Print this Article


යහපත් ජීවිතයකට නිවැරැදි දැක්මක්

යහපත් ජීවිතයකට නිවැරැදි දැක්මක්

දන්දෙන මිනිස්සු සිටිති. එවැනි අයට තමන්ගේ පරිත්‍යාගශීලි භාවය ගැන නැවත සිහිකර බැලීමට කොතෙකුත් අවස්ථා තිබේ. මෙය, තමන්ගේ පරිත්‍යාගශීලි බව ගැන අනුන්ට හඬ නඟා දැන්වීමට යාම නොවේ. එය හුදෙක් තමන්ගේ ගුණය ගැන නිහඬව, තමන්ම සිහි කරමින් සතුටට ,තෘප්තිමත් බවට පත් වීමය.

බෞද්ධයාගේ අරමුණ නිවන් දැකීමය. එය, ලෞකිකත්වයෙන් ඉවත් වී ලෝකෝත්තරත්වයට පත්වීමය. දිනපතා ජීවිතය යනු මේ ලෝකයෙහි ප්‍රශ්නවල පැටලී සිටීමය. එනම් ලෞකිකත්වය තුළ ගැලී සිටීමය. ඒනිසා විමුක්තිය අපේක්ෂා කරන තැනැත්තා ගිහි ජීවිතයෙන් ඉවත් විය යුතුය. ගිහිගෙදර අතහැර පැවිදි වන්නේ එහෙයිනි. එහෙත් ගිහිගෙදර අතහැර යා හැක්කේ කී දෙනෙකුටද? ඉහිතාහසගත කාලය තුළ බලන විට එසේ ගිහිගෙදර අතහැර පැවිද්දට පත් වුවාහු ඉතා ස්වල්ප පිරිසකි. එසේ නම් මිනිසුන් අතර සිටින බහුතරයට විමුක්තියක් නැතිද? ශාසනික ඉතිහාසය ගැන සලකා බලන විට තත්ත්වය මෙයට වෙනස් බව පෙනේ. එනම් බුදුදහමට අනුව විමුක්තිය ලද ගිහි මිනිස්සු කොතෙකුත් සිටියහ.

මෙහිදී විමුක්තිය යන වචනය සම්බන්ධයෙන් වටහා ගත යුතු කරුණු කිහිපයක් තිබේ. බෞද්ධයා විමුක්තිය යනුවෙන් අදහස් කරන්නේ අර්හත්වයට පත්වීමේ අවස්ථාවට එළඹීම පමණක්ද? අර්හත්වය ආගමික ජීවිතයේ අවසන් අවස්ථාවය. එතැනට පැමිණීමට පළමු පසු කළ යුතු පියවර ගණනාවක් තිබේ. ඒ පියවර පසු නොකර එකවර අර්හත්වයට පත්වීමක් බුදුදහම නොකියයි. මේ බව ඉතා පැහැදිලි ලෙස දක්වා ඇති තැනකි. කීටාගිරි සූත්‍රය.

පටන් ගැන්මේදීම අර්හත්වය නොකියන බවත් අනුපූර්ව ශික්ෂණයකින්, අනුපූර්ව ක්‍රියාකාරිත්වයකින් , අනුපූර්ව ප්‍රතිපදාවකින්ම අර්හත්වය ප්‍රකාශ කරන බවත් එහිදී බුදුහාමුදුරුවෝ අවධාරණයෙන් වදාළහ. කිසියම් ගමනක් යෑමට පළමු ගමනාන්තය හෙවත් යා යුතු තැන ගැන යම්කිසි දැනීමක් ගමන පටන්ගන්නා විටම මගියාට තිබිය යුතු බව සත්‍යය. එහෙත් එය අවශ්‍ය වන්නේ අරමුණක් එල්ලයක් ඉලක්කයක් තබා ගැනීම සඳහා පමණය. ගමනාන්තය ගැන හදාරමින් පර්යේෂණ කරමින් සිටි තරමින් කිසිවකුට ගමන පටන් ගැනීමටත් පුළුවන්කමක් නැත. යම් තරමකින් ගමනාන්තය ගැන දැනගත් පසු ගමන ඇරඹිය යුතුය. දුර ප්‍රමාණය ගැන සිතීම නොව එක පියවරක් එකවර තැබිය යුතුය. එක්තරා කාලසීමාවක් මෙසේ පියවරෙන් පියවර තබන විට තමන් නොදැනුවත්වම බොහෝ දුර ගොස් සිටිය හැකිය. එවිට අරමුණට ක්‍රමයෙන් ළඟා වන බව පැහැදිලිව පෙනෙන්නට වෙයි. එවිට ඇතිවන උනන්දුව බෙහෙවින් වැඩිවෙයි. හිතුවාටත් වඩා ඉක්මණින් ගමන් නිමා කර අරමුණට ළඟා විය හැකි වනු ඇත.

බෞද්ධයෝ බොහෝ සෙයින් නිර්වාණය ගැනත්, අර්හත්වය ගැනත්, රහතන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු තත්ත්වය ගැනත් සාකච්ඡා කරති. දේශනා කරති. වාදවිවාද පවත්වති. කල්පනා කරති. පර්යේෂණද කරති. ලියති. සම්මේලන පවත්වති. එහෙත් නිර්වාණය කරා වැටී ඇති මාර්ගයේ පළමු පියවර තැබීමටවත් උනන්දු වන්නේ ඒ අතරින් කී දෙනෙක්ද?

අර්හත්වය යනු සියලු කෙලෙස් අත්හළ අවස්ථාවය. ලෞකික ලොවතුළ දෙසන, ලියන කතා කරන කිසිවකුත් සියලු කෙලෙස් අත්හළ අයද? සියලු කෙලෙස් තබා කෙලෙස් කිහිපයක් වත් අත්හළ අය නොවන බව සිතන්නට පුළුවන. සියලු කෙලෙස් අත්හළ උතුමන් හා එසේ අත්හළ අවස්ථා ගැන තර්ක විතර්ක කිරිමට වඩා එක කෙලෙස් තරමක් දුරට අත්හැර එහි ඇති නිවීම පසක් කර නිවන යම් තරමකින් අත්දැකීමක් බවට පත් කර ගැනීමට බෞද්ධයන් උනන්දු නොවන්නේ ඇයි?

මේ උදාසීනත්වයට හේතු ගණනාවක් තිබිය හැකියි. ඉන් ප්‍රධාන එකක් වන්නේ එවැනි ක්‍රමයක් අනුගමනය කිරීම හා ඇතැයි අවබෝධයක් නැතිකම යැයි සිතේ. අර්හත්වය ගැන උදාර කතා විනා මේ දැන් මේ මොහොතේ අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් සඳහා අවධානය යොමු කිරීම ඉතා දුලබ කරුණක්ව තිබේ.

තණ්හාව සපුරා නැති කිරීමෙන් නිවන් දැකිය හැකියයි කියමින් සිටිනු වෙනුවට තණ්හාවෙන් ස්වල්ප මාත්‍රයක් බැහැරකොට එහි නිරාමිස ආස්වාදය විඳගැනීමට උත්සුක වී බැලීම නොකළ හැකිද? ඇත්ත වශයෙන්, තමන්ගෙන් නිරායාසයෙන් සිදුවන ඇතැම් ගුණාංග දැන හැඳිනගෙන ඒවාට ආගමික අර්ථයක් ඇතුළත් කිරීමට උත්සාහ කිරීම නුපුළුවන් දෙයක්ද?

මහානාම ශාක්‍යයිනට බුදුහාමුදුරුවෝ මෙවැනි පිළිවෙතක් හඳුන්වා දුන් අයුරු සූත්‍ර ධර්මයන්ගෙන් හෙළිවෙයි.

බුදුරජාණන් වහන්සේ චාරිකා චරණයෙහි යෙදීමට සූදානම් වන අවස්ථාවක උන්වහන්සේ හමුවට පැමිණි මහානාම ශාක්‍ය රජතුමා එක් ඉල්ලීමක් කළේය. එනම් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩිය පසු දකින්නට නොලැබෙන නිසා, ඒ කාලය තුළ තමන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව අනුශාසනයක් කරන ලෙසය.

බුදුරජාණන් වහන්සේ වදාළේ තෙරුවන් ගුණ සිහි කිරීමට අමතරව තමන්ගේම සීලය ගැන, ත්‍යාගශීලිභාවය ගැන, මෙන්ම තමන් තුළ ඇති දේව ගතිගුණ ගැනද සිහි කරන ලෙසය. සීලානුස්සති, චාගානුස්සති හා දේවතානුස්සති යනුවෙන් හඳුන්වාදී ඇත්තේ මේ කරුණුය. බොහෝ යහපත් ක්‍රියාවන්හි අවංකව යෙදෙන බොහෝ අය සිටිති. නිදසුනක් වශයෙන් ආගන්තුක සත්කාරයට හා පරිත්‍යාගයට ප්‍රසිද්ධව සිටින සිංහලයන් අතර කිසිදු අපේක්ෂාවකින් තොරව හුදෙක් කාරුණික වූ හෝ ත්‍යාගශීලි අදහසින්ම නොයෙකුත් දෑ පරිත්‍යාග කරන, දන්දෙන මිනිස්සු සිටිති. එවැනි අයට තමන්ගේ පරිත්‍යාගශීලි භාවය ගැන නැවත සිහිකර බැලීමට කොතෙකුත් අවස්ථා තිබේ. මෙය, තමන්ගේ පරිත්‍යාගශීලි බව ගැන අනුන්ට හඬ නඟා දැන්වීමට යාම නොවේ. එය හුදෙක් තමන්ගේ ගුණය ගැන නිහඬව, තමන්ම සිහි කරමින් සතුටට ,තෘප්තිමත් බවට පත් වීමය. එසේ සිහි කිරීමෙන් පරිත්‍යාගශීලි බව වැඩි දියුණු කර ගැනීමට පමණක් නොව විමුක්ති මාර්යෙහි තමන් ගමන් කිරීම ගැන ස්වයං ඇගැයීමක් කර ගැනීමට ද තමන්ට අවස්ථාව උදාවේ. එවිට ඇතිවන පී‍්‍රතිය නිසා උනන්දුවක් උද්ගත වේ. ඒ පී‍්‍රතිය , ප්‍රමෝදයටත්, තම ගත සිත සංසිඳීමටත් පත් කිරීමට සමත් වේ. පී‍්‍රති, පාමොජ්ජ, පස්සද්ධි යනුවෙන් දහමෙහි හැඳින්වෙන්නේ එවැනි තත්ත්වයන්ය. ඒවා මාර්ගගාමී ශ්‍රාවකයා අත්පත් කර ගන්නා ප්‍රතිඵලයන්ය. විමුක්ති මාර්ගයේ ගමන් කිරීමක්, දිනපතා ජීවිතයත් අතර ඇති විය යුතු සම්බන්ධය මේ මඟින් තහවුරු කර ගත හැකියි.

විමුක්ති මාර්ගයේ ගමන් කිරීමත් දිනපතා ගත කරන ජීවිතයත් එකිනෙකට පරස්පර වූ ක්‍රියාමාර්ග දෙකකැයි අද බොහෝ බෞද්ධයන් සිතන බව පෙනේ. යම් යම් ආගමික හෝ උසස් අරමුණු සඳහා දින වෙන්කර ගත යුත්තේ, ඒවාට විශේෂ උත්සව සංවිධාන කළ යුත්තේ, එවැනි දෙයට ජීවිත කාලයේදී විශේෂ කාලවකවානු වෙන් කර ගත යුත්තේ දිනපතා ජීවිතයෙන් ආගමික අරමුණූ ඉවත් වී ඇති නිසාය. වැඩිහිටියනට සැලකීමට එක් දිනක් වෙන් කර ගෙන, ඔවුන් වෙනුවෙන් කළ හැකි සියලු දෙය එදින කර ඉතිරි දින 364 ම ඔවුන් අමතක කර දැමීම කෙතරම් අනර්ථකාරි ක්‍රියාවක්ද?

විශේෂ දිනවල හෝ කාලවල හෝ අවස්ථාවල විශේෂයෙන් ඒ ඒ පිළිවෙත් සඳහා කැප වී ක්‍රියා කිරීම වැරැදි යයි හෝ අනවශ්‍ය යයි හෝ අවධාරණය කිරීම නොවේ වේ. එසේ විශේෂ ක්‍රියාමාර්ග ගැනීම යහපත්ය. එය ඇගයිය යුතුය. එහෙත් ඒ නිසා දිනපතා ජීවිතයෙන් පිළිවෙත බැහැර කිරීමට එයම හේතුවේ නම් වරද එතැනය. පිළිවෙත දිනපතා ජීවිතය හා සම්බන්ධ වූ පුද්ගලයාට විශේෂ දින, කාල,අවස්ථා තිබුණත් , නැතත් ප්‍රශ්නයක් නැත. පිළිවෙත, දිනපතා ජීවන ක්‍රමයට බද්ධ විය යුතු යැයි අවධාරණයක් කිරීමය මෙයින් සිදුවන්නේ.

මේ කරුණ සම්බන්ධයෙන් පූජ්‍ය මහාචාර්ය ධම්මවිහාරී හිමිපාණන්, නිවැරැදි දැක්මක් හා උතුම් ජීවිතයක් නම් වූ සිය කෘතියෙහි කළ සඳහන් මෙසේය.

සාමාන්‍යයෙන් දිනපතා ජීවිතය සසර දිග් කිරීමට හේතුවන්නකි. එහෙත් නිසිලෙස සකසා ගත් නිවැරැදි ජීවිතය සසර කෙටි කිරීමටත් අවසානයක් කරා ගෙන යාමටත් මෙහෙයවයි. මේ ලෝකයේ ගත කරන ජීවිතයත් ආගමික අරමුණත් මෙසේ මැනැවින් ඒකාබද්ධ කර ගත යුතුය. යම් කිසිවකු විමුක්ති අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ආගමික වශයෙන් කෙරෙන කාර්ය දිනපතා ජීවන කාර්යයෙන් බැහැර එකක් නොවිය යුතුය.

A Correct Vision and a Life Sublime P.S,Ven Prop Dhammavihari Thero