Print this Article


ධම්මික මෙ‍ෙහයෙවන ධර්ම සාකච්ඡා


(1) ප්‍රශ්නය
ඡන්ද, චිත්ත, විරිය, විමංසා ,ඍද්ධිපාදවල සහ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන පදවල සරල සිංහල තේරුම් පහදන්න.

ඍද්ධිපාද යනු ධ්‍යාන, අභිඥා, මාර්ග ඵල ලැබීමට හේතුවන පාදක වන, ධර්මයි. ඡන්ද ඍද්ධිපාද යනු මොනයම් බාධක ආවත්, වෙහෙසවන්නට සිදුවුනත්, සැප අතහරින්නට සිදුවුණත් , ඒ ගැන නොතකා පරමාර්ථය අත්පත් කර ගැනීමට ඇති කැමැත්තයි. ඒ සඳහා ගන්න උත්සාහය විරිය ඍද්ධිපාදයයි. එම ස්ථානයේම සිත පවත්වා ගැනීම චිත්ත ඍද්ධිපාදයයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට සමත් ඤාණය පවත්වාගෙන යෑම විමංසා ඍද්ධිපාදයි.

අර්ථ ධර්ම නිරුක්ති පටිභාන යනු පටිසම්භිදා මග්ගයේ විස්තර කෙරෙන සුවිශේෂ ඤාණ සතරකි. පටිසම්භිදා ඤාණ යනු යමක් පිළිබඳ ඉතා පුළුල්ව , ප්‍රභේදනයන් කරමින් කුඩා අනුකුඩා විස්තර සහිත දැනීමයි. අර්ථ පටිසම්භිදාව යනු නාමරූප ධර්මවල යථා ස්වභාවය ආර්ය මාර්ගයෙන් ලබන නිවන, ධර්ම ශ්‍රවණයෙන් ලබන දේ ආදි ඤාණයයි. ධම්ම පටිසම්භිදාව යනු ඒ අර්ථ ඥානය ප්‍රභේද වශයෙන් සවිස්තරව දැන ගැනීමේ ඤාණයයි. නිරුත්ති පටිසම්භිදාව යනු අදහස නිවැරදිව ම අවබෝධයට අවශ්‍ය භාෂා දැනීමයි. පාළි හෙවත් මාගධී භාෂාව සත්වයන්ගේ මූල භාෂාව ලෙසත්, දේව බ්‍රහ්ම ආදින්ගේ භාෂාව ලෙසත් සැලකේ. නිවැරදිවම ධර්ම කරුණ වටහා ගැනීමට අවශ්‍යවන ලෙස පාලි භාෂාව නිවැරදිව දැනීම නිරුත්ති පටිසම්භිදාවයි. කුමන භාෂාවක් වුව නිවැරදිව නොදන්නා තැනැත්තා ඒ භාෂාවෙන් ලබනුයේ වැරැදි දැනුමකි. පටිභාන පටිසම්භිදා යනු ඉහත ඤාණ තුන ඉතා මැනවින් දන්නා ඤාණයයි. (ඤාණේසු ඤාණං පටිසම්භිදා) මේ ඤාණ පෘථග්ජනයන්ට නොලැබේ. ආර්යයන්ට පමණක් ලැබෙන ඤාණ විශේෂයකි.


(2) ප්‍රශ්නය

පෙර භවවල දී කළ පින් දහම් හේතු කොට ගෙන ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබේ.

01. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලැබීමට හේතුවන පරිද්දෙන් කෙලෙස පින්කමක් කර තිබිය යුතුද ? නොඑසේ නම් සිත පෙර භවවල සකස් කර ගෙන තිබිය යුතු අයුරු පහදන්න.

02. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නොලැබු කෙනෙක් දැඩි වීර්යයෙන් හා ශ්‍රද්ධාවෙන් මේ භවයේදී පින්කම් කළ විට පින්කම්වල බලවත් කම අනුව එය ත්‍රිහේතුක වන පරිද්දෙන් සමාන බවට පමුණුවා ගත හැකිද?

01.අලෝභ, අදෝස, අමෝහ යන හේතුන්ගෙන් යුක්තව කුසල කර්මවල විපාක වශයෙන් ලැබෙන ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක ප්‍රතිසන්ධියයි. යම් කුසලයක් හෝ පිනක් කිරීමේ දී ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයනට නැඟී සිටීමට ඉඩ නොදී ශ්‍රද්ධාවෙන් හා මෛත්‍රියෙන් කුසලයන්හි නිරතවන්නේ ත්‍රිහේතුක සිත් නිසාවෙනි. මේ භවයේ ත්‍රිහේතුක උපත ලබනුයේම පසුගිය භවවල එවැනි පින්කළ නිසායි.

02. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නොලත් අයෙක් වුව වීර්යයෙන් ශ්‍රද්ධාවෙන් කුසල් කළහොත් එහි විපාකය ත්‍රිහේතුක වීමට බාධාවක් නැත.


(3) ප්‍රශ්නය

බුද්ධ පූජාව සඳහා ඇතැම්විට වස විස යෙදූ ඇපල්, මිදි, දොඩම් භාවිතය බොහෝ දෙනා කරති. එය කොතරම් යෝග්‍යයද?

බුද්ධ පූජාව තබනුයේ ජීවමාන බුදුරදුන්ට කරණ පුජාව ලෙසයි. එය උන්වහන්සේ පරිභෝග නොකළත් වස විස යෙදු දෑ දැන දැන පිරිනැමීම කිසිසේත් යෝග්‍ය නොවේ. වස විස සහිත පලතුරු පමණක් නොව කිසියම් ආහාරපානයක් කිසිවකුට සුදුසු නොවේ. මේ ළඟ දී පත්තරයක මම දැක්කා ඇපල් වගේ ද පැපොල් කියල ලිපියක්. ඒ ලිපිය අනුව පැපොල් ලෝකයේ තියෙන හොඳම පලතුරයි. ලොවි, රඹුටන්, වරකා වැනි පලතුරු පුජාවටත් යොදා ගත හැකියි.

අපට නැතත් අනාගත පරපුරටවත් වස විස නැති ආහාර සකස් කරගන්න. සැලැසුම් කලොත් තට්ටු හත අටේ පිළිකා රෝහල් සැලසුම් කරනවාට වඩා හොඳයි නේද.


(04) ප්‍රශ්නය

එක්තරා ස්වාමින් වහන්සේ නමක් පේ‍්‍රත ලෝක, දිව්‍ය ලෝක ආදියේ තිරිසන් සතුන් සිටින බව දේශනා කළා. ත්‍රිපිටකයේ මේ පිළිබඳ විස්තර දැක්වෙන්නේද ?

ත්‍රිපිටකයට අයත් පේත වත්ථුවෙහි සතුන්ගේ හැඩයට ඇති පේ‍්‍රතයන් ගැන විස්තර ඇත. ගිනිගත් ශරීර ඇති එවැනි පේ‍්‍රතයන්ව බුදුරජාණන් වහන්සේ සහ මුගලන් මහ රහතන් වහන්සේ දැක ඇත. ඒ සත්ව රූප ගත් පේ‍්‍රතයෝයි. සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තයේ පේ‍්‍රත ලෝකවල සිටින සතුන් ගැන කියවේ. මේ සියල්ල මවා ගත් ශරීරයි.

දිව්‍යලෝකයේ තිරිසන් සතුන්ද එසේමයි. විමාන වත්ථු අටුවාවේ ශක්‍ර දෙවියන්ට තිබු වෛජන්ති රථය ගැන සඳහන් වෙයි. එම රථය අශ්වයන් විසින් ඇදගෙන යනු ලබයි. ශක්‍ර දෙවියන්ගේ වාහනයට ඵෙරාවණ හස්තියායි. ඵෙරාවණ දේව පුත්‍රයා අවශ්‍ය අවස්ථාවල ඇතාගේ රූපය මවාගනී.


(5) ප්‍රශ්නය

උද්දේසික චෛත්‍ය ලෙසින් පූජාවට යොමු කෙරෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ දර්ශනය චිත්ත ප්‍රසාදයට හේතු වන්නකි. එහෙත් විහාර ගොඩනැගිලිවල හා මග දෙපස බෝධීන් වහන්සේලා අසල ඇතැම්විට කැඩී ගිය විකෘති වූ ලොකු කුඩා බුදුපිළිම තබා තිබෙනු දැකිය හැකියි. ගෙවල්වල පුද පූජාවන්ට තබා, කැඩී බිඳී ගිය පසු එසේ ඉවතට දැමීම සිරිතක්ව පවතී. මේ දසුන හද කම්පා කරවන සුළුයි. කැඩුණු බුදු පිළිම සම්බන්ධයෙන් පොදුවේ අනුගමනය කළහැකි චාරිත්‍ර ක්‍රමයක් ගැන ධම්මිකගෙන් අසනු කැමැත්තෙමි.

ගරු ස්වාමීන් වහන්ස, පන්සල්වල බෝධි ප්‍රාකාර මත, පන්සල් තාප්පයේ හෝ විහාර මන්දිරයේ ප්‍රතිමා අසල, කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා තබා තිබෙනු දක්නට ලැබෙන්නකි. සැදැහැවත් බෞද්ධයාගේ හද පාරන මේ කරුණ ගැන විශේෂයෙන් ගරු ස්වාමීන් වහන්සේලා උනන්දුවිය යුතුයි. බුද්ධ ප්‍රතිමා විවිධ අමුද්‍රව්‍ය වලින් තැනෙන අතර ප්ලාස්ටර් ඔෆ් පැරිස් නමැති වර්ගයෙන් තැනෙන ප්‍රතිමා වැඩි වශයෙන් කැඩී බිඳී යන තත්ත්වයට පත් වෙයි. යම්තම් ගැටීමකින් එම ප්‍රතිමාවල කන, නාසය හා ඇගිලි කැඩී බිඳී යයි. මේ පිළිබඳ පිළිගත් චාරිත්‍රයක් නැතත් බුද්ධිමත් වූ භික්ෂුව කාලීනව සිතා ප්‍රසාදය ආරක්ෂා වන යෝග්‍ය පිළිතුරක් සපයා ගත යුතු වෙයි. සමහර විදේශ රටවල බෞද්ධයෝ මෙවැනි බුද්ධ ප්‍රතිමා කැඩී බිඳී ගියහොත් පන්සලට ගෙනවිත් භාර දෙති. එහි ආරක්ෂාවට මුදලක් ද දෙති. සමහර අවස්ථාවල උත්සවාකාරයෙන් ඒවා ආදාහනය කරන්නේ යැයි ධම්මික අසා ඇත.

විහාරස්ථානවල සිමෙන්තියෙන් හතරැස් කොටුවක් තනා ඒවා තැන්පත් කර කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා දැමීම හොඳ යැයි ධම්මිකට සිතේ. දායකයෝ ගෙනෙන කැඩුනු ප්‍රතිමා කොටුවට දමා වසා තැබිය හැකියි. ගෞරවනීය පිළිවෙත් අලුතින් සකසා එම කැඩුණු ප්‍රතිමා වහන්සේලා වසරකට වරක් හෝ වසර කිහිපයකට වරක් ආදාහනය කිරීමද මැනවි.

නිෂ්පාදනය ඉහළ යන විට භාණ්ඩ වල තත්ත්වය බාල වේ. වටිනාකමත් අඩුවේ. තරගය වැඩිවේ. ලංකාවේ බුද්ධ ප්‍රතිමා වෙළෙඳ භාණ්ඩයක් වූයේ ඉතා මෑතදීයි. කලාකරුවන් නොවන කර්මාන්තකරුවන් හා වෙළෙන්දන් එකම අච්චුවේ බුදුපිළිම තනමින් මහා මාර්ග අසල බිම දමා වෙළෙඳාම සඳහා තබා තිබෙනු දක්නට ලැබේ. ප්‍රතිමා කලාව කර්මාන්තයක් ලෙස කිරීම වරැදි නැත. නමුත් ප්‍රතිමාවට අගෞරවයක් නොවන ලෙස ඒවා ප්‍රදර්ශනාගාරවල තැබිය යුතු වේ. මේ කරුණු ගැන සාකච්ඡා කිරීමටත්, නිගමන රජයට ඉදිරිපත් කිරීමත්, ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව ප්‍රතිපාදන ලබා දී ඇත. ඒ බුදු දහම රාජ්‍ය ආගමයි යන ව්‍යවස්ථාවයි. බුදුරජාණන් වහන්සේ මතු නොව වෙනත් ආගම් කර්තෘවරයකුගේ හෝ දෙවි කෙනෙකුගේ හෝ රූප වුව අවමානයට පත් වන්නේ නම් එය ගරු කළ යුත්තන්ට ගරු කිරීමේ උතුම් සංස්කෘතිය අගයන ශ්‍රී ලාංකික සංස්කෘතියට මදිකමකි.


(6) ප්‍රශ්නය

රහත් භාවයේ ප්‍රභේද සහ සිවු පිළිසිඹියාපත් ආදී කරුණු පහදා දෙන්න.

1. සුක්ක විපස්සක මහ රහතන් වහන්සේ
2. සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ
3. අභිඥා ලාභි මහ රහතන් වහන්සේ යැයි රහත් ස්වභාවයේ ස්වභාව කිහිපයක් දක්නට ලැබේ.

සියලු මහරහතන් වහන්සේලා සකල ක්ලේශ ප්‍රහාණය කර නිර්වාණ සැපයෙන් සම වූ උත්තමයෝයි. උදාහරණයක් ලෙස කියන්නේ නම් චක්ඛුපාල රහතන් වහන්සේ මෙන් සුක්ක විපස්සක රහතන් වහන්සේට අභිඥා හෝ පටිසම්භිදා (පිළිසිඹියා) නැත. පසුගිය දා ධම්මික පටිසම්භිදා ගැන පූර්ණ විස්තරයක් කළේ ය.

චුල්ලපන්තක මහරහතන් වහන්සේ අභිඥා ලාභී මහ රහතන් වහන්සේ නමකි. මුගලන් මහ රහතන් වහන්සේ අභිඥා ලාභි සහ සිව්පිළිඹියාවත් මහරහතන් වහන්සේ නමකි. මේ සියලු මහරහතන් වහන්සේ නිර්වාන සැපයෙන් සමානය. පඤ්ඤා විමුක්ත, උභතෝ භාග විමුක්ත, ත්‍රිවිද්‍යක, ෂඩ් අභිඥක, පටිසමිභිදා ප්‍රාප්ත යන විශේෂතා රහතන් වහන්සේලා තුළ පවතී. විසුද්ධි මාර්ගයේ මෙම ස්වභාවයන් මැනවින් විස්තර කර ඇත.


(7) ප්‍රශ්නය
මනසින් බුදුගුණ සිතමින් පින් දහම් කර ගන්නා පරිදි බුදුවරු මහරහත් උතුමන් සිතින් මවාගෙන පුද පූජා පින්කම් කර ගත හැකි නොවේද?

චේතනාව කර්මය යන ගැඹුරු විග්‍රහය නිවැරදිව වටහා නොගැනීම නිසා යමෙක් මෙසේ සිතන්නට, කියන්නට හා භාවිතයට නගන්නට ඉඩ ඇත. මනසින් බුදුගුණ සිතනවා යනු භාවනාවකි. එය පිනකි.

පුද පූජා සිතින් කරමින් පින් අත්වේ යැයි සිතීම වංචනික ධර්මයකට හසුවීමකි. පරිත්‍යාගය, දානය කිසිවිට සිතෙන් කළ හැකි නොවේ. මම පරිත්‍යාගශීලී වෙමියි සිතුවාට යමක් පරිත්‍යාග කිරීමට සිදු වූ විට මහත් පීඩාවට පත්වන අය සිටිති. දානය යුද්ධයකි. එනම් ලෝභය, මසුරුකම, වස්තු කාමය යන කාමයට අයත් වන මාර සේනාව හා සටන් කර ජයගත යුතු දෙයකි. කෙනෙකු තුළ ඇති ලෝභය ප්‍රකට කරවන වංචනික ධර්ම වෙයි. “දානා දී පින් වැඩක් නැත. භාවනා කුසලය නිවන් දැකීමේ ඒකායන මාර්ගයයි. සිල් රැකීම ඕනෑම මහා දානයකටම වඩා උසස්ය” ආදී මුලික බුදු වදන වරදවා විග්‍රහ කරනුයේ ද ධර්ම ඤාණ වේෂයෙන් ලෝභය ඉස්මතු වන බැවිනි. අපි සිතින් බුදු, පසේ බුදු, මහ- රහතුන්ට සිව්පස පූජා කර මහ පින් ලබමු ආදී සිතිවිලි එවැනි වංචනික ධර්මයි.


“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම් ගැටලු කෙටියෙන් ලියා “ධම්ම සාකච්ඡා” බුදුසරණ ලේක්හවුස් කොළඹ ලිපිනයට යොමු කරන්න.