Print this Article


ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍ය‍ය

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍ය‍ය

ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පුරාතණයේ පටන් පවත්වාගෙන එනු ලබන ඉපැරණිබුද්ධෝපස්ථාන බුදු පුද තේවා චාරිත්‍ර අතර වාර්ෂික සතර මංගල්‍යය සුවිශේෂීකොට සැලකේ. දුරාතීතයේදී අපේ රජදරුවෝ ස්වකීය රාජ්‍යයෙන්ද , රනින්, මැණිකෙන් හා මුතුයෙන්ද, බතින්, බුලතින් ආදී නන්විධ ආහාර පානයෙන්ද, මලින්, පහනින් හා සුවඳින්ද වශයෙන් අනේකවිධ පූජා පැවැත්වූහ. ඒ රාජකීය පූජා චාරිත්‍රයන් අතර අලුත් සහල් මංගල්‍යය ,අලුත් අවුරුදු මංගල්‍යය ඇසළපෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන සතර ප්‍රදාන තැනක් ගනී.

අලුත් සහල් මංගල්‍යය

දේවානම්පියතිස්ස රජු දවස මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙසින් අශෝක මහරජුගේ මෙහෙයවීමෙන් සඟමිත් තෙරණිය වැඩම වූ ශී‍්‍ර මහාබෝධි දක්ෂිණ ශාඛාව අනුරපුර මහමෙවුනාවේ රෝපණය කිරීමෙන් අනතුරුව, ලක්දිව අලුත් සහල් මංගල්‍යය පූජාව ඇරඹිණ.අනතුරුව අනුරපුර කිත්සිරිමෙවන් රජු දවස දළදා වහන්සේ වැඩමවීමෙන් පසු ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි අලුත් සහල් මංගල්‍යය ඉෂ්ඨ සිද්ධ කිරීම ඇරඹිණ. වර්තමානයේ ශී‍්‍ර දළදා මාළිගාවේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය සිදුකරනුයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙස් අනුව, නැකැත් මොහොට්ටාල විසින් සකස් කරනු ලබන සුබ නැකැත් වට්ටෝරුවකට අනුවයි.

ඒ අනුව පළමුව සිදුකරනුයේ, දුරුතු පුර පසළොස්වක පෝය දිනයකට දින කීපයකට පෙර සුබ නැකතින් දියවඩන නිලමේතුමා සතර දේවාලයේ බස්නායක නිලමේවරු, කාරිය කරවන කෝරාළ, ලේකම් මොහොට්ටාල ආදි නිලකරුවන් හා දේවාලවල කපුවන්ද කැටුව පල්ලේකැලේ අටුව කරා පෙරහරින් ගමන් කිරීමය.පෙරහර එහි ළඟාවන විට ගුරුදෙණියේ විදානේ හා මනන්නා ඇතුළු රාජකාරිකරුවන් පෙර ගමන් කොට බුලත් හුරුළු දී පිරිස පිළිගෙන අටුව කරා කැඳවාගෙන යනු ලැබේ.

අටුව පිහිටි භූමියට පැමිණීමෙන් පසු එහි බෝධින් වහන්සේ අබියස මල් ආසනයේ වඩා හිඳුවා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කොට පනවා ඇති අසුන්හි දියවඩන නිලමේතුමා, බස්නායන නිලමේවරු හා අවශේෂ නිලධාරිහු ද අසුන් ගනිති. ඉන්පසු වෙස්, පන්තේරු, නැටුම් හා බෙරවාදන, සංදර්ශනයක් පැවැත්වේ.

එම නැටුම් හා වාදන සංදර්ශනය නිමාවීමත් සමඟ දියවඩන නිලමේතුමා ප්‍රමුඛ පිරිසට කැවුම්,කිරිබත් ආදියෙන් ප්‍රණීත තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබේ.තේපැන් සංග්‍රහයට පසු දියවඩන නිලමේතුමා සෙසු පිරිස සමඟ වී සහල් ගබඩාකර ඇති අටුව වෙත පැමිණෙයි. එහිදී දියවඩන නිලමේතුමා සතර දේවාලයේ කපුරාළවරු සමඟ අවට කහ දියර ඉස සුවඳ දුම් අල්ලා තැන්පත් කොට ඇති හම්බා බඳුන් දෙක වෙත ළඟා වේ.

මඟුල් බෙර වාදනය කෙරෙද්දි පහන් දැල්වූ ආපසු සතර දේවාලයේ කපුරාළලා විසින් අෂ්ඨක කියා හමාරවත්ම ශ්‍රී දළදා මාළිගාවේ ලේකම් මොහොට්ටාල අලුත් සහල් බෙදා දීමේ ලේකම් වට්ටෝරුව හඬ නගා කියවීම අරඹයි. මෙහිදී දියවඩන නිලමේතුමා චාරිත්‍රානුකූලව ශී‍්‍ර දළදා මාළිගාවට ප්‍රථමයෙන් රිදී නැළියෙන් සහල් හා වී මැන පසෙක අසුන් ගනී.අනතුරුව මනන්නා සහ තවත් කෙනෙකු එළන ලද පැඳුරක් මත වාඩිවී සුදු රෙද්දක් අතුරා ඒ මත සහල් ප්‍රමාණවත් කොටසක් තැන්පත් කොට මනන්නා විසින් ඉතිරි වී සහල් මැනීම සිදු කරනු ලැබේ. ලාබයි. දෙකයි, තුනයි,ආදී වශයෙන් හඬනගා කියවමින් පළමුව ශී‍්‍ර දළදා මාළිගාවට සහල් නැළි 15 ක් හා වී නැළි 15 කින් මැන වෙන් කරයි. ඉන් පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර දේවාලවලටද මල්වතු අස්ගිරි උභය මහා විහාරයටද, ගංගාරාම විහාරය, දෙගල්දොරුව විහාරය, කුණ්ඩසාලේ විහාරය ,අලුත් විහාරය, ගෙඩිගේ විහාරය, නිත්තවෙල විහාරය, ගෝණාවත්තේ විහාරය, මාලගම්මන විහාරය, සුදුහුම්පල විහාරය, දියකෙළිනාවෙල විහාරය, දන්තුරේ විහාරය, ලංකාතිලක විහාරය, කොබ්බෑකඩුව විහාරය, හේන්දෙණිය විහාරය, ඇම්බැක්කේ පිළිමගෙය, හිඳගල විහාරය, මොරපේ විහාරය, උඩුවෙල විහාරය, අම්පිටියට විහාරය, කෙළඹුගල විහාරය, සගම විහාරය, උඩුවාවල විහාරය, ගණදෙවි කෝවිල, අලුත් නුවර දේවාලය හඟුරන්කෙත මහා දේවාලය එම පල්ලේ දේවාලය, එම පත්තිනි දේවාලය පස්ගම නාථ දේවාලය,ඇම්බැක්කේ දේවාලය, එම පල්ලේදේවාලය, දොඩම්වල දේවාලය ,ලංකාතිලක දේවාලය, එම පල්ලේදේවාලය, ගඩලාදෙණිය දේවාලය, එම පල්ලේදේවාලය වේගිරියේ දේවාලය අලවතුගොඩ දේවාලය ගනේගම දේවාලය, වල්ලහගොඩ දේවාලය,මොරපේ දේවාලය, ගුරුදෙණියේ දේවාලය, පිලපිටියේ දේවාලය, ඉඹුල්දෙනියේ විහාරය, උඩඅලුදෙනියේ විහාරය, ගනේගොඩ පිටියේ බෝමළුව, ඇහැලතැන්න සිරිපතුල, දෙහිපාගොඩ අග්‍රබෝධි විහාරය, ඉඹුල්දෙණියේ පුණ්‍යවර්ධනාරාමය, පරණගම අළුකේ විහාරය, සහ විෂ්ණු දේවාලය, හඟුරන්කෙත අරත්තන විහාරය, අත්තරගම විහාරය, පල්කුඹුරේ විහාරය, මැණික්හින්නේ විහාරය, කෙවුල්ගම විහාරය, ඉලුක්තැන්නේ විහාරය, මැදවල විහාරය, හන්තානේ විහාරය, වහනගලේ විහාරය, කුළුගම්මන විහාරය, බටගල්ලේ විහාරය, බඹරගල විහාරය, දෙගල්දොරව පිටියේ දේවාලය,ආදි විහාර හා දේවාලයන්ට නියමිත පිරිදි සහල් බෙදාදීම සිදුකෙරේ.

වී සහල් බෙදා දිය යුතු ලැයිස්තු තුනක් ලේකම් මිටියට අඩංගුය. පළමු ලේඛනය ආරම්භ වනුයේ ශ්‍රී දළදා මාළිගාව නමිනි. පළමු ලැයිස්තුවට විහාර දේවාල 91 ක් ද, දෙවන ලැයිස්තුවට 10 ක්ද තෙවන ලැයිස්තුවට මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම, අනුනායක හිමිපාණන් වහන්සේලා තුන්නම හා එම විහාර දෙකද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ’ ප්‍රමුඛ රාජකාරිකරුවන්ටද දේවාලවලටද වී සහල් බෙදාදීම සිදුවේ. ශී‍්‍ර දළදා මාළිගාව සතර දේවාලය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය හා ගංගාරාමය යන සිද්ධස්ථානවලට අනෙකුත් විහාර දේවාලවලට වඩා වැඩි ප්‍රමාණයක් වී සහල් වෙන්වන අතර, නොපැමිණි විහාර දේවාලවල වී සහල් සියල්ල ද ශී‍්‍ර දළදා මාළිගාවට හිමිවේ.

බෙදාදුන් වී සහල් ඒ ඒ විහාරස්ථාන හා දේවාලයන්ට රැගෙන යන්නේ එකට නොව වෙන වෙනම. තම තමන්ට ලැබුණු වී සහල් හේමකද මත තබාගෙන රැගෙන යාම සාමාන්‍ය සිරිතය.

ශ්‍රී දළදා මාළිගාවේ හා සතර දේවාලයේ වී සහල් රැගෙන අලුත් සහල් පෙරහර ආපසු පැමිණ බූවැලිකඩින් හැරී ගංගාරාම විහාරයට ගොස් එදින රාත්‍රිය එහි නතරව සිට පසු දින පාන්දර අලි ඇතුන්, කොඩි,බෙර, දවුල්, තම්මැට්ටම්, හොරණෑ හා කවිකාර මඩුවෙන් සමන්විත අලුත් සහල් පරහර දළදා මාළිගාවට ගෙවදී. ඉන් පසුව රැගෙන ආ අලුත් සහල් සුබ මොහොතින් ගබඩාවේ තැන්පත් කරත්ම හේවිසි මණ්ඩපය අසල මැද මිදුලෙහි පොල් ගෙඩියක් බිඳ හේවිසි වාදනය හා කවිකාර මඩුවේ දළදා ගුණ ගායනා සිදුවෙනු දැකිය හැකිය.

දුරුතු පුර පසළොස්වක පෝය දිනට පෙර දින කාරියකරවන කෝරාළ විසින් විදානේවරුන් හා ආලත්ති අම්මාවරුන් ලවා අලුත් සහල් පිරිසුදු කොට තබා පෝයදින පෙරවරුවේ ලිප බැඳ එය වටා කහදියර ඉස අලුත් සහල් සේරු 80 කින් බුද්ධ පූජාව සූදානම් කරවනු ලැබේ. එම පූජාව සඳහා අවුල්පත් හා ව්‍යංජන ද සූදානම් කර ගනිති. උඩමාලේ පිරිත් කොටුවෙන් ඇතුළුවන විට ඇති හඳුන් කුඩම තුළ හාල් සේරු අසූවකින් පිසූ ආහාර පිරවිය හැකි විශාල කිරිබඩ පාත්‍රය තැන්පත් කොට තබා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේද තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් තේවාභාර ස්වාමින්වහන්සේලාද, දියවඩන නිලමේතුමා ඇතුළු නිලකරුවෝද මහත් ශ්‍රද්ධාවෙන් කිරිබත් පාත්‍රය පිරෙනතෙක් දානය බෙදති. ව්‍යංජන අවුල්පත් හා පලතුරු ආදියපූජාසනය මත වෙනම තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දාන වස්තු ශී‍්‍ර දළදා වහන්සේ විෂයයෙහි පූජා කරති.

මෙම පූජාව කෙරෙනුයේ දිනපතා අමුතු මුළුතැන් බුද්ධ පූජාවට අමතරවය.

සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාල වලද මෙකී වේලාවේදීම අලුත් සහලින් පිසු ආහාර බුදුරජාණන් වහන්සේට හා දෙවියන්ට පූජා කිරීම සිදුකරති.

පෙර රජදරුවන් විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම මංගල සම්මත අලුත්සහල් මංගල්ලය කෘෂිකර්මය ජීවන වෘත්තිය කරගත් පැරණි ජන සමාජයේ සංස්කෘතිය සමඟ බැඳීවිත්, ලක්දිවට බුදුදහම වැඩම වීමත් සමඟ වඩාත් වර්ධනය වී කලට වැසි ලැබී, අස්වැන්න නිසි පරිදි ලැබී රටට, දැයට, දහමට සමෘද්ධිය සෞභාග්‍යය ලබාගනුවස්, චිරාගත සම්පදායික චාරිත්‍රමය පූජා විධි ක්‍රමයක් ලෙස අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ඒම කාගේත් පහන් සංවේගයට හේතුවෙනවා ඇත.

මෙම ලිපියෙහි ඉතිරි කොටස නිකිණි අව අටවක පෝදා සැප්තැම්බර් 05 පත්‍රයේ පළවේ.