Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

අපවත්වී වදාළ දොඩම්ගොඩ අස්සජි නා හිමි

අපවත් වී වදාළ මොරටුව රාවතාවත්ත ශ්‍රී කවිධජ වාචිස්සර සීලභාවනා මූලස්ථානාධිපති විචිත්‍ර ධර්ම කථික, කම්මට්ඨානාචාර්ය දොඩම්ගොඩ අස්සජි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන ශෝභාමත් කළ සම්භාවනීය යතිවරයෙකි. ලක්දිව සුපතල ධර්ම දේශකයන් වහන්සේ නමක් වූ උන්වහන්සේ සම්බුද්ධ දේශනාව සමාජගත කිරීමෙහිලා පුරෝගාමී ශාසනික මෙහෙවරක නිරත වූහ. සීල භාවනා ගුරුවරයෙකු ලෙස ද ප්‍රසිද්ධියක් ඉසිලූ අස්සජි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් බොදු දනන්ගේ දහම් පවස නිවන්නට බුදු බණ දෙසූහ. දහමින් සමාජය දැනුවත් කිරීම තමන් වහන්සේට දෛවයෙන් උරුම වූ පූජනීය කාර්යයක් ලෙස සැලකූ උන්වහන්සේ උතුම් පැවිදි ජීවිතය බණ කියන්නට ම කැප කළහ. එනිසා පසුගිය දසක 05ක පමණ කාලය තුළ උන්වහන්සේ ධර්මදේශනාවක් නොපැවැත් වූ පන්සලක් පාසලක් හා ආයතනයක් නොමැති තරමට සිය දහම් සේවය පුළුල් විය. බුදු බණ දෙසීම සරල කාර්යයක් නොවේ. බණ අසන ශ්‍රාවකයාට වැටහෙන අයුරින් යමක් දේශනා කිරීමට බණ කියන හැම දේශකයෙකුට ම නොහැකිය. එහෙත් අස්සජී හාමුදුරුවන්ගේ බණ කුඩා දරුවෙකුට වුව ද වැටහේ. උපමා හා කතන්දර මුසුකොට උන්වහන්සේට ම ආවේණික ශෛලියකින් කරන දේශනාව ශ්‍රාවකයාගේ සිත් ඇද බැඳතබන්නට සමත් විය. ගැඹුරු දහම් කරුණු සරලව පහදාදීමට දැක් වූ නිපුණතාව ද අද්විතීයය. එනිසා අස්සජී හාමුදුරුවෝ ලක් බුදු සසුනෙහි පහළ වූ අතළොස්සක් පමණ වූ ධර්ම කථිකයන් අතරෙහි සුවිශේෂී ධර්ම කථිකයෙකු ලෙස හඳුන්වාදිය හැකිය.

ගිහි පැවිදි සැමගේ ප්‍රසාදය දිනාගත් ප්‍රසාදාවහ චරිත ලක්ෂණවලින් හෙබි අස්සජි හාමුදුරුවෝ ආශ්‍රය කළ සැමට අධ්‍යාත්මික මිත්‍රයෙක් විය. භික්ෂුවක් ලෙස තමන් වහන්සේට උරුම වූ කාර්යභාරය පිළිබඳව මනා අවබෝධයෙන් කටයුතු කළ උන්වහන්සේ වෙරල ඉම ඉක්ම නොයන සයුර සේ තම භූමිකාව නොඉක්මවා දිවා රෑ ශාසනික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළහ. දීප ව්‍යාප්ත ධර්ම චාරිකාවක නිරත වූ උන්වහන්සේගේ මෙහෙවර, පන්සලට, ගමට සහ ප්‍රදේශයට පමණක් සීමා නොවූවකි. දහස් ගණනක් බොදු දනන්ගේ සිත් සනසන්නට කැප වූ අස්සජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රද්ධා සීලා දී ගුණෝපලක්ෂිත ව්‍යක්ත විශාරද හා බහුශ්‍රැත බුද්ධ පුත්‍රයෙකු ලෙස ගෞරවයෙන් හඳුන්වා දිය හැකිය.

1947 පෙබරවාරි 01 දින කළුතර දොඩම්ගොඩ දී ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ දොඩම්ගොඩ කනිටු විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූහ. පෙර පින් සපිරි මේ පින්වත් කුමරා එච්. කේ. පෑනිස් අප්පුහාමි සහ සැම්පිනෝනා මීගහපොළ යන මව්පියන්ගේ ද අනුමැතිය පරිදි 1960 ඔක්තෝම්බර් මස 22 වන දින මාතර දික්වැල්ලේ පිටදෙනිය ශ්‍රී රෝහණ සතිපට්ඨාන භාවනා යෝගාශ්‍රමයේ දී අති පූජ්‍ය දොඩම්පහල කවිධජ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් දොඩම්ගොඩ අස්සජි නමින් සසුන් බිමට පත්විය. අනතුරුව කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයටත් මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙණටත් ඇතුළත් ව ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනයෙහි නිරත වූ අස්සජී සාමණේරයන් වහන්සේ කුඩා කල සිට ම තම ගුරු දේවයන් වහන්සේගේ ආභාසයෙන් ධර්ම දේශනා කිරීමටත් සීල භාවනා මෙහෙයවීමටත් පෙළඹුණහ. 1967 සිය ගුරු හිමියන්ගේ හදිසි අපවත් වීමෙන් හිස් වූ දීප ව්‍යාප්ත සීල භාවනා සංවිධානයේ වගකීම් සියල්ල අස්සජී තරුණ යතිවරයන් වෙත පැවරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු පසෙකලා පූර්ණකාලීනව එම කටයුතු සොයා බලන්නට යොමු වූහ. මේ අතරතුර විසි වයස් සපිරි අස්සජි හෙරණපාණෝ 1967 ජුනි 21 දින අම්බලම්ගොඩ ශ්‍රී සුනන්දාරාමස්ථ උදකුක්ඛේප සීමා මාලකයේ දී අතිගරු බේරුවල ශ්‍රීනිවාස මහානායක මා හිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්හ.

අනතුරුව බුරුම රටට වැඩමකොට එහි ශාසන යෙයිතා භාවනා යෝගාශ්‍රමයේ දී විශේෂ භාවනා පුහුණුවක් ද ලබාගත් උන්වහන්සේ මෙරටට වැඩමකොට තම ගුරුහිමියන් ආරම්භ කළ සීල භාවනා වැඩසටහන් දියත් කරන්නට වූහ. මෙරට විවිධ පළාත්වල ආරම්භ කරන ලද භාවනා පන්ති මගින් විශාල ආගමික ප්‍රබෝධයක් ඇති කරලීමට සමත් වූ අස්සජී හාමුදුරුවෝ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බෞද්ධ බල මණ්ඩල අනුශාසක ධුරයක් දරමින් සිදු කරන ලද සේවය ද අති මහත්ය. ජාතික ආගමික හා සාමාජික වශයෙන් සිදු කරන ලද උදාර මෙහෙවර අගයනු වස් අමරපුර මහා නිකායෙන් අධිකරණ නායක ධූරයකින් ද පිදුම් ලැබූ උන්වහන්සේ 56 වසරක මෙහෙවර නිමාවට පත් කරමින් 2015. 08. 15 දින අපවත් වී වදාළහ. මෑත යුගයේ සම්බුද්ධ ශාසනයට සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවක්වන උන්වහන්සේගේ වියෝගය ගිහි පැවිදි සැමට බෙහෙවින් දැනෙනු නොඅනුමානය. ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ සිදු කළ ශාසනික කාර්යභාරය අනුප්‍රාප්තිකයෙකු නොමැති රික්තයක් ම වනු ඇත. නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහනය මොරටුව ලුනාව කලපුව අසල ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි. සමිඳුණි ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.


ගොමගොඩ ශ්‍රී රතනසාර නා හිමි

මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය, ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය මැණික්හින්න හීපිටිය පුරාණ විහාරත්‍රයාධිපති අස්ගිරිය මහා විහාරයීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික, මහෝපාධ්‍ය ගොමගොඩ ශ්‍රී ගුණරතන රතනසාර නාහිමියෝ ගලේවෙල ඓතිහාසික බම්බා රජ මහා විහාරාධිපති පදවියට අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාව විසින් පත්කර ඇත.

අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික පාතදුම්බර ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය අපවත්වී වදාළ ගොටමුන්නේ ශ්‍රී ගුණරතන නාහිමිගේ ශිෂ්‍ය රත්නයක් වන ගොමගොඩ රතනසාර නාහියෝ අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ලේඛිකාධිකාරිව වැඩ සිටි මහාචාර්ය වරකාවේ ධම්මලෝක හිමියෝ පැවිදි භාවයෙන් සහෝදරයෙකි. අවස්ථා දෙකකදී ශ්‍රී දළදා තේවාව සිදුකළ රතනසාර නාහිමියෝ දළදා සමිඳු චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් තේවාව මුල්කරගෙන ලබාගත් අස්ගිරිය මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ ධර්මධර සුපේෂල ශික්ෂාකාමි මහතෙරනමකි. වර්ෂ 1971 දී දළදා සමිඳු තේවාව සිදුකරමින් වසර තිහක් පමණ කර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස අස්ගිරිය මහා විහාරයේ උපසම්පදා විනය කර්ම කටයුතුවල මහා විහාරයේ සම්ප්‍රදායන් ගරුකරමින් ශාසනික කටයුතුවල නිරතව වැඩ සිටිති.

ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය, ශ්‍රී නාථ දේවාල විහාරය වත්මන් ශාසනික පුනරුදයේ ආදි කර්තෘවරයා රතනසාර නාහිමි බව සඳහන් කළොත් එය අතිශයෝක්තියක් නොවන බව එම පුදබිම් වන්දනාමාන කරන සැදැවතුන්ට අවබෝධවනු ඇත. අභිනව නායක පදවිය පිළිබඳව සැප්තැම්බර් 6 වැනිදා අස්ගිරි මාහිමි වෙතින් ලබාගන්නා රතනසාර නාහිමි සැප්. 10 වෙනිදා බම්බා රජ මහා විහාරයෙදි පිළිගෙන ආශිර්වාදාත්මක ආගමික වැඩසටහනකින් නාහිමිට ආසිරි පතති. 12,13 දිනවල ගැටඹේදී පවත්වනු ලබන ආශිර්වාද වැඩසටහන් මාලාවකි.


හන්දුරුමුල්ලේ සිරිකුසල නා හිමි

මීරිගම, හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී ධර්මාභිමාන්‍ය විනයාචාර්ය හන්දුරුමුල්ලේ සිරිකුසල නාහිමියෝ පසුගිය අඟහරුවාදා (11) අපවත් වූහ. උන්වහන්සේ 1924 දී මෙලොව එළිය දුටු අතර අපවත් වන විට අනූතුන්වන (93) වියේ පසුවූහ.

1939 නොවැම්බර් 27 වැනි දින ‘හන්දු රුමුල්ලේ සිරිකුසල’ නමින් පස්යාල මුරුතවල ධර්මචක්‍රාරාමයේදී උතුම් පැවිදි බිමට පත්වූ උන්වහන්සේ, 1946 නොවැම්බර් 24 වැනිදා අධිශීල සම්පන්න උපසම්පදා සීලයට පත්වූහ. විවිධ ජාතික, ආගමික, ශාසනික කටයුතුවල යෙදෙමින් දහම් පාසල් ආරම්භ කිරීමත්, සමිති සමාගම් ආරම්භ කිරීමත් මඟින් එම ප්‍රදේශයට මෙන්ම රටටද ඉමහත් සේවයක් කළහ. හන්දුරුමුල්ලේ සිරි සිදුහත් දහම් පාසලේ ආචාර්ය ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් තම සේවය ආරම්භ කළ උන්වහන්සේ බටලීයේ ෆොන්සේකා දහම් පාසලේ ආරම්භක ආචාර්යවරයන් වහන්සේ නමක් වූවා සේම අපවත්වන තෙක් එහි ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කළහ.

උන්වහන්සෙගේ ජාතික, ආගමික, අධ්‍යාපනික සේවය අගයමු වස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක මහා ස්වාමින්ද්‍රයන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් ශ්‍රී සිද්ධාර්ථ වංශාවතංශ ඥාන කීර්ති ශ්‍රී සංඝසෝභන යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ. උන්වහන්සේ ගේ ආදාහන පුණ්‍යෙීත්සවය සිකුරාදා (14) පස්වරුවේ හාපිටිගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.


අත්තරගම නාගිත හිමි

මහනුවර දිස්ත්‍රික්කයට අයත් ඓතිහාසික “අත්තරගම” ග්‍රාමයෙහි සැදැහැවත් දෙමාපිය දෙපලකට පුත් රුවනක් වශයෙන් උපත ලැබූ දරුවා පෑලව ධම්මගුත්තාරාමය ඇතුළු විහාරස්ථාන රාශියක ආධිපත්‍යය දරන “පෑලව පඤ්ඤාජෝති’ නාහිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයකු වශයෙන් උතුම් ප්‍රවෘජ්ජා භූමියට පත් විය. බටගල්ලේ ධම්මරතන විශ්වවිද්‍යාලයානුබද්ධ පිරිවෙනට ඇතුළත්ව,උගත මනා ශිල්ප ශාස්ත්‍රය හදාරා පිරිපුන් වියේදි මහනුවර වරාතැන්න “ශ්‍රීමහාබෝධි” සීමා මාලකයේදී උපසම්පදා වූහ.

ස්වකීය ගුරු දේව නාහිමිපාණන් වෙතින් මඬදෙණිය ‘සිරි නිකේතාරාම විහාරස්ථානයෙහි ආධිපත්‍යය දැරූ අත්තරගම නාගිත හිමියෝ එම විහාරස්ථානය සකලාංගයන්ගෙන් පරිපූර්ණත්වයට පත්කළහ.

නාගිත හිමියෝ ගම්මානයෙහි දියුණුව සඳහා විවිධ ස්වේච්ඡා සංවිධාන පිහිටුවා තම දායක දායිකාවන්ගේ ආගමික, ආර්ථික සංස්කෘතික උන්නතිය සඳහා අපමණ සේවයක් ඉටු කළහ.උන්වහන්සේ විසින් වර්ෂ 1956 ජූලි මස 14 වැනි දින සිසු දරුවන් හත් දෙනෙකුගෙන් ඇරඹූ “ධර්මදාන” දහම් පාසල අද වන විට දෙසීයකට වැඩි සිසු පිරිසක් දහම් අධ්‍යාපනය ලබන, පූජාපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ තිබෙන දීප්තිමත් දහම් පාසලක් බවට පත්ව ඇත. ග්‍රාමෝදය මණ්ඩලයෙහි සභාපති වශයෙන් කටයුතු කරමින් මඬදෙණිය ගම්මානයට විදුලිය, මංමාවත්, ජලය වැනි පහසුකම් ලබා ගැනීමට කටයුතු කළහ. උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් පිහිටුවන ලද “හොඳහිත” මරණාධාර සමිතිය, විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, ග්‍රාමසංවර්ධන සමිතිය, තරුණ බෞද්ධ සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය ඇතුළු විවිධ ස්වේච්ඡා සංවිධාන එම කටයුතුවලට බෙහෙවින් උපකාර විය.

උන්වහන්සේ දක්ෂ දේශකයන් වහන්සේ නමකි. විදේශ රටවල් ගණනාවක ධර්ම දූත සේවයෙහි නියැළී ඇති නාගිත හිමියෝ සැත්තෑ විය ඉක්මවා සිටියද වර්තමානයේදීත් ප්‍රදේශය පුරා විවිධ ආගමික කටයුතුවලට සම්බන්ධ වෙමින් ජනතා ප්‍රසාදය ලබා සිටිති. උන්වහන්සේ සමස්ත ලංකා සාම විනිසුරු පදවියකින්ද පූජාපිටිය සමථ මූල මණ්ඩලයෙහි සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කළහ.

අත්තරගම නාගිත ස්වාමින් වහන්සේ වෙත උඩරට අමරපුර මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන “සාසනජෝතිකා” කාරක සංඝ සභාව විසින් , ‘සිරි ධම්මරතන වංශාලංකාර පඤ්ඤාජෝති වංසාවතංස පටිපත්ති ශාසන ශෝභන’ යන ගෞරව නාමය සහිත හාරිස්පත්තුව උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන්නට යෙදුනි. හාරිස්පත්තුව උප ප්‍රධාන සංඝනායක අත්තරගම නාගිත නාහිමියන්ට දිගාසිරි පතමු.