Print this Article


බුදු ගුණ නැණ මහිම

බුදු ගුණ නැණ මහිම

සම්මා සම්බුදු වරයෙකුගෙන් ම නියත විවරණය ලබා කල්පා සංඛ්‍ය ගණනාවක් සමතිංශත් මහා පාරමී ධර්මයන් පූරණය කළ සේක. මිනිස් භවයන්ට අවසන් භවය ලෙස ගෙන, මහාභිනිෂ්ක්‍රමණයෙන් සත්‍යය ගවේශනය අරඹා පුබ්බේ නිවාසානුස්සති උදව්‍ය ආදී අෂ්ට මහා ඥාන ස්වශක්තියෙන් ම උපදවා ගත්හ.

අනතුරුව සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන සතර මහ සතර ඵල මස්තකප්‍රාප්ත කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළහ., සිව් පිළිසිඹියා - ෂඩ් අසාධාරණඤාණ – තුදුස් බුද්ධ ඤාණ – අටලොස් ආවේනික ධර්ම – දශබල – පටිසම්භිදා ඤාණ – චතූ වෛශරාද්‍යාදී අපරිමිත බුද්ධ ශක්ති පහළ කරගත් මහා පුරුෂයෙකු ගේ ගුණ බල මහිමය මෙතෙකැයි කියා කීමට සමතෙක් තුන් ලෝකයේ ම නැත. එක් ජල බිඳුවකට එක් බුදුගුණයක් බැගින් සමරූපනය කර මහ සයුර ජල බිංදු ගණනින් සංඛ්‍යාගත කළත් සයුර මිස බුදු ගුණ නොනිමවෙයි. බුදුවරයන් වහන්සේ නමක් අන්කිසි දහමක් නොවදාරා කල්පයක් මුළුල්ලේ ම බුදුගුණම කියාගෙන යතොත් කල්පය ගෙවී යන නමුත් බුදුගුණ නොනිමවෙයි. එහෙයින් බුදුගුණ අනන්ත වෙයි. අනවරාග්‍රවෙයි.

මෙම අපිරිමිත බුදු ගුණ සමුදාය. මහා ගුණ නවයකට කැටිකොට තථාගතයන් වහන්සේ සියලු ලෝවැසියන්ට දේශනා කළහ. “ඉතිපි සෝ භගවා අරහං” ආදී වූ එම ගුණ නවය, වදන් අරුත් සිතට ගනිමින් හෝ නොගනිමින් කියා නිම කිරීමට අපට මිනිත්තුවක් වැඩිය. වදන් අරුතින් නො නැවතී එම බුදුගුණ යළි යළි මෙනෙහි කරන්නට, එහි සතිය පිහිටුවන්නට කෙනෙකුට හැකිනම්, ජීවමාන බුදුන් වහන්සේ වැඩ නොසිටින මෙකල ද බුදුන් දැකිය හැකි වේ යැයි කීම අනුමාන සත්‍යයක් නොවේ. ඇත්තෙන් ම බුදුපිළිමය වටා රාමු ගත වූ අපේ බුද්ධ අධ්‍යාත්මය ඉන් ඔබ්බට විනිවිද මෙහෙය වූ පසුවයි. බුද්ධ - ශාස්තෘත්වයේ අචල පිළිගැනීම තහවුරු වන්නේ . එහෙත් සිතට එකඟව නිහතමානීව කල්පනා කළොත් නව අරහාදී බුදුගුණ පාඨය දහස් වාරයකටත් වඩා මුමුණා ඇති අප එතැන ම එකතැනම නතර වී ඇති බවත් පෙනේ. එහෙත් ඉන් ඔබ්බට ගොස් බුදුගුණ යම් පමණකින් හෝ ස්වකීය අධ්‍යාත්මයට බද්ධ කරගත් අය අප අතර නැතිවාම නොවේ. එසේ බුදුගුණ නුවණැසින් දකින්නෝ, විඳින්නෝ බුදු පිළිමයෙන් දකින බුදුන් වහන්සේ ජීවමානව දකිති. වරදෙන් පාපයෙන් මිදීමට සමුදය වන අදෘශ්‍යමාන ශක්තියක් ඒ අය තුළ උපදී ම අචල ශ්‍රද්ධාව උපදී, ධම්මචාරීව විසීමට අපූර්ව හැකියාවක් ලබයි.

මෙයින් එකක් පමණක් ගෙන මෙනෙහි කරන්නටත් ධර්මාර්ථ රසය විඳින්නටත් එක් ජීවිත කාලයකුත් මදිය. එහෙත් අපට වැටහෙන තරමින්, දැනෙන තරමින් බුදුගුණ හඳුනා ගැනීමට වෑයම් කිරීමම ඉමහත් සැනසුමකි. බුද්ධානුස්සතිය චතුරාරක්ෂක භාවනාවන් ගෙන් එකක් වන්නේ ද එහෙයිනි.

බුදුගුණ නිතර වඩන්නාට තථාගතයන් වහන්සේ සමඟ තමා සිටින සේ දැනෙයි. වරදට පාපයට හිරිඔතප් වැඩෙයි. මරණ මංචකයේ දී බුද්ධානුස්මෘතිය චුති චිත්තයට එළඹ සිටීමෙන් නියත මිසදුටු නොගෙන ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබීමට හේතුවෙයි. මෛත්‍රීය යන වචනයේ අර්ථය තිරප් සිරප් ලෙස විග්‍රහ කරනවට වඩා පුළුල් අවබෝධයක් මෛත්‍රී කරන්නාට ලැබෙන්නේ යම්සේද එසේම, එක් එක් බුදුගුණය පිළිබඳව අප දන්නා ප්‍රසිද්ධ වචනාර්ථයන් තුළ පමණක් නොරැඳී එම පදනමේ සිට ඉන් ඔබ්බට නැණැස යොමු කරන්නෙකුට ධර්මයද දැකිය හැකි වෙයි. මෙය සත්‍යාපනය කිරීම් වස් නව බුදු ගුණයන්හි මුලට ම එන “අරහං” ගුණය ගෙන බලමු. එය මුලට ම යෙදී ඇත්තේ සහේතුක විශේෂත්වයකිනි. අනෙකුත් සියලු ගුණ “අරහං” ගුණයෙන් පටන්ගෙන ප්‍රත්‍ය කොට ගෙන විහිදී ඇති බව පෙනේ. මේ නිසාම “අරහං” ගුණය පමණක් ම ගෙන බුද්ධානුස්සතිය වැඩීමට භාවනායෝගීන්ට බොහෝ විට කමටහන් උපදෙස් ලැබෙයි. සම්මාසම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න ආදී අනෙකුත් ගුණ එකිනෙකට අපූර්ව අනුයාත සම්බන්ධතාවයකින් නව ගුණ වැලක් සේ “අරහං” ගුණය මූලික කොට ගෙතී ඇත. මෙම ගුණය මුල් කරගෙන මයුරපාද හිමියෝ පූජාවලිය නම් මහ පොතක් කළහ. බුදුගුණ අලංකාරය ලියූ කවිය,

“රහසක් පව් නොකොට කෙලෙසරයිනුත් දුරුකොට නිසි වුයෙන් පුදට

අරහ යයි කියති මුනිදුට” යනුවෙන් එහි මූලික අරුත කෙටි කොට දැක්විය. සියලු කෙලෙසුන් නැසූ හෙයින් ද රහසින්වත් පව් නොකරන හෙයින් ද ආමිෂ ප්‍රතිපත්ති ආදී සියලු පූජාවන්ට සුදුසු වූ හෙයින් ද සම්මා සම්බුදු පියාණන් වහන්සේ “අරහං” නම් වූ සේක යන අරුත අපි වැඩි දෙනෙක් දනිමු. එතෙකින් පමණක් අප සෑහීමකට පත් වන්නේ නම්, විභාගයක් සඳහා එම අරුත කටපාඩම් කර ගත් දහම් පාසල් දරුවෙකුත් අපත් අතර ප්‍රබල වෙනසක් නොපෙනේ.

“අරහං” යන්නෙහි සාමාන්‍ය තේරුම “සුදුසු බව“ හෙවත් සුදුසු තැනැත්තා යන්නයි. ඒ කුමන සුදුසුකමක් ද යත් මත ලෞකික ලෝකෝත්තර මහත්ඵල පතා සැදැහැවතුන් විසින් පූජා කරනු ලබන චීවර ප්‍රත්‍යාදී දක්ෂිණාව පිළිගැනීමට ද පිළිගැන්වීමට ද සුදුසු බවයි. එනම් ලොව්තුරා බුදුවරයෙකුගේ අග්‍ර දක්ඛිනෙය්‍ය ගුණය එයින් දක්වයි. මෙම දක්ඛිනෙය්‍ය ගුණය ආර්ය පුද්ගල මහා සංඝරත්නයට ද ඇතත් මෙහි දී සම්මා සම්බුදුවරුන්ගේ එකී සුදුසුකමම “අරහං” ගුණයට ඇතුළත් වෙයි.

ජීවමාන බුදුන් නැති මෙම කාලයේ දී ත්‍රිවිධ චෛත්‍යයන්ට කරනු ලබන ආහාර පාන මල් පහන් වැනි සියලු ආමිස පූජාවෝ මෙම “අරහං” ගුණයට කරනු ලබන පූජාවෝ ම බව මෙහි දී පෙනී යනු ඇත. එනිසා එවැනි පූජා කරන සැමවිටම අරහං ගුණය සිතට නැංවීම ඉතා උතුම් වේ. දක්ෂිණාව පිළිගැන්වීමෙන් සැදැහැවතුන්ගේ ප්‍රාර්ථනා සිද්ධීන් ඵලගැන්වීමේ ගුණයක් සම්මා සම්බුදුවරුන් සතුය. එක් දවසක් තුළ බුදුන් වහන්සේ උදෙසා මලසුන් මත අප රටේ පමණක් ම කෙතරම් ආහාර ප්‍රමාණයක්, මල් ගොඩක් පූජා කෙරෙන්නේ ද යන්න සිතන විට, “අරහං’ ගුණයේ මහත්තත්වය සම්බුද්ධ පර්නිර්වාණයෙන් පසුවත් කෙතරම් බලපවත්වන්නේ ද යන්න එයින් තේරුම් ගත හැකියි.

එමෙන් ම බුදුන් වහන්සේගෙන් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙනත් ජගතෙක් තුන් ලෝකයේ ම නැත. අරහං ගුණයේ බලමහිමය එයයි. තම පියා පවා බෝසතුන්ට වැන්දේ මේ වාසනාව කල්පාසංඛ්‍ය භව ගණනාවක් පුරා ගෙන ආ හෙයිනි.

තව ද බුදුවරයකු විසින් අසනු ලබන ප්‍රශ්නයකට නොහැකි බව දැක්වේ. මෙකී අග්‍ර දක්ෂිණාර්හභාවය පිහිටීමට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරස්ථ (ආරක) වීමයි. සියලු කෙලෙස් සතුරන් නසනු ලැබීමයි. (අරීනංහත්ථ ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථින, උද්ධච්ච, අහිරික, අනෝතප්ප ආදී එක් දහස් පන්සියක පමණ වූ සියලු කෙලෙස්වලින් වාසනා සහිතව ම දුරු වූ හේතූන් ද ඒවා සිඳලූ හෙයින් ද සම්මා සම්බුදුවරයන් වහන්සේ “අරහං” නම් වූ සේක. අනෙකුත් රහතුන් වහන්සේ ද සියලු කෙලෙස් නැසූවත් වුවත් ඒ අයට අරහං ගුණය නොයෙදෙන්නේ ඒ අය වාසනා සහිත කෙලෙස් ප්‍රහාණය නොකළ හෙයිනි.

ප්‍රතිවේධ හා දේශනා යනුවෙන් දෙයාකාර වූ ධර්ම චක්‍රය පැවැත්වීමට සුදුසු ය යන අරුතින් ද බුදුන් වහන්සේ “අරහං” නම් වෙයි. බරණැස ඉසිපතනයේ දී පැවැත් වූ යේ දේශනා ධර්ම චක්‍රයයි. සම්මා සම්බුදුවරයෙකුගේ දේශනා ස්වරය වෙනත් කිසිවෙකුට නොපිහිටයි. ධර්ම ශ්‍රවණයට යොමුවන තැනැත්තා කෙතරම් දුරකසිට බණ ඇසූවත් තමා ළඟ සිට කෙරෙන දහම් දෙසුමක් සේ ඔහුට දැනෙයි. ස්කන්ධයන්ගේ නොසිඳී පැවැත් ම හෙවත් සංසාර චක්‍රයේ ගරාදි සහමුලින් ම සිඳලූ හෙයින් ද (සබ්බේ අර හතාති අරානං හතත්තා) බුදුන් වහන්සේ “අරහං” වූ සේක. සසර පැවැත්මේ හේතු ප්‍රත්‍ය ධර්මතා පද්ධතිය ලෙස දැක්වෙන්නේ අවිජ්ජා, සංඛාරා, විඤ්ඤාණ, නාම රූප ආදී වශයෙන් වූ පටිච්ච සමුප්පාදයයි. ප්‍රතිවේද ධර්ම චක්‍රය මගින් සංසාර චක්‍රයේ මූල ධර්ම දෙක වූ අවිජ්ජා සහ තණ්හාද්වය විද්වංශනය කිරීමෙන් සසර පැවැත් ම රදා පවතින ගරාදි නවයම ස්වෝත්සාහයෙන් බිඳ දැමූ නිසා බුදුන් වහන්සේ “අරහං” ගුණයෙන් පිදේ.

තව ද මෙලොව වසන පෘථග්ජන පුද්ගලයා ගේ ස්වභාවය යන්නේ කෙතරම් උසස් මට්ටමකට පත්වූවත් අප කීර්තියට හා නින්දාවට බියෙන් ප්‍රසිද්ධියේ වැරදි වැඩ නොකර අප්‍ර සිද්ධියේ කිරීමයි. ලෞකික ක්ෂේත්‍රවල උච්චස්ථානයන්ට පත්වන බොහෝ අය තුළ මෙම ලක්ෂණය ඇත. එහෙත් බුදුවරයන් වහන්සේලා රහසින්වත් සුළු පාපයක් හෝ නොකරන සේක. (නරහෝ කරෝති පාපානි) මේ ගුණය සියලු රහතුන්ට ද පොදු නිසා බුද්ධ ගුණයක් ලෙස සුවිශේෂව අනන්‍යතාවයෙන් වෙන්කර දැක්වීමට සමහරු මැලිවෙති.

මූලික වශයෙන් පෘථග්ජන ඥානයෙන් විස්තර වන මෙකී උත්තරීතර සුදුසුකම් හැරුණු කොට, ලෝකෝත්තර ඥනයට ම ගෝචර වන අප්‍රමාණ සුදුසුකම් “අරහං” ගුණයට ඇතුළත් වේ. මෙම ගුණය පිහිටුවීමේ ඵලය වූයේ සම්මා සම්බුද්ධත්වයයි. නව අරහාදී පාඨයේ දැක්වෙන අනෙකුත් සියලු ගුණයන්ගෙන් සම්‍යක් සම්බුද්ධ ප්‍රාප්තිය ලත් ඒ මහා පුරුෂෝත්තමයාණන්ගේ ගතික හා ස්ථිතික ගුණ සමුදාය මනාව විස්තර කෙරෙන බව එම ගුණයන්ගේ ස්වභාවය විමසන විට පෙනී යනු ඇත. දැනට නිපදවා ඇති අන්තර්ජාල පරිගණක ආදී කුමන විද්‍යාත්මක මෙවලමකින් හෝ මතුවට නිපදවිය හැකි කවර උපකරණයකින් හෝ මෙම බුදුගුණ බිඳක්වත් අපට දැකිය නොහැකිය. එනමුදු ඒ දැකීම කළ හැකි අපූරු මෙවලමක් අප සතුව ඇත. ඒ අපගේ සිතයි. අවස්ථාවක් ආ විට වරක් දෙකක් බුදුගුණ පාඨය කියා පමණක් එම සිත නම් රැවටිය නොහැකිය. දහම් පතපොත මගින් දැහැමි සාකච්ඡා මගින් ධර්ම දේශනා මගින් අර්ථාන්විතව මෙකී බුදු ගුණ චිත්ත සන්තානයට හුරු කළ යුතුය. එකතු කළ යුතුය. අනතුරුව විවේකීව නිතොර මෙනෙහි කළ යුතුය. සතිය පිහිටුවා ගත යුතුය. එසේ කරන විට නිවන් මගට බාධා කරන්නා වූ පංච නීවරණයෝ ක්‍රමයෙන් දුර්වල වන්නාහ.