Print this Article


පූජාච පූජනීයානං

රළපනාවේ ධම්මාලංකාර නා හිමි

අනුරාධපුර ධර්මපාල මාවතේ ශ්‍රී වීරසේකරාරාම මහා විහාරය ඇතුළු විහාර සමූහයේ අනුශාසක, රජරට සම්මානනීය සංඝනායක ධුරයෙන් පිදුම්ලත් , මහෝපාධ්‍යාය, ශාසන සෝභන සද්ධර්ම කීර්ති ශ්‍රී ලෝකත්ථචාරි රළපනාවේ ධම්මාලංකාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් ඔක්තෝබර් මස 10 වෙනි දිනට තෙමසක් පිරීම නිමිත්තෙනි.

ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ උපතින් 98 වසරක්ද, (1917.12.31) පැවිද්දෙන් 88 වසරක්ද, (1927.05.21) උපසම්පදාවෙන් 75 වසරක්ද (1940.07.20) සපුරන ලද සංඝ පීතෘන් වහන්සේ නමකි.

කොකටිය ගොල්ලෑවේ ශ්‍රී භාරතීන්ද්‍ර නාහිමියන් වහන්සේ ධම්මාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ වූහ.

උන්වහන්සේ ගේ මව්පියන්වූයේ කැබිතිගොල්ලෑව කුංචූට්ටුව කෝරළය නිජබිම කරගත් පුංචිරාළ ගම්පතිතුමන් සහ කුමාරිඑතනා මහෝපාසිකාවය. කුංචූට්ටි කෝරළයේ රළපහන වැව සිය නිජභූමිය කොටගෙන 1917 වර්ෂයේ දෙසැම්බර් 30 වැනි දින උපන් පුතණුවන් දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියාය.

මේ කුමරුවා වයස 10 ක් පමණ වූ කුඩා වයසේදීම පැවිදි භූමියට පත්වීමට තරම් භාග්‍යවන්ත විය. පැවිද්දෙන් පසු සිය ගුරුදේවයන් වහන්සේගේ මඟපෙන්වීමෙන් පන්සලේ සිට ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රය හැදෑරූ උන්වහන්සේ 1940 දී උපසම්පදා භූමියට පත්විය.

1942 දී අනුරාධපුර නුවරවැව අසබඩ ධර්මපාල මාවතේ වීරසේකරාරාමය නමින් මැටියෙන් තැනු කුටියකට වැඩම කළ උන්වහන්සේ එය තමන්ගේ ස්ථිර නේවාසික ස්ථානය කොටගෙන, ප්‍රදේශයේ මංමාවත් , පාසල්, සමිති සමාගම් ඇතිකිරීමෙහි නිරතවූහ. එවක නොදියුණු වන ගහනයෙන් යුතු අනුරාධපුර ප්‍රදේශය දියුණු කරලීමේ මාර්ගපෝදේශකයෙකු ද වූහ. 1950 දී අනුරාධපුර වන්නි තම්මැන්නාව අනුරග්‍රාම සංවර්ධන සමිතිය ඇති කොට ප්‍රදේශයේ අධ්‍යාපන සාමාජික හා ආගමික කටයුතු දියුණු කිරීමේ පෙරමුණ ගත්හ. 1953 දී වන්නිතම්මැන්නාව විද්‍යාලය ආරම්භ කළ අතර 1957 දී අ/වන්නිතම්මැන්නාව විද්‍යාලය නමින් එය රජයට භාර දුන්හ. වර්තමානයේ දීපානි මහා විද්‍යාලය නමින් ඉතා විශිෂ්ට ගණයේ අධ්‍යාපන ආයතනයක් බවට පත්ව ඇත්තේ එම විද්‍යාලයයි.

1957 වර්ෂයේ හොරොව්පොතාන දුටුවැව විද්‍යාලය සකස්කොට රජයට භාරදීමද උන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය. අනුරාධුපර කීරික්කූලම විද්‍යාලයද ආරම්භ කර එම වර්ෂයේදීම (1957) රජයට භාරදීමට කටයුතු කළහ.

1966 දී තම්මැන්නාව ශ්‍රී ධර්ම රාජ විහාරස්ථානයද, 1967 දී දුටුවැව ජනනන්දනාරාමයද ආරම්භ කළහ. එසේම 1968 දී ග්‍රාම සංවර්ධන සමිති හා ඒකාබද්ධව කීරික්කුලමේ සිට අනුරාධපුර නව නගරයට පිවිසීමේ නව මාර්ගයක්ද ඉදිකළහ. වර්තමානයේ පන්සල් පාර නමින් හැඳින්වෙන්නේ එම මාවතයි. 1971 වර්ෂයේ නෙලුම්කුලම තම්මැන්නා පුර ශ්‍රී ධර්මාලංකාර පුරාණ විහාරය

ආරම්භ කළ අතර, 1971 වර්ෂයේම ගුවන් තොටුපලපාරේ අනුරහන්දිය සිට නෙලුන්කුලම පන්සල දක්වා ගුවන්තොටුපළ පිටුපසින් පිහිටි පාර ඉදිකළේද උන්වහන්සේ මැදිහත් වීමෙනි. 1974 තම්මැන්නාපුර විද්‍යාලය ඇතිකිරීමද, 1977 ඤාණික්කුලම නෙළුම්කුලම තැපැල් කාර්යාලය පිහිටුවීමද උන්වහන්සේ සිදුකළ සමාජ සත්කාරයකි. 1983 දී අනුරාධපුර නව නගරයේ ධර්මාලංකාර ධර්මායතනය පිහිටවූ අතර 1991 දී භාරතීන්ද්‍ර පිරිවෙන ආරම්භකොට, සුවිශාල ශාසනික අධ්‍යාපනික සේවාවකට මුල පිරූහ. 1992 වර්ෂයේදී 4 කණුව සිරි සම්බෝධි විහාරය ආරම්භකළ අතර, 1997 දී ඉසුරුපුර පුෂ්පාරාමය පිහිටුවීමට ක්‍රියා කළහ.

උන්වහන්සේගේ සේවාවට ගරු කිරීමක් ලෙස උන්වහන්සේ වෙත උතුරුමැද පළාත් සභාව මගින් “ලෝකත්ථචාරී” යන ගෞරව නාම සම්මුතිය ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සම්භාවනාවට පත් උන්වහන්සේ නිකායේ කාරක – පාලක සභා නියෝජනය කරමින් නිකාය ව්‍යාප්තියටද සුවිශාල සේවාවක් සිදු කළහ. භාරතීන්ද්‍ර සඟපරපුරේ සම්භාවනාවට පත් උන්වහන්සේ භාරතීන්ද්‍ර සඟ පරපුර ශෝභමාන කළ සංඝ පීතෘන්වහන්සේ නමක් ලෙස “ශාසන වංසාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී භාරතීන්ද්‍ර වංසාවතංස රජරට සම්මානනීය සංඝනායක” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

උන්වහන්සේ තමන් වහන්සේ ආරම්භකළ ශාසනික, ආගමික, අධ්‍යාපනික හා සාමාජික සේවාවන් ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රබල සම්පන්න වූ ශිෂ්‍ය පිරිසක්ද ඇති කළහ. තිරප්පන් මඩුවේ ජිනරතන, ජීනගම සද්ධාජීව, තිරප්පන්මඩුවේ විනීත , නෑවකඩ විපුලඤාණ, කුංචුට්ටුවේ ධම්මකුසල, කඩුගන්නාවේ සද්ධාසීල, ළිඳවැවේ සාගර,අක්බෝපුර සුසීම යන ශිෂ්‍යවරයන් වහන්සේලා ඒ අතර ප්‍රධාන වෙති.

අපවත් වී වදාළ නාහිමියන්ගේ තෙමස් පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් මේ මස 9 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකි. පසුදින (10) හීල්දානය හා දවල් සියක් නමක් විෂයෙහි සපිරිකර සංඝ ගත දක්ෂිණාවකි. දැනට වැඩ නිමකොට ඇති අනුරාධපුර ශී‍්‍ර ධර්මාලංකාර අනුස්මරණ ධර්ම ශාලාව සඟසතුකොට පූජාකිරීම මේමස 10 වෙනි දින පෙරවරු 10.00 ට සිදු කෙරේ.


නාගොඩ සුමනසිරි නාහිමි

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාලු ගඟබඩ පත්තුවේ නාගොඩ නම් වූ ග්‍රාමවරයෙහි අගෝස්තිනා නානායක්කාර මව්තුමියට සහ ප්‍රකට රක්ෂණ නියෝජිත මහතෙකු වූ ඩබ්.ජී. ඕදිරිස් සිල්වා පියාණන්ට දාව 1952 සැප්තැම්බර් 25 වැනි දින උපන් ඩබ්.ජී. අතුල නන්දසිරි කුමරුවා 1957 දී නාගොඩ රාජකීය කනිෂ්ට විද්‍යාලයට ඇතුළත් කෙරුණේ මූලික අධ්‍යාපනය ලබා ගැනීම සඳහාය. සහෝදරයන් පස් දෙනෙකුගෙන් ද එක් සහෝදරියකගෙන්ද යුත් පවුලේ තෙවැනියා විය.

ආගමික නැඹුරුවකින් ද යුතු මෙම දරුවා 1968 දී ගාල්ල බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමාධිපතිව වැඩි විසූ බද්දේගම පඤ්ඤාසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වෙතින් ප්‍රවෘජ්‍යා භූමියට පිවිසෙන්නේ නාගොඩ සුමනසිරි පොඩි හාමුදුරුවන් ලෙසිනි. ගාලු පළාතේ විහාරස්ථාන රාශියක පරිපාලන ව්‍යුහයකට සම්බන්ධ බද්දේගම පඤ්ඤාසාර නාහිමියන් පළාතේ සම්භාවනීය මහ තෙර නමකි. උන්වහන්සේගේ ශිෂ්‍ය ප්‍රශිෂ්‍ය භික්ෂූන් රාශියකි.

නාගෙඩ සුමනසිරි හිමියන් ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන් විහාරයට වැඩම කොට එහි වැඩ වසමින් විද්‍යාලෝක පිරිවෙනට අනුබද්ධ ගා/ පුඤ්ඤසාර මහ පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා යොමු විය. ගාල්ලේ ශ්‍රී පුඤ්ඤසාර පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍රෝද්ගහ්‍රණය කරමින් සිටි සුමනසිරි හාමුදුුරුවෝ 1973දී මහනුවර මල්වතු මහා විහාරස්ථ සීමා මාලකයේදී උපසම්පදාවෙහි පිහිටුවනු ලැබූහ.

ගාල්ලේ පුඤ්ඤසාර පිරිවෙනෙන් සහ විද්‍යාලෝක විද්‍යායතන පිරිවෙනෙන් පිරිවෙන් අධ්‍යාපනයට සමු දුන් සුමනසිරි හාමුදුරුවෝ 1977 දී රත්මලානේ භික්ෂූ පරිවේණාචාර්ය ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෙවසරක ගුරු පුහුණුවට යොමුවී 1978 දී ප්‍රවීණාචාර්ය පදවිය ලැබ පිරිවෙන් ගුරු පදවියට පත් විය. ඒ තමන් වහන්සේ මූලික අධ්‍යාපනය ලද පිරිවෙනම විය.

මෙම කාල සීමාව තුළ ගාල්ලේ විද්‍යාලෝක දහම් පාසල් සේවය, ගාල්ල, බන්ධනාගාරයේ ආගමික උපදේශන සේවාව, නාගොඩ සුමනසිරි පණ්ඩිත හාමුදුරුවන්ගේ ප්‍රධානතම සේවාව විය. මේ අතර තමන් වහන්සේගේ මෙම ආගමික හා ශාසනික සේවාවන් ගාලු නගරය තුළ හා ඉන් පිටතටත් විහිදී යන පරිදි ඉෂ්ට සිද්ධ කරන්නට සුමනසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ දංගෙදර, රිච්මන්ඩ් සිටි නිවාස සංකීර්ණයේ ආගමික පරිසරයකට සුදුසු ස්ථානයක් තෝරාගෙන තම පෞද්ගලික ධනයෙන් බිම් කැබැල්ලක් මිලදී ගෙන දහම් සෙවණ නමින් පුංචි කුටියක් ඉදි කර ගත්තේය. අද වන විට සියලුම විහාරාංගයන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද දහම් සෙවණ විහාරය දෙද්දුගොඩ, යශෝධරාවත්ත,බම්බවත්ත, ගලගෙඩිය, ඩිඩිස්වත්ත, රිච්මන්ඩ් සිටි ආදී ගම් නියම් ගම් ඇසුරුකොට විශාල ශාසනික මෙහෙවරක් සිදු කෙරෙන ස්ථානයක් බවට පත්ව ඇත. මේ වන විට ගාල්ලේ පුඤ්ඤසාර පිරිවෙනෙන් පරිවේණාධිපති පදවිය දැරූ ආචාර්ය බද්දේගම දේවාරක්ඛිතාභිධාන ගාලු කෝරළේය ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ උන්වහන්සේගේ පරිවේණාධිපති ධුරය නාගොඩ සුමනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට පවරා සේවයෙන් විශ්‍රාම ගත්හ.

ශාසනය තුළ උතුම් මෙහෙවරක් සිදුකරන නාගොඩ සුමනසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ දැන් සැට වයස් සපිරුණු විශ්‍රාමික ආචාර්යයන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් සිදු කරනු ලබන මෙම ශ්‍රේෂ්ඨ ශාසනික සේවාව ඉතා උසස් ලෙස අගය කළ ස්‍යාමෝපාලිවංශික සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක සානුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංශත් වාර්ගික කාරක මහා සංඝ සභාව නාගොඩ සුමනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මෑතකදී පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කරන්නට තීරණය කළේය.

අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මහනුවර මල්වතු මහා විහාරයේදී 2015.09.25 ගාල්ල දංගෙදර, දහම් සෙවණ, විහාරාධිපති, ශී‍්‍ර පුඤ්ඤසාර මහ පිරිවෙනේ හිටපු පරිවේණාධිපති, ප්‍රවීණාචාර්ය නාගොඩ සුමනසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට “ධර්ම කීර්ති ශී‍්‍ර පඤ්ඤාසාර “ගෞරව නාම සම්මුතිය සහිත ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිති කොට ගෙන පවත්වන්නට යෙදුනු අක්තපත්‍ර ප්‍රදානෝත්සවය උන්වහන්සේගේ 63 වෙනි ජන්ම දිනය යෙදී තිබුණු සැප්තැම්බර් මස 25 වෙනි දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේදි උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

පූජෝපහාර උත්සවය ගාල්ල දහම් සෙවණ විහාරස්ථානයේදී බිනර පෝදින සන්ධ්‍යා කාලයේදී පැවැත්විණි.


වැලමිටියාවේ සීලරතන නා හිමි

හෙයියන්තුඩුව පුරාණ විහාරය බස්නාහිර පළාතේ සියනෑකෝරළයට අයත් පෞරාණික විහාරස්ථානවලින් ප්‍රධාන එකකි.

ඔක්. 09 දිනට 50 වැනි උපන්දිනය සමරන එහි වැඩ වසන විහාරාධිපතින් වහන්සේ මාවරමණ්ඩිය ශ්‍රී ධීරානන්ද පිරිවෙන්පති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වැලමිටියාවේ විමලකිර්ති ශී‍්‍ර පේමරතන සීලරතනාභිධාන නායක හිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ ඇපකැපවීම මත පැරණි විහාර භූමියට නව අංග සහිත ගොඩනැගිලි හා අංගෝපාංග එක්වෙමින් නවීකරණය වෙමින් තිබේ.

ඒ අතර විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සමිතිය ,විහාර සංවර්ධන සමිතිය, කුලඟන සමිතිය, ශ්‍රී පියදස්සි දහම් පාසල ඇතුළු විවිධ සමිති සමාගම් ප්‍රමුඛ වෙයි. ඒ අතර නාහිමියන්ගේම අදහසට අනුව 2011 වසරේ සිට ආරම්භ කළ තරුණ බෞද්ධ සමිතිය තුළින් එදා මෙදා තුර විහාරස්ථ පුන්‍ය කටයුතු සියල්ලම වාගේ කරගෙන යනු ලබයි.

ලේ දන්දීම්, ත්‍යාග ප්‍රධාන උත්සව, උපහාර උළෙල, බණ, පින්කම් , ධර්ම දේශනා ආදී විවිධ වූ උත්සව නිසි ලෙස පවත්වාගෙන යාමට සාමාජිකයින් 123 කට ආසන්න තරුණ බෞද්ධ සමිතියෙන් සිදුවන මෙහෙය සුළු පටු නොවේ. මෙම කටයුතු අතර නාහිමිපාණන් වහන්සේ පළමු වරට විහාරස්ථානයට වැඩම කළ දා පටන් ඉතා සුළු කාලයක් තුළ බෝධිය වටා විශාල පවුරක් ඉදිකිරීම නවග්‍රහ පිළිරූ සහිත කුටි පෙළක් ඉදිකිරීම, ගණ්ඨාර කුලුන ඉදිකිරීම, අටවිසි බුදුවරුන්ගේ පිළිරූ සහ ඊට අයත් වෘක්ෂ රෝපණය සහිත නවාංගයක් ඉදිකිරීම, රජ ලෙන් පියස නමින් පැරණි රජවරුන්ගේ රාජාවලියට අයත් සියලු රජවරුන්ගේ පටන් වර්තමාන ජනපතිතුමන් දක්වා වූ අයගේ පිළිරූ ඉදිකිරීම, ආවාසගෙය නවීකරණය කිරීම හා පැරණී විහාරගෙය නවීකරණය හා විශාලකොට ඉදිකිරීම, එහි සිතුවම් හා සුවිසල් බුදුපිළිම නෙළීමට කටයුතු සැලසීම ආදී විශාල වැඩකොටසක් මේ වන විටත් කරගෙන යාම සුවිශේෂීව සඳහන් කළ යුත්තකි.

මෙම පුණ්‍ය කටයුතු කරගෙන යමින් ගමට රටට වැඩ ඇති හිමිනමක් ලෙස විහාරාධිපති වැලමිටියාවේ සීලරතන හිමියන්ට වයස අවුරුදු 50 සපිරෙන 2015.10.09 දින සුවිශේෂී පුණ්‍යකර්ම රාශියක් සිදුකෙරේ. විහාරස්ථානයට පිවිසෙන නයාගල හා යටවත්ත යන ගම් යාකෙරෙන පන්සල පාර නමින් දැනට තාවකාලිකව හඳුන්වන පාර වැලමිටියාවේ ශ්‍රී සීලරතන නාහිමි මාවත නමින් නම් කෙරිණි.