Print this Article


ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරදීම

ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරදීම

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ අටලෝ දහම ඕනෑම සත්ත්වයකුට පොදු ධර්මතාවක් බවයි.

අටලෝ දහම අපට අවශ්‍ය විදිහට සකසාගත නොහැකිය. අප අටලෝ දහමට අනුගත විය යුතුය. මෙය බුද්ධ දේශනාව මෙන්ම ලෝකයේ පවත්නා අප වටහාගත යුතු සත්‍ය තත්ත්වයයි.

අප රට වැසියන්ද මේ දහමට අනුගත වී සිටි නමුත් මෑත යුගයේ අප බෙහෙවින්ම ඊට අනුගත නොවී තම ජයග්‍රහණය, තම යසස, කීර්තිය ගැන පමණක් අවධානය යොමු කරන බවක් දක්නට ලැබුණි. එය එතරම් හොඳ ප්‍රවණතාවක් නොවන්නේ අපට ජයග්‍රහණය කළ නොහැකි අවස්ථාවකදී අප කටයුතු කළ යුත්තේ කෙසේද ? යන්න ගැන අපට අවබෝධයක් ලබා ගත නොහැකිවීම නිසයි.

අපේ රටේ මෑත කාලීනව ‘යහපාලනය’ නම් ආකර්ෂණීය මෙන් ඉතා වැදගත් සංකල්පයක් බිහිවෙමින් පවතී. එය මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිපුරම අසන්නට ලැබෙන වචනයක්වී ඇත.

අපේ රටේ බහුතර ජනතාවක් යහපාලනයක් බලාපොරෙත්තු වේ. එමෙන්ම බහුතර ජනතාවක් යහපාලන ප්‍රතිපත්තීන් මෙන්ම ඒ හා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සැලසුම් ද පිළිගෙන ඇත. මෙය අපට තවත් ආකාරයකට පෙන්වා දිය හැකිය. ඒ එක් පිරිසක් අබිබවා තවත් පිරිසක් නැඟී සිටීමකි. කණ්ඩායම් දෙකක් තරග කිරීමකදී කණ්ඩායම් දෙකටම ජයගත නොහැකිය. එහෙත් කණ්ඩායම් දෙකටම ජයග්‍රහණයෙන් පසුව සමගිව සාමකාමීව සිටීමට හැකියාව තිබේ. පසුගිය මහ මැතිවරණයත් සමඟ කාගෙත් අවධානය යොමුව තිබෙන්නේ පාලන බලය හිමිකරගත් කණ්ඩායම වෙතයි. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදු වී ඇත්තේ තමන් විසින් ජයග්‍රහණයක් සිදු කර ගැනීමක් නොව, ජනතාව විසින් එම කණ්ඩායමට වගකීමක් පවරා දෙනු ලැබීමයි.

එම නිසා පළමුව එම ජයග්‍රහණය කෙරෙහි නිහතමානීව මෙන්ම ප්‍රත්‍යාවේක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව තම වගකීම් මොනවාද ? යන්න ගැන මනා අවබෝධයෙන් කටයුතු කරනවා විනා තමන් ජනතාවගේ නායකත්වයට පත් වුණාය යන්න හෝ තමන් හට අතිමහත් රාජ්‍ය බලයක් ලැබුණා යන්න හෝ යන සිතිවිල්ලක් ඇතිවුවහොත් එය ‘ආත්ම වංචනික’ සිතිවිල්ලක පමණි.

ජයග්‍රහණය කළ පිරිස් නැත්නම් පාලනය හිමිකරගත් පිරිස් විසින් පළමුව ඇති කරගත යුතු ධර්මානුකූල පියවර වන්නේ අත්තුක්කංසනයෙන් හා පරවම්භවනයෙන් තොරව ක්‍රියාකිරීමයි. අත්තුක්කංසනය නම් තමා උතුම් තමා ශ්‍රේෂ්ඨයි තමන් ඉතාම බලවත් තමන් වීරයෙක්, අනිත් සියලු දෙනාම තමන්ට යටත්බව සිතමින් තමන්ට ඕනෑම දෙයක් කළහැකි යැයි යනාදී ලෙස තමා පිළිබඳව උඩඟු වී ආඩම්බරකමින් අධිමාන පූර්වකව සිතිවිලි උපදවා ගැනීමයි.

එසේම “පරවම්භනය” යනු පරාජිත යැයි සැලකෙන පිරිස පිළිබඳව නින්දා සහගතව කතා කිරීමයි. ක්‍රියා කිරීමයි. ඔවුන්ට අපහාස උපහාස කතාකිරීමයි.

මේ සිතිවිලි දෙකම ඉතාම ව්‍යසනකාරි භයානක ප්‍රතිඵල ලබා දෙන බව වටහා ගත යුතුය. ඒ සඳහා අතීතයේ සිටම ඕනෑ තරම් උදාහරණ දක්නට තිබේ.

ධම්මපදයේ සඳහන් මේ ගාථාව දෙස බලන්න.

ජයං වෙරං පසවති
දුක්ඛං සෙති පරාජිතෝ
උපසන්නො සුඛං සෙති
හිත්වා ජය පරා ජයං

ජයග්‍රාහකයා සතුරන්,ඇතිකරගන්නා බවත් පරාජිතයෝ දුක්වන බවත් ශාන්ත අය ජය පරාජ දෙකම නැතිව සැපයෙන් දිවිගෙවන බවත් මෙහි දැක්වෙයි. දිනන්නා වෛරය උපදවා ගනියි. තව තවත් එය තහවුරුකර ගනිමින් ඒ සඳහා උපාය මාර්ග යොදයි. වචන භාවිතා කරයි. මේ සියල්ලෙන්ම සිදුවන්නේ තමා තුළ වඩ වඩාත් වෛරය වර්ධනය වීම මිස වෙනසක් නොවීමයි. මෙය නාමික ජයක් උද්දාමයක් මිස නියම ජයක් නොවේ. නියම ජයග්‍රහණය වන්නේ පෙර සඳහන් කළාක් මෙන් තමන්ගේ වගකීම් හා යුතුකම් මනාව අවබෝධ කරගෙන ඒවා ඉටු කිරීමයි.

මේ අතර පරාජයට පත්වූ කණ්ඩායම් හෝ තැනැත්තා තුළද පළමුව හටගන්නේ දුක්ඛදායක සිතිවිලිය. අනේ මගේ උත්සාහය ව්‍යවර්ථ වුණා නේද? සිතමින් තමන්ට වූ පරාජය මෙන්ම තමන් වැය කළ ධනය ශ්‍රමය ඇතුළු සම්පත් අපතේයාම ගැන ඔහු දුක්වෙයි. ජනතාව අතර තමා අපහාසයට යොමු වූවා යැයි සිතමින් දුක්වෙයි. ඒ හැමටම වඩා ජයග්‍රහණය, අයගේ උද්‍යෝගය, පෙළපාලි, පෝස්ටර් ආදිය කීමෙන් මෙන්ම උසුළු විසිළු අපාහාසාත්මක කතා හදවතට වදින පහරවල් සේ සලකා තව තවත් දුක්වෙයි. ඒ මඟින් පුද්ගල ආධ්‍යාත්මය පිරිහී යන අතර ඒ තත්ත්වය ශාරීරිකවද බලපෑම නිසා රෝගාබාධ තත්ත්වයන්ද ඇතිවේ. මානසික ආතතිය නිසා එදිනෙදා තමන්ගේ සියලු කටයුතු පසෙකට ඇද වැටේ. මෙයින් සිදුවන්නේ පරාජිත මානසිකත්වය තුළම හිඳ ඔහු සියලු කටයුතුවලින් පරාජය වීමයි. එය ලෙහෙසියෙන් ගොඩ ආ හැකි සංකල්පයක් නොවේ.

මේ වැරැදි ආකල්පයන්ගෙන් යුක්ත වන විට සමස්ත සමාජයම එම බලපෑමට යටත් වේ.

එම නිසා ජයග්‍රහණය කළ කණ්ඩායමේ වගකීම මෙහිලා ඉතාම බරපතළය. නව පදවි තානාන්තර පිළිබඳව උද්දාමයෙන් නොව උපේක්ෂාසහගත අයුරින් ක්‍රියා කිරීම පිළිබඳව ඔවුන් විසින් කළ යුත්තකි. එහිලා නිහතමානී ගුණය අවශ්‍ය වෙයි.

රාජ්‍ය පාලනය යන සංකල්පයට පවා ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මිනිස් සමාජය තුළ ප්‍රභාවයට පත්වූයේ ජනතා සේවාවක් වශයෙනි. මුල් යුගයේ පාලකයා හඳුන්වනු ලැබුවේ ‘ජනදාස’ හෙවත් මහජනතාවගේ දාසයා හෝ සේවකයා වශයෙනි.

ඒ අනුව ජනතාවගෙන් ලැබුණු වරම හෙවත් වරප්‍රසාදය අයථා ලෙස හඳුනා ගැනීම නිසා පසුකාලීනව භූසුර (පොළොවේ වසන දෙවියා) භූපති (භූමිය අධිපතියා) නරපති (මිනිසුන්ගේ අධිපතියා) යනාදී වශයෙන් විකෘති වූ අර්ථ සහගත වැරැදි ව්‍යවහාර පහළවන්නට විය.

එම නිසා රාජ්‍ය පාලන ක්‍රමයෙන් මූලික අර්ථය තේරුම් ගැනීම මඟින් අභිනව නායකයින් තම තමන්ගේ චරිතවල නිහතමානි ගුණය පහළ කරගත යුතුවේ. කරණීය මෙත්ත සූත්‍රයේ එන මූලික ගුණාංග තම චරිතවලට ආරෝපණය කර ගැනීම අභිනව පාලක පිරිසේද දියුණුව පිණිසම හේතුවන බව මෙහිලා අවධාරණය කළ යුතුවේ. කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන ‘සක්කෝ’ යන්නෙන් දක්ෂතාව ප්‍රගුණ කළ යුතුවේ. ඒ දක්ෂතාව යනු මහජන දේපළ අයථා පරිහරණය හෝ තම බලය අයථා ලෙස යෙදවීමට යොමුවන දක්ෂතාව නොවේ.

හොඳ නරක තේරුම් ගැනීමට, තම වගකීම් භාරය තේරුම් ගැනීමට, ජනතාවගේ සැබෑ අවශ්‍යතා මොනවාද යන්න තේරුම් ගැනීමට ඇතිකර ගන්නා දක්ෂතාව ‘සක්කෝ’ යන දහම් පදයෙන් තේරුම් ගත යුතුය. එමෙන්ම එහි සඳහන් ඍජු ගුණයද අත්‍යවශ්‍ය වේ. තමාට වැටහෙන පරිදි අයුක්තියට එරෙහිව අවනීතියට හා අසාධාරණයට එරෙහිව ධර්මය වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව තිබිය යුතුවේ.

ධර්මයට අනුව කටයුතු කිරීමේදී පක්ෂ, පාට හෝ සලකුණු නෑදෑ හිතවත්කම අදාළ නොවේ.

තමන්ට ලැබෙන අයථා ලාභ වරදාන, කීර්ති ප්‍රශංසා ආදිය ගැන නොව අසරණ ජනතාව තමා වෙත තැබූ විශ්වාසයට අනුව ජනතාව වෙනුවෙන් පෙනීසිටීමේ හැකියාව හෙවත් ඍජු භාවය පැහැදිලිව වටහා ගත යුතුය. මුදු සහ අනතමානී දහම් ගුණයන් කෙරෙහිද මෙහිලා අප අවධානය යොමු කළ යුතුවේ.

පාලකයාගේ ගුණාංගයන් මොනවාද යන්න අවබෝධ කර ගැනීම බෙහෙවින් වැදගත්වේ. තම බලය සිතට ගෙන මහජනයා ඉදිරියේ නොහික්මුණු අයකු ලෙස හැසිරීම කිසිසේත් නොකළ යුතුය. අනුන්ට හිංසාකාරි ලෙසින් ක්‍රියා කිරීම පිටුදැකිය යුතුය.

නිහතමානී නොවුණහොත් තමාට ඉදිරියේ අත්වන ඉරණම ගැන ආගමානුකූලව තමන් අවබෝධ කර ගත යුතු ය. තමන් නිහතමානී නොවුණහොත් ඉදිරියේදී ජනතාව තමන් ප්‍රතික්ෂේප කරනු ලබන බව අවබෝධ කර ගත යුතුවේ.

ධර්මය පිළිසරණ කර ගනිමින් ධර්මයට මුල් තැන දෙමින් කටයුතු කරනු ලබන කිසිදු පාලකයෙකුට ජනතා නියොජිතයෙකුට වරදින්නේ නැත. එසේ නොවන්නා ක්‍රමයෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්වනු ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සතර සංග්‍රහ වස්තු දස රාජ ධර්ම මුල් කර ගන්නේ නම් ඒ පාලකයාට කිසිදිනක අගතියක් සිදු නොවේ. එම රටට ජනතාවට අත්වන්නේ සෙතක්මය.

කිසිවිටක අපල උපද්‍රව ඇති නොවේ. ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කර දීම ඒ අයුරින්ම සිදුවන බව අවබෝධ කර ගැනීම මෙහිලා වැදගත් වේ.

- තාරක වික්‍රමසේකර