්කම තිබෙන්නේ ටික කාලෙකට පමණයි. අතින් ගත්ත හැම දෙයක්ම අවසානයේ දාලා යන්න වෙනවා.

ලබ්ධ්වාපි ව බහූන් ලාහාන්
භුක්ත්වා පිච සුඛං විරං
රික්ත හස්තාශ්ව නග්නාශ්ව
යාස්‍යාමි මුෂිතො යථා

බොහෝ සම්පත් ලබාගෙන සෑහෙන කාලයක් සැප වින්දත්, අවසනායේදී සියලුම වස්තුව හොරෙකු පැහැර ගත්තා සේ හිස් අතින් දාලා යන්න වෙනවා.

අපේ මේ සිරුර අයිති ස්වභාවධර්මයට යි. මියගිය විට අප එය ස්වභාවධර්මයට භාර දෙනවා. කළ හොඳ නරක යන සිතත් සමඟ පරලොව යනවා. ලෝකාන්තයට පැමිණීම කියන්නෙ මේ රටාවෙන් මිදීමයි. ජීවිතය පසක් කර ගැනීමයි. නිවන තුළ ද මගේ යැයි උරුමකම් කිවහැකි කිසිවක් නැහැ. උරුමයේත් කරුමයේත් අවසානය තමා නිවන කියන්නේ.

අප සිහිනයක් දකිනකොට සිහින ලෝකයේ තිබෙන දේ දකින දේ සත්‍ය ලෙසයි හැඟෙන්නේ. ඒ වගේම අප අවිද්‍යා අන්ධකාරයේ ගැලී සිටිනතුරු මේ ලෝකයේ තිබෙන දේ සත්‍ය ලෙස කල්පනා කරනවා. ඒවා අයිති කරගන්න උත්සාහ කරනවා. නොලැබී ගියවිට වේදනාවෙන් මිරිකෙනවා. ප්‍රඥාලෝකය ඇතිවූවිට මේ ලෝකයේ දකින කියන දේවල් සහ සිහින ලෝකයේ දකින දේවලට වඩා වැඩි වෙනසක් නැති බව ඒත්තු යනවා.

ඒ නිසා අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මයට කන යොමා සවන් දී ඒ ධර්මයට නැඹුරුව වාසය කළ යුතු වෙනවා. මේ ලොව හරිහම්බ කළ සියලු දේ තබා මිය යන අපට රැගෙන යන්න සොයා ගත යුතු දේ කුමක්ද? කිය ධර්මය තුළින් විමසිය යුතු වෙනවා.

නයනා නිල්මිණි