Print this Article


පූජාච පූජනීයානං හේනේගෙදර ශ්‍රී සිද්ධාර්ථ නා හිමි

හේනේගෙදර ශ්‍රී සිද්ධාර්ථ නා හිමි

මඟුලාගම රත්මුළුකන්දේ පුරාණ ගල්ලෙන් විහාරාධිපති ශාස්ත්‍රපති හේනේගෙදර සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ වෙත මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් පත් කරන්නට යෙදුන “සද්ධර්ම කීර්ති ශ්‍රී සීලරතන ගෞරව නාමය” සහිත කරුණෑගල මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ අක්තපත්‍රය ලබා ගැනීමේ පුණ්‍ය මහෝත්සවය සැප්තැම්බර් 06 වනදා පස්වරු 3 ට මහනුවර මල්වතු මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේදී පැවැත්වේ.

ඒ පිළිබඳ සාම්ප්‍රදායික උත්සව මහා සභාව මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ධුරන්දර සද්ධර්ම කීර්ති ශී‍්‍ර නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 12 වනදා පෙරවරු 9 ට රත්මුළුකන්දේ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේදී පැවැත්වේ. අනතුරුව ශතාධික සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

1953 ජූලි 17 වනදා බමුණු මුදියන්සේලාගේ මුදියන්සේ සහ රත්නායක මුදියන්සේලාගේ ඇලිස්නෝනා දම්පතීන්ට දාව පුත්රුවනක් ලෙස උපත ලැබීය. 1970 අපේ‍්‍රල් 23 වනදා මල්වතු මහා විහාරස්ථ මංගල උපෝෂථාගාරයේදී මඩුගල්ලේ ශී‍්‍ර සුමන ධම්මසිද්ධ්‍යභිධාන මහානායක මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා හෙණ්ඩියගල ශී‍්‍ර සීලවංශ සීලරතනාභිධාන සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ හා මහාචාර්ය මඩවල සීලවිමල හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්විය.

1973 මැයි 29 දින මහනුවර මල්වතු මහා විහාරස්ථ මංගල උපෝෂථාගාරයේදි අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා හෙණ්ඩියගල ශ්‍රී සීලරතනාභිධාන සත්කෝරළ මහදිශාවේ ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ, මහාචාර්ය මඩවල සීලවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හා කොළඹ දෙමටගොඩ පධානඝර මහා විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පරවාහැර ශ්‍රී පඤ්ඤානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අධිසිල් ලැබූහ.

හෙණ්ඩියගල ශී‍්‍ර සීලවංස සීලරතනාභිධාන නාහිමියන්ගේ උපදෙස් පරිදි පැවිද්දෙන් නොබෝ දිනකින්ම උසස් අධ්‍යාපනය සඳහා කොළඹ දෙමටගොඩ පධානඝර මහා විහාරස්ථ ධර්මදූතාශ්‍රම පිරිවෙනට ඇතුළු විය.

අ.පො.ස.උසස් පෙළ විෂය ධාරාවද හදාළ බැවින් අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රාචීන මධ්‍ය පරික්ෂණයෙන් මෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගයෙන්ද උසස් සාමාර්ථයක් ලබා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. ඉන් අනතුරුව 1974 කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ විශ්ව කීර්තියට පත් විද්වතෙකු වූ මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න ශූරින් ප්‍රමුඛ කීර්තිධර ආචාර්යවරුන් යටතේ ශික්ෂණය ලබමින් 1977 බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව දිනා ගත්හ. ඉන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි බෞද්ධ පශ්චාත් පර්යේෂණ ආයතනයට ඇතුළත් වු උන්වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ අතර සිද්ධාර්ථ හිමියන්ගේ ගමන් මග 1980 වෙනතකට යොමුවූයේ දෛවෝපගතවය. (සුප්‍රසිද්ධ ගුවන්විදුලි ධර්ම දේශකයකු, ග්‍රන්ථ රචකයකු, සමාජ ශෝධකයකු, දෙස් විදෙස්හි පතළ ධර්මදූතයකු ලෙසින් කීර්ති නාමයක් දිනා සිටී. උන්වහන්සේගේ සෙනෙහෙබර ගුරුපියාණන් වූ හෙන්ඩියගල ශී‍්‍ර සීලරතනාභිධාන නා හිමිපාණන් වහන්සේ දැඩි ලෙස ගිලන් වීමය.මෙම සිද්ධිය කන වැකුණ සැනින් සිද්ධාර්ථ හිමිපාණෝ සිය පෞද්ගලික අභිමතාර්ථයන් පසෙක ලා ගුරුපියාණන් වෙනුවෙන් කළ යුතු මෙහෙවර පමණක් හිස මත දරාගෙන රත්මුලුකන්දේ පන්සලට වැඩම කළහ.

හෙන්ඩියගල නා හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඇප උපස්ථානාදිය ඉතා උසස් මට්ටමින් ඉටුකළ අතර විහාරාංගයන් ප්‍රතිසංස්කරණය කිරීමටත්, සිද්ධාර්ථ හිමියෝ අප්‍රමාණ වෙහෙසක් දැරූහ. විහාරස්ථ ශ්‍රී සුනන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය භාරගත් උන්වහන්සේ දහම්පාසල් අධ්‍යාපනය පිළිබඳව දැක්වු කුශලතාවය හා මනා පඨුත්වය නිසාම නොබෝ කලකින් ප්‍රාදේශීය මහා සංඝරත්නයේ මෙන්ම දහම් පාසල් ගුරු භවතුන්ගේ අවධානය රත්මුලුකන්දේ ශී‍්‍ර සුනන්ද දහම් පාසල කෙරෙහි යොමු වන්නට විය. එමෙන්ම උන්වහන්සේ පඬුවස්නුවර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි තනතුරට පත්කර ගන්නා ලදී.

මෙසේ බාල පරපුරේ උන්නතිය වෙනුවෙන් අසමාන කාර්ය භාරයක් ඉටුකරන සිද්ධාර්ථ හිමිපාණෝ එහි ස්ථාවර භාවය තහවුරු කරනු පිණිස ශිෂ්‍යාධාර අරමුදල් ගණනාවක්ම ප්‍රතිෂ්්ඨාපනය කර ඇත.

1.හෙණ්ඩියගල ශ්‍රී සීලරතන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල
2. ජපන් ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව අරමුදල
03. දහම් පාසල් අරමුදල

නිදහස් ළදරු පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය

සිද්ධාර්ථ හිමිපාණන් 1991 වසරේදි ආරම්භ” කරන ලද රත්මුලුකන්ද නිදහස් ළදරු අධ්‍යාපන ආයතනය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය කිසිදු අයකිරීමකින් තොරව පවත්වාගෙන යනු ලබන අතර ළදරුවන් පනහක් පමණ රැකවරණය ලබන මෙම ආයතනයෙහි පාලිකාවන් සඳහා වැටුප් හා අනෙකුත් දීමනා දෙනු ලබන්නේ සීමා සහිත රත්මුලුකන්ද සණස සමිතිය මගිනි. සිද්ධාර්ථ හිමිපාණන් විසින් සිය පෞද්ගලික ධනය මෙන්ම පෞද්ගලික හිතවතුන්ගෙන් ලබාගත් ආධාර මුදල්ද යොදවා රුපියල් ලක්ෂ විස්සක් පමණ වැයකරමින් ළදරු පාසල සඳහා ඉදිකරන ලද සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත දෙමහල් ගොඩනැගිල්ල අනභිභවනීය නිර්මාණයකි.

කුලි/රත්මුලුකන්ද ප්‍රාථමික විදුහල

මුලින් සඳහන් කළ පරිදි ශිෂ්‍යාධාර අරමුදලක් ආරම්භ කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විධිමත්ව කරගෙන යාමට පහසුකම් සලසා ඇති අතර ප්‍රදේශවාසී පරිත්‍යාගශීලි හිතවතුන්ගේද සහයෝගය ලබාගෙන එහි භෞතික සම්පත් දියුණු කිරීමටද උන්වහන්සේ කටයුතු යොදා ඇත්තේ දරු පරපුර කෙරෙහි උන්වහන්සේ දක්වන දයා පරවශ කාරුණිකභාවය නිසාමය. ගෙවී ගිය වසර කිහිපය තුළ කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබා උන්වහන්සේගේ මුලිකත්වයෙන් ඉදිකොට සිසු අයිතියට පවරා දුන් රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා කමින් යුත් 40ය20 පළමු වසර පන්ති කාමර ගොඩනැගිල්ල, රුපියල් ලක්ෂ තුන හමාරක් ක් පමණ වටිනාකමින් යුතු අංග සම්පූර්ණ කියවීම් ශාලාව හා රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා දර්ශණීය බුදු මැදුර මීට නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකිය.

සි/ස රත්මුලුකන්ද සණස සමිතිය

1980 වර්ෂයේ විහාරස්ථානයට පැමිණ ගමත් පන්සලත් යා කරමින් දිගු කාලීන සැළසුමක් අනුව වැඩ කටයුතු කරගෙන යාමේ දී අප කථානායකයන් විසින් හඳුනා ගත් තවත් අභියෝගයක් වූයේ සමස්ත ගැමි සමාජයම වෙලා ගත් දරිද්‍රතාවයයි.

සිද්ධාර්ථ හිමියන්ගේ මුලික අවධානය යොමුවුයේ එම වකවානුවේ අතිශය ජනපි‍්‍රය ග්‍රාමීය මට්ටමේ සංවිධානයක් වූ සණස ව්‍යාපාරය දෙසටය. මෙහි මූලික ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කළ හිමිපාණෝ 1983 සණස නායක ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කරන්නට යෙදුන උත්කර්ෂවත් රැස්වීමකදී සී/ස රත්මුලුකන්ද සණස සමිතිය ආරම්භ කරන ලද්දේ ණය බරින් මිරිකී සිටි ග්‍රාමීය ජනතාව ඉන් මුදා ගැනීමේ පරමාධ්‍යාශයෙනි.

විහාරස්ථානය අංග සම්පූර්ණ දැකුම්කලු පුද බිමක් බවට ද පත්වෙයි මේ කාල පරිච්ඡේදය තුළ උන්වහන්සේ විසින් විහාරස්ථානයේ උන්නතිය සඳහා කරන ලද ඉදිකිරීම් රැසකි.

සත්කෝරලයේ විශ්මිත දැවැන්ත නිර්මාණය මුනිවර අසපුව

වසර දෙදහස් ගණනක ඉතිහාසයක් ඇති රත්මුලුකන්ද ගිරි ශිඛරය 2002 වසරේදි සැම ඉරු දිනකම ගමවාසී තරුණ වැඩිහිටි කාන්තා ළමා සියලු දෙනෙක්ම සහභාගි කරවා ගනිමින් අඩි 400 ක පමණ උස් වූ කන්ද මුදුනට යාහැකි මාර්ගයක් සකස් කිරීම සඳහා උන්වහන්සේ දැරූ ප්‍රයත්නය දෙස බොහෝ දෙනා විශ්මිතව බලා සිටියත් උපේක්ෂා සහගතව ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ උන්වහන්සේ කෙරෙහි පැවති භක්ති පූර්වක ගෞරවය නිසාය. වසරක් ඇතුළත කඳුමුදුනට වාහනයක් ගමන් කළ හැකි මට්ටමේ මාර්ගයක් සකස් කිරීමට උන්වහන්සේට හැකියාව ලැබිණ. උන්වහන්සේ මෙම මාර්ගය නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් තාර දමා දියුණුම මට්ටමේ මාවතක් බවට පත් කළේය. එම වනගත භූමිභාගය

1.අක්කර හයක පමණ ප්‍රමාණයක්, වත්මන් සංකීර්ණ ජීවන රටාව තුළ හෙම්බත්ව සිටන ජනතාවගේ විවේකය හා ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා වෙන්වුන සෙනසුනක් ලෙසද

2.ස්වභාවිකව පිහිටි අලංකාර අක්කර හතරක පමණ භූමියක් විශාල ජලාශයක් ලෙසද

3.කදුමුදුනෙහි වූ තවත් දැකුම්කලු අක්කර හතරක පමණ බිම් කොටසක් දෙස් විදෙස් බැතිමතුන්ගේ ගිමන් නිවාලන පුජනීය පෙදෙසක් ලෙසද

4.ඉතිරි වන අක්කර 64 ක ප්‍රමාණය ස්වාභාවික වනාන්තරයක් ලෙසද සැළසුම්කොට සංවර්ධනය කිරීම සඳහා යෙදු වැඩ පිළිවෙළ සාමාන්‍ය ජනතාවට සිතා ගැනීම පවා අසීරුය.

එම වැඩ පිළිවෙළ තුළ මේ වන විට සෙනසුනෙහි ඉදිකිරීම් කටයුතු සෑහෙන මට්ටමකින් නිමා කොට ඇති අතර එහි නේවාසික යෝගාවචර භික්ෂූන් කිහිප නමක් භාවානනුයෝගීව වැඩ වෙසෙති.

මෙම ව්‍යාපෘතියෙහි අතිශයින්ම වැදගත් කොටස කඳුමුදුනෙහි නිර්මාණය කරන ලද පූජනීය පරිශ්‍රයයි. ගරු හිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යය හා ආත්ම ශක්තිය නිසාම අවුරුදු දෙකක් පමණ වූ කෙටි කාලයක් තුළදි අඩි 400 ක් පමණ උස කඳුශිඛරයෙහි අඩි 60 ක් පමණ උස පිළිම වහන්සේ නමක් ඉදිකරමින් ලක්දිව මෙතෙක් කලක් ඉදි වූ සුවිසල් බුදුපිළිම සමඟ කියවෙන අවුකන, රැස්වෙහෙර, මාළිගාවිල, වෙහෙරහේන, වැව්රුකන්නල, කන්දේ විහාරය ආදි නම් අතරට රත්මුලුකන්ද නමද එක් කිරීමට උන්වහන්සේ සමත් වූහ.

විදේශීය ධර්මදූත මෙහෙවර

විදේශීය ධර්මදූතයකු වශයෙන් කෙටි කලක් හෝ සේවය කර සිය උගත් කමින් බෞද්ධ ලෝකයට කිසියම් මෙහෙවරක් කිරීම පිළිබඳව අවධානය යොමු කළ සිද්ධාර්ථ හිමිපාණන් දඹදිව සාංචි විහාරාධිපති ධුරය සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ නමක් තෝර ගැනීම සඳහා ලංකා මහාබෝධි සමාගම මගින් පළකරන ලද පුවත්පත් දැන්වීමක් දැක අයදුම්පතක් ඉදිරිපත් කළේය. අයදුම්කරුවන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටියද එවකට මහාබෝධි සමාගමේ සභාපති වු කෘෂිකර්ම අමාත්‍ය ගාමණි ජයසූරිය මැතිතුමන් ප්‍රමුඛ පරීක්ෂක මණ්ඩලය විසින් නියම සුදුස්සා ලෙස සිද්ධාර්ථ හිමියන් තොරා ගන්නා ලදී. නවමු අත්දැකීමක් වූ මෙම කාර්යය කැමැත්තෙන් භාරගත් අප යතිවරයන් වහන්සේ 1987 ජනවාරි 10 වැනි දින ඉන්දියාව බලා පිටත්ව ගියහ. සිද්ධාර්ථ හිමිපාණෝ ඉතා කෙටි කලක් තුළ සාංචියේ සියලු විහාරාංගයන් ප්‍රතිසංස්කරණය කරවා සාංචි චේතියගිරි මහා විහාරය පැරණි ශ්‍රී විභූතිය විදහාලන ස්ථානයක් බවටත්, සාංචි මහාබෝධි විශ්‍රාම ශාලාව ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ සුව පහසු නවාතැන් පලක් බවටත් පත් කළහ. ඉන් පසු උන්වහන්සේ කලක් අක්‍රියව පැවති වාර්ෂික අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනයද අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු කටයුතු සම්පාදනය කළහ.මෙසේ සාංචි චේතියගිරිය මහා විහාරාධිපති ධූරය දරමින් උන්වහන්සේ කළ ධර්මදූත සේවාව අනූපමේයය.

ඇමරිකාවෙ කැලිපෝර්නියා ප්‍රාන්තයෙහි තවත් ථෙරවාදි බෞද්ධ විහාරස්ථානයක් මේ යුගය වන විට ඇමරිකාවේ කැලිපෝර්නියා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වශයෙන් වසර පහළොවක පමණ කාලයක් සේවය කරමින් සිටි උන් වහන්සේගේ පැවිදි සහෝදර මඩවල සීලවිමල හිමිපාණන් ඇසුරු කළ ශී‍්‍ර ලාංකික බෞද්ධයන් විශාල පිරිසක් වු අතර මඩවල හාමුදුරුවන්ගේ නායකත්වය යටතේ එහි බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට ඔවුහු දැඩි උනන්දුවකින් කටයුතු කළහ. ඒ වෙනුවෙන් අරමුදල්ද සම්පාදනය කළහ.මෙම කාර්යයේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතාවයන් මැනවින් අවබෝධ කරගෙන සිටි මඩවල සීලවීමල හිමියන් පූර්ණ විශ්වාසය තැබුවේ සිය පැවිදි සහෝදර හේනේගෙදර සිද්ධාර්ථ හිමියන් මතය.

වහා ක්‍රියාත්මක වූ උන්වහන්සේ දායක පිරිසද සමඟ එක්වී යෝජිත විහාරස්ථානය ඉඳිකිරීම සඳහා සංවිධානයක් පිහිටුවා ගත් අතර එම යෝජිත විහාරස්ථානයේ විධායක අධ්‍යක්ෂ වශයෙන් පත්කර ගනු ලැබුවේ සිද්ධාර්ථ හාමුදුරුවන්ය. මඩවල සීලවිමල හිමියන් මගින් අපේ සිද්ධාර්ථ හාමුදුරුවන් වෙත කරන ලද ආරාධනාව පැහැර හැරීමට උන්වහන්සේට නොහැකි විය.

මේ නිසා මහාබෝධි සමාගමට දන්වා සාංචි විහාරාධිපති කමින් ඉල්ලා අස් වූ සිද්ධාර්ථ හිමියෝ 1990 වසරේදී ඇමරිකාව බලා වැඩම කළහ.