Print this Article


සද්ධර්මරත්නාවලිය

සද්ධර්මරත්නාවලිය

වස්තු විෂය අතින් පමණක් නොව වර්ණනා විලාසය අතින්ද සිංහලයාගේ චිත්ත ප්‍රසාදය දිනාගත් විශිෂ්ටතම ජාතික බණ පොත යන අභිධානය ලැබීමට සුදුසු ධර්ම ග්‍රන්ථයක් ලෙස සද්ධර්ම රත්නාවලිය හෙවත් සදහම් රුවන් වැල හඳුන්වාදිය හැකිය. කතුවරයා ස්වකීය කථා වස්තුවලට මෙකී දේශීයත්වය ආරෝපණය සිදු කරන්නේ ව්‍යවහාර ගැමි බස ව්‍යක්ත ලෙස භාවිතා කිරීම තුළිනි. සිංහල ධර්ම සාහිතය ග්‍රන්ථාවලියෙහි මුල් පෙළේ වැජැඹෙන විශිෂ්ටතම ග්‍රන්ථ රත්නය ලෙස සද්ධර්ම රත්නාවලිය හඳුන්වාදීම ඉතා සුදුසුය.

වස්තු විෂය අතින් පමණක් නොව වර්ණනා විලාසය අතින්ද සිංහලයාගේ චිත්ත ප්‍රසාදය දිනාගත් විශිෂ්ටතම ජාතික බණ පොත යන අභිධානය ලැබීමට සුදුසු ධර්ම ග්‍රන්ථයක් ලෙස සද්ධර්ම රත්නාවලිය හෙවත් සදහම් රුවන් වැල හඳුන්වාදිය හැකිය.

වස්තු විෂය අතින් එය චිත්ත ප්‍රසාදකර වන්නේ එහි මූලාශ්‍රය ධම්මපදට්ඨ කථාව වන හෙයිනි. ධම්මපදය අනුරාධපුර යුගයේ පටන්ම ජනී ජනයා අතර බහු භාවිත ධර්ම සංග්‍රහයක් විය. ධම්මපද ගාථා පොදු ජනතාවට ධර්ම භාණ්ඩාගාරයක් ම විය.අද පවා ධම්මපද ගාථා අතුරින් කීපයක් හෝ නොදන්නා බොදුනුවකු නැති තරම්ය. ධම්මපදයට අටුවාචාරි බුද්ධඝෝෂ ස්වාමීන් විසින් පෙළ බසින් අටුවාවක් කරන ලදී. ඒ ධම්මපදට්ඨ කථාවයි. එම අටුවාවට අභා සළමෙවන් කසුප් රජු විසින් කරන ලද සත්‍යය දහම් පියට කළ සත්‍යය හෙවත් ධම්පිය අටුවා ගැටපදය යනුවෙන් හැඳින්වේ. මේ ග්‍රන්ථ දෙකම අනුරාධපුර යුගයේදී ලියැවුණු ඒවාය. ධම්මපද ගාථාවන්හි අර්ථ විවරණය සඳහා පොළොන්නරු යුගයේ අවසනැ හෝ දඹදෙණි යුගයේ මුලැ වෙන ම සන්‍යයක් ද ලියැවී තිබේ. කර්තෘ අඥාත එම කෘතිය ධම්මපද සන්‍යය යනුවෙන් හැඳින්වේ.

මෙසේ ධම්මපදය වෙනුවෙන් ලියැවුණු කෘති පෙළෙහි කූටප්‍රාප්තිය ලෙස ගිණිය හැක්කේ සද්ධර්ම රත්නාවලියයි. ධම්මපද ගාථාවන්ට මුල්වූ කථා වස්තු සැකෙවින් දක්වන බුද්ධගොස් හිමියන්ගේ ධම්මපදට්ඨ කථාව ඇසුරු කොට හෙළ බසින් නිපැයැණු විචිත්‍රතම ධර්ම ග්‍රන්ථය එය යි. සද්ධර්ම රත්නාවලිය දඹදෙණි යුගයේ විසු ධර්මසේන මහා ස්වාමීන් විසින් රචිත කෘතියක් සේ සැලකේ. පාලි අටුටාවක් මුළුමනින්ම සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රථම ප්‍රයත්නය වන්නේද සද්ධර්ම රත්නාවලියයි.

කතුවරයා දක්වන පරිදි මේ ධර්ම ප්‍රබන්ධයකොට ඇත්තේ ‘පාලි ක්‍රමය හැර අර්ථ පමණක්’ රැගෙනය. මින් අදහස් වන්නේ සද්ධර්ම රත්නාවලිය පාලි ධම්මපදට්ඨ කථාවේ පදානුපදික පරිවර්තනයක් නොව එය අර්ථ පමණක් ගෙන සිදු කරන ලද නිදහස් සිංහල ප්‍රබන්ධයක් වන බවය. මේ නිසා සද්ධර්ම රත්නාවලියේදී ධම්මපදට්ඨ කථාවේ එන බොහොමයක් කථා වස්තුවලට අමුතුවෙන් ම එක් කරන ලද උපමා , උපමේය හා විස්තර වර්ණනා ඇතුළත්ය. එමෙන්ම අමුතුමෙන් එක් කළ කථාද පවතී.

මිලින්ද ප්‍රශ්නයෙන් ගත් නාගසේන කථා වස්තුව , දීඝ නිකාය අටුවාවෙන් ගත් බරණැස් රජතුමන්ගේ කථාව, සුත්ත නිපාත අටුවාවෙන් ගත් සතාගිරි – හේමවත කථාව හෝ කාෂ්ටවාහන රජුගේ කථාව ඇතුළු තවත් කථා වස්තු රැසක් මෙසේ ධම්මපදට්ඨ කථාවට පරිබාහිරව ලබාගත් කථා වස්තුය.

ජන වහර මෙතරම් විචිත්‍ර ලෙස ධර්මය විස්තර කිරීමට, බණ කීමට යොදා ගත් වෙනත් සිංහල බණ පොතක් නැති තරම්ය. පාලි ධම්මපදට්ඨ කථාවේ එන කථා වස්තු පුරාණ ඉන්දියානු සමාජය පදනම් කොට ගත් ඒවා වුවද, ඒ කථා සද්ධර්ම රත්නාවලියේදි සිංහලට නැඟෙන්නේ මුළුමනින්ම හෙළ ඌරුවකින් යුතුවය. ඒවා අන්‍ය දේශයක ප්‍රභවය විණැයි යන අදහස සද්ධර්ම රත්නාවලියේ කථා කියන්නකුට ඇති නොවේ. ඒ කථාවලින් ඉස්මතුවන්නේ දේශීය පරිසරයයි. දේශීය සංස්කෘතියයි. දේශීය චින්තනයයි.

කතුවරයා ස්වකීය කථා වස්තුවලට මෙකී දේශීයත්වය අරෝපණය සිදු කරන්නේ ව්‍යවහාර ගැමි බස ව්‍යක්ත ලෙස භාවිතා කිරීම තුළිනි.

මට්ටක්කුණ්ඩලී වස්තුවෙහි එන යට දැක්වෙන පාඨ විමසා බැලීමෙන් පමණක් වුව ධර්මසේන හිමියන්ගේ භාෂා භාවිතයෙහි විශිෂ්්ටතාව හඳුනා ගත හැකිය. “සැවැත්නුවර අදින්න පුබ්බක නම් බමුණන් කෙනෙක් වෙසෙති. තණ අග ගලා තෙල් බින්දුවක් විතරක් අනුන්ට නුදුන් විරුය. එසේ හෙයින් ‘අදින්න පුබ්බක’ ය නම අර්ථාන්විත නමය.

උන්ගේ එකම පුතණූ කෙනෙක් ඇත. ජීවිතය සේ ඉතා පි‍්‍රයයෝය. ඒ පි‍්‍රය පුතණුවන්ට ආභරණයක් කරවන්නට සිතා කෙළ ගණන් සම්පත් ඇති තැනැත්තෝ නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නා සේ සම්පත් මහත් වුවත් අදහස කුඩා බැවින් ආභරණ කරුවන්ට බඩාල් කෙනෙකුත් ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවසට බතුත් දිය යුතුය. එසේ කලට නැතත් වී සාල් වියදම් වෙයි. නැවත කර්මාන්තය නිමාව දුන් කල මිලත් දිය යුතුය. තමාම කරන කල වියදම් වන දෙයක් නැත්තේ වේ දැයි තුමුම රත්රන් හැර ගෙන අකුරු ලියන සේ නො දන්නා කෙනෙකුන් පත්වල ගිරි හඳනා සේ කුණ්ඩලාභරණයක් සේ තලා පියා දුන්හ. ඒ කුණ්ඩලාභරණය උරුට්ටු ආදි වූ සුක්ෂම කර්මාන්ත නැති හෙයින් මටසිළුටු විය. එසේ හෙයින් කුමාරයන්ට නම් තබන්නෝ මට්ටකුණ්ඩලී නම් තුබූහ.”

අදින්න පුබ්බක හා මට්ටකුණ්ඩලී යන නම් ව්‍යවහාර ප්‍රාප්ත වූ ආකාරය සරල ජන වහරින්, එහෙත් සිත් කා වදින අයුරින් මෙහිදී නිරූපිතය. රෝගාතුරව සිටින මට්ටකුණ්ඩලි කුමරුවන්ට අදින්න පුබ්බක පියාණන් විසින් වෙදකම් කරන සැටි කතුවරයා විස්තර කරන්නේ මීටත් වඩා ප්‍රබල ආකාරයෙනි.

“පය බරවායට පිටිකර බෙහෙත් බඳිනා සේම,ඇස් සරහන්නට තොල අඳුන් ගානා සේ වරදවා කරන පිළියම් හෙයිනුත් අවස්ථා දැන නිදන් බලා කරන පිළියම් නොවන හෙයිනුත් ඒ ඒ විෂයට ප්‍රති නියත මන්ත්‍රාදිය තිබියදී අනෙක් මන්ත්‍රාදියකින් විෂ බාමින් සිටිය දී වඩා ගෙන යන විෂයක් මෙන් රෝගය බලවත්ව ගොසින් මරණින් මතු පිළියමින් අසාධ්‍ය බවට පැමිණියේය. එකල බමුණානෝ ආඳා යාවා තබා වල්පත ගත්තා සේ වෙදවරුන් ගෙන්වන අවස්ථාවේ රෝග හානියටත් වඩා වස්තු හානිය නො කැමතිව........නොමියෙන තෙක් මු පුතු පිටත් කරවා ගෙන් පිටත පිළ පිට ලවා ලූහ.”

මෙහි භාවිතා උපමා දෙස බැලීමේදී කතුවරයාගේ භාෂා කෞෂල්‍ය ඉතා පැහැදිලිය. සද්ධර්ම රත්නාවලිය සිංහල බෞද්ධයාට බෙහෙවින් ළෙන්ගතු ධර්ම ග්‍රන්ථයක් වී ඇත්තේ කථා කීමේදී, කතුවරයා විසින් දක්වන ලද මෙකී විශිෂ්ටතාව නිසාය.

“බත් කන තැන බලා හිඳන් උලක් පමණක් නො ලත් බල්ලකු පරිද්දෙන්.” “ගොයම් කළමනා වක තබා කල් පසු වී කරන ගොයමක් සේ” “තුන් මසක් මංමුළා වූ කෙනෙකුන් සමසක් මංමුළා වූ කෙනෙකුන්ගෙන් මං විචාරන්නා සේ.” මෙබඳු උපමා අතිවිශාල ප්‍රමාණයක් සද්ධර්ම රත්නාවලිය පුරා දැකිය හැකිය. දුරවබෝධ ගැඹුරු දහම් කරුණු පවා සරල, සුගම ලෙස ගෙන හැර දැක්වීමට කතුවරයාට හැකි වී ඇත්තේ මේ නිසාය.

සිංහල ධර්ම සාහිතය ග්‍රන්ථාවලියෙහි මුල් පෙළේ වැජැඹෙන විශිෂ්ටතම ග්‍රන්ථ රත්නය ලෙස සද්ධර්ම රත්නාවලිය හඳුන්වාදීම ඉතා සුදුසුය.