Print this Article


පිදිය යුතුම දෙදෙනෙකි

බිනර අමාවක පෝදා දම් දෙසුම

පිදිය යුතුම දෙදෙනෙකි

බ්‍රහ්මාති මාතා පිතරො පුබ්බාචරියාති වුච්චරෙ. ආහුනෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. “බ්‍රහ්ම” යනු මව්පිය දෙපළට ආරෝපණය කළ නාමයකි. මහා බ්‍රහ්මයා දිනපතාම ලෝකය වෙත උදාර ගුණ සතරක් පතුරවනවා. මෛත්‍රිය එයින් පළමුවැන්නයි. දරුවා මව් කුස පිළිසිඳ ගත් දවසේ පටන් අම්මා, තාත්තා දෙදෙනා ගේ සිතේ දරුවා ලැබෙන තුරු ඇති වන්නේ පුදුම මෙත් සිතක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ද්වින්නාහං භික්ඛවෙ න සුප්පතිකාරං වදාමි
කතමෙසං ද්වින්නං මාතුච්ච පිතුච්ච”

සුපින්වතුනි

අකාරුණික වූ ලොවකට කරුණාව බෙදා දුන් අශුභවාදී ලොවකට ශුභවාදී දර්ශනයක් පෙන්නුම් කළ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් අම්මා තාත්තා පිළිබඳව කථා කළ වර්නා කළ අගය කළ ශාස්තෘවරයෙක් තවත් වේද?

බ්‍රහ්මාති මාතා පිතරො පුබ්බාචරියාති වුච්චරෙ. ආහුනෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. “බ්‍රහ්ම” යනු මව්පිය දෙපළට ආරෝපණය කළ නාමයකි. මහා බ්‍රහ්මයා දිනපතාම ලෝකය වෙත උදාර ගුණ සතරක් පතුරුවනවා. මෛත්‍රිය එයින් පළමුවැන්නයි. දරුවා මව් කුස පිළිසිඳ ගත් දවසේ පටන් අම්මා, තාත්තා දෙදෙනා ගේ සිතේ දරුවා ලැබෙන තරු ඇති වන්නේ පුදුම මෙත් සිතක්. උපන්දා පටන්ම උඩුකුරුව සහනය කරන දරුවාට මැසි උවදුරක් හිංසාවක් සා පිපාසා දුකක් ඇතිවීම වැළැක්වීම පිණිස දෙමාපියන් අසීමිත කරුණාවකින් සොයනවා බලනවා. දරු සිඟිත්තා හැදි වැඩි එනවිට මුදිතා ගුණය පහළ වෙනවා. දරුවා ඉගෙන කියා ගෙන තම ශක්තියෙන්ම ජීවත් විය හැකි තත්වවයට පත් වූ විට අම්මා, තාත්තා තුළ පහළ වන්නේ උපෙක්ෂා ගුණයයි. මැදහත් ගතියයි. මෙසේ දෙමාපියන් තම දූ දරුවන් කෙරෙහි සිව් බඹ විහරණයම පතුරවනවා. අප කාගේත් පළමු ගුරුවරුන් දෙපළද මේ මව්පිය දෙදෙනායි. හොඳ නරක කියාදී පින පව පෙන්වා දී කළ යුත්ත නොකළ යුක්ත හඳුන්වා දී ආචාරශීලිත්වයෙන් අපගේ ජීවිත හැඩ ගස්වන්නේ අම්මා,තාත්තා මිස වෙන කවුරුද? මේ තේරුම අනුව මව්පිය දෙපළ මුල්ම ගුරුවරන් ප්‍රථම ආචාර්වරුන් වෙනවා. අම්මාගෙන් තාත්තාගෙන් දූ දරුවන්ට කාරණා පහකින් යුතුකම් ඉටු කරනවා.පාපා නිවාරෙන්තී. (පාපයෙන් වැළැක්වීම) කල්‍යාණෙ නිවෙසෙන්ති.(යහපතෙහි යෙදවීම) සිප්පං සික්ඛාපෙන්ති, (ශිල්ප උගැන්වීම) පතිරූපෙන දාරෙන සයෙජෙන්ති (සුදුසු භාර්යාවන් හා යෙදවීම) සමයෙ දායජ්ජං නීයාදෙන්ති (සුදුසු කල්හි දායාදය දීම) යන මේ කරුණු පස මව්පියන් විසින් තම දරුවන්ට ඉටුකරන යුතුකම්ය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ යුතුකම් ඉටු කරන දෙමාපියන් දරුවන් විසින් ඉටු කළ යුතු කාරණා පහක් දේශනා කළා. මවුපියන් පෝෂණය කිරීම, 2.ඔවුන්ගේ කටයුතු කරදීම 3 කුල පරපුර ආරක්ෂා කිරීම 4. මවුපියන් දුන් දායාදය රැකීම, 5. මියගිය දෙමාපියන්ට පින්දීමය. යම් පුද්ගලයෙක් ස්වකීය මව හෝ පියා ධර්මයෙන් ආහාර පානාදිය සපයා දීමෙන්ද ඔවුන් විසින් කළ යුත්තක් පැමිණි කල එය තමාම කරදීමෙන්ද අසනීපයක් වූ විට වෙදකම් කිරීමෙන්ද යනාදියෙන් මව්පියන් පෝෂණය කරන්නේ නම් ඔහුට මෙලොවදීම මොහු කෙළෙහිගුණ දන්නා වූ මව්පියන් පෝෂණය කරන්නාවූ සත්පුරුෂයෙකැයි. ප්‍රශංසා කරති. ඔවුන් මරණීන් මතුච මව්පියන් පෝෂණය කිරීමෙන් ලද පිනෙන් දෙව්ලොවට පැමිණ දිව්‍ය සම්පත්තියෙන් සතුටු වන බව ධර්මයේ සඳහන් වෙනවා. මේ කරුණු පහෙන් දරුවන් දෙමාපියන් හට සංග්‍රහ කළ යුතුව තිබෙනවා.දූ දරුවන්ගෙන් මෙම සංග්‍රහ ලැබීම දෙමාපියන්ගේ අයිතියයි. ඒ කරුණු එසේ ඉටුකිරීම දරුවන්ගේ යුතුකමයි. දූ දරුවන් කෙරෙහි ඉටු කළ යුතු යුතුකම් ටික මේ දෙපක්ෂය අතර යුතුකම් ඉටුවන විට එම දූදරු මව්පිය දෙපක්ෂය අතර අන්‍යෝන්‍ය සමගිය හා සාමය ඇති වෙනවා. යහපත් සමාජයක් ගොඩ නැගීමේ පදනම එයින් ඇති වෙනවා. ආචාරශීලි යුක්තිගරුක දෙමාපියන්ගේ දරුවන් යහපත් වෙනවා. බොහෝ විට දෙමාපියන්ගේ නරක පැවැත්ම දරුවන් නොමග යෑමට හේතු වෙනවා. තොටිල්ල පදවන අත ලොව රජ කෙරේ යන කියමනෙහි ඉතා වැදගත් අදහසක් ගැබ්වී තිබෙනවා. මංගල සූත්‍රයේ දෙලොව දියුණුව ඇති කරන කරුණු දේශනා කරන බුදුරජාණන් වහන්සේ ‘මාතා පිතුඋපට්ඨානං’ මව්පිය උපස්ථානය මංගල කාරණයක් බව දේශනා කර තිබෙනවා.

යම්කිසි දරුවෙකු පිළිවන්කම තිබියදී තම මව්පිය දෙදෙනාට නො සලකන්නේ නම් එය වසල කමක් පහත් ගතියක් හැටියට වසල සූත්‍රයේදි බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ මව්පිය උපස්ථානය දේශනා කළා පමණක් නොවෙයි. උන්වහන්සේත් එම උදාර ගුණය ආදර්ශයෙන්ම පෙන්වා වදාළහ. මාතුපෝසක ජාතකය, සාම ජාතකය, මීට හොඳ නිදර්ශනයකි. එදා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සම වැදී තුන්ලෝකයක් ආලෝකමත් කරන්නට බුදුපුතෙක් පහළ කළ අම්මා සිටින්නේ කොතැනකදැයි විමසා මාතෘ දිව්‍ය රාජයාට අනුග්‍රහ පිණිස දෙව්ලොවට වැඩම කොට (විජම්බණ) අභිධර්මය තුන් මාසයක් පුරා දේශනා කොට සෝවාන් මාර්ගයට පත් කොට මනුලොවට වැඩම කොට වදාළේය. තථාගතයන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයේ එහිදී දිනක් මහා කරුණා සමාපත්තියෙන් ලොව බලද්දී සුද්ධෝදන මහ රජතුමා දැඩි ලෙස රෝගාතුරව මරණ මඤ්චකයෙහි සිටින බවත්. තමන් වහන්සේ දකින්නට බලවත් කැමැත්තෙන් සිටින බව දැන ගත්සේක. එදිනම උන්වහන්සේ භික්ෂු පිරිසක් සමඟ කිඹුල්වත්පුර මාලිගාවට වැඩමවා පිය රජුගේ ඇඳ ළඟ පනවන ලද අසුනෙහි වැඩහිඳ පියාගේ හිසට දකුණත තබා සත්‍ය ක්‍රියා කළ විගස හිසේ වේදනාව දුරු වූ සේක. නන්ද තෙරණුවන් රජතුමාගේ දකුණත අල්ලා ගෙන සත්‍ය ක්‍රියා කරත්ම රජතුමාගේ දකුණතේ වේදනාව නැති වූ සේක.ආනන්ද හාමුදුරුවන් වමතද සාරිපුත්ත තෙරණුවන් පිටද, මුගලන් තෙරණුවන් දෙපයද අල්ලාගෙන සත්‍ය ක්‍රියාකරත්ම රජතුමාගේ සියලුම ශාරීරික වේදනා දුරු වී ගියේය. අනතුරුව සතුටට පත් පියාණන්ට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයක් දේශනා කළ විට එතුමා උතුම් වූ රහත් ඵලයට පත් වූහ.මේ තමයි බුදුරජාණන් වහන්සේ සුදොවුන් පිය රජතුමාට සැලකූ ආකාරය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්නුවරට වැඩම කළ සත්වැනි දින දායාද ඉල්ලා ගෙන උන්වහන්සේ පසුපස ගිය රහල් කුමරුන් පැවිදි කළේය. මේබව දැනගත් සුදොවුන් රජතුමා අතිශයින් වේදනාවට පත් වූහ. බුදුරජාණන් වහන්සේ වෙත ගිය පිය මහ රජතුමා, මෙසේ කියා සිටියේය. ස්වාමින් භාග්‍යවයතුන් වහන්ස, “ඔබ වහන්සේ පැවිදි වූ කල මගේ සිතට ඇති වුයේ මහත් දුකක්. නන්ද කුමරුන් පැවිදි වූ විටත් ඇති වූයේ දැඩි දුකක්. ඒ හැම දුක් ගිනි නිවා ගෙන සැනසුම් ලබන්නට සිටි මේ කුඩා රාහුල කුමරුවන් පැවිදි කිරීම නිසා මට මහත් දැඩි දුකක් ඇතිවී යයි කීය.

”ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස දරු සෙනෙහස සිවියත්, සමත්, මසත්, නහරත්,ඇටත්, විනිවිද ගොස් එයින් නොනැවති ඇට මිදුළුවල හැපී පවතී යයි කියා දෙමාපියන් නොවිමසා දරුවන් පැවිදි නොකරන සේක් නම් මැනවි. බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. බුදුරජාණන් වහන්සේ පිය රජතුමාගේ ඉල්ලීම අනුව දරුවන් පැවිදි කිරීම පිළිබඳව ශික්ෂාපදයක් පැනවීමත් සුදොවුන් රජතුමා කෙරෙහි දැක්වූ අනුකූලතාව පෙන්නුම්කිරීමක්. දෙමාපියන්ට සලකන ආකාරය අපට ආදර්ශයෙන්ම පෙන්නුම් කළා. එදා දෙපස වැඩ සිටි සැරියුත් මහතෙරුන් පිරිනිවන් පෑමට දෙතුන් දිනකට කලින් තම නිවසට ගොස් මහලු මෑණියන් රූපසාරි බමුණු මාතාව බෞද්ධෝපාසිකාව කරලයි පිරිනිවන්පා වදාළේ.

මාතුපෝසක ජාතකය වදාරමින් එම උදාර ගුණය අනුමත කළා.අප මහ බෝසතාණන් වහන්සේ පෙර ජන්මයක හස්ති රාජයෙක්ව ඉපිද දෙඇස ,අන්ධ මව් ඇතින්න ගල්ගුහාවක රඳාව ගෙන ඇප උපස්ථාන කළ ආකාරයත් තථාගතයන් වහන්සේ සාම ජාතකය වදාළේත් ඒ අවස්ථාවේ දීය. මේතරම් ගුණ ඇති අම්මා, තාත්තා දෙපළට තමන්ට සැලකිය හැකි ඉහළම අයුරින් සැලකිය යුතුයි.මහත්වු ගුණ ඇති මව්පියන්ට නුවණැති පින්වතා වඳිනවා ආහරපාන ඉඳුම් හිටුම් අඩුපාඩුවක් නැතිව සළකනවා. ඇඟ ඉලීම නෑවීම්, පා සේදීම් ආදි සියලු උපස්ථාන අඩුවක් නැතිව කරනවා. මේ හොඳ දරුවෙකු තම දෙමාපියන්ට සලකන ආකාරයයි. ගරු බුහුමන් කරන ආකාරයයි. මෙකී කරුණු කාටත් ආදර්ශයක් වෙන්නට ඕනෑ. මව්පියන්ගේ ආශිර්වාදය දරුවන්ගේ දියුණුවට යහපතට ඒකායන මාර්ගයකි. ඒ නිසා පින්වතුනී කවරදාකවත් මව්පියන් අමතක කරන්න එපා. අපගේ මව්පියන්හට හොඳින් සලකා මෙම උදාර බෝධිසත්ව ගුණය දියුණු කොට ඒ පින් බලයෙන් සසර දුක් නසා අමා මහ නිවන් සම්පත් අත්පත් වේවායි ප්‍රාර්ථනා කර ගනිමු.