Print this Article


මස්මාංශ නොකෑ මට අම්මා වෙනම හැළි වළංවල ඉව්වා

මස්මාංශ නොකෑ මට අම්මා වෙනම හැළි වළංවල ඉව්වා

ඇය කිරි අම්මාත් සමඟ තමන් උගත් බණමඩුවේ දී දැන ගත් බොහෝ දේ දරුවනට කියා දුන්නා.අපේ ගෙවල් බිම ගොම පිරියම් කළ පුංචි ගෙවල්. මහවැස්ස පවතින කාලවල අනිවාර්යයෙන්ම අපේ ගමටත් ගංවතුර එනවා. ඒ එන විට වතුර නඟින වේලාව බලලා අපව කර තියාගෙන මගේ දුප්පත් අම්මා දුවන හැටි මට තවමත් මතකයි. ඒ මිනිස්සු වැහිවතුර, ගංවතුර වගේම නියඟයෙන් පවා බැට කෑවා

පැවිදි වූ දිනයේම තම අම්මාට, තාත්තාට බණ පදයක් කියන්නට ලැබීම මිනිස් ආත්මයක් ලැබීම තරම් මැ වූ දුලබ සිදුවීමකි. අද අපේ කථානායක රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක මකුලෑවේ විමල නාහිමිපාණන් ඒ දුලබ භාග්‍යය ලැබූ සංඝ පීතෘනමකි. එහෙත් මට නම් සිතෙන්නේ සැබෑ මව්වරුන් පිළිබඳ පිරිසිඳ බණ පදයක් කියන්නට බුදුරඳුනට හැර වෙනත් කිසිවකුටත් බැරිය. ඒ අම්මාවරුන්ගේ ගුණ සුවඳ මහා මේරුවටත් වැඩිය උස නිසාය. සප්ත මහා සාගරයටත් වැඩි කරුණා කඳක් ඒ පුංචි ශරීරය තුළ ගැවසෙන නිසාය. කෙසේවතුදු මකුළෑවේ විමලනා හිමියන්ගේ මව පිළිබද මතකය අපට තවත්ම බොහෝ දේ මතුකැර දෙනු ඇත. මේ හිමියන් දැන් මා අබිමුවය.

අපේ මෑණියන්ගේ ගම මකූලෑව. පියාගේ ගම දිවුල්ගනේ. අම්මාගේ ගමට ඉතා කිට්ටු දිවුල්ගනේ සිට ඇවිත් අපේ තාත්තා අම්මාගේ ගමේ බින්න බැහැලා තියෙනවා. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ ඉතාම සුන්දර ගමක් මකුලෑව. කෘෂිකාර්මික පරිසරයක් තිබෙන වවා ගත් බත බුලත බෙදා හදාගෙන කන නිරහංකාර ගැමියන්ගෙන් පිරුණු මකුලෑව වන්නි හත්පත්තුවටම ආඩම්රබයක් වුණා. ඉතාම පිටිසර ගම්මානයක් වගේම කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ කෙළවරක මේ ගම පිහිටියේ. අනෙක් පැත්තෙන් එය මායිම් වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි.

එදා මෙහි හිටියේ හේන් වගාවෙන් ගොවිතැනින් ජීවත් වූ පිරිසක්. මෑත කාලයේ තමයි රැකියාවට කියලා මේ ගමේ පිරිස ගමෙන් පිටවී යන්න පටන් ගත්තේ. අවුරුදු 50 කට එහා කාලයේදි මකුලෑව ගම්මානයට යාබදව කුඹුරුයායවල් වගේම හොඳට වැවුණ මහ කැලෑවල් තිබුණා. එදා මිනිස්සු හේන් කෙටුවේ අද වගේ ගස් ටික කපලා විකුණාගන්න අදහසින් නොවෙයි. ජීවත්වීම සඳහා ධාන්‍ය ටිකක් වවා ගන්නයි.

නිතලව කියන ගම්මානය තියෙන්නේ අපේ ගමට යාබදවයි. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ පස්වෙනි සඤ්ඤා ලේකම් පදවිය හොබවන ලද රාජකීය පණ්ඩිත නිතලව සිරි ඤාණිස්සර ස්වාමින් වහන්සේ ජන්ම ලාබය ලැබුවේ ඒ ගමේ. උන්වහන්සේ නිසා ඒ ගම ප්‍රසිද්ධියට පත්වුණා. මගේ පියතුමා ගමේ මහ ගොවියෙක්. නම හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ. මෑණියන් නම්වර ලද්දේ ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ නමින්.

මගේ අම්මා පුදුමාකාර දයාර්ද මාතාවක්.අපේ පවුලේ පිරිමි හය දෙනෙක් හා ගැහැනු පස් දෙනෙක් හිටියා. මේ දරුවන් 11 දෙනා අතරින් මා දෙවැනියා. මගේ උපත සිදුවෙලා තියෙන්නෙ 1948 අගෝස්තු 25 වැනිදා. අපේ ගම ගෙවල්වල ඒ කාලේ බොහෝ උපත් සිදුවුණේ ගෙදරම තිබුණ කළුවර කාමරයක. තිඹිරිගෙය එතැනයි.

එහෙත් මගේ උපත සිදුවෙලා තියෙන්නේ ඇහැටුවැව රජයේ රෝහලේ කියලා මගේ උප්පැන්නයේ තියෙනවා.

මා පාසලට ගියේ නිතලව රජයේ පාසලටයි. ඒ කාලේ එම පාසලේ සිටි ගුරුවරු අපට ඉතාම ආදරයෙන් කරුණාවෙන් සොයා බලා අධ්‍යාපනය දුන්නා. අපේ මුල් ගුරුතුමා (ලොකු මහත්තයා) හැටියට කටයුතු කළ ධර්මපාල විජේසිංහ මහත්මයා ගම්පහ ප්‍රදේශයේ විගොඩ ගමේ කෙනෙක්. එතුමා පුදුම උනන්දුවකින් දරුවන්ට අධ්‍යාපනය දුන්නා. ඒ වගේම අපේ ගම්වල ලොකු කුඩා හැමදෙනාගේ දියුණුවට පුදුම සේවයක් කළා.

අපේ අම්මා අකුරු ශාස්ත්‍රය දැන හුන්නේ නෑ. ඈ මළ පොතේ අකුරුවත් දැන නොසිටියාට අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. ඒ නිසා තමයි ඇය අපට පුදුම විදියට අකුරු උගැන්වීමට උනන්දු කළේ. පියා යමක් කමක් ඉගෙන තිබූ ගම් ප්‍රධානියෙක්.

අම්මා අකුරු නූගත්තාට ප්‍රායෝගික ඥානයෙන් හරිම පොහොසත්.ඇය කිරි අම්මාත් සමඟ තමන් උගත් බණමඩුවේ දී දැන ගත් බොහෝ දේ දරුවනට කියා දුන්නා.අපේ ගෙවල් බිම ගොම පිරියම් කළ පුංචි ගෙවල්. මහවැස්ස පවතින කාලවල අනිවාර්යයෙන්ම අපේ ගමටත් ගංවතුර එනවා. ඒ එන විට වතුර නඟින වේලාව බලලා අපව කර තියාගෙන මගේ දුප්පත් අම්මා දුවන හැටි මට තවමත් මතකයි.

ඒ මිනිස්සු වැහිවතුර, ගංවතුර වගේම නියඟයෙන් පවා බැට කෑවා. අම්මා තමාගේ එළවළු කොරටුව රැක බලා ගන්නේ ඒ වෙලාවට පුදුමාකාර කැපවීමකින්. දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න එළවළු ටික, පළා කොළ ටික, රැක ගන්ට අම්මා දුක්වින්ද මට මතකයි.

ඒ කාලයේ අපේ ගම්වලට විදුලි ආලෝකය හෝ ගමන් පහසුකම් තිබුණේම නැති තරම්. දරුවන්ට අසනීප වෙලාවලදී මගේ අම්මා පුදුමාකාර දුක්වින්දා .වෙද ගෙදරට රජයේ ඇහැටුවැව රෝහලට ඇය ගියේම පාදයාත්‍රාවෙන්. මොනවා හෝ රසට හදලා කන්ඩ දෙන්න තමයි අම්මා වෑයම් කළේ. දරුවන් කුසලයට බැඳ තබන්න අපාගත නොවෙන්න ඇය පුදුමාකාර ලෙස කැපවීම් කළා.

අපේ නිවෙස්වල මිදුලේ වී අටුව, කුරහන් අටුව හිස්නැතිව තියාගන්න මේ දෙමාල්ලෝ ගත් වෑයම ප්‍රශංසනීයයි. අපි හිටියේ කුප්පි ලාම්පුවේ එළියෙන්.

ඒකෙ පන් පැදුරේ වැටිලා ඉන්නා අපට ඇය කවිකොළ කියා දුන්නේ තාත්තාගේ පිහිටෙන්. සමහර විට අපේ මෑණියන්ගේ මෑණියන් කිරිඅම්මා කියාදෙන රසවත් කථා තේරවිලි ආදිය ද අප ඇසුවේ ඉතා සතුටෙන්.

අපට අයිති විහාරස්ථානය තිබුණේ සැතපුම් දෙකක් පමණ ඈතින් නිසාත් කැලයෙන් පරිසරය වටවී තිබුණු නිසාත් නිතර දෙවේලේ පන්සලට යෑමට අවස්ථාවක් නොලැබුණත් එම පන්සලේ තිබුණු දහම්පාසලට කලක් ගිය බව මතකයි.

අපේ ගමට කුඩා ආවාසයක් සෑදීමට අපේ පියා ඇතුළු දෙතුන් දෙනෙක් මුල්වී ක්‍රියා කළා. එහි ප්‍රතිඵලය හැටියට තමයි අද මකුලෑව ශී‍්‍ර සුධර්මාරාමය බිහිවී ඇත්තේ. අම්මා මේ පිළිබඳ පියාව උනන්දු කළ බව දන්නවා.

මා දන්නා කාලයක සිට මස් , මාලු තබා උම්බලකඩ ටිකක්වත් නොගත් නිසා අපේ අම්මා මට ආහාර පාන ටික වෙනම හදා දීමට ක්‍රියාකළේ දැඩි ආදරයෙන්. ඇය ඒක කරදරයක් ලෙස සැලකුවේ නෑ. හැලිවලං හැඳි පවා වෙනම තබාගෙන ඒවායේ මස්, මාළු ආදිය පිසින්නේ නැතිව ආහාර සාදා දුන් අයුරු සිහිවනවිට අපේ අම්මා කොයිතරම් අපේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්ට ආධාර කළා දැයි අදත් මා සිහිකරන්නේ මෑණියන් කෙරෙහි ලොකු ගෞරවයකින්. කුඩා කාලයේ සිටන් මගේ පැවති ඇතැම් ගති සිරිත් නිසා ගමේ බොහෝ දෙනා කීවේ මහණ වීමටම උපන් අයෙක් කියායි. ගමේ ඉන්න කාලේ අපේ ගමට ආසන්නයේ පිහිටි නිල්ලක්කම බෝධිඝරය රැස්වෙහෙර වැනි ස්ථානවල නිතර නිතර යෑමටත් අම්මා අමතක කළේ නෑ.

පාසලේ හයවෙනි පන්තියේ පමණ අධ්‍යාපනය ලබමින් සිටිනවිට අපේ ඤාති ස්වාමීන් වහන්සේනමක් වන රාජකීය පණ්ඩිත නිතලව ශ්‍රී ඤාණේශ්වර නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම සිදුවුණා. එම ආදාහනයට පැමිණි අපේ ඤාති පිරිස ආපසු ගමට ගොස් පැවිදි වීමට එම ගම්පළාතෙන් දරුවන් කිහිප දෙනෙක් සොයන්ට පටන් ගත්තා. ඒ නිසා මගේ පැවිද්ද සඳහා ඒම ඉක්මන් වුණා. ඒ අනුව 1959 ඔක්. 15 දින මට මීරිගම මිණීඔළුව විද්‍යාවාස පිරිවෙනට එන්නට අවස්ථාව සැලසුණා. අපේ මව්පියන් මුලදී එතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ.මගේ කෑම බීම ටික ගෙදර වගේ වෙනම හදා දෙන්නේ කවුද ආදිය සිතා අම්මා ඒ ගැන කම්පා වුණා. පන්සලේදී ද ඒවාට බාධාවක් නැතිබව දැනගත්තාට පසුවයි මා මීරිගමට එවීමට කටයුතු කළේ.

මාත් සමඟ මකුලෑවේ විජය නමින් ගමේ තවත් යාළුවෙකුත් පැවිදි වුණා. මහණ වීමට පෙර බණ දහම් අපට උගැන්නූ හබරව සුමනජෝති හාමුදුරුවෝ පැවිදි වූ දවසේම ධර්ම දේශනාවක් කරන්නට අපට ඉගැන්නුවා. ඒකෙන් ඉස්මතු වූවේ පැවිද්දේ තිබෙන වටිනාකමයි.

කාරේ විහාරේ ඉධ ජම්බුදීපේ
ඛෙත්තං කරිත්වාන තයෝච දීපේ
මේරුප්ප මානංච දදෙය්‍යෙ දානං
න අග්ගතේ පබ්බජිතානි සංඝෝ’

‘මුළු මහත් දඹදිවම විහාරයක් කොට පූජා කරනවාට වඩා, තුන් දිවයිනම කුඹුරක් කොට පූජා කරනවාට වඩා මහාමේරු පර්වතය උසට දන්දෙනවාට වඩා පැවිද්දේ ආනිශංස උතුම් වේ.

මේ එම ගාථාවේ තේරුමය. මා මෙම ගාථාවෙන් දම් දෙසන විට මගේ අම්මා ඇතුළු ඤාති පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් මගේ බණ අසා සිටියා.

අම්මාගේ දෑසින් කඳුළු කැටියක් කඩා වැටුණා. ඒත් අම්මා සසරින් එගොඩ කරන්න මා පැවිද්දේ වටිනාකම තේරුම් ගෙන අදත් ඒ ගුණදහම් රකිමින් ජීවත් වෙනවා. මගේ පැවිදි දිවිය යම් තාක් සුන්දරව පවත්වා ගන්නට පුළුවන්කම ඇත්ද ඒ හැම ශක්තියක්ම මට ලබා දුන්නේ මගේ කරුණාබර අම්මාමයි.