බුද්ධියට සම තැනත් අම්මාට නිසි තැනත් ලැබුණු වගයි
අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති
කැලණිය විශ්වවිද්‍යාලයේ චීන
අධ්‍යයන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි
“එක් පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.
“ස්වාමීනි, කාන්තාව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම
විනයෙහි ගිහිගෙයින් නික් මී පැවිද්ද ලබයි නම් හොඳයි.” ගෝතමිය, එයින්
කමක් නැත. කාන්තාව ගිහි ගෙයින් නික්මී තථාගතයාණන් වහන්සේ විසින් දේශනා
කරන ලද ධර්ම විනයෙහි පැවිදිවීම කෙරෙහි ඔබ උනන්දු වන්න එපා.”
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං
දුප්පඤ්ඤවන්තස්සාති’ යනුවෙනි. එනම් මේ ධර්මය නුවණැත්තන්ට මිස නුවණ
නැත්තන්ට නොවේ යන්නයි. උන්වහන්සේ වනාහී යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්ත
වූ මෙලොව පහළ වූ අසහාය ශාස්තෘවරයා බව මනාව පැහැදිලි වන්නේ මේ ප්‍රඥාවට
මුල්තැන දී කටයුතු කළ නිසාමය. කාන්තාවට පැවිදි වී සසර කතරින් එතෙර
වන්නට අවශ්‍ය පසුබිම සකස් වූයේ ද මෙන්න මේ නිසා බව අප අමතක නොකළ යුතුය.
එක් දිනක් කොසොල් රජතුමා බුදුරදුන් සමඟ සුහද සාකච්ඡාවක යෙදී සිටියදී
රජතුමාගේ දේවියට දියණියක ලැබී ඇති බව දැනගන්නට ලැබී රජතුමාගේ මුහුණ
මැළවිණ. ඔබ කුමක් නිසා කනගාටුවන්නේ දැයි බුදුරදුන් විමසූ විට කොසොල්
රජු ප්‍රකාශ කළේ තම දේවියට දියණියක් ලැබී ඇති නිසා කනගාටුවක් ඇති වූ
බවයි. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
‘ඉත්ථි පි ඒකච්චියා
සෙය්‍යා පෝසේනරාධිප
මේධාවිනී සීලවතී
සස්සුදේවා පතිබ්බතා”
‘මහරජ, ඇතැම් ස්ත්‍රීහු බුද්ධිමත්ය. සිල්වත්ය. නැන්දා මාමාට දෙවියන්ට
මෙන් සලකන්නෝය. පති දහම මැනවින් රකින්නෝය. ඒ නිසා පෝෂණය කළ යුතුයි’.
බුද්ධිමත් හා සිල්වත් වූ පතිදම් රකින කුලකත වෙන කිසිවෙකුට නොකළ හැකි
සේවයක් සලසන බව මෙයින් පැහැදිලි වේ. ඒ කෙසේ වුවද බුද්ධිමත් වූ කුල
කාන්තාව සැමදා නිවසේ කටයුතුවලටම කොටු විය යුතු නැති බව බුදුරජාණන්
වහන්සේ පිළිගත් සේක. උන්වහන්සේ මේ බව පෙන්වා දී වදාළේ කාන්තාවන්ට ද
පැවිදි වීමට අවසරය ලබා දීමෙනි.
බුදුරජාණන් වහන්සේ පස්වන වස් කාලය ගත කළේ විශාලා නුවර මහා වනයේ කූටාගාර
නම් ශාලාවේය. තම පියරජ බලවත් සේ ගිලන්ව තමන් දකිනු රිසිව සිටින බව
දිවැසින් දුටු උන්වහන්සේ සෘද්ධිබලයෙන් එහි වැඩමකොට දහම් දෙසා පියරජුට
රහත් මග ඵල අවබෝධ කර වූ සේක.
රජතුමා පිරිනිවන් පෑමෙන් පසු බුදුරදුන් ටික කලක් එහි වැඩ සිටි අතර මහා
ප්‍රජාපතී ගෝතමිය කපිලවස්තු නගරයේ නිග්‍රෝධාරාම නම් විහාරයේ වැඩ සිටියා
වූ භාග්‍යවත් සම්මා සම්බුදුරදුන් ළඟට ගොස් පැවිද්ද ඉල්ලා සිටියාය.
“එක් පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.
“ස්වාමීනි, කාන්තාව තථාගතයාණන් වහන්සේ
විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි ගිහිගෙයින් නික් මී පැවිද්ද ලබයි නම්
හොඳයි.” ගෝතමිය, එයින් කමක් නැත. කාන්තාව ගිහි ගෙයින් නික්මී
තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිදිවීම කෙරෙහි
ඔබ උනන්දු වන්න එපා.” (භික්ඛුනීක්ඛන්ධකය – මහා ප්‍රජාපතී ගෝතමී වත්ථු)
මෙලෙස මහා ප්‍රජාපතී ගෝතමිය විසින් තෙවතාවක් බුදුරදුන්ගෙන් පැවිද්ද
ඉල්ලා සිටියද උන්වහන්සේ ඒ සෑම අවස්ථාවකදීම එය ප්‍රතික්ෂේප කළ සේක. ඇය
හඬමින් දුකින් ආපහු ගියාය.
ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු පුරයෙන් නික්ම පිළිවෙළින්
විසාලා මහනුවරට වැඩමකොට මහා වනයේ කූටාගාර නම් ශාලාවේ වැඩ සිටි සේක. එකල
මහාප්‍රජාපතී ගෝතමිය කෙස් කපා කහවත් හැඳ පොරවාගෙන ශාක්‍ය කාන්තාවන්
පිරිසක් සමඟ කූටාගාර ශාලාවට පැමිණියාය. ඇයගේ දෙපා තුවාල වී තිබුණි.
සිරුර පුරා දූවිලිය. අඬමින් දුකින් යුතුව ප්‍රධාන දොරටුවෙන් පිටත
සිටියා ය. බුද්ධෝපස්ථායක ආනන්ද හිමියෝ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු
පිරිස බොහෝ දුකසේ සිටිනු දුටු බැවින් බුදුරදුන් වෙත ගොස් වැඳ එකත්පසෙකට
වී මෙසේ කීහ.
“ස්වාමීනි, මේ මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේ කාන්තාවට ගිහි
ගෙයින් නික්මී තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි
පැවිදි වීමට ඉඩ දෙන්නේ නැතැයි කියා තුවාල වූ දෙපාවලින් හා දූවිලි වලින්
පිරුණු සිරුරින් යුතුව දුක් දොම්නස් සහිත ව අඬමින් ප්‍රධාන දොරටුවෙන්
පිටත සිටියි. ස්වාමීනි, කාන්තාව ගිහි ගෙයින් නික්මී තථාගතයාණන් වහන්සේ
විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිද්ද ලබයි නම් හොඳයි” එවිට
භාග්‍යවතුන් වහන්සේ දෙසුවේ “ආනන්ද එයින් කමක් නැත. කාන්තාව ගිහි ගෙයින්
නික්මී තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිදිවීම
කෙරෙහි ඔබ උනන්දු වන්න එපා.” යනුවෙනි. (භික්ඛුනීක්ඛන්ධකය – මහා
ප්‍රජාපතී ගෝතමී වත්ථු)
ආනන්ද හිමියන්ද කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන මෙන් තෙවතාවක්ම
බුදුරජුන්ගෙන් ඉල්ලා සිටියද උන්වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක.
මින් පසු ආනන්ද හිමියෝ කල්පනා කොට වෙනත් ක්‍රමයකින් කාන්තාවට පැවිද්ද
ලබා දෙන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලිය යුතුයැයි සිතා, පැවිද්ද තුළ කාන්තාව
කිසිසේත් ම පිරිමියාට නොදෙවෙනි වන බව මෙසේ ඔප්පු කොට පෙන්වූ සේක.
‘ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී
සේක. ස්වාමීනි, කාන්තාවක් ගිහිගෙයින් නික්ම තථාගතයණයන් වහන්සේ විසින්
දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිදිව සෝවාන්ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී
ඵලය හෝ අර්හත් ඵලය අවබෝධකොට ගැනීමට හැකිද?
ආනන්ද, කාන්තාවක් ගිහිගෙයින් නික්ම තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන
ලද ධර්ම විනයෙහි පැවිදිව සෝවාන්ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය හෝ
අර්හත් ඵලය අවබෝධ කරගැනීමට හැකියි.” (භික්ඛුනීක්ඛන්ධකය – මහා ප්‍රජාපතී
ගෝතමී වත්ථු)
මෙම දෙබසින් පැහැදිලි වන්නේ බුද්ධිය මෙහෙයවා රහත්වීමට ස්ත්‍රීත්වය
ප්‍රශ්නයක් නොවන බවය. රහත් මාර්ගය නම් වූ ප්‍රතිපදාව තුළ පිරිමියෙකු හා
සමානවම කටයුතු කිරීමට කාන්තාවට හැකියාව තිබෙන බවත්, පිරිමියෙකු ලබා
ගන්නා ප්‍රතිඵලයම කාන්තාව ද එලෙසම ලබා ගන්නා බවත් බුදුරජාණන් වහන්සේ
පැහැදිලිවම දෙසූ සේක. මේ අනුව පැහැදිලි වන්නේ ඒ බිනර පෝදා බුදුරජාණන්
වහන්සේ ස්ත්‍රීත්වය නොසලකා බුද්ධියට සමතැන ලබා දුන් බවයි.
මෙයින් ධෛර්යයට පත් ආනන්ද හිමියෝ කාන්තාවට පැවිද්ද ලබා දීමට බුද්ධිය
පිළිබඳ සාධකයට අමතරව ‘අම්මා’ නමැති සාධකය ද ගෙන හැර පෑ සේක. උන්වහන්සේ
බුදුරජාණන් වහන්සේට මෙසේ කී සේක. “ස්වාමීනි මහා ප්‍රජාපතී ගෝතමී
භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කළා.
ඇය පුංචි අම්මායි, ඔබ වහන්සේ රැක බලා ගත්තා, පෝෂණය කළා. කිරි දුන්නා.
භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් මිය ගියාට පසු කිරි දුන්නා. ස්වාමීනි,
කාන්තාව ගිහි ගෙයින් නික්මී තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්ම විනයෙහි පැවිද්ද ලබයි නම් හොඳයි.”
මෙය ඇසූ බුදුරජාණන් වහන්සේ අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ නම් මහා ප්‍රජාපතී
ගෝතමිය පැවිදිව උපසම්පදා වන බව දෙසූ සේක. කාන්තාවට පැවිද්ද ලැබීම වනාහී
ආනන්ද හිමියන් විසින් බුද්ධිමත්ව සිතා කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයකි.
එයින් ඔප්පු වූයේ ස්ත්‍රීත්වය හුදෙක් බාහිර සාධකයක් මිස එයින් බුද්ධියට
බාධාවක් නොවන බවයි. අනෙක් අතට මාතෘත්වය වනාහී නිවන් දැකීමේ මාර්ගයට
අවතීර්ණවීම පිණිස බලපවත්වන ඉතා වටිනා සුදුසුකමක් වශයෙන්ද බුදුරජාණන්
වහන්සේ පිළිගත් බව මෙයින් පැහැදිලි වේ. |