Print this Article


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 48

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 48

බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩම කරවන ලදී.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී කොසඹෑ නුවර ප්‍රමුඛ සිටුවරු තිදෙනෙක් විසූහ. ඒ ඝෝෂිත සිටුතුමා, කුක්කුට සිටුතුමා හා පාවාරික සිටුතුමා යන මේ සිටුවරුන් තම ව්‍යාපාරික කටයුතු සඳහා උතුරු පළාතට ගිය විට සැවැත් නුවර ජේතවනාරාමයේ බුදුරදුන් වැඩ සිටි දිනක උන්වහන්සේ හමු වී බණ අසා පැහැදි කොසඹෑ නුවරට වඩිනා ලෙස ඇරයුම්කොට පැමිණ තිදෙනා විහාර තුනක් නිර්මාණය කළේය. ඝෝෂිත සිටුතුමා විසින් කළ විහාරය ඝෝෂිතාරාමයත්, කුක්කුට සිටු විසින් කළ විහාරය කුක්කුටාරාමයත්, පාවාරික සිටුතුමා විසින් කළ විහාරය පාවාරිකාරාමයත් විය. විහාර වැඩ නිමවා නැවත ආරාධනා කළ පසු නවවැනි වස් කාලය ගත කිරීම සඳහා කොසබෑ නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ. තිපල්ලන්ත මිග ජාතක කථාවට අනුව මෙම විහාර තුනට අමතරව බද්දිසිකාරාමය, යන නමින්ද විහාරයක් නගරයට පිටතින් තිබූ බව සඳහන් වෙයි. කොසැඹෑ නුවර ඝෝෂිතාරාමය එම විහාරයන් අතුරින් අතිශය සුන්දර මනරම් විහාරයක් විය. එය යමුනා ගඟ අසබඩ නගරයේ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණි.

එම විහාරය පිළිබඳව හියුංස්‍යාං සහ පාහියන් වාර්තා වලද ඉතා අගය කොට වර්ණනා කර ඇත. කොසඹෑ නුවර ඉතා සුන්දර ජනපදයකි. මෙය බරණැස සිට කි.මී. 200 ක් පමණ දුරින් පිහිටා ඇති අතර දඹදිව වන්දනාවට යන ඇතැම් බෞද්ධයන් මේ පුදබිම දැක බලා ගැනීමට නොයයි. ඒ ගමනේ ඇති දුෂ්කරතාව හා ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නැති නිසා නමුත් එහි දැන් ‘ශී‍්‍ර ලංකාරාම’ නමින් විහාරයක් ගොඩනගා ඇත. එම විහාරය ලාංකික සැදැවතුන්ගේ ආධාර හා උපකාරය මත ගොඩනගා ඇත. ආචාර්ය තලම්මැහැර සිරි විසුද්ධී හිමියන්ගේ ශක්තිය මතින් 2006 පෙබරවාරි 03 වන දින මේ විහාරය ආරම්භ කරන ලදී. උන් වහන්සේගේ කැපවීම හා අධිෂ්ඨානය මත බෞද්ධයන්ට අයිති මේ පුදබිම ආරක්ෂා වී පවතී. ඔබ යන දඹදිව ගමන සම්පූර්ණ කරගැනීම සඳහා කොසඹෑ නුවරට ගොස් එහි ඓතිහාසික තොරතුරු දැන වන්දනා කර එන්නට අමතක නොකරන්න.

බුදුරජාණන් වහන්සේ කොසැඹෑ නුවර වැඩ සිටින සමයේ සිදුවූ සිදුවීම්

ධර්මධර, විනයධර භික්ෂූන් අතර සිදුවූ අසමගිය


කොසඹෑනුවර විහාරාරාමවල නටබුන්

ධර්මධර භික්ෂූන් වහන්සේ තමන් අතින් සිදුවූ සුළු ඇවතක් මුල් කොටගෙන කොසැඹෑ නුවර සියලු භික්ෂූන් කොටස් වාද විවාද ඇති කර ගත්හ. එම ගැටුම සංසිඳවීමට බුදුරදුන් ගත් උත්සාහය අසාර්ථක වූ හෙයින් උන්වහන්සේ තනිවම පාරිලෙය්‍ය වනයට වැඩමකොට එහි දස වැනි වස් කාලය ගත කළහ. පසුව භික්ෂූන්ගේ අසමගිය නැතිවූ පසු නැවත කොසඹෑ නුවරට වැඩම කරන ලදී.

සාමාවති දේවිය ඇතුළු පිරිස මරා දැමීම

මාගන්ධියා විසින් සාමාවති දේවිය හා ඇයගේ දාසියන් පන්සිය දෙනෙකු මාලිගයක සිරකොට වටින් ගිනි දමා පුළුස්සා මරා දමන ලදී. මේ බව දැනගෙන උදේනි රජතුමා මාගන්ධියා සහ ඇගේ සියලුම ඥාතීන් එලෙසින්ම මරා දමන ලදී.

දේවදත්ත හිමි බුදුරජාණන් වහන්සේ මැරීමට කුමන්ත්‍රණ සිදුකිරීම

දේවදත්ත හිමියන් විසින් භික්ෂුන්ගේ පාලනය තමන් සතු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් විනයට නීති පමණක් ඉදිරිපත් කරන ලදී. එනම්

1.ජීවිතාන්තය තෙක් භික්ෂූන් ආරාණ්‍යයකම විසිය යුතුයි.

ජීවිතාන්තය තෙක් භික්ෂූන් පිණ්ඩපාතික විය යුතුයි

ජීවිතාන්තය තෙක් භික්ෂූන් පාංශුකූලික විය යුතුයි.

ජීවිතාන්තය තෙක් භික්ෂූන් වෘක්ෂමූලික විය යුතුයි.

ජීවිතාන්තය තෙක් භික්ෂූන් මත්ස්‍ය මාංශයෙන් මුළුමනින්ම වැළකිය යුතුයි.

දේවදත්ත හිමියන් විසින් ඉදිරිපත් කරන ලද ඉහත දක්වන ලද විනය රීති මාලාව ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් කැමැති නම් එය සිදු කරයි. අකැමැති නම් නොකර සිටියි යනුවෙන් ප්‍රකාශ කරන ලදී. තම වචනය බුදු හිමියන් නොපිළිගත් හෙයින් බුදුරදුන් මරා හෝ බුද්ධ රාජ්‍යය ලබා ගැනීමේ කුමන්ත්‍රණය සකස් කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේදීය.

කාලි යක්ෂණියගේ උපත සිදුවීම

බුදුරදුන් මෙහි වැඩ සිටි සමයෙහි දරුවන් මරා කෑ යකින්නක දමනය කළ බවත්, ඇය පසුව මිනිසුන්ට කළ උපකාර නිසා ඇයගේ මරණින් මතුත් ඇය දේවතාවියක් වශයෙන් සලකා පුද පූජා පැවැත්වීම සිදුවූ බව අදටත් ජනප්‍රවාදයේ පවතින කථාවකි. ඇයගේ රූපයක්ද මෙහි තිබී හමු වී ඇත.

කොසඹෑ නුවර දී දේශිත සූත්‍ර

ජාලිය සූත්‍රය (දීඝ නිකාය)

ජාලිය පරිබ්‍රාජකයන් අරභයා දේශනා කරන ලදී.

සන්දක සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය)

අනඳ හිමියන් විසින් පිලක්කු ගුහාවෙහි සිටි සන්දක ඇතුළු පන්සියයක් පිරිවැජියන් අරභයා දේශනා කරන ලදී.

භාරද්වාජ සූත්‍රය (සංයුක්ත නිකාය)

පිණ්ඩෝල භාරද්වාජ හිමි විසින් උදේනි රජු අරභයා දේශනා කරන ලදී.

කෝසම්බි සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය)

ඝෝෂිතාරමයේදි සිදුවූ භික්ෂූ කලහය අරභයා දේශනා කරන ලදී.

උපක්කිලේස සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය)

ඝෝෂිතාරමායේදි සිදු වූ භික්ෂු කලහය අරභයා දේශනා කරන ලදී.

පාරිලෙය්‍ය සූත්‍රය (සංයුක්ත නිකාය)

බුදුන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩීම පිළිබඳ පුවත සඳහන්ය.

ඛේමක සූත්‍රය (සංයුක්ත නිකාය )

ඛේමක හිමියන් සම්බන්ධ පුවත සඳහන්ය.

ඝෝෂිත සූත්‍රය (සංයුක්ත නිකාය)

අනන්ද හිමියන් විසින් ඝෝෂිත සිටුතුමාට දේශන කරන ලදී.

කාමභූ සූත්‍රය (සංයුත්ත නිකාය)

ආනන්ද හිමියන් සහ කාමභු හිමියන් අතර ඇති වන සාකච්ඡාවකි.

උපවාන සූත්‍රය (සංයුත්ත නිකාය)

සැරියුත් හිමියන් සහ උපවාන හිමියන් අතර ඇතිවන සාකච්ඡාවකි.

සිංසපා සූත්‍රය (සංයුත්ත නිකාය)

ඇට්ටේරිය කොළ මිටක් උපමාකොට භික්ෂූන්ට දහම් දේශනා කරන ලද සූත්‍රය.

තවත් කොටසක් ඇසළ අමාවක පොහෝදා අගෝස්තු 14 වනදා පත්‍රයේ

 


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 47