Print this Article


පන්සිල් රැකීම අමාරුද ?

පන්සිල් රැකීම අමාරුද ?

පන්සිල් රැකීම අපහසු බව කියමින් පන්සිල් සමාදන් කරන විට නිහඬව බලා සිටින අය ඔබට හමු වී ඇතුවාට සැක නැත. බොරු නොකියා ඉන්නේ කොහොමද? ඉඳහිට මදුරුවෙක් මරන්නේ නැතුව ඉන්නේ කොහොමද? වැනි ප්‍රශ්න නඟමින් ඒවා නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කිරීම අද සාමාන්‍ය දෙයක් වී තිබේ. එහෙත් පන්සිල් සමාදන් නොවූ පමණින් වැරැදි වැඩ නිවැරැදි වන්නේවත් අකුසල් සිදු නොවී සිටින්නේවත් නැති බව අප තේරුම් ගත යුතුය.

පංචශීලය බුදුරදුන් විසින් බෞද්ධයන්ට පනවන ලද නීතිමාලාවක් නොවන බව අවධාරණය කළ යුතුව පවතියි. බුදුවරු ජනතාවට නීති නොපනවති. ඒවා කඩ කරන්නවුනට බුදුරදුන් දෙන දඬුවමක් ද නැත. වෙනත් දෙවිකෙනකු හෝ යක්ෂයකු අපට දඬුවම් කරන්නේද නැත. පන්සිල් රැකීම කුසලයකි. සමාදන්ව සිටියත් නැතත් එහි නිර්දිෂ්ට සදාචාර ප්‍රතිපදාවට පටහැනි පාප ක්‍රියාවන්හි නිරතවීම හේතුවෙන් අකුසල් සිදුවෙයි. බුදුරදුන් විසින් කර ඇත්තේ පංචශීල ප්‍රතිපදාවෙහි අගය පැහැදිලි කර දී ඒ අනුව ජීවත්වීමේ පෞද්ගලික සහ සාමාජික අර්ථ සිද්ධිය පැහැදිලි කරදීමය. ඒ පිළිබඳව නුවණින් සිතා මතා තමාගේත් සමාජයේත් අභිවෘද්ධිය අරබයා සිය කැමැත්තෙන් සමාදන් විය යුතු පිළිවෙතකි, පංචශීලය.

පංචශීලය හුදෙක් පරලොව යහපත ගැන පමණක් සිතා අනුදත් පිළිවෙතක් ද නොවේ. එය දෙලොව යහපතම අරමුණු කරගත්තකි. “යම් කිසි ගිහියෙක් මේ පංචශීලය අනුව ස්වකීය ජීවිතය හැඩගස්වා ගන්නේ නම් ඔහුට තම ගෘහස්ථ සමාජ ජීවිතය ආත්මවිශ්වාසයෙන් යුතුව ගත කළ හැකිය. එමෙන්ම ඔහු මරණින් මතු ඉතා පහසුවෙන් සුගතියෙහි උපදිනු ඇත” යනුවෙන් බුදුරදුන් වදාරා ඇත්තේ එහෙයිනි. සදාචාර සම්පන්න පුද්ගලයකුට සමාජය ඉදිරියේ ගෞරවාන්විතව ඉදිරිපත්වීමේ හැකියාව ලැබේ’ . එය ඔහුගේ නිර්මල චරිත ශක්තිය හේතුවෙන් ලැබෙන අභිමානවත් ආත්ම විශ්වාසයකි. එමෙන්ම ඔහුට පරලෝක ජීවිතය පිළිබඳව ද බියක් හෝ විමතියක් ඇති කර ගන්නට හේතුවක් නැත.

පංචශීලය බෞද්ධ ගෘහස්ථයන්ගේ සදාචාරය ලෙස හඳුන්වන විට එය බැලූ බැල්මට හුදෙක් විරමණ හෙවත් වැළකීම් මාලාවක් හෙයින් එහි ඇති ප්‍රායෝගික වටිනාකම කුමක්දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. පන්සිල් මඟින් අප වළකන්නේ මිනිස්කමට නොගැළපෙන නොහොබිනා පැවතුම්වලින් බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය. නිදසුනක් ලෙස පර පණ නැසීම ගනිමු. එය අපේ ස්වභාවික මිනිස් පැවැත්ම නොවේ. එසේ කිරීමෙන් අපි මිනිස්කමට නොහොබින නින්දනීය හැසිරීමක යෙදෙමු. එය අකුසලයක් (අදක්ෂකමක්, පරාජයක්) ලෙස හඳුන්වන්නේ එහෙයිනි. උතුම් මිනිස් ගුණය වූ කිසිවකු නොනසා කාරුණිකව මෙත් සිතින් කල් ගෙවීම ධනාත්මක සොඳුරු පැවැත්මකි. භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කර ඇති පරිදි ප්‍රාණඝාතයෙන් වළකින පුද්ගලයා අපිරිමිත ජීවි ප්‍රජාවක් වෙත ලබා දෙන්නේ බියෙන් සැකෙන් තොරව වධ හිංසාවන්ගෙන් තොරව නිර්භයව ජීවත්වීමේ නිදහසයි. අභය දානයයි. එසේම අනුනට අභයදීම මඟින් හේ තමාටද බියෙන් සැකෙන් වධ හිංසාවෙන් තොරව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා ගනියි. ඒ අනුව පෙනී යන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම සමඟ අප හුරු පුරුදු කරගන්නා අහිංසාව ධනාත්මක ගුණාංගයක් බවයි. එහි ශක්තිය මනාව දැන සිටි මහත්මා ගාන්ධි අහිංසාවෙන්ම භාරතයට නිදහසද දිනාගත්තේය. එහෙයින් බැලූ බැල්මට විරතියක් පමණකැයි පෙනී යතත් ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධනාත්මක කුසලයකි. අනිකුත් සිල්ද එසේමය. එහෙයින් පංචශීලය මනුෂ්‍යත්වයේ අත්‍යවශ්‍ය පැවතුම් වෙත අප යොමු කරවන ධනාත්මක ප්‍රතිපදාවකි.අප සතු ස්වාභාවික මනුෂ්‍යත්වය රැක ගැනීමේ උදාර පිළිවෙතකි. දුසිරිතෙන් වැළකීම සුසිරිතෙහි ආරම්භය බව පැහැදිලි යථාර්ථයකි.

පංචශීලය සදාචාරයෙහි ආරම්භය පමණක් නොව මානව අයිතිය රැකගැනීමේ ඒකායන මාර්ගයද වෙයි. එමඟින් මිනිසාගේ මූලික අයිතිවාසිකම් වන ජීවිතාරක්ෂාව, දේපළ අයිතිය, අසම්බාධිත විවාහයක් පිළිබඳ සහ ලිංගික ආක්‍රමණයන්ගෙන් තොරව ජීවත් වීමේ අයිතිය, රැවටීම් සහ වංචා ප්‍රයෝගයනට හසුනොවෙයි. ජීවත්වීමේ අයිතිය හා කෘත්‍රිම මාර්ගයන්ගෙන් මනස විකෘති කර ගත්තවුන්ගෙන් බේරී ජීවත්වීමේ අයිතිය මානව ප්‍රජාවට ලබා දෙයි. අනුන් වෙත ඒ අයිතීන් ලබා දෙන බව – ඒවා බිඳ වැටෙන ක්‍රියාවන්ගෙන් අප වැළකෙන බව – අපි අනුන්ට පොරොන්දු වෙමු. අපගේ එම මානුෂික අයිතීන් උල්ලංඝනය නොකරන බව ඔවුහු ද පන්සිල් ගැනීමේදී අපට සහතික කරති. මෙසේ සමස්ත ප්‍රජාව පන්සිල් රකින විට සියල්ලන්ගේම මූලික අයිතිවාසිකම් සුරැකෙන ප්‍රසන්න සමාජයක් නිර්මාණය නොවන්නේද? අප ජීවත්වන්නට කැමැති එවන් නිරුපද්‍රිත සමාජයක මිස බියෙන් සැකෙන් පෙළෙමින් ලිංගික ආක්‍රමණිකයන්ගේ දූෂණයන්ට ගොදුරුවෙමින් වංචනිකයන්ට රැවටෙමින් සම්බාධ බහුල සමාජයක නොවේ’.

විරති පහක් ලෙස බැලූ බැල්මට පෙනී ගියද පන්සිල් රැකීම මඟින් බොහෝ පි‍්‍රයංකර පැවතුම් රැසක් වර්ධනය වන ආකාරය බුදුවදන් තුළින් මනාව පැහැදිලි වෙයි.

1. ප්‍රාණඝාතයෙන් වළකින්නා ප්‍රාණඝාතය අතහැර අවි ආයුධ පරිහරණයෙන් වැළකී පරපණ නැසීමට ලජ්ජාවෙමින් දයාව ප්‍රගුණ කරමින් සියලු සත්වයන්ගේ හිතානුකම්පීව වාසය කරයි.

2. අදින්නාදානයෙන් වළකින්නා සොරකම් කිරීම පිළිකෙවු’කරමින් දුන් දේ පමණක් ගනියි. දුන් දෙයින් පමණක් සතුටු වෙයි. සොර සිත් නැතිව පිවිතුරු සිතින් කල් යවයි.

3. කාමමිථ්‍යාචාරයෙන් වළකින්නා කාමයේ වරදවා හැසිරීමෙන් තොරව දෙමාපියන්ගේ,සොහොයුරන්ගේ , සොහොයුරියන්ගේ, ඥාතින්ගේ හෝ ස්වාමිපුරුෂයාගේ හෝ ස්වකීය දැහැමි පිළිවෙතෙහි රැකවරණය යටතේ ජීවත්වන නැතහොත් (තමන් අයත් කර ගන්නට නොසිතන්නැයි හඟවන පිණිස) මාලයක් පැළඳ සිටින අයකු සමඟ කම් සුව විඳින්න නොසිතයි. සමාජය සහ නීතිය විසින් අනුමත සීමාවන් යටතේ පමණක් කම්සුව විඳියි.

4. මුසාවාදයෙන් වළකින තැනැත්තා බොරුකීමෙන් වෙන්ව ඇත්ත කතා කරයි. විශ්වසනීය වෙයි. ස්ථාවර වෙයි. මෘදු පේ‍්‍රමනීය, පි‍්‍රයංකර සහ විනීත හෘදයංගම කතා ඇත්තෝ වෙයි. කිසිවකු නොරවටයි.

5. සුරාපානයෙන් වළකින්නා සුරාමේරය අතහැර සිහි නුවණීන් සදාචාර සම්පන්නව ජීවත්වෙමින් තම ධනය, සෞඛ්‍යය මෙන්ම පවුල ද රැක ගනියි.

මෙයින් පෙනී යන්නේ පංචශීලය හුදෙක් වැළකීම් මාත්‍රයෙන් නොනැවතී සදාචාර ගුණාංග රැසක් ප්‍රගුණ කිරීම අරමුණූ කර ගන්නා ශික්ෂණයක් බවයි. පෙර දැක්වු ධනාත්මක ව්‍යාඛ්‍යානය වෙතින් අගනා සාරධර්ම රාශියක්ම ගම්‍යමාන වෙයි.

ප්‍රථම ශික්ෂාපදය තුළින් අහිංසාව, විශ්ව මෛත්‍රිය, දයානුකම්පාව, අභය දානය

දෙවන ශික්ෂාපදය තුළින් යථාලාභ සන්තෝෂය, අල්පේච්ඡතාව, මුදිතාව,අවංක බව, පරාර්ථකාමය, පරිත්‍යාගශීලය, අනුන්ගේ අයිතිය ගරු කිරීම,අන්‍යෝන්‍ය විශ්වාසය

තෙවන ශික්ෂාපදය තුළින් ඉන්ද්‍රිය දමනය, සන්තුෂ්ටිය ,ආත්ම ගෞරවය, විනීතාචාරය, මෛත්‍රිය , උපේක්ෂාව, සුහද මානව සබඳතා වර්ධනය සිවුවන ශික්ෂාපදය තුළින් අවංක බව, සත්‍යවාදිත්වය,අර්ථවත් සංවාදය සහ සන්නිවේදනය, අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසයපස්වන ශික්ෂාපදය තුළින් යහපත් සුහද මානව සබඳතා , සති සම්පජඤ්ඤය, සිහි නුවණ , ආත්ම ගෞරවය, මානසික සංවරය වැනි සුන්දර සමාජ ධර්ම සමූහයක් සාධනය වන බව අවධාරණය කළ හැකිය.

විසිඑක් වන සියවසේ ජීවත්වන අප ජීවත්වන්නේ ජාති, ගෝත්‍ර ,ආගම් සහ විවිධ ජන කණ්ඩායම් එකිනෙකා මරා ගන්නා යුද කෝලාහල බහුල ලෝකයකය. සොරකම් වංචා මෙන් ම ස්ත්‍රී දූෂණ ඉහවහා ගොස්ය. වංචා දූෂණ හා රැවටිලි අනන්තය. ඇල් වතුරට වඩා සුරාපානය අලෙවි වෙයි. කුඩා දරුවනට පවා බලහත්කාරයෙන් මෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය හුරු කරවන පරිසරයකි. මෙහිදී අපට කළ හැකි දෙයක් තිබේදැයි බොහෝ දෙන විමතියට පත්ව සිටිති. විවේචනය කිරීම, හෙළාදැකීම, දුක්වීම පමණක් ප්‍රමාණවත් නැත. මෙයින් ගොඩ ඒම සඳහා අපේ කැපවීමක් අවශ්‍යය. අපට පෞද්ගලිකව කළ හැකි දෙය ඇරැඹිය යුත්තේ පංචශීලය ආරක්ෂා කිරීමට කැප වීම තුළිනි. එය ප්‍රථම ශික්ෂාපදයෙන්ම ආරම්භ කළ හැකිය. හිංසාව වෙනුවෙන් අපගේ සක්‍රිය සහභාගිත්වය එයින් දක්වමින් මානව සංහතියේ මෙන්ම සකල ජීව වර්ගයාගේම යහපත සඳහා අපගේ ප්‍රදානය එමඟින් ප්‍රකාශ කළ හැකිය. පංචශීලයෙහි සියලුම ශික්ෂා පෞද්ගලික ගුණදම් වගාව කෙරෙහි සහ සමාජ සදාචාරය විෂයෙහි මෙන්ම මානව අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහාත් අත්‍යන්තෝපකාරි බව මෙසේ පැහැදිලි වුවද තමන්ට මේ සියලු ශික්ෂාවන්හි හික්මෙන්නට බැරි බව කියා සිටින්නෝද හමුවෙත්. එවැන්නන් සිතට ගත යුත්තේ බුදුසමයෙහි අනුපූර්ව ශීක්ෂණය වශයෙන් ක්‍රමානුකූලව ටිකෙන් ටික හෝ තම උපරිම ශක්තියෙන් සදාචාර මාර්ගයට අනුගතවීම ප්‍රශංසා කෙරෙන බවයි. දිය බින්දුව බැගින් එක්වීමෙන් වුවද කලය පුරවා ගත හැකිය. (මෙය බුදුරදුන්ගේම උපමාවකි) එහෙයින් ශක්ති පමණින් උත්සාහ දැරුව මනාය. සෞත්‍රානතික සම්ප්‍රදායේ ධර්ම ග්‍රන්ථවල සිල් පද දෙක තුනක් හෝ රැකගන්නා ගිහියන් ‘අපරිපූර්ණ උපාසක” නාමයෙන් හඳුන්වා ඇත.

පංචශීලය පිළිබඳව පොදුවේ ඇගයුමක් කරමින් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ පන්සිල් රැකීම අන්‍යෝන්‍ය ප්‍රියතාව (පියකරණෝ) ගෞරවයට (ගරුකරණෝ) සහයෝගය (සංගහාය) සම්මුතිය (අවිවාදාය) මිත්‍රත්වය (සාමග්ගිය) සහ එකමුතුබව (ඒකීභාවාය) පිණිස හේතුවන බවයි. පන්සිල් රැකීම අප සමාජයට පිරිනමන අභය දානයක් බවද එයින් ලබන්නාට පමණක් නොව දෙන්නාටද මහත් ආනිසංසයක් ලැබෙන බවද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. ඒ වූකලී සියලු සත්වයන්ම බියෙන් වෛරයෙන්, ද්වේෂයෙන් මුදා ලන අභය දීමකි. එය දෙන්නා තමන්ටද අභය ලබා ගනියි. තමන් රැකීමෙන් අනුන් රැකීමත්, අනුන් රැකීමෙන් තමන් රැකීමත් යන දෙකරුණම පංචශීලය මඟින් සාධනය වෙයි. (අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති , පරං රක්ඛන්තො අත්තානං රක්ඛති) මෙයින් අපට පැහැදිලි වන්නේ බෞද්ධ සදාචාර සංකල්පයන් අතර මූලික වැදගත් කමක් දරන ගෘහස්ථ පංචශීල ප්‍රතිපදාව පෞද්ගලික ආධ්‍යාත්මික සමෘද්ධිය පමණක් නොව, සමාජගත සාමය, සමෘද්ධිය සහ ප්‍රසන්න සාමූහික සබඳතා සඳහා උත්කෘෂ්ට සාධකයක් වන බවයි. එහෙයින් අමාරුවෙන් වුවද පන්සිල් හැකි තරමින් රැකීම අපේම යහපත පිණිස පවතින පිළිවෙතක් බව තේරුම් ගත යුතු වෙයි.