සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 50
- නාරංවත්තේ
ධම්මසිරි හිමි
ඝෝෂිතාරාමය අත්හැර පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම
බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරන සේක. බාලක ලෝණකාර
ග්‍රාමයට වැඩමවා එහි තනිවම වැඩ විසූ අතර භගු ස්ථවිරයන් වහන්සේට මුළු
පස්වරු කාලයේද තුන් යම් රැය මුළුල්ලේද හුදෙකලාවේ සිටීමේ අනුසස් වදාරා
පසුවදා තෙරුන් හා ගමේ පිඩු පිණිස හැසිර දන් වළඳා තෙරුන් සමඟ එහිම නතරව
තමන් වහන්සේ පළමුසේම හුදකලාව එයින් පිටත් වූ සේක. එසේ වඩිනා බුදුරජාණන්
වහන්සේ චෙති රට ප්‍රාචීනවංශ මෘගදායයට වැඩමවා එහිදී අනුරුද්ධ, භද්දිය,
කිම්බිල යන තෙරුන් තුන් නමට රෑ තුන් යම්හිම සමගියේ අනුසස් වදාරා ඉන්
හුදකලාවම නික්ම කෝසල ජනපදයෙහි වූ පාරිලෙය්‍ය නම් නුවරට සම්ප්‍රාප්ත වූ
සේක. එහි වැස්සෝ පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙන අවුත්
අසුන් පනවා වඩා හිඳුවා දන් දුන්හ. ඉක්බිතිව ඒ පාරිලෙය්‍ය නුවර සමීපයේ
වන ලැහැබෙක පන්සලක් කොට එහි වස් වසන්නට ආයාචනා කොට භාග්‍යවතුන් වහන්සේ
වැඩම කැරැවූහ.
ඒ පන්සල ළඟ ‘රම්‍ය සල් රුකෙක් විය. දිනෙක ඒ වෘක්ෂය යට වැඩ ඉන්න
බුදුරජාණන් වහන්සේ එක් ඇතෙකු විසින් දක්නා ලද සේක. ඒ ඇතාත් විවේකී වසනු
කැමැත්තෙන් රැළින් වෙන් වූයෙකි.
ඇතෙකුගේ උපස්ථානය
හස්ති තෙම බුදුරජාණන් වහන්සේ දුටු හැටියේම සොඬ හකුලා දන බිම ඇන නමස්කාර
කළේය. ඉන් පසු වටපිට බලා කිසිවෙකු නොදැක ඒ රුක යට භූමි භාගය පයින්
පැහැර අතු කැබැල්ලක් සොඬින් ගෙන හැමැද්දේය. එතැන් පටන් හස්ති තෙම
භාග්‍යවතුන් වහන්සේට බීමට ද මුහුණ දෙවීම් ආදි පාරිභෝගයට ද වතුර පිළියෙල
කැරැ දෙයි. උණු දියෙන් ප්‍රයෝජන ඇතැයි හැඟුනු විට උණු දියද පිළියෙළ
කෙරෙයි. ඒ මෙසේය. ගිනි ඉපැද විය හැකි දඬු සොඬින් ගෙන එකට මැද ගිනි
උපදවයි. ඉක්බිති දර කැබැලි ගොඩගසා ගිනි දල්වා ඒ ඒ ලොකු ගල් ගෙනැවිත් ඒ
ගිනි ගොඩෙහි දමා රත් කරයි. ගල් රත් වූ පසු දඬු කැබැල්ලක් ගෙන ඒවා
පෙරළාගෙන ගොස් දිය පිරුණු කුඩා ගල් වලෙක හෙළාලයි. ඉන් පසු සොඬය බහා
රත්වූ බව දැන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සොඬ අකුළා දන බිම ඇන හිඳියි.
එවිට බුදුරජාණන් වහන්සේ එහි වැඩ ජලස්නානය කරන සේක.
ඉක්බිති හස්තියා නොයෙක් ඵල වර්ග ගෙනවුත් පිළිගන්වයි. භාග්‍යවතුන්
වහන්සේ ගමට පිඬු පිණිස වඩිනා විට හස්ති තෙම පාත්‍රය හා දෙපට සිවුර
කුම්භස්ථලයෙහි තබා ගෙන උන්වහන්සේ හා යයි. වනයෙන් ගමට බස්නා සීමායේදි
ඇතු නවත්වා බුදුරජාණන් වහන්සේ හුදකලාවෙම පා සිවුරු ගෙන ගමේ පිඬු පිණිස
හැසිර ආපසු වඩිනා සේක. ඇත් තෙම මග බලා සිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි
කෙණෙහි, පාත්‍ර සිවුරු පන්සලෙහි තබා අත්තකින් පවන් සලයි. නැවත රාත්‍රි
කාලයෙහි චණ්ඩ මෘගයන් ගෙන ඒ ලැහැබෙහි අතර තුර හැසිරෙයි. බුදුරජාණන්
වහන්සේ රක්ෂිත කැරැ (රැක) ගන්නා අදහසින් ඒ ඇතු හැසුරුණූ වන ලැහැබට එ
තැන් සිට රක්ෂිත වන ලැහැබ යැයි නම් විය එළිය වූ කල්හි මුහුණ සේදීමට
පැන් දීම ආදි වශයෙන් මෙසේ ඒ හස්ති තෙම බුදුරජාණන් වහන්සේට සියලු වත්
පිළිවෙත් කරයි.
වානරයෙකුගේ පූජාව
ඇතු සද්කාර උපස්ථාන දුටු එක් වඳුරෙක්, මමත් සද්කාරයක් කෙරෙමියි සිතා
දීමට සෑහෙන යමක් සොයා ඇවිදින්නේ මැස්සන් විසින් හරනා ලද දඬුවැල් බෑ
මීයක් දුටුයේය. එය ගෙනැවිත් කෙසෙල් කොළයක් කඩා එහි තබා භාග්‍යවතුන්
වහන්සේට පුජා කරන ලදී.
ඉක්බිති වඳුරා තමන් ගෙන ආ මී වදය වළඳයි. ද? නැද්ද කියා බලා සිටින අතර
එය වළඳනවා දැක ඉතා සතුටට පත් විය. වඳුරා ඉතාමත් සතුටු සිතින් අතු පතර
ඇවිදිමින් සතුටු වූ අතර අත්තකට පැනීමේදී අත්ත බිඳීමෙන් ඔහු බිමට වැටී
මියගිය අතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව උපන් පහන් සිතින් මියගිය අතර
මරණින් පසුව වඳුරා තෙම තව්තිසා භවනයෙහි දෙව් පුතෙක් වැ උපන්නේය.
කොසඹෑ වැසි භික්ෂූනට කළ දඬුවම්
බුදුරජාණන් වහන්සේ කොසැඹෑ නුවර අත් හරින ලද්දේ භික්ෂූන්ගේ අසමගියට බව
දැනගත් උපාසකවරු භික්ෂූන් වහන්සේලාට පුද සද්කාර කිරීම නතර කරන ලදී. ඉන්
පසුව භික්ෂූන් වහන්සෙලා හට දානය නැතිවී මහත් පීඩිත තත්වයකට පත්විය. ඉන්
පසුව මේ තත්වය දුරු කර ගැනීම සඳහා අසමගිව සිටි භික්ෂූන් වහන්සේලා සියලු
දෙනාම නැවත එකමුතු විය. භාග්‍යවතුන් වහන්සේ පාරිලේයක වනයෙහි වසන බවත්
ඇතෙකුගේ උපස්ථාන ඇතිව සිටින බව දැනගත් සැවැත්නුවර සැදැහැවතුන් වූ
විශාඛා උපාසිකාව හා අනේපිඬු සිටු යන අය ආනන්ද හිමියන්ට ගොස් බුදුරජාණන්
වහන්සේ නැවත සැවැත් නුවරට වැඩමවාගෙන එන ලෙස දන්වා සිටි අතර ඔවුන්ගේ
ඉල්ලීම මත උන්වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කරන ලද පාරිලෙය්‍ය හස්තියා
පාරට කොට දමා පාර අවහිර කර දණ්ඩක් ගෙන ආනන්ද හිමියන් ඉදිරියට පැමිණි
අතර එය දුටු බුදුරජාණන් වහන්සේ එය නොකරන ලෙස ඇතුට අවවාද කරන ලදී. එම
අවවාද පිළිගත් හස්තියා පසකට විය.
පසුව ආනන්ද හිමියන් අසමගිව සිටි භික්ෂූන් නැවත සමගි වූ බවත් ඔවුන් තුළ
පැවති මතවාද සියල්ලම දුරු කරගත් අතර ඔබ වහන්සේ නැවත වරක් සැවැත් නුවරට
වඩිනා ලෙස ආරාධනා කරන ලදී. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ
තමන්ට භික්ෂූන් වහන්සේලාගේ උපස්ථාන නැතත් ඉතා මිතුරු කමින් තමන්ට
උපස්ථාන කරන ලද ඇතු සිහිපත් කර ඔහුට ප්‍රසංසා කරන ලදී.
ඉන් අනතුරුව හස්තියා විසින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට
පළතුරු ආදි පුද පුජාවන් පවත්වන ලදී. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ වනයෙන්
පිටත් වීමට සූදානම් විය. හස්තියාද උන්වහන්සේ පසුපසින් පැමිණ බුදුරජාණන්
වහන්සේ ඉදිරියට ගොස් මාර්ගය අවහිර කරන ලදී. එවිට පාරිලේයක ඇතුණි මාගේ
මේ ගමන නැවැත්විය නොහැකිය. නුඹට මේ තිරිසන් ආත්මයේ සිට මේ පින මෙයට
වැඩියෙන් ධ්‍යානයක් හෝ මාර්ග ඵලයක් ලැබිය නොහැකිය. එබැවින් නුඹ මෙහි
සිටින්න යැයි වදාළ සේක. එය තේරුම් ගත් හස්ති තෙම සොඬය මුඛයෙහි බහා
හඬමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියේය. ශාස්තෘන් වහන්සේ ගම
සමීපයට පැමිණි ඇතු හට ඔබ මෙතැනින් එහා යෑම නුඹට අයෝග්‍යයි. මිනිස්
පියසට ගියොත් නුඹට හිරිහැර ඇති වෙයි. එබැවින් නුඹ මෙයින් එහා නොගොස්
නවතින්නැයි වදාළ සේක.
හස්ති තෙම බලවත් ශෝකයෙන් හඬමින් බුදුරජාණන් වහන්සේ වඩිනු බලා ගත් වනම
සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට නොපනී ගිය තැන ඒ වේදනාව ඉසිලිය
නොහැකි විය. එය ශෝකයෙන්ම ඇතුගේ ළය පැලී මිය ගියේය. පසුව ඔහු තව්තිසා
භවනයෙහි දෙව් පුතෙක්ව උපන්නේය.
තවත් කොටසක්
නිකිණි පුර පසළොස්වක පොහෝදා
අගෝස්තු 29 වනදා පත්‍රයේ
|