අම්මට බණ පදයක් කියන්න මට වරම් ලැබුණේ නෑ
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක
දවුල්දෙණ ඤාණිස්සර මහා
නා හිමි
මේ මහා සංඝ පීතෘන්වහන්සේ දැන් වයස ශත වර්ෂයකි. වසර සියයක් ගත කළ ද
උන්වහන්සේගේ මතකය තවත් වසර ගණනාවකට වුව නිරවුල්ය. ඌව පළාත, උඩුකිඳ,
දවුල්දෙණ, අමරපුර මහා නිකාය, ශ්‍රී ලංකා මව මතු නොව සිරිලක් සඟ පරපුරේ
ද මහා මිහිරි පහනක් වන් ශිලෝපේත ගුණෝපේත, දවුල්දෙණ ඤාණිස්සර මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ මා අබිමුව සිට තම මෑණියන් පිළිබඳ සුන්දර මතකය
මෙසේ අවදි කළහ.
අපේ අප්පච්චිගෙ ගම දවුල්දෙණ. ඌව පළාතේ හරිම ලස්සන කඳුවැටි ආදියෙන්
අලංකෘත ගමක්. මගෙ මෑණියනුත් ඒ ගමට කිට්ටුව කෙනෙක්. ආලෝක මුදියන්සෙලාගේ
කඋරාළ කියන්නෙ අප්පච්චි. මෑණියෝ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකා. මගෙ
ජීවිතේ මං දැක්ක පුදුමාකාර දෙමහල්ලො දෙන්නෙක්. හරියට බුදුන් කල සිටි
නකුල මාතා හා නකුල පිතා වගේ. වවා ගත් බත බුලත බෙදාහදාගෙන කාටත් කරදරයක්
නැතිව දරුවන් හැදූ වැඩූ උතුම් මාපිය දෙපළක්. අපෙ පවුලෙ දරුවෝ 11
දෙනෙක්. මා ඉපදුණේ 9 වැන්නා විදියට. ඒ කාලෙ ලෙඩ දුක් ගම්බද පැතිරෙනවා.
ඒ නිසා දරුවන් අකාලයේ මිය යන අවස්ථා වැඩියි. ඒ නිසා මට කලින් සිටි
දරුවන් 3 දෙනෙක් මං ඉපදෙන්ට පෙර මියැදිලා. ඒ කාලේ නැකැත්රාළ, වෙදරාළ,
ආදීන් එක්තරා කාලයකට අපේ ගෙවල්වලටම එනවා. ඇවිත් දරුවන්ගෙ ලෙඩ දුක,
කේන්දර ආදිය බලනවා. ඔබතුමා මගෙ අම්මගෙ ඡායාරූපයක් ඉල්ලනවා. 1930- 40
ගණන්වල එහෙම දේවල් ගණ්ඩ නගරයට එන්ඩ ඕනෑ. ඒ ගත්තත් අද වගේ දියුණු
තාක්ෂණයක් නොව්. ඒ නිසා අපේ අම්මලට ඡායාරූප නෑ. සපුගොල්ල තපොධනාරාම මූල
මහා විහාරය තමයි අපේ පන්සල. මේ පන්සලට අපේ ගෙදර ඉඳන් හැතැප්ම 3 – 4 ක්
දුරයි. එය පෝදාට සිල් පවාරණය කරලා අම්මලා රාත්තිරියේ හුළුඅත්තක් පත්තු
කරන් ගෙදර එන්නෙ පාද යාත්‍රාවෙන්මයි. අපෙ අම්මලාගෙ අප්පච්චිත් ගමන්
බිමන් කොහොමත් පයින් තමයි.
මං අකුරට ගිය මැදවෙල ඉස්කොලෙට. දැන් නම් ඒක මහා විද්‍යාලයක්. පුදුම
ගුරුවරු අපට හිටියෙ. රෙද්ද බැනියම ඇඳලා ටුවිට් කෝට් එක දාලා මේ අය
ඉස්කෝලේ එන්නෙ. දරුවන්ට සැරට හිටියට හරිම ආදරෙයි. බොහොම සරල විධියට
ගුණිත කිරීමේ ක්‍රම කියලා දුන්නා. උදාහරණයක් වශයෙන් අසූපහෙන් වැඩි
කරන්ට හැත්තෑ පහ හැත්තෑ පහෙන් වැඩි කරන්නට ඕනෑම ගණනක් එසේ වැඩිකිරීමට
සරල ක්‍රමයක් අපට දුන්නා. ඒ හිමියන්ගේ මතකය කොතරම්ද යත් ඒ ක්‍රමය මටද
කියා දෙන්නට උන්වහන්සේ අදත් සමත් ය.
අපේ අම්මත් එහෙමයි. බණ කතා, චෝර කතා, ජාතක පාලියේ කතා, වීර කතා කියන්ඩ
ඇය උපන් හපනියක්.මදටිය ඇට තියලා අපට ගණන් හදවන්නත් හරිම දස්සියක්.බණ
මඩුවේ ඇය අහන කතා එලෙසින්ම අපටත් කියා දුන්නා. අනෙක් ළමයි වගේම මමත්
ඉස්කෝලෙ ඇරිලා එන මඟ පාරේ වෙරළු, මාදං, හිඹුටු, පේර මේවගේ ගෙඩි ගස්
නැගලා කඩාගෙන එන බව අම්මා දන්නවා. ඒත් අම්මලා ඒවා සැලකුවෙ දරුවො යම්
තරමකට හෝ ඒවා කළ යුතු බව කල්පනා කරා කියලා හිතෙනවා. ඒ නිසානෙ ඇය එව්වාට
බැන්නෙ නැත්තෙ හැබැයි! ඔහේ ගිහින් මාළු බාන්න, තිත්ත පැටව් අල්ලාගෙන
බෝතලවල දාලා ඇති කරන්න නම් ඇය ඉඩ දුන්නෙම නෑ. අම්මයි, අප්පච්චියි
දෙන්නම කිව්වෙ. ඒවා පව්කාර වැඩ සතුන්ට හිංසාවන කිසිම දෙයක් කරන්න එපා
කියලයි.
අම්මා නැකැත් කේන්දර විශ්වාස කළා. අප්පච්චිගෙ කුඹුරුවල බිම් සකස්
කිරීම, වැපිරීම, ගොයම් කැපීම, කොළ මැඩවිල්ල මේ හැම අවස්ථාවක්ම සිදුවුණේ
නැකැතක් අනුවයි. අපේ ගෙවල්වල ලයිට් නෑනේ. අපි පාඩම් කළෙත් කුප්පි
ලාම්පු එළියෙන්. ඔබ විශ්වාස කරනවාද? අපෙ කුඹුරුවල ගොයම් කොළ මඩවන
වෙලාවටත් එළිය කරන්නේ හුළු අතු කීපයකින්. ඊට පස්සෙ කුඩා ලන්තෑරුම්
දෙකකින්. ඊට වඩා ඉහළ මට්ටමේ පැට්‍රල් මැක්ස් ආදිය තිබුණෙ පන්සලේ
විතරයි. මටත් පුංචි සන්දියේ ඉඳහිට අම්මගෙ නැට්ට වගේ පස්සෙන්ම යන
සිරිතකුත් තිබුණා. ඉතින්! අප්පච්චිගෙ කුඹුරෙ වැඩවලට අම්මත් යනකොට මාත්
යනවාමයි.
1925 පමණ කාලෙ මම අවුරුදු 10 ක විතර කොල්ලා. අපේ ගෙදර ආපු නැකැත්රාළ
අම්මගෙන් මගේ කේන්දරේ ඉල්ලාගෙන බලලා කියලා තියෙනවා. මෙයා නම් සුදුසු
මහණකමට. මහණ කළොත් නම් රටට ශාසනයට සේවයක් කරනවා කියලා. මේ ආරංචිය කොහොම
හරි සපුගොල්ලෙ පන්සලේ ලොකුහාමුදුරුවො ඌමෑලේ පඤ්ඤානන්ද හාමුදුරුවන්ටත්
ගිහින්. ඒ ස්වාමීන් වහන්සේ අපේ ගෙදර වැඩියා. අම්මගෙන් අප්පච්චිගෙන්
ඇහුවා. මේ දෙන්නා තීරණ ගත්තත් ගන්නෙ එකටමයි. අපිත් හිතා ඉන්නෙ පොඩි එකා
මහණ කරන්න තමයි. කේන්දරකරුත් කියනවානෙ ඒක උතුම් පින්කමක් කියලා. අම්මයි
අප්පච්චියි කිව්වා, සපුගොල්ල පන්සලේ ඉන්න හාමුදුරුවරුන් හරිම සුවපහසු
සැහැල්ලු ජීවිතයක් ගත කරන බව මාත් තේරුම් ගෙන හිටියෙ. මං ලොකු
හාමුදුරුවන්ට කැමැත්ත පළ කළා. ඒ වන විට මං හිටියෙ ඉස්කෝලෙ අට වැන්නෙ.
ඌමෑලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ තමයි මගේ ගුරු හාමුදුරුවො. උන්වහන්සේ
1928 මාර්තු 08 වැනිදා මා පැවිදි දිවියට ඇතුළත් කැර ගත්තා. එතෙක් කල්
මට තිබුණ ගිහි නම ගැලැවිලා මං එදා ඉඳන් දවුල්දෙන ඤාණිස්සර නම්වර
ලැබුවා. මුලින්ම පන්සලේ හාමුදුරුවන්ගෙන් බණ දහම් ඉගෙන ගෙන හග්ගල
සංඛගිරි විහාරයටත් වැඩම කර ඉගෙන ගත්තා. ඊට පස්සෙ තමයි මාලිගාකන්ද
විද්‍යෝදය පිරිවෙනට ගියේ ශිෂ්‍ය හිමිනමක් වශයෙන්.
අම්මා මාව පැවිදි කරන්ට කැමැත්ත පළ කළාට මං පැවිදි වුණු දවසේ හොඳටම
ඇඬුවා. ඇයගේ නතර නොවුණ වැලපිල්ල පෘථග්ජන මගේ පුංචි සිත එදා සෙලෙව්වා.
ඒත් කවදාකවත් මේ සිවුර ගලවන්නෙ නෑ කියලා මං අදිටන් කරගත්තා. අප්පච්චියි
අම්මයි එක් වතාවක් පන්සලට ආවාම අප්පච්චි ලොකු හාමුදුරුවන්ට කීවා. අපේ
පොඩි හාමුදුරුවො ගමේම තියන්න කොළඹ යවන්ට එපා නරක් වේවි කියලා. ඒත්
අම්මා නිහඬව හිටියා. එතුමිය වරක් ගමේ කියලා තිබුණා පොඩිහාමුදුරුවො
ශීලවන්තව ඉන්නවා. ඒක මට සතුටක්. නිවනින් සැනසෙන්ට මහා පිනක්.
අපෙ අම්මා මගේ ශාසන ඇල්ම විශ්වාස කළා. මං ඒක මේ අවුරුදු සීයයට රැක්කා.
අපෙ අම්මා පන්සලට ආවා ගියාට කිසි දෙයක් පන්සලෙන් ගෙන යන්නෙ නෑ අද
බුදුපිළිම සිරස කඩන අය හිටියට පන්සලේ දේ හොරාකන අය හිටියට එදා අය එය
මහා අවනම්බුවක් ලෙස සැලකුවේ.
මගෙ අම්මා පන්සලට ඇවිත් පෝය දවසේ හවසට සිල් පවාරණය කරලා ගෙදර යනකොට
කළුවර තුනී සළු එළමින් තිබුණා. ඇයට සැතැපුම් 3 ක් විතර ගෙදර යනකම්
කළුවරේම යන්න වෙන්නෙ පාරෙත් ගෙවල්වලත් විදුලිය නෑනේ. (1928 – 30 කාලය)
ඒ නිසා බුදු මැදුර එළිය කළ ඉටිපන්දමක් මතක නැතිව අරගෙන ටික දුරක් ඇවිත්
ඒ වෙලාවෙ ඇයට සිහි නැගිලා මේ ඉටිපන්දම මට අයිති නෑ. ඒක පන්සලටයි අයිති
කියලා ඇය ආයිත් ඇවිත් පන්සලේ බුදුමැදුරින් ඉටිපන්දම නවැත තියලා කළුවරේම
ගෙදර ඇවිත්.මගෙ අම්මා එහෙම කෙනෙක්.
පන්සලේ වැලිමළුවෙ වැලි පයේ තැවැරුණා නම් ඒකත් පාරට ගෙන යන්නෙ නැතුව පය
ගසා ඒ වැලි ඇට කීපයත් පන්සලට බාර දීලා එන්න පුතේ..... එහෙම තමයි පුංචි
දවසෙත් මට කීවේ.
පුංචි සන්ධියේ අඹ ගෙඩියක් කපන්ට ගිහින් මගෙ අතේ ඇඟිල්ලක් තරමක් කැපුන
වෙලාවෙ ඇය වත්තට ගිහින් මොනවාදෝ දළු ටිකක් තියලා මගේ ලේ ගලන තුවාලය සුව
කරගත්තෙ. අපි දොස්තරලා හොයාගෙන නගරවලට ගියෙ නෑ. මට බඩේ අමාරුවක් හැදුණු
වෙලාවෙත් ඇය බෙහෙත් හෙව්වෙ ලිප් බොක්කෙන්. මේ වගේ අත් වෙදකම් අම්මා දැන
හිටියා. අප්පච්චි අපේ ලොකු හාමුදුරුවන්ට මාව කොළඹ යවන්නට එපාය කියපු
වෙලාවෙ උන්වහන්සේ කීවේ අපූරු කතාවක්. මේ පොඩිනම දක්ෂයි. එදා නන්දෝපනන්ද
නාග රාජයා දමනය කළේ පුත්තේන තෙර (මුගලන් හාමුදුරුවො) කවදා හරි මේ
පොඩිනම මේ රට සසුන විතරක් නොවේ ලෝකෙම ධර්ම දූත සේවයක් කරාවි කියලයි.
අදවන විට මං ඒ වගේ ලෝකය පුරා ආගමික සම්මේලනවලට ගිහින් තියෙනවා. සංස්කෘත
පඬිවරයෙක් ලෙස තායිවානයේ අවුරුදු ගණනක් හිටියා. සංස්කෘත කාව්‍ය රචනා
කළා. පොත් ගණනාවක් ලීවා. උපාධි සම්මාන ලබන්න ඕනෑ සියල්ලම ලැබුවා.
ඒත් මට මහා දුකක් ඇතිවුණා. මං පැවිදිවෙලා අවුරුදු දෙකක් යනකොට මගෙ
අම්මා අන්ත්‍රාවුණා.
මට ඇයට බණ පදයක් කියන්ට ලැබුණේ නෑ. ඒත් මා කළ සියලු ශාසනික මෙහෙවරවලත්
ඒ පින්කම්වල පුණ්‍යානුමෝදනා මං අම්මටත් අප්පච්චිටත් අනුමෝදන් කළා.
අම්මා අඩු වයසින් මළත් අප්පච්චිත් අවුරුදු එකසිය ගණනක් ජීවත් වුණා. මං
සංසාරේ යළි යළිත් ඉපදෙන බව පිළිගන්නවා. එම සංසාරෙදි මගෙ අම්මා ආයිත් මට
ලැබේවා කියලා අපට හිතාගන්න බෑ. ඒ නිසා නිවන් යන්නයි මේ ආත්මයේ අවසානයේ
මා කැමති. ඒත්! ටික කලක් මට වරම් ලැබුණොත් ජීවත් වෙන්ඩ ඒකටත් මා
කැමැතියි. ඒ අම්මාට හා අප්පච්චිට තවත් පින් පමුණුවන්ඩ.
සඟපිත් දවුල්දෙණ මා හිමියනි, ඔබ වහන්සේටචිරාත් කාලයක් වැඩ ඉන්නට ආ වඩා
ආයු බෝ වේවායි පතමු.
උපාලි සමරසිංහ |