ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම සංවත්සරය සැප්තැම්බර්
17 වනදාට යෙදීම නිමිත්තෙනි
බුද්ධගයාව හා
අනගාරික
ධර්මපාලතුමා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා මෑත භාගයේදී අපගේ සහ එතුමාගේ ජන්ම භූමියේ
පමණක් නොව ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධයේද පුරෝගාමි මෙහෙවරක යෙදුණු මහා
පුරුෂයෙකි. බුද්ධගයාව බේරාගැනීම සඳහා එතුමා කළ මෙහෙය අමරණීය වේ.
ශතවර්ෂ 25 තිස්සේ ලංකාව, බුරුමය, සියමය, චීනය, ජපානය,කොරියාව,
තුර්කිස්ථානය සහ තිබ්බතය යන රටවලින් බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ සම්මා
සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවණ දුන් මේ පූජනීය බෝධි වෘක්ෂය බැලීමට
පැමිණියහ. (අසෝක රාජ යුගයේදී) මේ වෘක්ෂරාජයා විනාශ වූ බව මහාවංසයේ
සඳහන් වේ.
අවුරුදු එක්දහස් හත්සියයකට ආසන්න කාලයක් තුළ බුද්ධගයාව බෞද්ධ භික්ෂූන්
වහන්සේලාගේ බාරයේ පැවතුණි. මෙහි මුල් විහාරය ඉදිකරන ලද්දේ බුදුසමය
වැළඳගත් අසෝක (ක්‍රිස්තු පූර්ව 272-232) අධිරාජයා විසිනි. මේ බව මෙම
පුදබිම පුරාවිද්‍යා කැණීමකට භාජනය කරනලද ඉන්දියාවේ එකල පුරාවිද්‍යා
අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විද්වතා විසින්
ප්‍රකාශයට පත් කර ඇත. පුරාණ ජම්බුද්වීපයේ බුදුසමය ඉතාමත් දියුණූු
තත්වයකට පත් වූයේ අසෝක අධිරාජයාගේ රාජ්‍ය යුගයේදීය. ඒ කාලයේදි භික්ෂු,
භික්ෂුණී යන දෙපක්ෂයම වැඩ සිටි බව අසෝක රජතුමා විසින් පිහිටුවන ලද
සාංචි, කෝසම්බි සහ සාරානාත් යන පුදබිම්වල එක ශිලා ලේඛනයේ පිටපත් ලෙසින්
සඳහන් කරන ලද රාජාආඥාවකින් පැහැදිළි වේ.
(Inscriptions of Asoka- D.C.Sircar- P.51-52 (1957) India
ජම්බුද්වීපයේ පමණක් නොව ඉන් පිටත බටහිර රටවලට පවා බුදුදහමේ එම පණිවිඩය
රැගෙන යෑමම අසෝක රජතුමාගේ කාලයේදී සිදුවූ කාර්යයකි.
එසේම ක්‍රිස්තුවර්ෂ 120 දී ගන්ධාරය මුල් කොට ගෙන කුශාන රාජධානියේ රජවූ
කනිෂ්ක රාජයුගයේදි බුදු සමය තවත් දියුණුවට පත් වූ නිසා ඒ යුගය අසෝක රාජ
යුගයට පමණක් දෙවැනි වූ කාලයක් ලෙසින් සැළකේ. ඊට පසුව හර්ෂ වර්ධන රාජ
යුගයේද ඉන් අනතුරුව සේන – පාල රාජධානිවල ද බුදුසමය දියුණුවට පත් වූ බව
භාරත ඉතිහාසය පමණක් නොව ඒ ආශි‍්‍රතව අද පවා දක්නට ලැබෙන
පුරාවිද්‍යාත්මක වැදගත් සාක්ෂින් වන අභිලේඛණ මෙන්ම මූර්තිවලින්ද
පැහැදිලි වේ.
ඒ බුදුසමයේ ස්වර්ණමය යුගයන් ඉතා දරුණු අන්දමින් විනාශ වූයේ ක්‍රි.ව. 12
වැනි සියවසේ අග භාගයේදි සිදුවූ ආක්‍රමණ නිසාය. එම පුදබිම් පමණක් නොව ඒ
ආශි‍්‍රතව වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා ද විනාශ කරන ලද බව නාලන්දා
බෞද්ධ විශ්ව විද්‍යාලය ගිනිබත් කර විනාශ කරන ලද එම ඉතිරිවී ඇති
සාක්ෂිවලින්ද පැහැදිලි වේ.
මෙම කරුණු අනගාරික ධර්මපාල තුමා 1933 වර්ෂයේ මාර්තු මස හතරවැනිදා පළ වූ
සිංහල බෞද්ධයා පත්‍රයේ සඳහන් කළහ. ඛේදයටත් සංවේගයටත් කරුණ නම්
බුද්ධගයාව බුදුරජාණන් වහන්සේගේ නාමයට පවා අගරු කෙරෙන සංකරාචාරින්
අනුගමනය කරන්න වුන් යටතට පත්කොට තිබීමයි. එබැවින්, ජපන් රට, චීනය,
බුරුමය (මෙකල මියන්මාර්) සියමය, ලංකාව කාම්බෝජය ,කොරියාව, ටිබැට්,
නේපාලය,අරකන් සහ චිතගොන් යන පෙදෙස්හි නිවස්නා බෞද්ධයන් ඉදිරිපත්ව අප
තථාගතයාණන් වහන්සේ සියලු කෙලෙසුන් නිමාකර පස්මරුන් පරදවා බුද්ධත්වයට
පත් ස්ථානය ආපසු ලබා ගැනීමට කාලය පැමිණ තිබෙන බව සැලකිය යුතුයි. අපේ ඒ
ශූද්ධස්ථානය දිනපතාම මහන්තාගේ සේවකයන් විසින් කෙළෙසනු ලැබේ. එහි පිහිටි
බුද්ධ ප්‍රතිමාවෙහි නළලේ (ලලාටයේ) සායම් ගාමින් හා ශීර්ෂය රෙදි
කඩමාල්ලකින් ඔතා තැබීමෙන්ද බුද්ධ ප්‍රතිමාව භෛරව රූපයකට හරවා ඔවුහු
දිනපතාම අගෞරව කරති. බුදුසමය අදහන්නවුන් ගේත්. පූජණීය ස්ථානයන්ගේත්
පූජනීයස්ථානය වූ මෙහි මලක් පහනක් පුදන්නට බෞද්ධයෙක් නැත. එබැවින් එම
පුදබිම රාත්‍රි කාලයේ ගණාධකාරයේ නිමග්නව පවතී.
ආසියාවේ බෞද්ධයිනි නිදිගැට හැරපියා නැගිටිව් යූෂ්මතුන්ගේ අතිපුජණීය
පුදබිම මහන්තාගේ වැඩකරුවන්ට කිළිටි කරන්නට ඉඩ නොතබා බලා ගනිව්.
සිංහල බෞද්ධයා පුවත්පත 1933- මාර්තු 4 වැනිදා)
පූජනීය බුද්ධගයාව බේරා ගැනීමට කරන ඉල්ලීම
ඉහත සඳහන් වූ ලිපියේ මැය යටතේ එම ලිපිය ආරම්භ කර ඇත්තේ මෙසේය.
අවුරුදු දෙදහස් පන්සිය විසි එකකට ප්‍රථම සිද්ධාර්ථ ගෞතම සර්වඥයන්
වහන්සේ ලෝ පහළව කර්මය, පුනරුප්පත්තිය, නිර්වාණය ආදි කොට ඇති ලොකෝත්තර
නව ධර්මයක් සකල සත්වයන්ගේ ඓහලෞකික පාරලෞකික අභිවෘද්ධිය පතා දේශනා කළ
සේක. මෛත්‍රය, කරුණාව, අහිංසාව සමස්ත සහෝදරත්වය බඳු වූ මේ මාහැඟි ධර්මය
උතුරු දඹදිව ගංගා නදී මිටියාවතේ විසූ ආර්ය වර්ගයා විසින් පිළිගන්නා
ලදුව ඔවුන්ගේ උතුම් ව්‍යාපාර අනුව ලොව දස දෙස පැතිර ගියේය. අවුරුදු
1850 ක් පමණ කාලයක් මුලුල්ලේ සුගත් දහම දඹදිව්හි අඛණ්ඩව පැවතියේය.
නමුත් ඊට පසු දාමරික සොල්දාදුවන් ඉන්දියාවට කඩා පණින්නට අවුරුදු 300
ප්‍රථම බෞද්ධ ධර්මය පිළිබඳ කොඳු නාරටිය පළමු කොට පංචාල දේශයේත් ඒකාබද්ධ
පළාත් වලත් බිඳී ගියේය.
අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරා ගැනීම උදෙසා සිය කාර්යය ආරම්භ කළ
අන්දම මෙසේ සටහන් වී ඇත.
“මහාබෝමැඩට පැමිණ බුද්ධ ප්‍රතිමාව දැක වැඳ පුදා ඉක්බිති බෝධිරාජයා කරා
පැමිණ වජ්‍රාසනය පිහිටි තැන බැඳ තිබෙන පුරාණ මල් ආසන මස්තකයෙහි මාගෙ
හිස තබා මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැන මාගෙ නළල තබා
වැඳී යන පී‍්‍රති ප්‍රසාද චිත්තයෙන් ඒ මල් අසුන ස්පර්ෂ කළ කල්හි
පී‍්‍රතියෙන් පිනා ගියේය. ක්ෂණයකින් නැගිට මා ළඟ සිටි ජපන් භික්ෂූන්ට
ආමන්ත්‍රණය කොට ස්වාමීනි මම මේ පුදබිම අත්හැර නොයමි. තමුන්නාන්සේලා
ලංකාවට ගිය මැන වැයි කීවෙමි. ඒ භික්ෂූන් වහන්සේ අපිත් මෙහිම නවතින්නට
කැමැත්ත ඇතැයි පිළිතුර දුන්නේය. එවිට අප දෙදෙන බුද්ධ ප්‍රතිමාව කරා
ගොස් මේ ස්ථානය මිත්‍යාදෘෂ්ටින්ගෙන් මුදවා බෞද්ධ භික්ෂුන්ට අත්කර දෙමි.
ඒතාක් මෙහි සිටින්නෙමු යැයි ශබ්ද නගා කීවෙමු. එදින අප සමඟ එහි සිටි
බ්‍රාහ්මණ නඩුකාර හට්ටාචාර්ය මහතාද සහ බ්‍රාහ්මණ වෛද්‍යාචාර්ය චට්ටෝ
පාද්‍යය මහතාද මාගේ මේ ප්‍රාර්ථනාව අසා පුදුමයට පත්වූහ.
අනගාරික ධර්මපාලතුමාගේ ලිපි සංග්‍රහය –ආචාර්ය
ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ . පිටු අංක 236 (1991)
අනගාරික ධර්මපාලතුමා අන්‍යාගමිකයන්ගෙන් බුද්ධගයාව බේරා ගැනීම සඳහා
ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ආකාරය ඉතා ප්‍රකටය.
|