Print this Article


ළමා ලොවයි සදහම් සුවයයි

ළමා ලොවයි සදහම් සුවයයි

මහණ වූ දිනක

බෝ සෙවණෙහි යට හිඳගෙන
ඉන්නට ආසයි දවස පුරා
සිල් සුවඳ විඳගෙන සිල්ගන්නට
ආසයි පොහොය දිනෙක මා
ජීවිතයම කැප කරන්න
ආසයි බුදුසසුනට මා
පහන් සිතක් පතුරාගෙන
කහ සිවුරක් පොරවාගෙන
සිත එක්තැන් කරගෙන
මහණවෙන්න ආසයි මා
ගෞතම බුදු සසුනෙ
එහෙම වෙලා මතු දිනයෙක
අම්මා ලෙස ඇමතුවාට
දුවේ කියන හඬක්
ඇසෙන්නෙ නෑ මට
මගෙ අම්මගේ මුවින් අනේ......


අම්මා

තුරුලු කරන් මා අම්මා
රෑ තනිවට සිටි අම්මා
ගෙදර බුදුන් දෙසූ සම්මා
මගේ පණයි මගෙ අම්මා

පොඩිකල මට අත දුන්නේ
ගුණ දම් නිති පහදා දුන්නේ
ලොව දිනනා වෙර දුන්නේ
අම්මා මතු බුදු වන්නේ

ගස නැති දා ඵලෙහි අගය දැනේ
ඇස නැති දා එහි අගය දැනේ
පොත නැති දා ඉගෙනුමෙ අගය දැනේ
මව නැති දා අම්මගෙ ආදරේ දැනේ


මා පියාණෙනි......

හීන දාහක් අතර සොයනා
ජීවිතේ යළි හමු නොවේනම්
ගලා යන ගංදෑලු නිසලව
ඔහේ නිහඬව ගලා යා නම්
පිපෙන මල් පෙති විසිරිලා අද
සුවඳ වියැකී බොඳව යා නම්
කඳුලු කුමටද දෙනෙත් අගකට
සිනා සුවඳැති මල් පිපේ නම්.........

සැබෑ සතුටක සුව ලබන්නේ
දුක් සුසුම් විඳ ඇති සිතයි
සඳේ එළියෙන් සිනා සෙන්නේ
ගණඳුරට පෙම් බැඳි මලයි
වසත් කල එන බව කියන්නේ
ගිමන් කල රළු සුළඟමයි
දිවි මගේ දිනුමක් ලබන්නේ
වැටි වැටී නැඟිටින අයයි
එවන් දිරියක් මට ලැබෙන්නේ
මා පියාණෙනි ඔබගෙනුයි.........


මත් රකුසා

මත් කුඩු රකුසන් ගැන
නොදනා කරුණුත් දැන
ජීවිතයම හැඩ ගසන්න
එක් වෙමු අපි සැම දෙන

ගම්බිම් කෙලෙසා ලන
මත් රකුසන් වැඩි වන
ලක් දෙරණට කොඩි වින
වැඩි වෙයි මතු දින දින

දහම් දිවයිනේ සුපිපෙන
මල් අද නැහැ සුවඳ දෙන්නෙ
මත් රකුසා බිලි බානවා
පොකුරු පොකුරු සැම දින

දෙමාපියනි මේ අහන්න
ඔබෙ දරුවා බේරගන්න
මත් රකුසන් බලන් ඉන්න
තැන් තැන්වල නොම යවන්න


ඇසළ උදානය

ඇසළ මලක් පිබිදී
දසඅත සුවඳ පුරවද්දී
බෝසත් කුමරා මව්කුස පිළිසිඳ ගනිමින්
ලොවට එළිය පතුරවා
කන්ඨක හා ඡන්න සමඟින්
අභිනික්මන සිදු කරමින්
ලෝ සතට බුදුදහම නම්
අමිල මිණිපහන
දැල් වූ....
මම ඇසළ දිනයේ
බැතිබරව සිහිකරමු
ඒ බුදුරදුන්..


 

අපේ පන්සල


ගමයි පන්සලයි අතර සබැඳියාව

ගමයි පන්සලයි අතර සබැඳියාව බුද්ධ කාලය දක්වාම ගමන් කරයි. එදා පන්සල යන්නෙන් අදහස් කෙරේ වර්තමානයේ දී දක්නට ලැබෙන විවිධ ආරාම අංගයන්ගෙන් සපිරුණු විහාර භූමිය නොවේ. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටයි. ඒ අනුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට හා ජනතාව අතර පැවති අන්‍යෝන්‍ය ආශ්‍රය ගමයි පන්සල සේ සබඳතා ලෙස සැලකේ. බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහත් සැටනම ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර හැරීමත් සමගම භික්ෂූන් වහන්සේලා ජනතාව අතරට වැඩම කරවීම ආරම්භ වුණි. එමෙන්ම සංචාරක ජීවිතයක් ගත කළ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාම පූජා කිරීමත් සමඟම ජනතාව ආරාම කරා පැමිණියහ. උන්වහන්සේලා ආරාමවල සිට ජනතාවට සදහම් දෙසූහ.

බුදුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කොට දන් පිළිගැන්වීම ආරම්භ විය. ජනතාවගේ මෙම ආමිස දානයටත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා ධර්ම දානය බෙදා දුන්හ. සමහර මිනිසුන් හට විවිධ දුක්ගැහැට පැමිණි අවස්ථාවේදි බුදුරදුන් වෙතගොස් තම සිත් සනසා ගත් අතර තවත් අය ගිහි ජීවිතය හා පරලොව ජීවිතය දැනගෙන සාර්ථක කර ගනී. නිදසුන් ලෙස ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ එන දීඝජානු කෝලිය පුත්‍රයා ගත හැක. කොසොල් රජු, කිසාගෝතමී, පටාචාරා වැනි විවිධ සමාජ ස්ථරවල ජීවත් වූ අය සදහම් දේශනා කොට ඔවුන්ගේ දුක්ගිනි නිවාලු ආකාරය අටුවා කතාවන්හි සඳහන්ය. මෙයින් බුද්ධ කාලීන සමාජයේ ගමයි පන්සලයි අතර පැවැති සම්බන්ධතාවය පැහැදිලි කරගත හැක.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමගම ලංකාවේ "ගමයි පන්සලයි" ආර්ය සබඳතාවය සැකසුණි. ලංකාවාසීන්ගේ ආගමික, අධ්‍යාපනික, මානසික සුවතාවය ඇති වූයේ පන්සලෙනි. ගැමියා මෙන්ම රාජ කුමාරවරුන් වටා පන්සලෙහි අධ්‍යාපනය ලැබූ අතර රජතුමා ඉඩකඩම් වැව් සිව්පසයෙන්ද පුද පූජා කළහ. මෙනිසා භික්ෂූන් වහන්සේලාද සැමවිටම ධර්මදානයෙන් පෝෂණය කරමින් යහපත් සමාජයක් බිහිකළ බව සඳහන් වේ. වෛද්‍ය උපදෙස්, රාජ්‍ය පාලනය සඳහා අනුශාසනා කිරීම, මානසික සුවතාවය, ආරක්ෂාව සඳහා ජනතාව පන්සලේ පිහිට සෙවූහ. දුටුගැමුණු කුමරා සද්ධාතිස්ස කුමරා අතර ඇති වූ අරගලයේ දී සද්ධාතිස්ස කුමරාගේ ආරක්ෂාව භාර ගත්තේ පන්සලයි.

ගම්වැසියාගේ ගුණදම් පෝෂණය කිරීම සඳහා විවිධ පින්කම් සංවිධානය කරමින් ධර්මඥානය මෙන්ම ධාර්මික විනෝදයක් ද ලබාදේ. එමගින් මෙලොව දියුණුව මෙන්ම පරලොව දියුණුවද ලබාගැනීමට සකස් කරනු ලැබේ.

ගමට නායකත්වය දුන්නේ පන්සලයි. සමගියෙන් රැස්ව, සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යාමට හැකිවූයේ භික්ෂූන් වහන්සේගේ නායකත්වය පිළිගෙන උන්වහන්-සේගේ අවවාද අනුශාසනා පරිදි ගම්වැසියන් ක්‍රියා කිරීම නිසාය. දරුවෙකුගේ උපතේ සිට මරණය දක්වා සෑම වැදගත් අවස්ථාවකදීම පන්සලේ නායකත්වය ලැබුණ බැවින් "කුලදේවතා" යන නමින් ද භික්ෂූන් වහන්සේලා හැඳින්වූහ.

ශ්‍රී ලංකාව බටහිර ජාතින්ගේ පාලනයට යටත්වීමත් සමගම ගමත් පන්සලත් අතර තිබූ සබඳතාවය ක්‍රමයෙන් පරිහානියට පත් විය. 1815 මාර්තු මස 02 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමෙන් පසු පෝය නිවාඩු දිනය වෙනුවට ඉරිදා දිනය නිවාඩු දිනය බවට පත්වීම. ආර්ථිකව ඇතිවූ වෙනස්කම්, පවුල් ක්‍රමය වෙනස්වීම රාජ්‍ය පාලකයන්ට අවවාද අනුශාසනා දීමෙන් භික්ෂුව බැහැර කිරීම වැනි ක්‍රියා නිසා පන්සල හා ගැමියා අතර තිබූ සබඳ-තාවය ක්‍රමයෙන් දුර්වල විය. ජනතාවය තම ආගමික කටයුතු කිරීම සඳහා පමණක් භික්ෂූන් වහන්සේට ආරාධනා කළහ. නිදහසින් පසු ගමයි පන්සලයි අතර සම්බන්ධතාවය නැවතත් වර්ධනය වීමට පටන් ගත් අතර රාජ්‍ය පරිපාලනය, සමාජිය ප්‍රශ්න, මෙන්ම විවිධ ජාතික උත්සවය සඳහා අවවාද අනුශාසනා දෙමින් ආගම දහමින් ජනතාව පෝෂණය කිරීමට ගනු ලබන උත්සාහය නැවතත් ගමයි පන්සලයි අතර සබඳතා වර්ධනය වීමට හේතු වී තිබේ.


ළමා පිටුවට නිර්මාණ

පාසල් සහ දහම් පාසල් සිසු දරුවන්ගේ ගැදි, පැදි නව නිර්මාණ, සිතුවම් ආදිය මෙන්ම දරුවන්ගේ විශේෂ දක්ෂතා ඡායාරූප සහිතවද මෙම පිටුවෙහි පළ කැරේ. පාසල් හෝ දහම් පාසල් බෞද්ධ සංගම් මඟින් එකම පාසලක හෝ දහම් පාසලක සිසු දරුවන්ගේ ළමා නිර්මාණ එක් දිනකදී වුවද එම ළමා නිර්මාණ පිටුවෙහි පළ කර ගත හැකි වේ. ළමා ඔබේ නිර්මාණ
ළමා පිටුව,
බුදුසරණ,
ලේක්හවුස්,
කොළඹ

ලිපිනයට යොමු කරන්න.