Print this Article


අප්පච්චි ඇතාට ලීයකින් ඇන්නා අම්මා ඇතාගේ හොඬවැලේ එල්ලුණා

අප්පච්චි ඇතාට ලීයකින් ඇන්නා

අම්මා ඇතාගේ හොඬවැලේ එල්ලුණා

සසුන් මඟට මා බැස පැවිදි වන එදිනේ
පටන් මගේ යහපත සිදුවන බැවිනේ
උතුම් ගුණෙන් යුතු මාපිය හිතවතුනේ
නිවන් දකින තුරු සිහිකරමි හැම දිනේ
 

සම්බුදු පියා දෙසූ සදහම් නොකිළිටිය
අද මම එහි රසය විඳ විඳ සිත පිරිය
මට හැකි දිනෙක මගෙ මාපිය ගුරුවරුය
සමඟින් ලබන්නෙමි ඒ නිවනෙහි රසය

තම මෑණියන් හා ගමේ පිරිවර සමඟ ඥාතීන් පිරිවරා නමෝ විත්තියෙන් මේ දහම් පද කවියට නැඟූ පුංචි හාමුදුරුවෝ ඉතා මනහර ලාලිත්‍යයෙන් යුතුව මේ කවි කීහ. ඒ 1962 ඔක්තෝම්බර් 26 වැනිදා පැවිද්ද ලැබූ විගසමය. මවකට පුතකු විසින් සැලකිය යුතු උතුම්ම විදියට මව් පූජා කළ උන්වහන්සේ අන් කවරෙකුවත් නොව වාරියපොල සුමංගල පිරිවෙන් රජ මහා විහාරාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයයේ හිටපු කුලපති අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමිපාණන් වහන්සේ ය. අපි ඒ මව්වරුණ හා ගමේ විත්ති ගැන දැන් උන්වහන්සේගේ දෙසුම අසමු.

අපේ ගෙවල් තිබුණෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. කුරුණෑගල සිට නිකවැරටිය පැත්තට යන විට හැතැක්ම හතක් පමණ ගියා ම මේ සුන්දර තුඹුල්ල ගම හමුවන්නේ. කුමාර බණ්ඩාර ජයසූරිය කියන වාරිමාර්ග කාර්මික නිලධාරිතුමා මගේ අප්පච්චි. එතුමා කෑගල්ලේ හෙට්ටියමුල්ලේ සිට මගේ මෑණියන් මෙහි කැඳවාගෙන ඇවිත්. දෙන්නා ම ඉංගිරිසි සිංහල හොඳින් දන්නා ද්විභාෂික උගතුන්. අම්මගෙ නම හීන්මැණිකේ රණතුංග ජයසුන්දර. අම්මගෙ වගේ ම අප්පච්චිගේ පරම්පරාවත් රටේ පිළිගත් ඇත්තන් හිටියා. අපේ කිරි අත්තා තෝල්ක මුදලිකෙනෙක්. දිසාපතිවරු පියාගේ පාර්ශ්වයේ හිටියා. බාලම බාප්පා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දර. ගං ඇළදොළ පිරි කෙත්වතු වගා බෝග, කුඹුරු මේ හැම දෙයකින්ම සරුසාර තුඹුල්ල ගමේ අපේ පවුලේ දරුවන් තුන්දෙනයි. මං දෙවැනියා.

මට බාල මල්ලි කෙනෙක් හිටියා. එයා මැරුණා. තරුණ වයසේ සිය දිවි නසාගෙන එයා මළේ. අම්මා වැඩියෙන් ම හැඬූ දවස එදායි. අයිරාංගනී කුමාරිහාමි රත්නමලල මගේ අක්කා. අප්පච්චිගේ පවුලෙ දරුවන්ම 12 දෙනෙක්. ඒ නිසා අපේ පවුලේ දරුවන් හා අප්පච්චිගේ බාල මල්ලිලා අතර ඒ තරම් ලොකු වයස් පරතරයක් නෑ. මං ගියේ තුඹුල්ල ස්කෝලෙට. ඒ යන කොට බාප්පලාත් එක්ක කෙළිසෙල්ලමින් යන්නේ. තාත්තා කාලයක් ම ලේක්හවුස් ඩේලිනිව්ස් මුන්නෑකුලම වාර්තාකරු ලෙසත් වැඩ කළා.

අපේ අම්මා උගත් වුණාට එයා අප පුංචි දවසෙ රස්සාවලට ගියේ නෑ. ඒත් අපි තරමක් උස්මහත් වන විට එයා තැපැල් දෙපාර්තමේන්තුවට බැඳිලා තැපැල් ස්ථානාධිපතිනියක් ලෙස වැඩ කළා. ඒකට හේතුව අප්පච්චිගේ අධික බීමත්කම නිසා පවුලෙ ආර්ථිකය පහළට කඩා වැටීම. අම්මා කොයිතරම් කරුණු කියා පියා බීමත්කමෙන් මුදවාගන්ඩ බැලුවත් ඒක හරි ගියේ නෑ. ඒත් ඈ හැමදාම ස්වාමිභක්තිය හිතේ තියාන ඒවා ඉවසාගෙන කටයුතු කළා. දරුවන්ට ඒ කීම බීම නිසා පවුල් පිරිහෙන හැටි කියා දුන්නා. කොච්චර අප්පච්චි බිව්වත් අම්මයි අප්පච්චියි දෙන්නා තරහා වුණේ නම් නෑ. මං ටික කලක් අපේ කිරි අම්මා කෙනෙක් ළඟ නතර වෙලත් ඉගෙන ගත්තා. මුන්නෑකුලම ශ්‍රී නිකේතාරාමය අපේ පවුලෙ ඈයො නිතර යන එන පන්සලක්. ඒකෙ ලොකු හාමුදුරුවො සාරානන්ද හිමියන් මහණ කරන්ට දරුවෙක් සොයමින් හිටි බව දැනගන්ට ලැබුණා. වාරියපොළ පන්සලේ අපේ පවුලේ අය දන්නා මාමුනුවේ සිරිනිවාස හාමුදුුරුවො ඒ හාමුදුරුවන්ගෙ හිතවත් හිමිනමක්. අපේ අම්මගෙ හිතෙත් ලොකුවට ඕනෑකම තිබුණා මා මහණ කරන්ට. මා ගැන සොයාගෙන අර මුන්නෑකුලම පන්සලේ ලොකු හාමුදුරුවො ටික දවසකින් ම අපේ නිවසට කාර් එකකින් වැඩලා අම්මගෙන් අහලා තියෙනවා. මැණිකේ, ළමයා කොයි කියලා. ඒ වේලාවෙ මාත් අනෙක් කොලු කුරුට්ටන් එක්ක බෝල පිටියක බෝල ගහ ගහා හිටියෙ. පිටියක් කීවට ඒක වෙලක්. සෙල්ලම් කරන්න ගලවා තිබූ කමිසය දාගත්තා. හිමියන්ට වැන්දා අම්මට වැන්දා. ඒ හාමුදුරුවො මගෙන් ඇහුවා පුතා මහණ වෙන්ඩ කැමැතියි නේද කියලා. අම්මා කියන දේට කවදාවත් විරුද්ධ නොවන මා එකපාරින් ම ඒක පිළිගත්තා. මාවත් කාරෙකේ දාගෙන හාමුදුරුවො පන්සලට වැඩියා.

ලොකු හාමුදුරුවො අම්මට මෙහෙම කිව්වා මතකයි. මැණිකෙ උපාසකම්මෙ, ධර්මාශෝක මහරජ්ජුරුවො වෙහෙර විහාර 84,000ක් කළා. ඒත් ශාසනයෙ නෑකම ලැබුණෙ නෑ. ශාසනයේ සැබෑ නෑකම එතුමා ලැබුවෙ තමන්ගෙ දුවයි, පුතයි මහණ කරපු හින්දයි. දැන් අම්මත් එහෙම කෙනෙක් කියලා. මටත් හරිම සතුටුයි ලොකු හාමුදුරුවන්ගෙ කතාවට.

මා මහණ කරන්ඩ තීන්දු කිරීම ගැන අප්පච්චි විරුද්ධයි. අම්මා විතරයි කැමැති. නෑයොත් එහෙන් මෙහෙන් විරුද්ධයි. මං දැන් පන්සලේ මහණ වෙන්ඩ බලාපොරොත්තුව බණ දහම් ඉගෙන ගන්නවා. මාව මහණ කරනවාට අප්පච්චි හරිම විරුද්ධ බව දන්නෙ මහණ කරන්ට දින දෙකක් තිබිය දී එයා අපේ බාප්පා කෙනෙක් එක්ක කරපු වැඩකින්. එතකොට ඒ බාප්පා නුවරඑළිය මහ දිසාපති. මේ දිසාපති බාප්පාත් එක්ක අප්පච්චි පන්සල් වැට ළඟට ඇවිත් මාව පැහැරගන්ඩ උත්සාහ කළා. අනෙක් කට්ටිය කලබල වෙලා හොයනකොට පැනලා ගියා.

අම්මටත් මාව මහණ කරන්ඩ දුන්නාට නොබලා ඉන්න බෑ. එතුමිය පන්සල ළඟ වැදගත් මහත්මයෙක් හඳුනනවා. එහෙම ගිහින් ‘චොක්ලට්’ ආදිය මට දෙන්ඩ කියලා යනවා. ලොකු හාමුදුරුවො නිතර ඥාතීන් එනවාට කැමැති වුණේ නෑ. මගේ හිත වෙනස්වේවි කියලා. ඉතින්! අර මනුස්සයා රට ගිය කෙනෙක් ගෙනාවා කියල අර ‘චොක්ලට්’ මට ගෙනැත් දෙනවා. 1962 ඔක්තෝම්බර් 26වැනි දා මගේ මහණ පින්කම. එදා මාව රැගෙන ආවේ මහ පෙරහරකින්. එක ඇතයි අලි 5 දෙනෙකුත් හිටියා මේ පෙරහරේ මට පෙරවන සිවුරු පිරිකර ඇතාගේ පිට උඩ තියලා මාවත් ඇතාගේ පිට නැංවූවා. මේ පෙරහර ආවේ හෙට්ටිගම සුදර්ශනාරාමයේ සිට වාරියපොළ කදිරාගල පන්සලට.

මෙහෙම ඇතා පිට එනකොට අප්පච්චි හොඳටම බීලා පාර අයිනෙ හිටියා. අම්මත් ඊට නුදුරින් හිටියා. එයා දිග ලීයක් අරගෙන ඇතාට පහර දෙන්ඩ පටන් ගත්තා. ඔබ පිළිගන්නවාද? ඇතා කලබල වන කොට මගේ රත්තරං අම්මා ඇතාගේ හොඬවැලේ එල්ලුණා. ඇත්ගොව්වා මැදිහත්වෙලා යම්තම් ඇතා මෙල්ල කරගෙන පැත්තකට ගියා.

මෙහෙම ආවත් අම්මා මතක් වෙනකොට මහණකම දාලා ගෙදර යන්න මට කල්පනාවක් ආවා. මං අම්මට මේ ගැන පණිවුඩ දෙකක් ඇරියා. අම්මා කීපවරක් කීවා මට මහණකම අත්හරින්ක එපා පුතේ කියලා. එහෙත් මට අම්මව ඕනෑම නිසා මා යන්ට කල්පනා කරන බව තේරුම් ගත් අම්මා කාර් එකක් හයර් කරගෙන තුඹුල්ලේ ඉඳලා දැන් මා හිටි පන්සලට එනවා මා ගෙනයන්න. ඒ අතර නිකවැරටිය ටවුන් එකේ අප්පච්චි ඉඳළා. කාරණා අහලා කියලා තියෙනවා. දැන් අපට ලැජ්ජයි, ගෙනිච්චොත් . ඔහේ හිටපුවාදෙන් පුරුදුවෙයි කියලා. අම්මා අප්පච්චිගෙ කතාවට ආයිත් ගෙදර ගියා.

පැවිද්දේ වටිනාකම ඇය මට තේරුම් කළා. මට එදාට පස්සෙ කවරදාකවත් මේ සිවුර අත්හරින්න හිතුණේ නෑ. පසු කාලයක අප්පච්චි නැතිවුණාම අම්මා ගෙදර තනිවුණා. අම්මා අප්පච්චි ඉන්නා කාලෙත් එක වතාවක් දසසිල් මාතාවක් වෙන්නත් කල්පනා කළ කෙනෙක්. අම්මා අක්කා ළඟ ටික දවසක් ඉන්නවා. ආයිත් මා බලන්න පන්සලට එනවා. එතුමිය අවුරුදු 85ක් ජීවත්වුණා. මා අම්මාව මා ළඟින් තියාගන්න පන්සලේ පැත්තක ඈ වෙනුවෙන් ගෙයක් හැදුවා. පහසුකම් දුන්නා. දනට පිනට සම්බන්ධ කරගත්තා. මා දවසෙ මුලින් ම තිබ්බෙ බුද්ධ පූජාව. ඊට පස්සෙ මාතෘ පූජාව. බුදුන් දේශනා කළ පරිදි උතුම් පින්කමක් මා කළා. ඒ තමයි පිණ්ඩපාතෙ ගිහින් ලබා ගත් දානෙ මවට පූජා කිරීම.

අම්මාගෙ අන්තිම කාලෙදි ඇයගෙ උදව්වට මා තවත් කාන්තාවක් ඒ නිවහනේ නවතා තිබ්බා. දවසක් මේ කාන්තාව ගෙදර ගිහින්. මං යනකොට අම්මට ශරීර කෘ ත්‍ය කරන්ඩ අවශ්‍ය වෙලා නැගිට යන්ඩ බැරිව කෑ ගහනවා. ඇය පිරිසුදුකම ඉහළින් ම සැලකූ කෙනෙක්. තරුණ කාලෙදිවත් කොයි තැනකින්වත් කෑවෙත් නැත්තේ ඒ තැන්වල නැවතුණෙත් නැත්තෙ ඒකයි. ඒත් මං එදා මගේ අම්මට කිව්වා අම්මෙ කමක් නෑ ඔයා ඇඳේම ඒ කටයුත්ත කරන්න. මං බලාගන්නම් කියලා. ඇඳේ යට රබර් ෂීට් දාලයි තිබුණෙ. අපහසුතාව වැඩිකමට අම්මා ඇඳේම කක්කා කළා. මා ඇයගේ ශරීරය හෝදලා අලුත් ඇඳුම් අන්දවලා පිරිසුදු කළා. ඒ අපිරිසුදු රෙදි මගේ අතින් හෝදලා පිරිසුදු කළා. මේ වැඩ හාමුදුරුනමක් තියා පිරිමියෙක්වත් කරන්නෙ නෑ කියලා හිතෙනවා. ඒත් මං අදත් ඒ කළ වැඩ ගැන සතුටු වෙනවා.

මගේ අම්මා මට සඳ මඬලක්. ඒ සඳමඬල සිසිලස නොඅඩුවම දුන්නා. අදත් මා පැවිදිකමේ සිසිලස ලබන්නේ ඒ සඳමඬලේ කාන්තිය නිසයි.