Print this Article


සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු: තිස්සා, ධීරා තෙරණින් වහන්සේ

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු

තිස්සා, ධීරා තෙරණින් වහන්සේ

රාගාදී කෙලෙසුන් නිසාවෙන් පුද්ගලයාගේ සන්තානය ගිනිගත් ස්වභාවයෙන් යුක්තවෙයි. අධික රාගයක්, අධික තරහක්, ක්‍රෝධයක් ඇති වූ අවස්ථා ලෞකික ජීවිතයේ දී සිහිකිරීමෙන් අපට කෙබඳු ස්වරූපයක් ගනීදැයි සිහිපත් කළ හැකි වන්නේ ය. එවැනි අවස්ථාවක දී සිත කෙතරම් දැවීමට, තැවීමට ලක්වන්නේ ද?

මෙසේ වූ අවස්ථාවක දී ක්ලේශ ධර්මයෝ මඳකට හෝ යටපත් කර ගැනීම තුළින් ලබන්නා වූ සැනසීම ඉමහත් ය. ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දෘෂ්ටි, විචිකිත්සාව, ථීනය, උද්දච්චය, අහිරිකය, අනෝත්තප්පය ආදී මූලික ක්ලේශ ධර්ම දහය ඇතුළුව සකලවිධ ක්ලේශ ධර්මයන් යළි ඇති නොවන අයුරින් නිවී ගියහොත් කෙතරම් සිසිලසක්, සැනසිල්ලක් ලැබේදැයි සිතීම පවා දුෂ්කරය. රාගාදි කෙලෙසුන්ගෙන් මිදීම ගිනිනිවී යාමක් ලෙස සැලකෙනුයේ එතරම් වූ භයානක බැඳීමකින් සත්ත්වයා දුක්ඛිත සංසාරයට බැඳීමට හැකි වූ නිසාවෙනි.

එවන් වූ රාග, ද්වේෂ, මෝහ ක්ෂය කොට උත්තරීතර නිර්වාණ ක්ෂේමභූමියට වැඩම කොට වදාළ උතුමන්ගේ චිත්ත සන්තානය, අපූර්වත්වයෙන්, සුන්දරත්වයෙන්, ශෝකීරහිත ස්වභාවයෙන් පිරී පවතින්නේ ය.

දර, තෙල් ආදිය අවසන්වීමෙන් නිවී ගිය ගින්න ගිය දිශාවක් ගැන නොහැකි වන්නාක් මෙන් හේතු – ඵල සබඳතාව අවසන් විමෙන් සිදුවන රහතන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු නැවත ගමනක් සෙවිය නොහැකි වන්නේ ය. සංසාර චක්‍රයෙන් මිදී ඇත්තේ ය. නැවත ඉපදීමක් තබා ඉපදිමි මාත්‍රයකුදු නොමැත්තේ ඒ උත්තරීතර වූ රහත් භූමියට පත්වීම තුළිනි.

සිසිල් වන අරණක සිහිල් සුළඟට මුහුව, සොබා සිරියෙන් ඔපවත් වූ භූමියක වග වලසුන් මැද දිවිගෙවමින් ආශ්චර්යමත් වූ සිතක් බවට පත් කිරීමට ක්ලේශධර්මයන් ප්‍රහාණය කිරීමට වෙර දරන උතුමන්ගේ දර්ශනය පවා සුවදායකය. ඒ ඔස්සේ හමාඑනු ලබන සුළඟ පවා සුවදායකය. එම ආරණ්‍යය පවා වීතරාගී පරිසරයක සිරිය ඉස්මතු කරවනු ලබයි.

වීර්යයෙන් යුක්තව ශීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයට පිළිපන් ව නිවැරැදි මාර්ගයෙන් ඵල ලැබ උත්තරීතර රහත් භූමියට ප්‍රවිශ්ට වූ තිස්සා මහ රහත් තෙරණියෝ,

උදානයක් දේශනා කොට වදාරනු ලබති. “තිස්සෙ යුක්ද්ජස්සු ධම්මෙහි ඛණෙ තං මා උපච්චගා ඛණනීතාහි සොචන්ති නිරයම්හි සම්පජිතානි”

“ තිස්සාවෙනි, ධර්මයේ හැසිරෙන්න (සමථ විදර්ශනා ධර්මයන් හා ආර්යබෝධිපාක්ෂික) ධර්මයෙන් යුක්ත වන්න. මේ දුර්ලභ අවස්ථාව මඟහැර නොගන්න. යම් හෙයකින් මේ උතුම් අවස්ථාව මඟහැර ගත් විට නිරයේ වැටී අනන්ත දුක්විදී.”

“නිබ්බානං සුඛා පරං නත්ථි නිවන් සැපතට වඩා උසස් සැපයක් නොමැත. වෙනස් නොවන ස්ථිර සැපයක් වූ උතුම් නිවනින් නිවී සැනසීම උදෙසා නිර්වාණගාමී මාර්ගය වූ බෝධිපාක්ෂික ධර්මයෝ වඩන ලෙස භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සේක. එවැනි ධර්මයන්ගෙන් යුක්ත වූ උතුමෝ ආර්ය භූමියට ම පත්වන්නේ ය. “දුල්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මිං, දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ක්ෂණ සම්පත්ති දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්ම සවණං දුල්ලභො සප්පුරිස සංසේවෝ’

සුගතොවාදයට අනුකූලව ලොව මෙවන් වූ දුර්ලභ කාරණාවන් පහළව ඇත්තේ ය. මෙම දුලභ අවස්ථාවන් අහිමි වූ කළ උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් සැනසීමේ සත්‍යතාවයක් නොමැත.

“බුද්ධෝත්පාද කාලයක් ලැබීම දුර්ලභයි. අනන්ත අප්‍රමාණ සත්ත්වයින් සසරකතරින් එතෙර කරවීම උදෙසා පහළ වන්නා වූ බුදුපියාණන් වහන්සේලා පහළ වනුයේ කල්ප ගණනාවකට පසුවයි. බුද්ධ ශුන්‍ය කාල පරිච්ඡේදහි ‘බුද්ධ යන වචන මාත්‍රයකුදු නොමැත්තේ ය.

මහා භද්‍ර කල්පය වූ අප මහා බුදුපියාණන් වහන්සේ පහළ වූ මෙවැනි කාල පරිච්ඡේදයන් ලැබීම දුර්ලභ කාරණාවක්.

දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබීම ඉතා අපහසු කාරණාවක්. සතර අපා දුකකට නොවැටී අංග සම්පූර්ණ මිනිස් ජීවිතයක් ලැබීමේ දුර්ලභභාවය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ නිරතුරුව දේශනා කොට වදාළ සේක.

කාම බන්ධනයන්ගෙන් වෙලී වාසය කරන්නා වූ ගිහි ජීවිතවලින් නික්ම, සරල වූ අල්පේච්ඡ වූ බැඳීම්වලින් ලිහිල්භාවයට පත් වූ පියාපත් බර පමණක් උරුම වූ පක්ෂියකු වැනි කසාවත දරාගත්, හිසමුඩු කරගත්තා වූ ප්‍රවෘජයා ජීවිතයක් ලැබීම දුර්ලභ වූත් ශ්‍රේෂ්ඨවූත් කාරණාවක්.

ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි එකොළොස් වැදෑරුම් දුකකට පත්ව ඉපිදෙමින් මැරෙන, මැරෙමින් ඉපදෙන සසරගත සත්ත්වයාට විමුක්තිය උදාකරලීමට මඟ පෙන්වන බුදුපියාණන් වහන්සේලාගේ හදවතින් නිපන් බුද්ධියේ උච්ඡත්වයෙන් බිහි වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඇසීමට, චරණය කිරීමට ලැබීම දුර්ලභ වූ කාරණයකි.කල්‍යාණ වූ ශ්‍රී සද්ධර්ම රසය බෙදා දෙන්නා වූ යහපත් මාවතක පෙර සලකුණු පෙන්වන කල්‍යාණ මිත්‍ර සද්පුරුෂ සුදනන්ගේ පණ්ඩිතයන්ගේ ඇසුර ලැබීම දුර්ලභයි. මෙවන් වූ දුර්ලභ කාරණාවන් සමෘද්ධව පවතින සමයක නිවනින් සැනසීම ලැබීමට පසුබට නොවන ලෙස තිස්සා මහරහත් තෙරණියෝ අවවාද මුඛයෙන් තමන් වහන්සේට අවවාද කරගනු ලබති. සැබවින් ම නිවනට යොමු වූ සිත් ඇත්තකුට, විරාගයෙන් සැනසීම සොයන්නකුට එම වචන සමුදායෝ අමෘත රසයක් වන්නේ ම ය.

මේ උතුම් දුර්ලභ අවස්ථාවන් මඟ හැර තෘෂ්ණාවෙන් පුද්ගලයන් වශයෙන් වස්තූන් වශයෙන් ඇලී ගැලී භවයට ඇලුම් කරමින් වසන පුද්ගලයෝ නිරයට පතිතව දුක් විඳින බව තිස්සා මහරහත් තෙරණියෝ දේශනා කොට වදාළ සේක. නිරා දුක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණ ගුණයෙන් යුක්තව නිරතුරුව පෙන්වා වදාළේ සත්ත්වයාට සසරෙහි යථාර්ථය අවබෝධ කරගනු පිණිසය.

කිසිදු අයුරකින් සැපයන නාම මාත්‍රයකුදු නොමැති සතර අපාය දුකින් ම පිරී ඉතිරී යන්නකි. සවනට පත්නොවූ, ධර්ම මාර්ගයෙහි නොහැසිරෙන සෑම සත්ත්වයකුට අකුසල ධර්මයන්හි නිමග්න වෙති. අකුසල ක්‍රියාවන්හි අවසාන ඵලය නම් දුර්ලභ වූ මිනිස් ජීවිතයෙන් මිදී ප්‍රේත, තිරිසන්, නරක, අසුර යන දුක් සහිත වූ, ශෝක සහිත වූ සතර අපායන්ට පත්වී අනන්ත දුක්විඳීමයි. සෝවාන් මාර්ගයට හෝ නොපිළිපන් කිසිදු අයෙකුට තමන් සතර අපායට නොවැටෙන්නේ යැයි ප්‍රකාශ කළ නොහැකිය.

‘මහණෙනි, මනාසේ ඇත්ත කතා කරන කිසියම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් අනිටු වූ අප්‍රිය වූ අයහපත් වූ දුක්වන යමක් ගැන කතා කරයි නම්, ඒ අනිකක් නොව මේ රෞද්‍ර වූ දුක් සහිත වූ නිරය ගැන ම කතා කරන්නේ ය. නිරය අතිශයින් දුක් සහිතයයි උපමාවකින් දක්වන්ට ද පහසු නොවේයයි’ බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

සම්බුද්ධත්වය ලැබූව ද ප්‍රමාණය මෙපමණයයි කිව නොහැකි නිරයේ දුක්ඛිත තත්ත්වය සිතුවත් බිය උපදින මහා නරකාදි අටකුත්, ඔසුපත් නරකාදි සහිතව නරකාදි එකසිය තිස් හයක් ඇත්තේ ය.

එවන් වූ නරකාදීන්ට පත්නොවී දුර්ලභ වූ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගෙන උතුම් ශ්‍රී සද්ධර්මයේ හරය, ගැඹුර, යථාර්ථය හඳුනාගනිමින් අනුගමනය කරමින්, කමටහන් ලෙස බෝධිපාක්ෂික ධර්මයෝ වඩමින් අජර වූ නිවනින් සැනසීමට පත්වන ලෙස තිස්සා මහරහත් තෙරණියෝ උදානයෙන් ප්‍රකාශිත වන්නේ ය. රාගාදි මද මඩනා පවස් සංසිඳුවන ආලය හා තෘෂ්ණාව නසන නිරන්තරව පැමිණෙන භවදුක් සිදුවන තෘෂ්ණා ක්ෂය කරන අහිත වූ රාග ඇති නිරෝධ සංඛ්‍යාත නිර්වාණධාතුවෙන් සැනසීම ලද ධීරා මහරහත් තෙරණියෝ තම ප්‍රීති වාක්‍යයන්, අවවාද ස්වරූපයෙන් දේශනා කොට වදාළ අයුරු අපූරුය.

“ධීරෙ නිරෝධං ඵුස්සෙහි
සඤ්ඤා වූපසමං සුඛං
ආරාධයාහි නිබ්බානං
යොගක්ඛේමං අනුත්තරං”

“ධීරාවෙනි, ක්ලේශ නිරෝධය නම් වූ නිවන ස්පර්ශ කරව. කාමාදි අකුසල සඤ්ඤා සංසිඳීම සැපයක්. කෙලෙස්වලින් නිදහස් වූ අනුත්තර වූ යෝගක්ඛේම වූ නිවන ම ලබාගන්න”

සත්ත්ව සන්තානය දවන, තවන, කිළිටි කරන පහත් බවට පමුණුවන ධර්මයෝ ක්ලේශ ධර්මයෝ වෙති. එම ක්ලේශ ධර්මයෝ සංසිඳීම තුළින් ලබන නිවීම උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමයි.

අප්‍රහීණභාවයෙන් යුක්ත වූ තෘෂ්ණාව පවත්නා තාක් සත්ත්වයා ලැබූ පඤ්චස්කන්ධය පවත්වා ගැනීම සඳහාත් අනාගත පඤ්චස්කන්ධයන් ලබනු සඳහාත් ක්‍රියාකරන්නේ ය.

කර්මය නම් එයයි. සත්ත්වයා කරන තාක්ම ඔහුට නැවත නැවත පඤ්චස්කන්ධය ලැබෙන්නේ ය. පඤ්චස්කන්ධය ලැබෙනතාක් සත්ත්වයා සංස්කාර දු:ඛ විපරිනාම දුක්ඛය, දු:ඛ දු:ඛය ලබන්නේ ය.තාෂ්ණාව ප්‍රහීණ වූ කළපඤ්චස්කන්ධයාගේ නිරෝධ හෙවත් උතුම් අජර වූ නිවන ස්පර්ශ කරන්නේ ය. ඛේම වූ නිවනින් සැනසුණ නැවත ඝෝරතර සංසාර දුක්ඛයට හසු නොවන්නා වූ විරාගි නිවුණු සිතකින් යුක්ත වූ තිස්සා මහ රහත් තෙරණින් වහන්සේ, ධීරා මහරහත් තෙරණින් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් උපරිම ශාසනික ප්‍රතිලාභය ලද්දෝය. එවන් වූ විරාගි සිතක ස්පර්ශය ලබන්නට මේ උතුම් සම්බුදු සසුන සරණක් ම වේවා!