අකුසලය රැස්කිරීම නුසුදුසුය
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි එක්තරා බමුණෙක්
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් ඇතිව පන්සලට නිතර නිතර
පැමිණෙමින් හැම විටම බණ දහම් අහන්න පුරුදු වුණා. එම බමුණා බුදුරජාණන්
වහන්සේගෙන් ධර්මය අහමින් එම ධර්මය අනුව ජීවිතය සකස් කරගනිමින් සතුටින්
ජීවත් වුණා. ඔහුට නිතර නිතර බණ ඇසීමට සිතුනා වගේම බුදුරජාණන් වහන්සේ
නිතර නිතර දැකීමට සිතෙන වෙලාවට ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන්
වහන්සේගෙන් බණ ඇසීම පුරුද්දක් ආකාරයෙන් කරගෙන ගියා.
මේ ආකාරයට කාලයක් ධර්මය ශ්‍රවණය කළ බමුණාට තමන්ගේ නිවසෙහි දානයක්
පිරිනැමිය යුතුයැයි යන අදහසක් ආවා. එම බමුණාගේ අදහස අනුව දානය පූජා
කරන්නට අවශ්‍ය කළමනා සපයා ගත්තා. තමන්ට හැකි උපරිමයෙන් පැහැදීම බමුණාගේ
ස්වභාවයයි. ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබූ පැහැදීම, ගරුතර සංඝරත්නය
කෙරෙහි තිබූ පැහැදීම බොහෝ ඉහළයි. සාමාන්‍ය පුද්ගලයන්ට වැඩිය ස්වාමීන්
වහන්සේලා කෙරෙහි පැහැදීමෙන් ගරුසරු කිරීමෙන් ඔහු සතුටක් ලැබුවා.
දානය පූජාකරන්න නිවසට පැමිණෙන හාමුදුරුවන් වහන්සේලාට තමන්ගේ හිතේ තිබෙන
පැහැදීම වැඩිකම නිසාම හාමුදුරුවන් වහන්සේලාටත් රහතන් වහන්සේ ලෙසින්
ආමන්ත්‍රණය කරනු ලැබුවා. රහත්වෙලා හිටිය හාමුදුරුවන් වහන්සේලාට කතා කරන
විටත් රහතන් වහන්සේ යනුවෙන් ඔහු කතා කළා. රහත් වෙලා නැති හාමුදුරුවන්
වහන්සේලාට කතා කරන විටත් ඔහු රහතන් වහන්සේලා යනුවෙන් කතා කළා. ‘අරහංතෝ
නිසීදන්තු” යනුවෙන් රහතන් වහන්සේලා නිවසට වැඩම කළාට පසුව ඔහු
ආමන්ත්‍රණය කරනවා “බමුණා භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඔහුගේ සිතේ තිබුණ
පැහැදීම වැඩිකම නිසාම බමුණා මෙම ආකාරයෙන් ස්වාමින් වහන්සේලාට කතාකරන්නට
පුරුදුවෙලා හිටියා.
ශ්‍රද්ධාව බහුලකම නිසාම ස්වාමීන් වහන්සේලා කෙරෙහි වැඩි ගෞරවයට බමුණා
එසේ ආමන්ත්‍රණය කරනු ලැබුවා. මේ ආකාරයට තමන්ගේ නිවසට ස්වාමීන් වහන්සේලා
වැඩම කරවාගෙන දානයක් පිරිනැමීම තුළින් ඔහු විශාල පින්කමක් කරනවාය යන
හැගීමක් ඔහු තුළ හටගත්තා. ඒ අනුව බමුණාට හැකි වූ සෑම අවස්ථාවකම මහා
සංඝරත්නය නිවසට වඩමවාගෙන ඇවිත් දානය පූජාකරන්නට මොහු පුරුදු පුහුණුවෙලා
හිටියා. දානය වැළදීමට නිවසට වැඩම කරන ස්වාමීන් වහන්සේලාත් අරහත් භාවයට
පත්නොවුණ ස්වාමින් වහන්සේත් කල්පනා කරනවා. අපි අරහත් භාවයට පත්වෙලා
නැතිවත් අපට රහතන් වහන්සේ කියලා මේ දායක මහත්මයා ආමන්ත්‍රණය කරනවා.
මෙසේ ආමන්ත්‍රණය කරනු ලබන්නේ ඔහුගේ නොදන්නාකම නිසයි. අප රහත්වෙලා නැහැ.
රහතුන් වෙලා නැති අපටත් රහතන් වහන්සේ යනුවෙන් ආමන්ත්‍රණය කරනවාය
යනුවෙනි. මේ පෘතග්ජන ස්වාමීන් වහන්සේලා සිතන්නට පටන් ගත්තා. එසේ
ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බවට සිතල උන්වහන්සේලා එම නිවසෙහි දානයට වැඩම
කිරීමට අකැමැති වුණා. ඒ අනුව උන්වහන්සේලා දානය සඳහා එම නිවසට වැඩම කරනු
ලැබුවේ නැහැ. මේ අනුව රහතන් වහන්සේලාත් රහත් නොවුණ භික්ෂූන් වහන්සේලාත්
කිසිම නමක් තමන්ගේ නිවසෙහි දානය පිළිගන්නට වැඩම කළේ නැහැ. මෙම සිදුවීම
නිසා බමුණා බොහොම කලකිරීමට පත් වුණා. තමන් ඉතාමත් ශ්‍රද්ධාවෙන්
ගෞරවයෙන් මහා සංඝරත්නයට දානය පිළිගන්නනවා. උන්වහන්සේලාට ඉතාමත්
ගෞරවාන්විත ආකාරයට ආමන්ත්‍රණය කරනවා ගෞරව සත්කාර සම්මාන කරනවා. දානය
පූජාකිරීමේදීත් ඉතාම ගෞරවයෙන් සැලකිල්ලෙන් කරනු ලබනවා.
එහෙම කරන මගේ නිවසට මෙම හාමුදුරුවන් වහන්සේලා දානය පිළිගන්නට වඩින්නේ
නැහැ නේද කියලා බමුණා කළකිරීමට පත් වුණා. කළකිරීමට පත්වුණ බමුණා
බුදුරජාණන් වහන්සේ හමුවෙලා මෙම කාරණාව බුදුරජාණන් වහන්සේට සැලකළා.
බුදුහාමුදුරුවනේ,් මම ඉතාමත් ගෞරව පූර්වකව මහා සංඝරත්නය නිවසට වැඩම කර
වඩා හිදුවනවා. උන්වහන්සේලාට ඉතාම පි‍්‍රයශීලව ආමන්ත්‍රණය කරනවා.
ඉතාමත් ගරු සැළකිලි සම්මාන සහිතව මම දානය පූජා කළත් මහා සංඝරත්නය මගේ
නිවසට දානය පිළිගැනීමට වඩින්නේ නැහැ. එසේ වීමට හේතුව මොකක්ද කියලා මේ
බමුණා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බමුණා විමසනු ලබන්නේ, තමන්ගේ
අතින් අත්වැරැද්දක් වත්, කට වරැද්දක්වත්, වෙලා ද? මේ හාමුදුරුවන්
වහන්සේලා වඩින්නේ නැත්තේ එහෙම අඩුපාඩුවක් වුණා නම් ඇයි එහෙම මට කියන්නේ
නැත්තේ කියලා බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නය විමසනු ලැබුවා.
ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලාත් ඒ ස්ථානයට
වැඩම කරවාගෙන මෙම බමුණාගේ කතාවේ ඇත්ත තත්වය කුමක්ද? කියලා ස්වාමීන්
වහන්සේලාගෙන් විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ මෙම බමුණාගේ නිවසෙහි
දානය සඳහා ඔබ වහන්සේලා වැඩම නොකරන්නේ කුමන හේතුවක් නිසාද? යනුවෙන්
බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් විමසනු ලැබුවා.
බුදුහාමුදුරුවනේ, මේ දායක මහත්මයාගේ දානමය කටයුතු පිළිබඳව කිසිදු
ගැටලුවක් නැහැ. භික්ෂූන් වහන්සේලා නිවසට වැඩමවා බොහොම ගරුසරු ඇතිව දානය
පූජාකිරීමට ඔහු කැමැතියි. නමුත් රහත් නොවුණ ස්වාමින් වහන්සේලාට කතා කරන
විට මෙම දායක මහත්මයා කතා කරන්නේ රහතන් වහන්සේ කියලා. එනිසා අපි මෙම
දායක මහත්මයාගේ ගෙදර දානය සඳහා වඩින්නේ නැති බවට රහත් නොවුණ භික්ෂූන්
වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන්
වහන්සේ එම භික්ෂූන් වහන්සේලාගෙන් නැවත ප්‍රශ්නයක් විමසා සිටියා. ඔබ තවම
රහත්වෙලා නැහැනෙ.
ඔබ අරහත් භාවයට පත්වෙලා නැහැ. මෙම දායක මහත්මයා ඔබට රහතන් වහන්සේ
යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලබනවා. එහෙම ආමන්ත්‍රණය කරන වෙලාවල් තුළදී ඔබ
වහන්සේ රහතන් වහන්සේ නමක්ය කියලා සිතින් සිතුවද? දායක මහත්මයා කියන
කාරණාව ඔබ වහන්සේලා හිතුවාද ? කියලා. නෑ, බුදුහාමුදුරුවනේ, අප තවම
රහත්වෙලා නැහැනෙ. යනුවෙන් එම අවස්ථාවේ ස්වාමින් වහන්සේලා බුදුරජාණන්
වහන්සේට පිළිතුරු දෙනු ලැබුවා. අපි තවමත් රහත්භාවයට පත්වීමට උත්සාහ
ගන්න අය. ඒ නිසා බමුණා අපට රහතන් වහන්සේ යනුවෙන් ආමන්ත්‍රණය කළාට අපි
එය ඉවසුවේ නැහැ. අපි එය පිළිගත්තේ නැහැ. ඒ අනුව තවදුරටත් අපි කල්පනා
කරන්න ගියේ නැහැ. අපි රහත්වෙලා නැති බවයි සිතුවේ.
යනුවෙන් ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනු ලැබුවා. ඔබ ඒ ආකාරයට ඉවසුවේ
නැත්නම් ඒක හොඳයි. ඔබ රහත්වෙලා නැත්නම්, ඔබට උසස් තනතුරු සම්මාන නැතිව
ඒවා තමන්ට තියෙනවා කියලා ඉවසුවේ නැත්නම් හොඳයි. නමුත් මෙම දායක මහත්මය
තුළ තිබෙන පැහැදීම නිසයි ඒ ආකාරයට ආමන්ත්‍රණය කරනු ලබන්නේ. ඔහු එහෙම
කරන්නේ සන්තෝෂයෙන් මිස නපුරු චේතනාවකින් නොවේ. ඒක කළාට වරදක් නැහැ.
යනුවෙන් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට පැහැදිළි කරනු ලැබුවා.
එසේ පැහැදිළි කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේලාට ධර්මය
දේශනා කරනු ලැබුවා. මේ සමාජය තුළ තෘෂ්ණාව කියන දෙය අවබෝධ කරගන්නවාය
කියන එක තරමක් අපහසු දෙයක්.
තෘෂ්ණාව නමැති සැඩ පහරින් එතෙර වෙනවා කියන එක එතරම් අමාරු දෙයක්. නිවන්
දැකීම සඳහා ඒ උතුම් මාර්ගයෙහි වඩින්නට කියලා බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් වහන්සේලාට කරුණු කාරණා පැහැදිලි කළා. මෙම සිදුවීම තුළ අප කොයි
කාටත් ගත යුතු විශාල හරයක් තිබෙනවා. සමාජයේ බොහෝ අය තමා ළඟ ගුණධර්ම
නැතත්,කෙනෙකු තමන් ලඟ එම ගුණධර්ම තියෙනවාය කියලා අහන්න හරිම ආසයි. එහෙම
කියන වෙලාවට තමනුත් එම ගුණධර්ම තියෙන අයෙකු විදිහට ලබන පැසසුම් සැළකිලි
සියල්ල තමා විසින් මනසින් භුක්ති විඳිනවා.
ඒවා තමන්ට තියෙන දේවල් ආකාරයට සිතලා එම ගෞරවය ලබනවා. ඒක අකුසලයකි. තමා
ළඟ නැති ගුණ වෙන අයෙකු තමා ළඟ තිබෙනවා කියා කියූ විට මනසින් තෘප්තිමත්
වන බව සතුටක් ලබන බව තුළ ඇත්තේ වංචනික බවකි. එම අකුසල ධර්මය තමන්ගේ
ජීවිත තුළ රැස්කිරීම සුදුසු දෙයක් නොවෙයි. අකුසල ධර්මය අතහැරිය යුතුය
කියන කාරණාව මේ තුළින් අපේ ජීවිතවලට එකතුකරගත හැකියි.
හේමමාලා රන්දුනු |