Print this Article


රාග ගින්නෙන් දැවෙන්නට පෙර

රාග ගින්නෙන් දැවෙන්නට පෙර

මිනිස් සිත තරම් සුන්දර වස්තුවක් ලෝකයේ තවම සොයාගෙන නැත. රාගාදී ක්ලේශ ධර්මයන්ගෙන් මිදුණු කල්හි එය ප්‍රභාශ්වරය. ලෝකය හෙවත් ලෞකිකත්වය බිඳී නොවැටී රැකී තිබෙන්නේ අපේ සිත මූලධර්ම තුනකින් ශක්තිමත් ලෙස බැඳී ඇති නිසයි. ලෝභ, දෝස, මෝහ යනු ඒ මූලධර්ම තුනයි. ලෝභයෙන් බැඳීමත් දෝස හෙවත් ද්වේශයෙන් දැවීමත්, මෝහයෙන් වැසීමත් සිදුවෙනවා. ලෝභය හෙවත් බැඳීම මඟින් ලෝකයේ සුන්දරතාවයත් සමඟ සිත බැඳ තබනවා. වයස අනුව, උගත් නූගත් බව අනුව, සමාජ පරිසරය අනුව, මෙම බැඳීමේ ස්වභාවය වෙනස් වෙනවා.

පංච ඉන්ද්‍රියන් මඟින් ග්‍රහණය කරගන්නා ලෝකය, ලෝභය මුල්කරගත් සියලු මානසික බැඳීම් මඟින් තමන් සතු කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. තමන් සතු වස්තුව හා ආකල්ප මතවාද ආදියට විරුද්ධවීමට හෝ ඒවා පැහැරගැනීමට ඉදිරිපත්වන අභියෝග හමුවේ නැඟී සිටින්නේ ද්වේශයයි. එය ද ගින්නක් බඳුය. මෙත් සිසිලක් හමුවනතුරු ඇවිලී යයි. මෝහය නම් මුළාවයි. හෙවත් සත්‍යය යටපත් කිරීමයි. අවිදු අඳුර ලෙස නම්කර ඇත්තේ ද මෙයයි. අකුසල මූලයන් ලෙස මේවා හඳුන්වා ඇත්තේ කුසලයන් හා කුසල චිත්තයන් යටකොට නැඟී සිටින අසුබවාදී සංකල්පයන් බැවිනි.

අපේ අවධානයට යොමු කරන්නේ මෙයින් පළමුවැන්න ලෝභයයි. ලෝභයෙන් බැඳී ඇති කාමවස්තු ඇසුරුකරන විට රාග ගින්නෙන් පහස සිතට දැනෙයි. එයින් මුළා වූ විට දැවීම වුවද තෘප්තියක් ලෙස ගනී. පළගැටියා ගින්නට පැන දැවී යන්නේ මේ අයුරිනි. බුදුන්වහන්සේ රාගය ගැන කළ දේශනයක් පහත දැක්වේ.

යථාගාරං දුච්ඡන්නං
වුට්ඨි න සමති විජ්ඣති
ඒවං අභාවිතං චිත්තං
රාගෝ සමති විජ්ඣති
යථාගාරං සුච්ඡන්නං
වුට්ඨි න සමති විජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං
රාගෝ න සමති විජ්ඣති

ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ මිනිස් සිත පිළිබඳ දේශනා කොට වදාළ පැහැදිලි විග්‍රහයක් උපමා උපමේය සහිතව මෙම ගාථාවන්ගෙන් දැකගත හැකිය. සිත උපතින් පිරිසුදු බවත් ප්‍රභාශ්වර බවත් ජීවත්වීමේ සටනේ දී ආගන්තුකව පැමිණෙන ක්ලේශධර්ම නමැති අපද්‍රව්‍යයන්ගෙන් එම සිත අපිරිසුදු වන බවත් දේශනා කළෝ බුදුපියාණෝය. (පබස්සරමිදං භික්ඛවෙ චිත්තං ආගන්තුකේහි උපක්ඛිලිට්ඨේහි උපක්ඛිලිට්ඨං) මෙම මනෝ විග්‍රහය පිළිබඳ විමසුමක යෙදෙන්නට පෙර බුදුපියාණන් වහන්සේ ඒ දහම්පදය දේශනා කිරීමට තුඩුදුන් පසුබිම් කතාපුවත ගැන අපි සොයා බලමු.

ශාක්‍ය වංශික වූ කිඹුල්වත් පුර රාජධානියේ විසූ සිය ඥාති වර්ගයාට නිවන් රස බෙදාදෙන්නට වැඩම කළ ගමනේ දී, බුදු ඇසට යොමු වූ ‘පුබ්බේ ච කත පුඤ්ඤතා’ ගුණයෙන් යුතු පුද්ගලයන් අතර නන්ද කුමරුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

සිදුහත් කුමරු ගිහිගෙය හැරදමා අබිනික්මන් කළ බැවින් රාජ්‍යත්වයේ ස්ථාරව බව වෙනුවෙන් අබිසෙස් ලැබිය යුතුව ඇත්තේ නන්ද කුමරුය. නවමැදුරකට පිවිසීම, විවාහය හා අභිෂේකය යන ත්‍රිමංගල්‍යය උදෙසා කටයුතු පිළියෙල වූ රජගෙදරට ප්‍රථමයෙන් වැඩම කළේ බුදුරජාණන් වහන්සේ ය.

දන් වළදා අවසන පාත්‍රය නන්ද කුමරු අතට දී විහාරයට වැඩමකොට තමන්වහන්සේ පසුපස පැමිණි ඒ පුණ්‍යවන්ත සොහොයුරාණන් පැවිදි කළහ.

ලොව්තුරු මගට බට බුද්ධාදී මහරහතුන් හට ලෞකික ලෝකයේ සකලවිධ සෞන්දර්යතා, මිරිඟුවක පෙනෙන සිසිලක් ලෙස මායා සහගත දෘෂ්ටියක් බව දැනුණත් ගිහිගෙය හැර පැවිදිවීමට තරම් තත්ත්වාබෝධයක්ද නන්ද කුමරුට නොවීය. බුදුහිමි සමඟ යන නන්ද කුමරු දුටු ජනපද කල්‍යාණිය හෙවත් විවාහවීමට සිටි කුමරිය අතරමගදී කළ ප්‍රකාශයක් ද ලබැඳි සිතින් වැළඳගෙන සිටි නන්ද කුමරු හදිසියේ ලද පැවිදිබව නොකළ වරදකට ලැබූ දඬුවමක් සේ සිතන්නට විය. නන්ද හිමියන්ගේ ශාසනික උකටලී බව භික්ෂූන්වහන්සේලා අතර පවා සාකච්ඡාවට ලක්වූ අතර බුදුහිමියන්ටද මේ බව ඇතැමුන් පැමිණිලි කළහ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්යාත්මක උපක්‍රමයකින් ජනපද කලණ ගැන මතකය නන්ද හිමියන්ගේ හදවතින් ඉවත් කළ කල්හී දෙව්ලොව ඉපිද දිව්‍ය කුමාරිකාවක් ඇසුරු කිරීමේ අභිප්‍රායෙන් භාවනා කළ බවද සඳහන් වේ.

රාගයෙන් හා කාමච්ඡන්දයෙන් බැඳුණු සිත කෙතරම් චපලද? වහා වෙනස්වන සුළු යැයි අර්ථ දැක්වෙන මිනිස් සිත අයාලේ වැඩෙන්නටදීමෙන් ලැබෙන්නේ අනිටු ඵලයකි. සිතක් නම් එය රැකගත යුතු ය. කුමකින්ද ? කෙලෙස් දුහුවිලිවලිනි. ඉහත ගාථාවන් තුළින් දක්වන්නේ වැඩූ නොවැඩූ දෙසිතක ඇති ගුණාත්මකබව පිළිබඳ තක්සේරුවයි. මැනවින් සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමී යයි. භාවනාවෙන් නොවැඩූ සිතද කෙලෙස් වැස්සෙන් තෙමී දූෂිත වෙයි.

භාවනාව ආදී උපායමාර්ග හා මනෝ ව්‍යායාම මඟින් නොවැඩූ සිතක ස්වභාවය වන්නේ රාගාදී හැඟීම්වලට අවනත ආධ්‍යාත්මික ශක්තීන් සියල්ල දුර්වල කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ නන්ද හිමියන්ගේ චිත්ත ස්වභාවය මැනැවින් දත් සේක. උන්වහන්සේගේ සිත තදින් රාගයටත් කාමයටත් ඇදීයන්නේ ජනපද කල්‍යාණිය පිළිබඳව සිත තුළ පවතින නොමැකුණු මතකයයි. දිව්‍යාංගනාවන් හා නවදැලිහේනේ දැවීගිය වැඳිරියකගේ රුව දකින්නට සැලැස්වීමෙන් නන්ද හිමියන්ගේ සිත තුළ පැවැති දැඩිබව ළිහිල්ව යයි.

ජනපද කලණ පමණක් අරමුණ වූ සිත දිව්‍යාංගනාවන් හා වැඳිරි රුව අතර ඇති පරතරය මෙන්ම ආශාවන්ගේ අසීමිත බව පිළිබඳ යථාර්ථයක් පසක් කර දෙයි. එමඟින් නන්ද හිමියන් පටු සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් පුළුල් අරමුණක තබා කමටහන් ගෙන භාවනා කරයි. “මනාකොට සෙවිලි කළ ගෙයක් වැසි දියෙන් යම් සේ නොතෙමේද? “භාවනාවෙන් මනා කොට වැඩූ සිත කාමරාගයන්ගෙන් ආරක්ෂාවන බව දෙවන ගාථා පාඨයෙන් ප්‍රකාශ වෙයි.

සිත පුරුදු පුහුණු කළ හැකි ක්‍රමවේදයන් දෙකක් බුදුදහමේ උගන්වයි. එනම් සමථ භාවනාව හා විදර්ශනා භාවනාවයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා ආදී කෙලෙස් යටපත් කිරීමට යම් අරමුණක පිහිටා සිත දියුණු කිරීම සමථ භාවනාවයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සිතට ගෙන සිත එහි පුරුදුකොට විදර්ශනා නුවණ ලබාගැනීමට හැකි මග විදර්ශනා භාවනාවයි.

විදර්ශනා භාවනාව නිවන් පිණිස හේතුවන්නා සේම සමථ භාවනාව මඟින් සමථයකට පත්කර ගත හැකි කෙලෙස් මතභේද යළි යළිත් නැඟී සිටිනු වළක්වා ගැනීමට මිනිස් සිතට හැකියාව තිබිය යුතු ය.

සිතට එන එන අරමුණ ඔස්සේ වෙහෙසට පත්වී ඒවා මුදුන් පත් කර ගැනීමට නොහැකිව අසහනයට පත්වනු වෙනුවට අපේ බුදුහාමුදුරුවෝ අපට කියාදී ඇත්තේ සිතට එන කාමරාග මිශ්‍ර කෙලෙස් මළ පාලනය කරගන්නා ලෙසටයි. එවිට ඒවා දුරින්ම දුරුකරගැනීමේ හැකියාවද අපට ලැබෙනු ඇත.