Print this Article


සම්මා දිට්ඨියෙන් ලොව දැකීම නිවනට මගයි

සම්මා දිට්ඨියෙන් ලොව දැකීම නිවනට මගයි

බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ පුරාණ කර්ම වලින් උපදවාගත් ආයතන සයක් නිසා හදා ගත් ලෝකයක් මේ සත්වයා පරිහරණය කරන බවයි. “යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං” මේ දහම් පර්යාය දේශනා කරනු ලබන්නේ තමන් වහන්සේ තුළ ඇති විශිෂ්ඨ වූ දර්ශනයක් හිතේ තබා ගෙනයි. අයහපත් දේ නොකරන්න. යහපත් දේ පමණක් කරන්න. යයි කියා දෙන ආගම්, ශාස්තෘවරුන්, දර්ශනවාද ලෝකයේ එමට සිටිති. බුදුරජාණන් වහන්සේ අසම සම වන්නේ, අනුත්තර වන්නේ, උන්වහන්සේ හා සම වූ වෙන කිසිම ශාස්තෘවරයෙකු නැතැයි කියන්නේ ලෝකයේ සමුදය (ඇතිවීම) හා නිරෝධය (නැතිවීම) පෙන්වා දෙන නිසාය.

ලෝකය පවතිනවා , තියෙනවා අප ඒ තියෙන ලෝකයේ උපන්නා නොවේ. ඇස, කන, නාසය, දිව,ශරීරය , මනස යන ආයතන ඇති කල්හිම ලෝකය පවතී. මේ ආයතන සය ඇසුරු කොටම ලෝකය පවතී. අප දැන සිටින, අප ජීවත් වන මේ මායාකාරි ලෝකයේ ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වා දෙමින් ලෝකයා සදහටම දුකින් එතෙර කරවන දර්ශනයකි. තථාගත ධර්මය.

ආයතන සය ඇසුරු කොටම ලෝකය පවතී. අප දේවල් උපදවාගෙන පරිහරණය කරන අතර ඒවා ඉතිරි නැතිවම නිරුද්ධ වේ. අප පරිහරණය කරන්නේ බාහිර දෙයක් නොව බාහිර දේවල් ඇසුරින් සිතින්ම නිමිත්තක් උපදවා ගෙන ඒවා මගින් සිත තුළම ගොඩනැගුණු සිතිවිලිය. සිතින් උපදවා ගත් නිමිත්ත දැනගනු ලබන්නේ අපේ සිත විසින්මය.මේ අනුව අප විසින්ම සිහිකළ අරමුණ දැන ගනු ලබන්නේද අප විසින්මයි. මේ අනුව අප අපේම සිතිවිලි උපද්දවා එය බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් යයි රැවටේ. කෙටියෙන්ම කියතොත් අප බාහිර ලෝකය අසුරු කරනවාය කියා සත්‍ය වශයෙන්ම කරන්නේ අපේම සිතිවිලි ඇසුරු කිරීමයි. මේ සත්‍යාවබෝධය වෙත අප ළඟා වන්නේ තථාගත ධර්මය ඇසුරු කිරීමෙන්ය.

අතට ගත් බෝලය උඩ දමන විට හා බෝලය අල්ලන විට අත දෙපාරක් ක්‍රියාත්මක වේ. බෝල උඩ දමන විට එක් ආකාරයකටද අල්ලන විට තවත් ආකාරයකටද මේ ක්‍රියාත්මක වීම සිද්ධ වේ. බෝලය උඩ දැමීමද ඇල්ලී මද සිදු කරන්නේ තමාමයි. තමාගේ සිතින්ම සිතිවිල්ලක් උපදවා එය මනසින් අල්ලා ගැනීමද මීට සමාන වේ.

තමාගේ සිතින් බාහිර කෙනෙක් හෝ දෙයක් සිහිකිරිම නොවේ’ තම සිතින්ම ඉපදවූ දෙයකි දැනගන්නේ . බාහිර තිබෙන දෙයක් අපට කවදාවත්ම සිහිකළ නොහැක. “චක්ඛුං පටිච්ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” රූපයක් හදා පෙන්විය හැකි හිත මනෝ විඤ්ඤාණයයි. යම් යම් ආකාරයට රූප හදන ඇසද හදන්නේ සිතෙනි. ආයතන හදාගෙන පරිභෝජනය කර ඇත්තේ අපමයි. ඇසින්ම වර්ණ සටහන හදා තමාම භුක්ති විඳ අවසන් වූ විට එම දෙයද නැතිවේ. පෙර නොතිබීම හට ගෙන ඉතිරි නැතිවම නැතිවේ. ශබ්ද ගන්ධ ස්පර්ෂ එසේ වුවත් රූපය එසේ නොවන්නේ රූපය හිත විසින්ම නිර්මාණය කළ දෙයක් නිසාය.

දිවට රස දැනෙනවා යයි කියන්නේ දිවෙන්ම රූප කලාප උපද්දවා ගෙන භුක්ති විඳීමයි. සිද්ධ වී ඇත්තේ අන්තිමේදි සිදු වී තිබෙන්නේ අපේම සිතිවිලි අපම භුක්ති විඳීමක්ය. ඇසින්ම අවස්ථාවට හදාගෙන දකිමු. රතු කන්නාඩියක් දමාගෙන බැලුවොත් අවට හැම දෙයක්ම පෙනෙන්නේ රතු පාටටයි. සුදු පාට දෙයක් වුවත් ඇසේ ගැටෙන්නේ රතු පාට දෙයක් හැටියටයි. මෙසේ මහා භූත උපාදාන කර ගෙන වර්ණ සටහන් හදා අපම පරිහරණය කරන්නෙමු

උපදවා ගන්නේ තමා විසින්ම නම් එසේ උපදවා ගත් අධ්‍යාත්මික ආයතනය රූපය මෙන් නොව සෙසු ආයතන මගින් ශබ්ද,ගන්ධ, රස, ස්පර්ෂ උපදවා ඉතිරි නැතිවම නැති වන බව නොපෙනෙන්නේ තමන් තුළින්ම උපදාව ගෙන භුක්ති විඳින නිසාය.

අප කිසිවෙක් බාහිර වස්තු විදිනවා නොවේ. ඒවා නිසා ඇතිවන සම්පස්සජා වේදනාය විඳ ඇත්තේ සම් පස්සජා වේදනා යනු ඇස, රූපය, විඤ්ඤාණය ,කන, ශබ්දය , විඤ්ඤාණය වශයෙන් කාරණා තුනක් ස්පර්ෂ වීමෙන් හට ගන්නා විඳීමයි. ලෝකය කියන එක අප පරිහරණය කර ඇත්තේ රූප ටිකක් උපද්දවා ගෙනයි. අන්තිමේදි සැබෑ වශයෙන්ම සිදු වී ඇත්තේ අපේම සිතිවිලි අපම භුක්ති විඳීමක්ය.

කාම වස්තු යනු තමාගේ කයම විඳිනවා විනා වස්තු විඳීමක් නොවේ. යම් වස්තුවක් කලින් තිබුණත් නොවේ. අවස්ථාවට හැදී ස්පර්ෂ ආයතන වල හැපී, හැපීමෙන් පසු තිබෙනවාත් නොවේ’. මේ අවබෝධ කළ යුතු ඉතා සියුම් ධර්මතාවක්ය. කෙසේ වෙතත් අපේ මුලු මහත් ජීවිතයම මේ ආයතන සයයි.

හට ගන්නා හැම අරමුණක්ම ඉතිරි නැතිව නැතිවේ. අත පය හතර අයිති වන්නේ ස්පර්ෂ ආයතන හයෙන් කොයි ආයතනයද ? ප්‍රශ්නය වන්නේ අත පය නැතිව ඉන්නේ කොහොමද කියන එක නොව අතපය හතර තබාගෙන ඉන්නේ කොහොමද කියන එකය. එසේම ඉරියවු සතර ( සිට ගෙන සිටීම, වාඩි වී සිටීම, නිදා ගැනීම හා ගමන් කිරීම) අයිති වන්නේ කිනම් ආයතනයටද, ඒ නිසා පුදුමය වන්නේ ඉරියවු හතර පරිහරණය කරන එක ගැනය.

ස්පර්ෂ ආයතන හයම (ඇස, කන, ආදි) අරමුණූ උපදවා ගෙනයි පරිහරණය කරන්නේ. හට ගන්නා හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. නැතිවෙනවා යනුවෙන් අදහස් කරන්නේ ආයතන හයම නිරුද්ධ වීමකි. එසේම ඉපදීම යනු ආයතන හයක ඉපදීමයි.

අවිද්‍යාව යනු ආයතන හයක් ඇති බවය.අත පය හතරක ඉපදීම සහ ඉරියවු හතරක් ඇති බවය.අවිද්‍යාව එය නම් සම්මා දිට්ඨිය කුමක්ද? අත පය හතරම ඇතිව සිටින අප අතපය හතරම නැති නිවසට යා යුතුය කියන එකය.

සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට ඇති මාර්ගය අන් කිසිවක් නොව ශීල, සමාධි, ප්‍රඥා , මාර්ගයමයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සද්ධර්මය ශ්‍රවණයෙන්ද ආයතන අවශ්‍ය අවස්ථාවට උපදවා ගෙන පරිහරණය කරනවාය යන සියුම් ධර්මතාව විදර්ශනාව තුළින් අවබෝධ කර ගැනීමට උත්සාහ ගැනීමෙන්ද යන කාරණා වලින්ය.

අනුරාධපුරය පිළිබඳ විස්තරයක් කොළඹ සිටින අපට කිසියම් පුද්ගලයෙකු විසින් කළා යයි සිතමු. එහෙත් අනුරාධපුරයට යන්නේ කෙසේද? නිර්වාණය පිළිබඳව මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට යෙදුණූ පණිවිඩයද එසේය. ශීලයක පිහිටා චිත්ත සමථයක් ඇතිකර සමාධියක් වඩා රළු මට්ටමේ රාග, ද්වේෂ, මෝහ දුරු වන විදර්ශනාවක් වඩා සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ කයට රැවටී සිටින තැනින් පටන් ගත යුතුය.

සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන රැවටීමෙන් මුලින්ම මිදිය යුතුය. ශරීරය හැදෙන්නේ කන බොන ආහාරයෙනි. ඒ නිසා මේ ශරීරය මැටියෙන් තැනූ කළයක් මෙන්ය. හිත නගරයකට උපමා කරන්න. හිත කය ඇසුර කොට පවතී. රූප, ශබ්ද, ගන්ධ, රසදිය දැනෙන්නේ හිතටයි.මේ බව දැන ගත් විට පෙනෙන ඇහෙන දේවල් වලට කය ගැට ගසන්නට යන්නේ නැත. පුද්ගලයා යනු කවරෙක්ද? රූප කයද, නාම කයද?

නීවරණ වලින් මනස මිදෙන තැන දක්වා මේ ධර්ම මාර්ගය වැඩිය යුතුය. නාම රූප යනුවෙන් කොටස් දෙකක් විනා ශරීරය එක්තම දෙයක් හැටියට කල්පනා නොකරයි. පුද්ගලයෙක් සත්වයෙක් යයි කීවාට ගණන් නොගන්නා, පිළිනොගන්නා මට්ටමකට පත්වේ. එසේම බැහැරින් යමක් සිහි නොකරයි. එසේ සිහි කළ නොහැකි මට්ටමට පත්වේ. සත්වයෙක් පුද්ගලයෙක් නොවු කය පමණක් ඇත යන අවබෝධයට පැමිණෙනවාත් සමඟම ලෝකය උපද්දවාගෙන පරිහරණය කරනවා යන කාරණය අපගේ දැක්මට හසු විය යුතුය. එවිට ස්පර්ෂ ආයතන හයම එක ආයතනයකට බැඳ තිබු බැම්ම ලිහී යයි. අනතුරුව අතපය නැතිකර ගැනීමටද (කපා ඉවත් කර දැමීමෙන් නොවේ) ඉරියවු හතර නැති කර ගැනීමටද ප්‍රඥාව මගින් කරුණු සැලසේ.

” මනෝ පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං “ යන තමන්ගේ සිතින්ම සිතිවිලි උපද්දා ඒවා පරිහරණය කරයි යන විපල්ලාසය ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසාය. සම්මා දිට්ඨිය ගොඩනැගුණු විට අවිද්‍යාව දුරුවී සැබෑව පෙනෙන්ට පටන් ගනී. මෙතෙක් අප බාහිර අරමුණක් දැන ගන්නවා යැයි සිදුකර ඇත්තේ අප විසින්ම සිහි කළ අරමුණ අප විසින්ම දැන ගැනීමට මුළා වීමයි. යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං”යන තථාගතයන් වහන්සේගේ අති සියුම් හා ගැඹුරු දේශනාවේ අර්ථය වන හට ගන්නා හැම දෙයක්ම නිරුද්ධ වීම හෙවත් නැතිවී යාම නම් ආයතන හය නිරද්ධ වීමයි.

ස්පර්ෂ ආයතන හය අවස්ථාවට උපදවාගෙන පරිහරණය කරනවාට කියන අවබෝධ වීම සම්මා දිට්ඨියයි. හට ගන්නා හැම දෙයක්ම නැතිවේ. පුහුදුන් ඇසට නොපෙනෙන මේ ස්වාභාවික ධර්මතාව තථාගතයන් වහන්සේගේ ප්‍රඥා ඇසින් අවබෝධ කර ගැනීම සම්මා දිට්ඨියයි. ඒ ප්‍රඥාව අප තුළත් ඇතිවනු දැකීම භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය වූහ.