Print this Article


ගංවතුරට කොටුවෙලා සිටි මගේ අම්මා බලන්න මං ඔරුවක් පැදගෙන මහ රාත්තිරියෙම ගියා

ගංවතුරට කොටුවෙලා සිටි මගේ අම්මා බලන්න මං ඔරුවක් පැදගෙන මහ රාත්තිරියෙම ගියා

- කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියෝ භාෂා ශාස්ත්‍ර සමය දර්ශන යනාදියෙහි මතුනොව සම්භාව්‍ය සාහිත්‍යයේ ද මහා පඬිරුවනකි. මේ අසිරිමත් පැවිදි මිණි පහන සසුන්කෙත බබළවන්නේ යම් සේද, උන්වහන්සේගේ මෑණියන් ද ඒ හිමියන් අප වෙත දායාද කළ මහා කල්ප වෘක්ෂයක් බව අපට දැනෙන්නේ ඒ මතක සටහන් බිඳින් බිඳ හෙළිදරව් වීමත් සමඟමය.

තමන්ගේ කඳුළ, රුධිරය මතුනොව සුසුම් පොද ද දරුවන් වෙනුවෙන් කැප කළ මේ දයාබර මාතාව ‘අම්මා’ යන පදයට සැබෑ වටිනාකමක් ලබා දෙන්නීය. මහා නායක හිමියන්ගේ හඬින් මා ඒ අම්මා පිළිබඳ යම්බඳු සටහනක් ඔබ වෙත තබන්නට යත්න දරමි.

හින්දු දේව කථා සාහිත්‍යයේ එන ශිව පාර්වතී කතාව මට මේ වෙලාවේ මතකයට එනවා. මේ දෙන්නාට ‘ගණ’ හා ‘කතරගම’ නමින් දරුවන් දෙන්නෙක් ඉන්නවා. දවසක් ලෝකෙ වටේ රවුමක් ගහලා ඉස්සෙල්ලාම මෙතැනට පැමිණෙන්ට කියලා මේ දෙන්නාට අභියෝගයක් ආවා. ඒ වෙලාවේ කතරගම තම වාහනය මොණරා පිටේ නැගිලා ලෝකෙ වටේ ලොකු රවුමක් ගහලා එනකොට ගණ කළේ තමන්ගෙ අම්මයි තාත්තයි වටේ රවුමක් ගහලා එතැන සිටගැනීමයි. ඒ ඇයි? කියා විමසුවාම ඔහු කීවේ මගේ ලෝකය තමයි අම්මයි, තාත්තයි ඊට එහා මට ලෝකයක් නෑ. ඒ නිසා ලෝකය වටේ තමා මා ගියේ කියා කීවා. ඒ අනුව ‘නාරද’ කියන තවුසාගේ අඹ ගෙඩිය එයාට හිමිවුණා. ගණ නුවණට අධිපති ලෙස සැලකෙන්නේ එදා පටන්.

ඉත්තෑපාන කියන්නෙ ගම් වළල්ලක එකතුවක්. ලූල්බද්දාව, තොටපාත ආදී වශයෙන් එතැන පුංචි ගම් 18ක් තිබෙනවා. කෘෂිකාර්මික ගම්මානයක්. රබර්, පොල්, කුඹුරු මේ හැම දෙයක් ම ටික ටික තිබුණා. බෙන්තර ගඟ පාමුල මී ගං ගඟ අපේ ගම් මණ්ඩියට පහළින් ගැලුවෙ. වසරේ දෙතුන් පාරක් අපේ ගමටත් ගංවතුර ගලනවා. ස්වභාව ධර්මයේ මේ සමහර පීඩාවන් අහිංසක ගැමියන් වන අපේ අම්මා තාත්තා ඉවසුවා. අපේ නෑ කට්ටිය එකතුවෙලා ගෙවල් 15ක් විතර එක මණ්ඩියක තොටපාත කියන හරියේ තනාගෙන හිටියෙ. අපේ තාත්තා ගොවියෙක්. ඒ කාලෙ ඒ වගේ ප්‍රධාන ගොවි මහත්වරුන්ට ගමේ කීවේ ‘මහයා’ කියලයි. හොඳ සවි ශක්තිමත් මිනිස්සු උන්න ගොඩක් අතර හිටියත් කැපිලා පේනවා. යායක් වුණත් අස්වද්දන්න ශක්තිය තිබුණ පියා නම්වර ලන්නේ ජී. ඩී. ජේමිස් අප්පුහාමි නමින්. අම්මා මීගහපලානේ දොන් ලැයිසොහාමි. අපේ පවුලෙ දරුවන් 9 දෙනෙක්. මං බඩපිස්සා. අද මේ පවුලෙ මායි අක්කයි විතරයි ඉතිරි. අක්කගේ නම මැගිලින් කන්නන්ගර, අපේ අම්මලා බොහොම දුක් විඳපු ඒ වගේ ම බොහෝ වැඩකළ ගැහැනු. ගෙදරට අවශ්‍ය වී ටික, ගම්මිරිස් ටික, එළවළු ටික මේ හැම දේම ඒ අය වත්තෙ හිටවල රැස් කර ගත්තා. දුරු මිරිස් ටිකක් විතරයි පොළෙන් ගෙනාවෙ. අම්මා අපට හොඳට කන්ට දීලා ඉස්කෝලෙ ඇරියෙ. දහවල් වන තුරු කිසිම බඩගින්නක් හැදෙන්න ඉඩක් නොදී. ඇය කැකුළු හාල් බත උයලා ඒ බත් ගෙඩිය අපට බඳින්නෙ අපූරු විදියට. බත් දාලා ඊට පස්සෙ ඒක උඩින් කිතුල් පැණි දානවා. ආයිත් බත් දානවා. ඒ බත් එක කෑවාම ගල් ගෙඩියක් බඩට දැම්මා වගේ. මං අකුරට ගියේ ඉත්තෑපාන කනිෂ්ඨයට. අද ඒක මහා විද්‍යාලයක්. කොල්වින් ආර්. ද සිල්වා විදුහල අද ඒකෙ නම.

අපේ අම්මලා හරිම අහිංසකයි. කැලෑ කොළ මැල්ලුම, තිබ්බටු මැල්ලුම කොස් පොළොස් හැදුම් අපේ අම්මලා අගේට කළා. ඒ කෑම මොන තරම් රසවත් ද? හැම දෙයක් ම අඹරලා වේලලා පිටිකරලා අපට කැව්වෙ. ඇයගේ කිරි හොද්ද පංකාදුයි. අවුරුදු 80 ගණනක් වෙනකම් පන්සලේ හිටියත් අම්මගෙන් කාපූ ඒ රසවත් ආහාර මං ඊට පස්සෙ කාලා නෑ. ගේ පිටිපස්සෙ මී ගං ගඟ තිබුණත් ඒකෙ පොකිරිස්සො අල්ලන්ට අපට තහනම්. මස් මාංශ, විශේෂයෙන් හරක් මස් අපට කන්න දුන්නෙම නෑ. මිරිදිය මාළු ටිකක් කරවල කෑල්ලක් නම් දරුවන්ට දුන්නා. තාත්තා බණ කතා කියන්න හපනා. ගේ පිටුපස්සෙ මැද මිදුලෙ පැදුරක් එළලා රාත්‍රියට දරුවො ටික තියාගෙන මේ දෙමාල්ලො බණ කථා කීවා. අපට නින්ද යනවානම් අප අවදි කරන එක අම්මා කළේ. පියා රසවත් ආදර්ශ කතාවක් කීවා. අපේ ගෙවල් මණ්ඩියේ කවුරුත් හරිම සහයෝගයි. පොල් ටික කැඩුවාම අඹ ටික කැඩුවාම කවුරුත් එකට බෙදාගෙන කෑවා. මේ සිරිත් විරිත් නිසා පවුල් අතර ගම් අතරත් සමාදානය සහජීවනය වැඩුණා. අපේ ගම්වල බෙරහඬක් නෑසුන දවසක් නැති තරම්. යාගහෝම, ශාන්ති කර්ම, බලිතොවිල් හැම තැනම. කමතෙ කුඹුරෙ මේ හැම තැනකම තිබුණ සියලු කටයුතුවලට දරුවනුත් හවුල් කරගත්තා. ඒ සංස්කෘතික ක්‍රියාකාරකම් අපේ හිතටත් කාන්දු වුණේ අම්මලාගේ ආභාසයෙන්. අපේ අම්මලා කිසිම දේකට සැලෙන්නෙ නෑ. අඬන්නෙ නෑ. ඒත් මට අවුරුදු 8 – 9 දී මට මගේ අම්මගෙ මහ විලාපයක් ඇහුණා. ගෙවල් මණ්ඩියෙ කවුරුත් පුදුම වෙලා දුවගෙන ආවා. ඒ මගේ අම්මා මිදුලෙ මැද වාඩිගෙන හිස අත් ගසාගෙන මහ විලාපයක් නැඟු දවස. හේතුව මගේ අයියා ‘සේතං’ බොරු කෝලහලයකට පොලිසි ගෙන යාම. රණ්ඩු සරුවල්වලට නොයන අම්මා දුක දරාගත්තෙ ඒ විදිහට. අයියා නිර්දෝෂයි කියලා අම්මාට ඔප්පු කරන්ට බැරිවුණා.ඒ කාලෙ ගුරුවරුන්ට දරුවන් විතරක් නොවේ. මාපියන් පවා බයයි. ඒ තරම් සැර හැබැයි! අවංක ගුරුවරු අපට හිටියෙ. අපේ ගෙවල් ළඟ ඉඳළ හැතැක්ම 3 – 4 ක් ඉස්කෝලෙට තියෙනවා. දවසක් මුල් ගුරුතුමා මටයි ප්‍රේමරත්න අයියාටයි කීවා මේ ගුරු නිවාසෙ නැවතිලා පාඩම් වැඩ කරගෙන ඉස්කෝලෙත් බලාගෙන ඉන්න කියලා. මුල් ගුරුවරු කීවාම මව්පියොත් ඒක එක හිතින් අනුමත කරනවා. එතකොට දෙවැනි ලෝක යුද්ධ කාලෙ. අපි දෙන්නා ඉස්කෝලෙ නැවතුණා. කෑම බීම උයාගෙන කනවා. දවසක් හැන්දෑවේ අපි දෙන්නා ටිකක් එහාට ගිහින් නරක වැඩක් කළා. ඒ තමයි අසල්වැසි ගෙදරක කුරුම්බා කැඩීම. පහුවදා අර කපාපු කුරුම්බා ගෙඩිවල ලෙලිත් අරන් අම්මා කෙනෙක් ඉස්කෝලෙට ආවා. ඇවිත් මේ ළමයි මෙහෙම වැඩක් කළා කියලා මුල් ගුරුතුමාට කීවා. දෙන්නාටම නොසෑහෙන්න වේවැල් පහර ලැබුණා. ඒ කාලේ ඉස්කෝලෙන් ගුටි කෑ බව ගෙවල්වලට ආරංචි වුණාහම අපේ අම්මලා ඒ ගැන අහන්න ගුරුවරු හම්බවුණේ නෑ. ගෙදරින් ඊටත් වඩා ගුටි ලැබෙනවා විතරයි.

ගමේ පැවැත්වෙන පාන්මඩුව නම් උත්සවයට අම්මා නොවරදවාම අප කැටුව යනවා. පන්සලටත් එක්ක යනවා. මේ පාන්මඩුව දවස අපට මහ මඟුල් ගෙයක් වගෙයි. මුලින් ම පාවර ගොඩ ගහනවා. ගොයම් කොළ ගොඩගැහිල්ලට එහෙම කීවෙ. ඊට පස්සෙ පාගනවා. උදේ වන විට කැවුම්’ කිරිබත්, කෙසෙල්, ආදී විවිධ රසවත් ආහාරයෙන් කවුරුත් සතුටු වෙනවා.

කොල්ලන්ගේ දඟකාරකම් මටත් තිබුණා. ඒත් අම්මා මිය යන විටත් මා ඒ කළ වැඩේ දන්නේ නෑ. අපේ ගමේ හිටියා මී හරක් දෙපළක්. හරිම සද්දන්ත සත්තු. එකෙක් ගෙ නම තට්ටයා. අනෙකා හැඩයා. මේ දෙන්නා කොහේදි හම්බවුණත් එකෙක් තුවාල වෙලා පැනලා යනකම් ඇන ගන්නවා ඒකමයි වැඩේ. මං කොලුකමට එතෙක් කඳුරු ගහක ගැටගහලා හිටපු තට්ටයාව ලෙහා දැමුවා. ලෙහා දැමූ ගමන් මෙයා යන්නෙ සටනට. මං ගහක නැගලා බලා ඉන්නවා. මේකා ගම් මැද්දෙන් දුවනවා. හැඩයා හම්බවුන ගමන් මෙන්න මහා සටන. ඉතින් ගමේ මිනිස්සු කියනවා කවුරුද මේ තට්ටයාව ලිහා දැම්මෙ. දැන් එකෙක් මැරෙනවා කියලා. ටික වේලාවක් ඇනගෙන ඔන්න මිනිස්සුත් කෑ කහනකොට එකෙක් දිවුවා කැලේට. අම්මා දන්නවා නම් වේවැල් කසාය තමයි. ඒත් අපේ අම්මලා දරුවන් හැදුවෙ ආදරබර වචනයෙන්. දඬුවමට ලොකු තැනක් දුන්නෙ නෑ.

අපේ ගමෙන් 50ක් විතර ගියා ඉත්තෑපාන ශ්‍රී සුනන්දාරාමෙට. කලක් යනකොට අන්තිමට දහම් පාසල් යන්න ඉතිරි වුණේ මං විතරයි. පත්බේරියෙ ඉන්දානන්ද නායක හාමුදුරුවො මට ආදරෙයි. හේතුව මට හරිම මධුර කටහඬක් තිබුණා. පන්සලේ ශ්ලෝක, ගාථා, කවි මා ඒ උත්සවල අගේට ගායනා කළා. මගෙ කේන්දරයේ ඉල්ලාගෙන බලලා කීවා මෙයාවනම් මහණකමට හොඳයි කියලා. මගේ මහණකමට පදනම වැටුණේ ඒ විදියට.

තාත්තාට එන්න කියා පන්සලෙන් පණිවුඩයක් ආවාම එදාම ගියා. හාමුදුරුවො විස්තරය කීවාම තාත්තා නම් කැමැති වුණා. අම්මා කෙළින් ම අකැමැති වුණා. මගෙත් ඉල්ලීමට කොහොමින් කොහොම හරි ඒ කටයුත්ත සිදුවුණා. 1950 පෙබරවාරි 25 වැනිදා මගේ මහණ කිරීම සිදුවුණේ. 1960 දී උපසම්පදාව ලැබුවෙ. මං ලොකු හාමුදුරුවන්ගෙ අනුදැනුම ඇතිව පිරිවෙන් අධ්‍යාපනයට මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඒ වන විට ඇවිත්. මට එතකොටත් වයස 11 යි.

1958 ගංවතුර මගේ දුප්පත් අම්මගෙ ගම තොටපාත සම්පූර්ණයෙන් ගිලගත්තා. අපේ මණ්ඩියේ නෑ ගෙවල් 9ක් වතුරේ ගිලුණා. රාත්‍රියටත් කට්ට කළුවරේ ඇඳිවත විතරක් ඇතිව වහළ උඩ නැගලා කවුරුත් ඉන්නා බව දැනගත්තත් මගේ අම්මා දකින්නෙ නැතුව මං කොහොම ඉන්නද? මං ඉක්මනට ගම පැත්තට ආවා. මොන ගමක්ද? දිගට ම මහ මුහුද වගේ. ලෙව්වන්දූව පන්සලෙන් මට ඔරුවක් ලබා දුන්නා. මං ඒ ඔරුවෙ නැගිලා රාත්‍රී 9ට විතර දැන් කළුවරේ තවත් කෙනෙක් එක්ක අම්මා සොයාගෙන යනවා. අඩි ගණනක් වතුර නැගලා තාමත් බැස්සෙ නෑ. මං අම්මට කලින් සාමණේර බණ කියා තිබුණා. ඒත් ජීවිතය පිළිබඳ බණ කියන්න අම්මා ඉන්න එපායෑ. අනේ? මහ රාත්තිරියෙ අම්මා ගිලුණු අපේ ගෙදර වහලෙ සීතලයේ ගැහි ගැහි ඉන්නවා. මා ගෙනා අඩුම කුඩුම ටිකක් අම්මාට දුන්නා. අනෙක් නෑ පිරිවරටත් දීලා අම්මෙ ජීවිතේ හැටි මෙහෙම තමයි කියලා හිත නිවන බණක් එදා අම්මාට කීවා. මගේ අම්මා ඒ බණ අහලා කීවෙ මගෙ පුතේ, නුඹ බුදුවෙයන්, කියලයි. ඇය හදවතින් ප්‍රාර්ථනා කළේ. අපේ අම්මා තුළ මා දුටු ප්‍රධානම ගුණාංග තමා නොසැලෙන ගුණය. ඒ වගේම නායකත්වය. ගමේ හෝ නෑ පිරිවර අතර මඟුල් තුලා ආදියට ගියත් ඇයට නිතරම නායකත්වය ලැබෙනවා. මා හිතන්නෙ ඒ නායකත්වයෙන් බිඳක් හෝ මටත් පිහිටන්න ඇති. අපේ ගමේ කිතුල් ගස් මැදීම, පැණි හකුරු කර්මාන්තෙ ජයට තිබුණා. මී කිරිත් ඕනෑ තරම්. ඒත් මේ හැමදෙනෙක් එක්කම අම්මා අපට කැවූ සිංහල හාල, මැල්ලුම අපව ලෙඩ්ඩු කළේ නෑ.

අපේ අම්මා මිය ගියාට පස්සෙ මා හීනෙකින්වත් දැක්කෙ නෑ. එතුමිය නිවන් මඟට පිළිපන් බවට සැකයක් නෑ. මගේ පියා හා මව වෙනුවෙන් මා කරන හැම පිනක් ම අනුමෝදන් කරන්න මං හැම වෙලාවෙම කටයුතු කරනවා. ගංවතුර දෝරෙ ගලන ගම් පළාතක තම දරුවන් යෙහෙන් වඩන්නට දර දිය ඇදි මගේ අම්මා සංසාර සාගරෙන් එගොඩ කරන්න මටත් පුළුවන් නම්...... එය තමයි මා ලැබූ මේ පැවිදි දිවියේ අසිරිමත් ම භාග්‍යය.