කාමයෙහි ගිජුවීමේ ආදීනව
මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි
වස්තු කාම ක්ලේෂ කාමයන්ගේ ආදීනව ඉගැන්වීමටත් කාමයෙහි ගිජුවීම ස්වර්ග
මෝක්ෂ දෙකට අන්තරායකාර වන අයුරු පෙන්වාදීමටත් බුද්ධ දේශනාව තුළ දරා
ඇත්තේ අපූර්ව වෑයමෙකි. නොයෙක් නමින් එය හෙළිදරව් කරන බුදුරජාණන් වහන්සේ
මැදුම් සඟිය අලගද්දූපම සූත්‍රයේ උපමා එකොළහක් ද පෝතලිය සුත්‍රයේදී
උපුමා සහිතව ද වදාළා. වඩාත් සවිස්තර සිත් ගන්නා සුළු උපමාවලින් දෙවනුව
කී පෝතලිය සූත්‍රය කාමයෙහි ආදීනව උගන්වයි. එහි එන උපමා සත මෙසේය
1. කාමයෝ ඇට සැකිල්ලකට බඳු උපුටා ඇත්තෝය.
2. කාමයෝ මස් වැදැල්ලකට බඳු උපමා ඇත්තෝය.
3. කාමයෝ තණ හුලකට බඳු උපමා ඇත්තෝය.
4. කාමයෝ ගිනිගත් අඟුරුවළකට බඳු උපමා ඇත්තෝය.
5. කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තෝය.
6. කාමයෝ ණයට ගත් බඳු උපමා ඇත්තෝය.
7. කාමයෝ රුක් පලයකට බඳු උපමා ඇත්තෝය.
සූත්‍රය මෙකී උපමාවන් සවිස්තරව දක්වනුයේ මෙලෙසෙනි.
කුසගින්නෙන් පෙළුණු දුර්වල වූ සුනඛයෙක් ගවයන් මස් පිණිස නසන තැනෙකට
පැමිණෙයි. ගව ඝාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් එම සුනඛයාට ලෙයින් වැකුණු
මස් රහිත ඇටසැකිල්ලක් දෙයි. සුනඛ තෙමේ එය ලෙව කයි. කුස් පිරුමක්
නැත්තේම ය. (එහෙත් හෙතෙම ඇටසැකිල්ලේ සිට ගිජුවන්නේ එය අත් නොහරින්නේ ය.
) එයින් ඒ සුනඛයාම වෙහෙසට පත් වෙයි. එහෙත් එය අත් හැරීමට හේ අකැමැති
වෙයි. කාමයෙහි ගිජුවීම ද එසේ යැයි දත යුතුය. කාමය වූ කලී බොහෝ දුක් උපද
වන්නේය. දැඩි ආයාස ඇත්තේය. බොහෝ ආදීනව ඇත්තේ යැයි සලකන ඇති තතු දක්නා
ආර්ය ශ්‍රාවකයා පඤ්චකාම ගුණයන් ඉතිරි නොකොට දුරු කරන්නා වූ
ධ්‍යානාදියෙහිම අපේක්ෂා ඇත්තේ වෙයි.
ගිජු ලිහිණියෙකු ලොහොතුඩුවෙකු හෝ උකුස්සෙකු මස් වැදැල්ලක් ගෙන අහසෙහි
පියාඹන කල්හි තවත් ඒ ඒ වර්ගවලම පක්ෂීහු ඔහු ලුහු බඳිමින් මස් වැදැල්ලට
කොටති. එය බිම හෙළති. එහිදී ගිජුලිහිණියා හෝ ලොහොතුඩුවා හෝ උකුස්සා එම
මස් වැදැල්ල අත් නොහරී නම් එයින් හෙතෙම මරණයට හෝ මරණ සමාන දුකකට පත්
වන්නේ ය. එලෙසින්ම කාමයෙහි ගිජුවන්නා ද කාමය සිතේ දුරු නොකරන්නා ද දුකට
පත් වන්නේය. මෙසේ “ කාමය” වූ කලී බොහෝ දුක් උපදවන්නේ ය. දැඩි ආයාස
ඇත්තේ ය. පීඩාජනක වූ බොහෝ ආදීනව ඇත්තේ යැ’යි සලකන, ඇත්ත ඇති සැටියෙන්
දන්නා ආර්ය ශ්‍රාවක තෙමේ ඒ පඤ්ච කාම ගුණයන් ඉතිරි නොකොට හැර දමන්නා වූ
ධ්‍යානාදියෙහි අපේක්ෂා ඇත්තේ වෙයි.
මෙලෙසින්ම එක්තරා පුරුෂයෙක් ඇවිලෙන තණ නූලක් ගෙන වාතයට මුහුණලා (ප්‍රති
වාතයට) යයි. එහි ඇවිලෙන ගින්න ඒ වාත වේගයෙන් දැඩි වෙයි. වැඩෙයි. බුර
බුරා එයි. එහෙත් ඒ පුරුෂ තෙමේ ඒ ඇවිලෙන තණ සුල අත් නොහරියි. එය අතින්
දරා සිටියි. එයින් ඔහුගේ අත හෝ දැවෙන්නේය. බාහුව හෝ දවන්නේය. අනෙකුත්
ශරීරාවයව ද දැවෙන්නේය. ඒ හේතුවෙන් ඒ පුරුෂ තෙමේ මරණයට හෝ මරණය සමාන
දුකට පැමිණෙන්නේ ය. එලෙසින්ම ‘කාමය’ වූ කලී බොහෝ දුක් උපදවයි. දැඩි
ආයාස සහිත වෙයි. පීඩාවන්ම ඇති කරයි. බොහෝ ආදීනව ඇත්තේ යැ’යි සලකා ඇත්ත
ඇති හැටියෙන් දක්නා ආර්ය ශ්‍රාවක තෙමේ ඒ පඤ්ච කාම ගුණයන් ඉතිරි නොකොට
දුරලන්නාවූ ධ්‍යානාදියෙහි අපේක්ෂා ඇත්තේ වෙයි.
මෙපරිද්දෙන්ම පුරුෂයෙකුගේ උස, මහත ඉක්ම වූ , විශාල ගිනි දැල් අහසට
නැගෙන දුම් රහිත වූ, ගිනිගත් අඟුරු පිරී ඇති මහ වළෙක් ඇත. සිය පණට ඇල්ම
ඇති , මරණයට ඇල්ම නැති, දුක අකැමැති, සැප කැමැති පුරුෂයෙක් එයි.
ශක්තිමත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ එන පුරුෂයාගේ දෑත් වෙන වෙනම අල්ලාගෙන ඉහත
කී අඟුරු වළ වෙත අඳිති. ආගන්තුක පුරුෂ තෙමේ මරණයද මරණ සමාන දුක්
පීඩාවන් ද අකැමැත්තේ ඒ බියකරු අඟුරුවලට නොවැටෙනු රිසියෙන් ඉන්
බේරීගන්නා කැමැත්තෙන් සිය සිරුර ඔබ මොබ නමන්නේය. එලෙසින්ම ආර්ය ශ්‍රාවක
තෙමේ මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ එබඳු බියකරු අඟුරු
වළකට උපමා කරන ලද්දේය. කාමය බියකරුය. බොහෝ දුක් ගිනි උපදවන්නේය. දැඩි
ආයාස සහිතය. අතිශය පීඩාජනකය. බොහෝ ආදීනව ඇත්තේ යැයි සලකයි. ඇත්ත ඇති
සැටියෙන්ම දකියි. ඒ ආර්ය ශ්‍රාවක තෙමේ ඒ පඤ්ච කාම ගුණයන් ඉතිරි නොකොට
නැති කරන්නා වූ ධ්‍යානාදියෙහිම අපේක්ෂා ඇත්තේ වෙයි.
එක්තරා පුරුෂයෙක් නොයෙක් නයින් රමණීය වූ සිහින දකියි. අඩ නින්දෙහි
සිටින හෙතෙම රමණීය වූ සිත් පැහැරගන්නා උයන් වතු දකියි. එබඳුම රමණීය වූ
සිත්කලු වන ගහණයන් ද දකියි. රමණීය සිත්කලු භූමි භාගයන් ද දකියි. එබඳුම
පොකුණු දකියි. ඒ සියල්ල සිහින මාත්‍රය හෝ නින්දෙන් පිබිදෙයි. එකල්හි ඒ
කිසිවක් නොදකියි. එහිදී (තමා සිතින් මවාගත් උයන්වතු ද වන ගොමු ද පොකුණු
ආදිය ද දැක ඇති බවත් , එහිදී තමා රැවටුණු බව හා හුදෙක් මොහොතක තාවකාලික
සතුටක්ම විඳි බවත් ඒ පුරුෂයාට වැටහෙයි. මෙලෙසින්ම කාමය වූ කලී
රැවටිල්ලෙකි. සේයාවකි. තාවකාලික වූ මොහොතක සුවයෙකැයි ද) කාමය බොහෝ දුක්
උපදවන්නේය. දැඩි ආයාස සහිතය. පීඩාජනක ය. බොහෝ ආදීනව ඇත්තේ යැ ‘යි දන්නා
දක්නා ආර්ය ශ්‍රාවක තෙමේ ඒ පඤ්ච කාමයෙහි කළකිරෙන්නේ එහි ඇති තතු ඇති
හැටියෙන් දන්නේ එය ඉතිරි නොකොට දුරලන්නා වූ ධ්‍යානාදියෙහි අපේක්ෂා
ඇත්තේ වෙයි.
එක් යාචක පුරුෂයෙක් මහජනයා වෙත ගොස් යදියි. අයදියි. හෙතෙම යානයක් හෝ
ලබා ගනී . මැණික් කුණ්ඩලාදිය ද අයැද ලබා ගනියි. හෙතෙම එසේ පිරුළුකොට
ගත් භෝග ඇත්තේ ඒවා පෙරටුකොටගෙන වෙළෙඳසල් අතුරින් ගමන් කරන්නේය.
මිනිස්සු එම නැනැත්තා ද ඔහු වෙත ඇති බොහෝ භෝගයන් ද දකිති. දැක මොහු
යාචකයෙකු නොවේ. බොහෝ සම්පත් ඇති අයෙකැයි ද එලෙස භෝග සම්පත් ඇතිවම
අපගෙන් යැයි ද ලබාගත්තේ යැයි ද චෝදනා කරති. එසේ කියමින් දුටුවහාම තම
තමන් දුන් භාණ්ඩයන් ආපසු ගනිති. යාචක පුද්ගල තෙමේ එයින් මහත්
අපහසුතාවයට ද නින්දාවට ද දුකට ද පත් වන්නේය. එලෙසින්ම බුදුරජාණන්
වහන්සේ විසින් කාමයෝ යැද ලබාගත් භෝගයනට උපමා කරන ලද්දේය. එය බොහෝ දුක්
උපද වන්නේය. දැඩි ආයාස සහිතය. පීඩාජනකය. බොහෝ ආදීනව ඇත්තේ යැ’යි සලකන
ඇති තතු ඇති සැටියෙන් දක්නා ආර්ය ශ්‍රාවක තෙමේ ඒ පඤ්චකාම ගුණයන් සපුරා
හැරපියන්නා වූ ධ්‍යානාදියෙහි අපේක්ෂා ඇත්තේ වෙයි.
මෙලෙසින්ම එක්තරා වන ලැහැබක බොහෝ මිහිරි වූ බොහෝ ඵල හටගත් රුකක් ඇත.
එහි බිම පතිත වූ ඵල ද නැත. එකල්හි රුක් ඵලයෙන් වැඩ ඇති ඒවා සොයා
යන්නෙක් එයි. ඔහුට ගසට නැගීමට ද හැකිය. එකී මිහිරි වූ බොහෝ ගෙඩි ඇති ඒ
ගස දකින හෙතෙම එහි නැග ගනියි. එම මිහිරි වූ ඵල කන්නේ වෙයි. හිඟ පුරවා
ගන්නේ ද වෙයි. ඉක්බිති එබඳුම වූ ඵලයෙන් වැඩ ඇති ඒවාම සොයන තවත්
පුරුෂයෙක් එහි එයි. ඔහුට ද ඒ මිහිරි වූ බොහෝ ඵල ඇති ගස හමුවන්නේය. ඔහු
අත කෙටේරියක් ද ඇත. ගස දකින හෙතෙම “ මට මෙහි නැග ගන්නට ද නොහැකිය. මේ
ගස කපා බිම හෙළා යැපෙන පමණ ගෙඩි අහවර ද ගෙන අතිරේකව හැරගෙන ද යමියි. ‘
සිතයි හෙතෙම ඒ ගස මුලින්ම කපන්නේය. එකල්හි පළමුව එහි නැඟගත් තැනැත්තා
වහාම ඉන් නොබැස්සේ නම් ඔහුගේ අත් පා ද බිඳෙන්නේය. ගසත් සමගම ඇද වැටෙන
ඔහුගේ ශරීරාවයව ද බිඳෙයි. හෙතෙම මරණයට හෝ මරණ සමාන දුකට පත් වන්නේය.
ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සලකති. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මේ
රුක් ඵලයනට උපමා කරන ලද්දේය. කාමයෝ බොහෝ දුක් පීඩා උපදවති. ආයාස සහිත
වෙති. ආදීනව ඇත්තේ යැයි ඇති තතු ඇති හැටියෙන් දැක කාමය හැර දමන්න වූ
ධ්‍යානාදියෙහි අපේක්ෂා ඇත්තේ වෙයි.
කාමාස්වාද රතියෙහි, ගිජු බවෙහි ආදීනව දක්වමින් පෝතලිය ගෘහපතියා අමතා
අංගුත්තරාප ජනපදයෙහි ආපණ නම් නියම් ගමෙහිදී බුදුරදුන් වදාළ පෝතලිය
සුත්‍රය තවත් බොහෝ ධර්ම කරුණු ද සමඟ ඉහත කී උපමාවන් ද අප වෙත ගෙන එයි.
ඒ මැදුම් සඟිය දුතියපණ්ණාසකයේ ය.
මැදුම් සඟිය පළමු පණ්ණාසතකයෙහි එන අලගද්දූපම සූත්‍රයේ දී ගද්ධබාදි
පුබ්බ අරිට්ඨ භික්ෂුව ඇමතූ බුදුරජාණන් වහන්සේ ඉහත කී උපමාවන් සමඟ තවත්
උපමා සතරෙක් ද වදාළහ. එහෙත් එම සූත්‍රය ඒවා ගෙන එන්නේ නම් වශයෙන් පමණි.
1. කාමයෝ අසිපතකට බඳු උපමා ඇත්තෝය.
2. කාමයෝ මස් ලොඹුවකට බඳු උපමා ඇත්තෝය.
3. කාමයෝ අඩ යටි හුලකට බඳු උපමා ඇත්තෝය.
4. කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තෝය.
බුදු සමය පටිසෝතගාමීය. එනම් උඩුගංබලාමැ යන්නේය. ලෝකය අනුසෝතගාමී ය.
එනම් යටිගං බලා මැ යන්නේය. ලෝකයා කාමයෙන් කාමයටම ඇදී යද්දී බුදු දහම
එහි ආදීනවය උගන්වමින් කාමයෙන් නිශ්කාමයට යාමේ අනුසස් උගන්වයි. කාමයෙහි
ගිජුබව හැරපියා නිවන් මඟ ගමන් කිරීමට අනුශාසනා කරයි. |