Print this Article


සිත හරිම විශ්මිතයි මුළු ලොවම ඒ මතයි

සිත හරිම විශ්මිතයි මුළු ලොවම ඒ මතයි

සුබවාදී මනසකින් ලෝකය දෙස බලන කෙනෙකුට එහි සොඳුරුබවක් මෙන්ම විසිතුරුබවක් ද පෙනීම ස්වභාවිකය. වෙසෙසින්ම සත්ව ප්‍රජාව තුළ ප්‍රමුඛ සත්වයා වන මිනිසාගේ කාමභෝගී වුවමනාවන් අඩුවැඩි වශයෙන් සපයන වටපිටාවක් තුළ මිනිසා ජීවත් වෙයි. චන්ද්‍ර, සූර්යයෝ, වාතය හා ජලය ගස්වැල්, දියගොඩ ජීවත්වන සතුන් භූගත සම්පත් ආදී මෙකී නොකී අනේකවිධ සාධක මිනිසාගේ ජීවිතය විචිත්‍රත්වයට පත් කරයි. මානව දේහය ගැන සැලකුවත් එහි බැලූ බැල්මට පරිපූර්ණ පරිසමාප්තියක් පෙනේ. එහි ව්‍යුහය අඩුවැඩි කිරීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය නොවන්නා සේය. මිනිසාගේ සිහින සැබෑ කිරීමට අවශ්‍යවන මූලද්‍රව්‍යයන්ගෙන්ද ලෝකය ඌන නොවන බව හැඟේ. ලොව පවත්නා මේ විෂ්මයාවහ ප්‍රතිබද්ධතාව අප සියල්ලන්ටම පිළිගන්නට සිදුවේ.

ඉදින් මේ විෂ්මයානුකූල සැකැස්ම සිදුවූයේ කෙසේද? ඊශ්වර නිර්මාණවාදී ආගම් ඉතා සරල පිළිතුරකින් මේ ගැටලුව නිරාකරණය කරයි. එනම් ‘ලෝකය මැවුම්කාර දෙවියකුගේ හෝ බ්‍රහ්මයකුගේ නිර්මාණයකි.’ යනුවෙනි, දිව්‍යමය චින්තනයෙන් සැලසුම් කොට මේ ලෝකය අපූර්ව නිර්මාණයක් වශයෙන් මවා ඇත. යනු ඔවුන්ගේ ඉගැන්වීමයි. ලොවතුළ දකින මෙම විෂ්මයාන්විත සංස්ථිතිය දෙවියකු විසින් මිස වෙනත් කිසිවකු විසින් කළ නොහැක්කකි යන මතයෙහි පිහිටමින් සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පය අනුගාමිකයන් ලවා අදහාගැනීමට පෙළඹවීම නිර්මාණවාදී ආගම්වල ලක්ෂණයයි.

ලොවෙහි ඇති අපූර්ව නිර්මාණශීලීතාව කෙසේ විනිදැයි ධර්මානුකූලව විවරණය කිරීම බෞද්ධ විද්වතුන්ගේ වගකීමක් වෙයි. සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ මේ ගැටලුව නිරාකරණය කර ගැනීමට උපකාරීවන ඉගැන්වීම් හමුවන බව පෙනේ.

එක්තරා භික්ෂුවක් බුදුරදුන් හමුව මෙබඳු ප්‍රශ්නයක් අසයි. ‘කෙන නු ඛො භන්තෙ ලොකො නීයති කෙන පරිකස්සති කස්ස උප්පන්නස්ස වසං ගච්ඡති’ (අංගුත්තර නිකාය චතුක්ත නිපාත) යනුවෙනි. එහි අදහස නම් ‘ස්වාමීනි ලෝකය කවරකු විසින් පමුණුවනු (ඉදිරියට ගෙන යනු) ලැබේද? කවරකු විසින් ඇදගෙන යනු ලැබේද? උපන් කවරකුගේ වසඟයට යේද?’ යන්නයි. බුදුරද හු ඔහුගේ ප්‍රඥාවන්තභාවයට පසසා මෙසේ පිළිතුරු දෙති. “චිත්තෙන ඛො භික්ඛු ලොකො නීයති, චිත්තෙන පරිකස්සති, චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡති’ යනුවෙනි. එම පිළිතුරෙහි අදහස නම් “මහණ ලෝකය සිත විසින් ගෙන යනු ලැබේ., සිත විසින් අඳිනු ලැබේ, උපන්නා වූ සිතේ වසඟයට යයි.” යන්නය.

බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියලු සංසිද්ධීන්හි මූලිකත්වය හිමිකළේ මනසටයි. ධම්මපදයේ යමක වග්ගයේ පළමු ගාථාද්වයම මනසේ ආධිපත්‍ය ස්වරූපය ඉස්මතුකොට දක්වයි. ‘මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා’ (සියලු ධර්මයෝ මනස පූර්වංගම කොට ඇත්තාහ, මනස ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ, මනසින් උපන්නෝය.) යන්නෙන් ඒ බව පැවසේ. මෙහි ‘ධම්මා’ යන්නෙන් පැවසෙන්නේ අරූපී චෛතසික ධර්මයන් යයි සැලකීමට වඩා ලොව අන් සියලු ස්වභාවයන් සේ ගැනීම වඩා සුදුසුය.

මිනිස් මනසේ නිර්මාණශීලී ගුණය ප්‍රගුණ කළ හැකි ස්වභාවයකි. අනාදිමත් මානව ඉතිහාසය ගවේෂණය කිරීමේ දී අද වන විට මිනිසා කෙතරම් ශුර නිර්මාපයකුදැයි සැලකීමට උදාහරණ අපමණ තිබේ. මිනිස් මනසින් සැලසුම් කොට ස්වභාව ධර්මය තුළ ඇති සම්පත් උපයෝගීකර ගනිමින් මෙම විශ්මිත නිර්මාණ බිහිවී ඇත. මිනිස් මනසේ දියුණු නොකළ හැකි සත්වයන්ගේ මනස් තුළින් ද අපූරු නිර්මාණ සිදුවන බව පැහැදිලිය. ඇතැම් සත්තු තම සුඛ විහරණය හා ආරක්ෂාව පතා විවිධ හැඩතල හා ස්වරූප ඇති කැදලි තනා ගනිති. මිනිස් සිතිවිලි භෞතික රූපාකාරයෙන් ජනිත කරවීම පිළිබඳ ගැටලුවක් නැතත් ලොව ඇති ස්වභාවික සම්පත් සතුන්ට හිතකර රටාවකට සැකසී ඇත්තේ කෙසේදැයි සිතා ගැනීම අපහසු විය හැක. සූර්යාලෝකය, වාතය, ජලය, ගස් වැල්, මල් හා පල වැනි ස්වභාවික දායාද මෙන්ම භූමිගතව ඇති ඛනිජ නිධි ආදිය ඇතිවීම අධිච්ච සමුප්පන්න (ඉබේ හටගත්) ඵලයක් නොවිය හැක.

සංස්කාර ධර්ම ලෝකය මනෝමය බවත් සියල්ල මනසේ ආධිපත්‍යය යටතේ පවත්නා බවත් බුදුරදුන් විසින් පැහැදිලිව දක්වා තිබෙන බව අප පිළිගත යුතු ය. ලෝකය යනු මානසික අවශ්‍යතා, ප්‍රාර්ථනා, පරිකල්පන හා ප්‍රලෝභනයන්හි ඵලයක් සේ පිළිගැනීම ධර්මවිරෝධී නොවේ. මානව රූපය ගැන ගැඹුරින් සිතා බැලුවොත් එය මනස තුළ ස්වාභාවිකවම පවත්නා තෘෂ්ණාවේ භෞතික රූපාකාරයක් බව හඳුනා ගැනීමට පුළුවන. වාතය ජලය වැනි ස්වාභාවික සම්පත්වල පවත්නා ආවේණික රටාව මානවයා ඇතුළු සත්ව ප්‍රජාවගේ අවශ්‍යතාවය සේ හඳුනා ගත හැකිය. ස්වාභාවිකව ඇතිවුණු ඛනිජ සම්පත් ආදිය තම අවශ්‍යතාවන් සඳහා මිනිසා විසින් බුද්ධිය මෙහෙයවා උපයෝගී කරගෙන ඇතැයි තර්ක කිරීම න්‍යාය විරෝධීය. මානසික අවශ්‍යතා සපුරාගැන්මට උචිත සම්පත් සොබා දහම තුළ නිර්මාණය වී ඇතැයි සැලකීම න්‍යායාත්මකය.

මානසික අවශ්‍යතා හා ඊට අනුරූප භෞතික සම්පත් පහළවීම දිව්‍යමය හා අපායික ස්වභාවයන් ගැන විස්තරවන තොරතුරුවලින් වඩාත් තහවුරු වේ. දෙවියකු වීමට පින් පුරන්නාගේ මනස තුළ යම් විචිත්‍ර ප්‍රාර්ථනා සමුදායක් නිර්මාණය වේ. ඔහු එම පින හේතුවෙන් දෙව්ලොව උපත ලබා අත් කර ගන්නේ ද එම මනෝ චිත්‍රයන්හි රූපකාර ඵලයයි. දිව්‍ය ලෝකය මිනිස් ලොව මෙන් යම්තැනක නිශ්චිතව ස්ථානගත වී පරපුරෙන් පරපුට හිමි වන්නක් නොව පුණ්‍යඵල භුක්ති විඳින්නාගේ කර්ම ශක්තිය පවත්නා තාක් පමණක් විද්‍යාමාන වන්නක් සේ ගත යුතු ය. අපාය ද නිශ්චිතව පිහිට වූ වධකාගාරයක් සේ පැරණි සාහිත්‍යයෙහි විස්තර වී ඇතිමුත් පව් කළ තැනැත්තාගේ පාපයට සාපේක්ෂකව නිර්මාණය වී පාපියා වධයට කැපකොට කර්ම ශක්තිය ක්ෂය වීමත් සමග අහෝසි වී යන්නක් සේ සැලකිය හැකිය.

නිර්මාණවාදීන් සලකන පරිදි ලෝකය මැව්මුකරුවකු විසින් මිනිසා වෙත පිරිනමන ලද ත්‍යාගයකි. එහෙත් මේ ත්‍යාගය තුළ දුක වේදනාව විපත් කරදර ද අඩු නොවන බව පිළිගැනීමට සිදුවෙයි. මිනිසා ඇතුළු සත්ව ප්‍රජාවගේ සිත ඒකාකාරී සුභග ස්වරූපයකින් යුක්ත නොවේ. එනිසා සිතිවිලිවල මේ ද්වන්දාත්මක ස්වරූපයට අනුරූප ලෙස ලෝකය දෙවැදෑරුම් ස්වරූපයෙන් යුක්තය. සිත්වල උත්කෘෂ්ට චෛතසික ස්වභාවයන් තුළින් ලෝකයේ සුන්දරත්වය, සුඛාස්වාදය, මධුරත්වය යම් සේද නිකෘෂ්ට සිතිවිලි තුළින් වේදනා විපත් කරදර නිර්මාණය වී තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් මනෝමූලික උපදනා බව බුදු සමයේ ප්‍රමුඛ ඉගැන්වීමකි. පින් පව් වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් වර්ග කරනු ලබන්නේ චේතනාවන්ට අනුවය. මිනිසුන්ගේ ධර්මානුකූල ජීවිතය ස්වභාවධර්මයේ පැවැත්ම කෙරෙහි බලපාන බව බුදුසමය පිළිගනී. කුරුධර්ම ජාතකයේ එන පරිදි කුරුරට මිනිසුන්ට කලට වැසි වැස ගොවිතැන්වලින් සරු පල ලැබෙන්නේ ඔවුන්ගේ ශීලාචාර හා අවංක ගතිපැවතුම් නිසාය. දුශ්චරිතවත් ජීවිත ගත කිරීම නිසා සොබාදහම විෂම වීමෙන් ජන ජීවිතය පීඩාවට පත් වූ අවස්ථා ද ජාතක කතාවන්හි කොතෙකුක් හමුවේ.

මානවීය අවශ්‍යතා හා ඊට අනුරූප පරිණාම ක්‍රියාවලිය පිළිබඳ විස්තරයක් අග්ගඤ්ඤ සූත්‍රයේ එයි. එහිදී පී‍්‍රතියම ආහාරය කොට ගත් ආදි කල්පික බ්‍රහ්මයෝ මෙම පෘථුවියට පැමිණ තෘෂ්ණාවට වසඟ වීමෙන් කල්ගතවෙද්දී රළු අහරින් ජීවත්වන සාමාන්‍ය මිනිසුන් බවට පත්වෙති. මුලදී ස්තී‍්‍ර පුරුෂ භේදයක් ශාරීරික ව්‍යුහය තුළින් විද්‍යාමාන නොවුන ද මානසික ප්‍රලෝහනයන් නිසා ලිංගික නිමිති ප්‍රකට වන මානව රූප ඔවුන් වෙතින් දකින්නට ලැබිණි. ඔවුන්ගේ ශාරීරික ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිවන්නේ මානසික අවශ්‍යතාවලට සරිලන පරිදිය. නූතන පරිණාම වාදයේ පියා ලෙස සලකන චාල්ස් ඩාවින් ද මනෝමය අවශ්‍යතා මානවයා ඇතුළු සත්ව වර්ගයාගේ පරිණාමීය වෙනස්කම් උදෙසා බලපෑමක් වන බව පිළිගෙන තිබේ.

ලෝකය දේව නිර්මාණයකැයිද එය මිනිසා සඳහා පිරිනමන ලද තිළිණයකැයි ද සලකතොත් ලොව පවත්නා ස්වාභාවික සම්පත් ක්ෂයවීමක් ගැන බිය වීමට වුවමනාවක් නැත. ක්ෂය වන සම්පත් මැවුම්කරුවා විසින් ප්‍රතිපූරණය කරනු ඇතැයි විශ්වාස කිරීමට හැකිවන බැවිනි. එහෙත් පරිභෝජනයට සාපේක්ෂ වේගයකින් සම්පත් ක්ෂයවෙමින් පවත්නා බව විද්‍යාඥයින්ගේ අවිවාදාත්මක පිළිගැනීමයි. බුදුදහමට අනුව ලෝකය යම් කාලපරිච්ඡේදයක් ගතවීමත් සමඟ විනාශය කරා එළැඹෙයි. ගිනිගෙන දැවී පිලිස්සී අළු ගොඩක් වී විසිරී යයි. තෘෂ්ණාවෙන් පොලඹවනු ලබන සත්වයා මිය ගොස් යළි ඉපිද විශ්වයේ තවත් ග්‍රහ ලොවක් තම නිවාසස්ථානය කරගනු ඇත.

සිත උදාර සිතිවිලිවලට නිවාසභූමියක් කිරීමෙන් ලෝකය ප්‍රතිරූප දේශයක් කරගත හැකිසේම චිත්ත එකාග්‍රතාවය පුහුණු කිරීමෙන් ලෞකික පාරිශුද්ධියත් ලෝකයේ යථාර්ථ ස්වභාවය ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පූර්ණ විමුක්තියත් අත්කරගත හැකි බව අප වටහාගත යුතු ය.